'මම ලියන හැටි' : තරංගනී රෙසිකා ප්‍රනාන්දු

ඡායාරූප මූලාශ්‍රය, PROVIDED
- Author, කෞශල්‍ය කුමාරසිංහ
- Role, ලේඛක
තරංගනී රෙසිකා ප්‍රනාන්දු නවකතාකාරියක ලෙස අවදානයට පාත්‍ර වන්නේ 'දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය' නවකතාව සමගින් ය. ‘ජේරුසලම් දූවරුණි’ යනු ඇගේ දෙවන නවකතාව යි.
සමාජ දේශපාලන ක්‍රියාකාරීත්වය, දේවධර්මය සහ ලෞකිකත්වය අතර දෝලනය වන නව සෞන්දර්යයක් නවකතාවට හඳුන්වා දෙන ඇය සමකාලීන සිංහල සාහිත්‍යය තුළ සිටින සුවිශේෂී ලේඛිකාවක් ලෙස සැලකිය හැකිය.
මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය.
මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය.
හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි.
ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියටය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.
කෞශල්‍ය: මේ සංවාදය ආරම්භ කිරීමට මම ඔබගෙන් අහන්න කැමැතියි ඔබේ නවකතා වල සමාරම්භක මොහොතට ඔබ මුහුණ දුනුනු ආකාරය ගැන.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
තරංගනී: දැන් මගේ පළමු නවකතාව ගත්තොත් මේක කාලයක් තිස්සේ මගෙ හිතේ වැඩකරපු එකක්. යුද්ධයේ අවසාන කාලය තුළ අපි දැක්ක මොන තරම් වේගයෙන් මිනිස්සුන්ව දේශද්‍රෝහීන් සහ දේශප්‍රේමීන් හැටියට නම් කෙරුණ ද කියන එක. අපි අතරම හිටිය සමහර අය මේ විදිහට දේශද්‍රෝහීන් හැටියට නම් කෙරුණා විතරක් නෙමෙයි සමහර අය අතුරුදන් වුණා, ඝාතනය කෙරුණා. සමහරුන්ට රට අතහැර යන්න සිද්ධ වුණා. සමහරු හැමදේම අතහැරල සමාජයෙන් කොන් වෙන තැනට පත් වුණා. හැබැයි මම දැක්ක විදිහට මේ දේශද්‍රෝහීන් විදිහට නම් කෙරුණේ රටට, මනුෂ්‍යත්වයට ගොඩක් ආදරය කරන මිනිස්සු. මේක තමයි මූලික වශයෙන් මේ නවකතාව සම්බන්ධයෙන් මට තිබුණු රාමුව. නමුත් ඉන්පසුව 'විමුක්ති දේවධර්මය' පිළිබඳ අදහස් වලින් මේක යම්තාක් දුරකට හැඩ ගැහුණා. දැන් උදාහරණකට ගත්තොත් මේ නවකතාවට සිස්ටර් කෙනෙක් එකතු වෙන්න බලපාන්නෙ මේ කාලේ මට සිස්ටර්ස්ලගෙ ඥාණ කාන්තියකට සම්බන්ධ වෙන්න අවස්ථාවක ලැබීම. මේක සාමාන්‍යයෙන් ගිහි කෙනෙකුට ලැබෙන අවස්ථාවක් නෙමෙයි. එතෙන්දි මං ඒ අයත් එක්ක ගත කරපු කාලය, අපි කරපු අධ්‍යයනයන්, එකට බලපු චිත්‍රපට, අපට ලැබෙන බයිබල් පාඨ එක්ක කරපු කතා බහ මේ දේවල් මේ නවකතාවෙ තවත් තලයක් ගොඩනඟන්න බලපානවා. කොහොමටත් මගෙ පවුල ගත්තොත් තද කතෝලික පසුබිමකින් එන එකක්. හැබැයි මම