'මම ලියන හැටි':සුමිත්‍රා රාහුබද්ධ

ඔය කාලෙට මගෙ ඇඳ වටේ, මේසෙ පුරාම සහ මගෙ කම්පියටර් එකේ තියෙන්නෙ මම කියවන පොත් සහ මගෙ නෝට්ස්. ඒ කාලෙට මගෙ දුව එහෙම මගෙත් එක්ක හරි තරහයි. ඔන්න ආයෙත් වනසනවා කියල තමයි කියන්නේ. මොකද මට මේසයක් තිබුණට මම වැඩිපුර වැඩ කරන්නේ අපේ ඩයිනිං ටේබල් එකේ. ඒක පැත්තකත් මම මේ කියවන පොත් වනාගෙන තමයි ඉන්නෙ. ඒක අඩි 12 විතර දිගයි, දුව සමහර වෙලාවට අහනව, 'අම්මි ඔයාට ඔය මේසෙට තව එක්ස්ටෙන්ෂන් එකක් ඕනෙද කියල'.

ඡායාරූප මූලාශ්‍රය, Provided

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඔය කාලෙට මගෙ ඇඳ වටේ, මේසෙ පුරාම සහ මගෙ කම්පියටර් එකේ තියෙන්නෙ මම කියවන පොත් සහ මගෙ නෝට්ස්. ඒ කාලෙට මගෙ දුව එහෙම මගෙත් එක්ක හරි තරහයි. ඔන්න ආයෙත් වනසනවා කියල තමයි කියන්නේ. මොකද මට මේසයක් තිබුණට මම වැඩිපුර වැඩ කරන්නේ අපේ ඩයිනිං ටේබල් එකේ. ඒක පැත්තකත් මම මේ කියවන පොත් වනාගෙන තමයි ඉන්නෙ. ඒක අඩි 12 විතර දිගයි, දුව සමහර වෙලාවට අහනව, 'අම්මි ඔයාට ඔය මේසෙට තව එක්ස්ටෙන්ෂන් එකක් ඕනෙද කියල'."
    • Author, කෞශල්‍ය කුමාරසිංහ
    • Role, ලේඛක

බුමුතුරුණු නවකතාවෙන් ඇරඹෙන සුමිත්‍රා රාහුබද්ධගේ නවකතාකරණය 'සුර අසුර', 'ඉටි පහන්', 'කන්දක් සේමා', 'අත අත නෑර', 'තම්මැන්නා', ආදී නවකතා පසුකර පැමිණ දැන් 'සීතා මැරී රම් රද' අසළ තාවකාලික විරාමයක් ගනිමින් සිටියි.

සුවිශාල ලෙස පාඨක විචාරක අවදානයට ලක් වූ ඇගේ නවකතා ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍යයට පරිවර්තනය වීම අලුත් දෙයක් නොවුව ද ඇගේ 'කන්දක් සේමා' නවකතාව ඇසුරෙන් තැනුණු සිනමා පටය මේ දිනවල ප්‍රදර්ශනය වෙමින් තිබෙන බව නොකියා සිටිය නොහැකිය.

මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමග බැඳුණු ඇයට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය.

මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති 'නිම්නාගේ ඉතිහාසය' (2019) සහ 'මේ රහස් කවුලුවෙන් එබෙන්න' (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය.

හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේ ම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි.

ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය.

මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.

කෞශල්‍ය : පුරුදු විදිහට ම මම ඔබෙන් අහන්නෙත් නවකතාවක් ලිවීමේ සමාරම්භක මොහොත ගැන. ඔබේ නවකතා වල පළවෙනි වාක්‍ය ලියවුන ආකාරය ගැන යමක් කියන්න පුලුවන්ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සුමිත්‍රා : ඒක ඇත්තටම හරිම අමාරු වැඩක්. හරියට අර නානකොට පළවෙනි වතුර බාල්දිය අදිනව වගේ. එහෙමත් නැත්තං රියදුරු බලපත්‍රය හම්බවුනාට පස්සෙ මුල් වතාවට වාහනයක් තනියම පාරට දානව වගේ. හැප්පෙයිද දන්නෙ නැහැ. අපිට හයියෙන් යන්න පුලුවන් වෙයිද හෙමින් යන්න වෙයිද දන්නෙ නැහැ.මේ වගේ චකිතයක් අවිනිශ්චිත බවක් එක්ක තමයි ඒක කරන්නේ. පළවෙනි වාක්‍යය අසීරු දෙයක්. මං සමාන්‍යයෙන් නවකතාවක වස්තු බීජයක් ඔළුවට ආවම ඒක මෝරනකං ඒක එක්ක සෑහෙන කාලයක් වැඩ කරන කෙනෙක්. උදාහරණයකට 'කන්දක් සේමා' නවකතාවෙ මූලික බීජය හොයාගත්තට පස්සෙ මම මාස ගණනක් ජපානයේ මේ කියන 'නීගතාවෙ' ගත කරනවා. මේක ඇතුලෙ තියෙන දේ පටන් ගන්නෙ කොහොමද? මේ ගෑනු ළමයට වෙච්ච දේ මම පටන් ගන්නෙ කොතනින්ද? මේක හොයා ගන්න මං සෑහෙන කාලයක් ලිවීමට කලින් වැඩ කරනවා. ඉතින් ලිවීමේ ක්‍රියාවලියට ප්‍රවේශ වුනාට පස්සෙ මේ පළමු වාක්‍යය හරියට ලියවුණොත් ඒක ඉදිරියට යෑමට ලොකු තල්ලුවක් වෙනවා. මම සාමාන්‍යයෙන් ලියන නවකතා මුද්‍රණයට කලින් කිහිප සැරයක් වෙනස් වෙනවා. නමුත් මං මුලින්ම ලියපු වාක්‍යය කවදාවත් වෙනස් වෙලා නෑ.