මගෙ පවුලෙ අය වගේ වතාවත් කරමින් ආගම අදහන කෙනෙක් නෙමෙයි. නියමිත ආකාරයට පල්ලියට ගිහින් යාඥා කරන එක මගෙ අතින් තවදුරටත් සිද්ධ වෙන්නෙ නැහැ. මං හිතන්නෙ මගෙ එක්තරා හැරවීමක් සිද්ධ වෙන තැනක් හැටියට මට සලකන්න පුලුවන් කිතුසර කණ්ඩායමත් එක්ක වැඩ කරන්න පටන් ගැනීම. කිතුසර සංවිධානය කියන්නෙ 88/89 කාලෙ විවිධ අභියෝගයන්ට මුහුණ දීල ජීවිතය ගලවගත්ත තරුණ පිරිසක්, දැන් අපි ඉදිරියට ජීවත් වෙන්නනේ කොහොමද, මොකද්ද කරන්නෙ කියන එක වටා කරන සංවාදයක් එක්ක තමයි මේක බිහිවෙන්නේ. පසුකාලීනව උතුරේ ප්‍රශ්නය සම්බන්ධයෙන් වුණත් ඔවුන් ඉතා ප්‍රගතිශීලී ස්ථාවරයක් දැරුවා. මේක ලංකාවෙ කතෝලික සභාව ඇතුලෙ තියෙන විකල්ප සංවිධානයක්. කතෝලික විමුක්ති දේවධර්මයට මගේ නැඹුරුතාව ඇතිවෙන්නෙ මේ සම්බන්ධයත් එක්ක. විමුක්ති දේවධර්මය කියන්නෙ කතෝලික ආගම පීඩිතයාගේ විමුක්තිය අරමුණු කරගත් ආගමක් කියන එක මත පදනම් වුණු අදහස් පද්ධතියක්. මේක විසිනුත් මගේ සාහිත්‍ය භාවිතය ඉතාම බරපතල විදිහට සකස් කරනවා කියන එක කියන්න ඕන දෙයක්. මොකද මේ කාලෙ අපි අතර කතාබහක් ඇති වෙනවා ලංකාවෙ කතෝලික සාහිත්‍යයක් තිබුනට ලංකාවෙ කතෝලික ලේඛක හවුලක් තිබුණට විමුක්ති දේවධර්මය පිලිබඳ සාහිත්‍යයක් නැහැ කියන එක. මං හිතන්නෙ මම නවකතාකරණයට එලඹෙන කොට මෙන්න මේ අඩුව පිලිබඳ අදහසත් මට බලපෑවා.
කෞශල්‍ය: මම තරමක අතුරු ප්‍රශ්නයක් ඔබෙන් අහන්න කැමැතියි. ක්‍රිස්තියානි ආභාෂය සහිතව නවකතා ලිවීම ඇතුළේ මේ නවකතා කිසියම් සීමා වීමකට ලක් වෙනවා කියල ඔබට හිතෙන්නෙ නැද්ද?
තරංගනී: මං හිතන්නෙ අපි උනන්දු වෙන්න ඕන මේ නවකතා වල තියන විශ්වීයත්වය දිහා බලන්න. අපි මේවා කතෝලික නවකතා කියල නම් කළොත් එතනදි තමයි ගැටලුව ඇති වෙන්නෙ. මට ගොඩක් පාඨකයෝ මුණ ගැහිලා තියනවා ක්‍රිස්තියානි නොවන අය ඔවුන් මේ නවකතා වල තියන ඒ විශ්වීය ගුණය එක්ක සම්බන්ධ වුණු. අනිත් අතට ඔබට ඔය ප්‍රශ්නය එන තැන ගැනත් අපි ටිකක් කල්පනා කළ යුතුයි. දැන් මාර්ටින් වික්‍රමසිංහ 'බව තරණය' ලිව්වම; එහෙමත් නැත්තං සුනේත්‍රා රාජකරුණානායක හෝ ජයසේන ජයකොඩි වැනි කෙනෙක් බෞද්ධ සාහිත්‍ය ඇසුරෙන් නවකතා ලිව්වම ලංකාව තුළ කවුරුවත් මේ ප්‍රශ්නය අහන්නේ නැහැ. නමුත් ක්‍රිස්තියානි දේවධාර්මික ආභාෂය සහිතව ලියන කොට ඒ ප්‍රශ්නය ඇහෙනවා. ඒක වෙලා තියෙන්නෙ නූතන සිංහල සාහිත්‍ය තුළ බෞද්ධ ආගම සහ සංස්කෘතිය ස්වභාවික වෙලා තියනවා. නමුත් අනෙකුත් ආගම් සහ සංස්කෘතීන් සම්බන්ධයෙන් තත්ත්වය වෙනස්.