කෞශල්‍ය: ඔබේ කියපු දේවල් වලින් මතුවෙන අතිශය වැදගත් අදහසක් තමයි කතාවේ මූලික බීජය ආවට පස්සෙ ලිවීම ආරම්භ කිරීමට පෙර ඒකත් එක්ක වැඩ කරන කාලය. වෙනත් විදිහකට කිව්වොත් මේක නවකතාව වෙනුවෙන් කිසියම් හැදෑරීමක්, පර්යේෂණයක් කරන කාලයක්. මේ ගැන තව ටිකක් කතා කරමුද?

සුමිත්‍රා : මගෙ හැම නවකතාවකට ම මේක අදාළ යි. ඒක එහෙම නොවුණේ මගෙ පළමු නවකතාව වන 'බුමුතුරුණු' ලියද්දි විතරයි. ඉන් පස්සෙ ලියපු හැම නවකතාවකදිම මම මූලික බීජය හිත තුළ මෝරණ තුරු ඒ කතා වලට අදාළ පසුබිම ගැන හැදෑරීමක් කළා. මේ හැදෑරීමේ ආකාරය නවකතාවෙන් නවකතාවට වෙනස් වෙනවා. දැන් 'කන්දක් සේමා' නවකතාවේදී මට සිද්ධ වෙනවා ජපානයට ගිහින් මගේ කතාවේ ප්‍රධාන චරිතය ගොඩනැගෙන ආකාරය තේරුම් ගන්න. මේ කතාව මට කියන ඒ කාන්තාව එයා ටෝකියෝවේ සිට නීගතාවට බුලට් ට්‍රේන් එකේ ගිය හැටි මට කියල තිබුණා. ඒ නිසා මමත් ටෝකියෝවෙ සිට නීගතාවට ගියේ බුලට් ට්‍රේන් එකේ. මම නීගතාවට ගිහින් ඇයත් එක්ක ඇගේ සැමියා එක්ක ඒ කතාවට අදාළ තැන් වලට ගියා. මේ ක්‍රියාවලියෙදි මං හරි අඩුවෙන් තමයි සටහන් තියා ගත්තෙ. හැම දෙයක්ම චිත්‍රයක් වගේ මගෙ හිතේ තවමත් තියනවා. දැන් 'තම්මැන්නා' වගේ නවකතාවක් ගත්තොත් ඒකෙ තියෙන අපේ දේශපාලන ඉතිහාසයට අදාළ කාරණා. ඒවා නිවැරදිව ග්‍රහණය කර ගන්න මං පොත් හාරසීයයක් විතර කියෙව්වා. ඒ එක්කම කුමාරි ජයවර්ධන වගේ මේ ඉතිහාසය ශාස්ත්‍රීය ලෙස හදාරපු අය මුණගැහුණා. ඊට අමතරව රුවන්වැල්ලේ ගිහින් එහෙ පරණ වමේ ප්‍රාදේශීය දේශපාලනඥයෝ එක්ක කතා කරමින් ඒ කතාවේ සිදුවීම් වලට අදාළ මුඛපරම්පරාගත ඉතිහාසයත් සොයා බැලුවා. එන්.එම්.පෙරේරා රුවන්වැල්ලේ දේශපාලනය කරපු කාලය පුරා ම එයා නැවතිලා හිටිය වලව්ව එක්ක බැඳුණු සමහර සිදුවීම් පොත් වල නැහැ. මේකට පස්සෙ කාලෙ මිනිස්සු කිව්වෙ රතු වලව්ව කියල. ඒ වලව්වෙ මැණිකේ සහ එන්.එම් අතර සම්බන්ධයේ ස්වභාවය, ඔහුගේ බිරිඳ සෙලිනා එක්ක තිබුණු සම්බන්ධය වෙනස් වෙන හැටි මේ දේවල් හමුවෙන්නේ ලේඛනගත ඉතිහාසයෙන් එළියේ . එන්.එම් මැරුණම ප්‍රාදේශීය දේශපාලනඥයින් මැණිකෙගෙන් ඉල්ලා හිටිනවා මේ වලව්ව එන්.එම් වෙනුවෙන් කෞතුකාගාරයක් කරන්න කියල. නමුත් ඒක සිද්දවෙන්නෙ නැහැ. සෙලිනා මේ වෙනකොට ඉන්නෙ ඉන්දියාවේ. එයා රෝස මලක් එවනවා. එන්.එම්ගෙ කොටා රෝඩ් එකේ ගෙදර උකසකට සින්න වෙන්න යමින් තිබුණේ. සෙලිනා ඒ වෙලාවේ බර්නාඩ් සොයිසාට පවර් ඔෆ් ඇටර්නි එකක් එවල කියනවා එයාට අයිති කොහුවල තිබුණ දේපල විකුණල එන්.එම්ගෙ ගෙදර බේරගන්න, එන්.එම් කියන ඒ උසස් මිනිසා වෙනුවෙන් ඒක පුස්තකාලයක් බවට පත් කරන්න කියල. දැන් මේ ඉතිහාසයට අදාළ සියුම් මානව සම්බන්ධතා හොයා ගන්න වෙන්නෙ මුඛපරම්පරාගත ඉතිහාසය ඇතුළේ . දැන් මේක තමයි 'තම්මැන්නා' කෘතියට අදාළ හැදෑරීමේ ස්වභාවය. ඒක වෙනස් 'කන්දක් සේමා' එක වෙනුවෙන් කරපු හැදෑරීමට වඩා. දැන් ‘සිය සිය පත් සිය’ වගේ නවකතාවක තියෙන්නේ ලංකාවෙ විවාහ චාරිත්‍ර වෙනස් වෙන හැටි. මගෙ අම්ම ඉස්සර නිතර කියනවා විවාහ උත්සව වල එයාගෙ අත්දැකීම්. කුල ප්‍රශ්නයක් ඇවිත් මඟුල් මේසේ පෙරළපු හැටි වගේ දේවල්. එයාගේ කතා නිසා මම ගොඩක් දේවල් දැනගෙන හිටියට නවකතාව ලියන්න ඒක මදි. මට සිද්ද වෙනවා මේ සම්බන්ධයෙන් පොතපත කියවන්න වගේම තවත් අය එක්ක මේ ගැන කතා කරන්න.