කෞශල්‍ය: ඇත්තටම මේක ඉතාම වැදගත් අදහසක්. මෙතෙන්දි සිහි කරන්න ඕන තව දෙයක් තමයි අපිට දැන් අමතක වෙලා තියනවා ලංකාවේ නූතන සාහිත්‍යය බිහිවෙන්න ක්‍රිස්තියානි භාවිතයන් දක්වපු දායකත්වයේ වැදගත්කම කියන එකත්. දැන් නැවතත් අපි අපේ මූලික සාකච්ඡාවට අවොත්, එතකොට ඔබ මේ නවකතාවේ පළමු වාක්‍යය ලියන්න ප්‍රවේශ වෙන මොහොත වෙනකොට ලියන්න යන නවකතාව ගැන සැලකිය යුතු තරම් දැනුවත් වෙලා ඉන්න බවක් තමයි පේන්නෙ ඔබේ කතාවෙන්.
තරංගනී: ඔව්. ඇත්තටම ලියන්න පරිගණකය ඉදිරියේ වාඩි වෙන කොට මගෙ හිත ඇතුළේ මේ නවකතාව සම්පූර්ණයෙන්ම වගේ ගොඩනැගිල තමයි තියෙන්නේ. මේක හිතේ වැඩෙමින් තියන කාලය ඇතුළේ මං ගාව තියනවා පරණ ඩයරි කීපයක් මං නොට් බුක්ස් හැටියට පාවිච්චි කරන. මට වැදගත් වෙයි කියල හිතන හැම දෙයක්ම වගේ මං සටහන් කරනවා. විශේෂයෙන්ම සිදුවීම් වලට අදාළ අවශේෂ කරුණු. අදාළ කාලයේ සිද්ධ වෙච්ච වැදගත් සමාජ දේශපාලන සිදුවීම්, සමහර පාරිසරික කරුණු වගේ දේවල්. උදාහරණයක් හැටියට මගේ පළමු නවකතාව ලියද්දි ඒකෙ ප්‍රධාන චරිත දෙක වන ආදිත්‍ය සහ සෙව්වන්දිගේ උපන් දින වල සිට ඒ කතාව දිගහැරෙන කාලය දක්වා සිද්ධ වුණු වැදගත් සමාජ දේශපාලන සිදුවීම් සටහන් කරපු චාට් එකකුත් තිබුණා. දැන් මගේ 'ජේරුසලම් දූවරුණි' නවකතාව ලියන්න සැලසුම් කරමින් ඉන්න කාලෙ ගත්තොත් මම ඒ දවස් වල ඊශ්‍රායලයේ හිටිය මගෙ මිතුරෙකුට කියල එහෙ සමහර තැන් වීඩියෝ කරල පවා ගෙන්න ගත්ත. මේකෙන් අදහස් වෙන්නෙ නැහැ. ඒ දේවල් ඒ ආකාරයෙන්ම නවකතාව තුළ ප්‍රකාශමාන වෙනවා කියල. නමුත් සැලසුම් කරන කාලය තුළ පරිකල්පනීය ගොඩනැංවීමට මේ දේවල් අතිශය වැදගත් වෙනවා. හැබැයි මම මේ දේවල් සටහන් කලාට චරිත ගොඩනැංවීම සහ සිදුවීම් පෙළ ගැහෙන ආකාරය ගැන සැලසුම් කරන්නේ නැහැ. ඇත්තෙන්ම කිව්වොත් මගෙ පළමු නවකතාවෙදි මම එහෙම කළා. නමුත් ලියන ක්‍රියාවලිය ඇතුළේ මේ දේවල් සැලකිය යුතු තරම් වෙනස් වෙනවා. අපි මොනතරම් කලින් සැලසුම් කලත් ලිවීම ඇතුළේ අපි අපේක්ෂා නොකරන දේවල් හැමවිටම සිද්ධ වෙනවා. මගෙ දෙවන නවකතාව සැලසුම් වෙලා තිබුණේ නවකතා දෙකක් හැටියට. නමුත් අවසානයේ මේ කතා දෙක එකක් වෙලා තනි නවකතාවක් වුණා. මං හිතන්නෙ ලිවීම කියන ක්‍රියාවලිය ඇතුළේ තියන අසිරිමත් කමත් ඒකයි. දැන් පළමු වාක්‍යය ගැන කිව්වොත් ඇත්තටම මම පළමු වාක්‍යය ලෙස ලිවීමේ ක්‍රියාවලිය ආරම්භ කරපු ඒ කොටස් තියෙන්නේ නවකතා වල වෙනත් තැන් වල. එහෙම තමයි ඒක සිද්ධ වෙන්නේ.
කෞශල්‍ය: ඔබ ලියන හැටි ගැන ටිකක් කතා කරමුද?
තරංගනී: මම සාමාන්‍යයෙන් ලියන්නේ පරිගණකයෙන්. මම නේවාසිකව ඉන්න තැන තමයි බොහෝ විට ලියන්නේ. ලියන තැනට වඩා ඇත්තටම මට වැදගත් වෙන්නේ නිදහස් කාලයක් තියන එක. ලියන්න පටන් ගත්තම එක දිගට දවස් දෙක තුනක්වත් වැඩ කරන්න පුලුවන් නම් ඒක මට ගොඩක් වැදගත්. නමුත් දිගටම එහෙම කරන්න ලැබෙන්නේ නැහැ. මේ අතර හිටිගමන් විදුලි කෙටුව වගේ එන අදහස් තියනවා ලිවීම පටන් ගත්තට පස්සේ. ඒවා සටහන් පොතක ලියල තියා ගන්නවා. මේ වගේ දේවල් නං සැලකිය යුතු තරම් එකතු වෙනවා. ඊට පස්සෙ සමහර දේවල් නවකතාවට එකතු වෙනවා. සමහර ඒවා එකතු වෙන්නේ නැහැ. මේ විදිහට අඛණ්ඩව ලිව්වෙ නැති වුනාට ලියන්න පටන් ගත්තට පස්සෙ නවකතාවත් එක්ක තමයි ජීවත් වෙන්නේ. මම මේ විදිහට ලියාගෙන ගිහින් පළමු පිටපත අවසන් කළාට පස්සෙ මං කැමතියි යම් කාලයක් ඒක පැත්තකින් තියල තියන්න. ඊට පස්සෙ නැවත ඒකට ප්‍රවේශ වුනහම ඒකෙ සීමාවන් පේන්න ගන්නවා. මගෙ පළමු නවකතාව ගත්තොත් ඒක ලියා අවසන් කරල වසර තුනකට විතර පස්සේ තමයි මම නැවත සංස්කරණය කරන්නේ. මේ විදිහට සංස්කරණය කළාට පස්සෙ මුද්‍රණයට යාමට පෙර නැවතත් සංස්කරණය කිරීමක් සිද්ධ වෙනවා. මම ගොඩක් උනන්දුයි වාක්‍ය වල රිද්මය, වචන යොදල තියන ආකාරය වගේ දේවල් ගැන. ඒ කියන්නෙ භාෂාවේ කාව්‍යමය බව. ඒකට එක හේතුවක් වෙන්න ඇත්තේ කවියට මගේ තියන සමීපත්වය.
කෞශල්‍ය: නවකතාකාරියක් හැටියට ඔබට ඔබේ පැවැත්ම ගැන දැනෙන්නේ කොහොමද?
තරංගනී: දැන් ලංකාවේ වෘත්තීය ලේඛකයෝ ඉන්නවා, වෘත්තීය නොවුණත් ඉතා විශාල කාලයක් ලිවීම වෙනුවෙන් කැප කරන ලේඛකයෝ ඉන්නවා, මේ අය අතර මට දැනෙන්නෙ මං කම්මැලි ලියන්නියක් හැටියට. මට තවමත් ලිවීමට ඒ තරම් විශාල කාලයක් දෙන්න ලැබිල නැහැ. නමුත් මගේ ජීවිතය ඉදිරියට ගෙනියන අදිසි හස්තය හැටියට මට දැනෙන්නේ ලිවීම. අනෙකුත් බොහෝ දේවල් අතරේ මට හුස්ම දෙන්නෙ, මාව ඉස්සරහට තල්ලු කරන්නෙ, මට ගමනක් තියනවා කියල මතක් කරන්නේ ලිවීම කියල තමයි මට හිතෙන්නේ . එහෙම බැලුවම එක තලයකදි මගේ පැවැත්ම රඳා පවතින්නෙ ලිවීම මත තමයි.
තරංගනී රෙසිකා ප්‍රනාන්දු නවකතාකාරිය ගේ ලිවීමේ භාවිතයන් තුළ ඇති සුවිශේෂත්වය හා ඈ ලිවීම ආත්මීය කර ගන්නා ආකාරය අපට ඇගේ නවකතා කියවීමේ දී ඒවා වින්දනය කිරීමට අලුත් ආලෝකයක් සපයනු ඇත.
එසේම ලිවීමට උනන්දුවන්නන්ට තමන් දෙස නැවත හැරී බැලීමට එය ඉවහල් වනු ඇත. ලබන සතියේ අප හා එක් වන්නේ සිංහල සාහිත්‍යයේ මගහැර යා නොහැකි සාහිත්‍යකරුවෙකු වන නිංශ්ශංක විජේමාන්න යි.
බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.
ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ.