සුමිත්‍රා රාහුබද්ධ

ඡායාරූප මූලාශ්‍රය, Screenshot| Kandaksema Film

ඡායාරූප ශීර්ෂ වැකිය, සුමිත්‍රා රාහුබද්ධ

කෞශල්‍ය: දැන් මේ විදිහට මූලික බීජය හිතේ තියාගෙන ඒ වෙනුවෙන් කරන හැදෑරීම පටන් ගත්ත ම ඒ හැදෑරීමෙන් නවකතාව ලිවීමට ප්‍රවේශ වෙන හැටි කොහොම ද සිද්ද වෙන්නෙ?

සුමිත්‍රා: මේක මට ඇත්තටම හරිම අමාරු දෙයක්. මම කියවන්න පටන් ගත්ත ම මට ඒක නවත්ත ගන්න බැහැ, ලියන එක අමතක වෙලා යනවා. ඔය කාලෙට මගෙ ඇඳ වටේ, මේසෙ පුරාම සහ මගෙ කම්පියටර් එකේ තියෙන්නෙ මම කියවන පොත් සහ මගෙ නෝට්ස්. ඒ කාලෙට මගෙ දුව එහෙම මගෙත් එක්ක හරි තරහයි. ඔන්න ආයෙත් වනසනවා කියල තමයි කියන්නේ. මොකද මට මේසයක් තිබුණට මම වැඩිපුර වැඩ කරන්නේ අපේ ඩයිනිං ටේබල් එකේ. ඒක පැත්තකත් මම මේ කියවන පොත් වනාගෙන තමයි ඉන්නෙ. ඒක අඩි 12 විතර දිගයි, දුව සමහර වෙලාවට අහනව, 'අම්මි ඔයාට ඔය මේසෙට තව එක්ස්ටෙන්ෂන් එකක් ඕනෙද කියල'. ඔහොම කියවමින් ඉන්න කොට එක වෙලාවක් එනවා දැන් මම ලියන්න පටන් ගන්න ඕන කියල දැනෙන. එතකොට තමයි මම පටන් ගන්නේ. ඒ වෙනකොට මේ කියවන කාලය තුළ කතාවෙ මූල බීජය හිත ඇතුලෙ සෑහෙන තරම් මෝරා වැඩිල තියෙන්නෙ. තවත් දෙයක් කියන්න ඕන, මම ලියන්න පටන් ගත්ත ම කිසිම දෙයක් කියවන්නෙත් නැහැ. හැබැයි මගෙ නොට්ස් ටික මං ගාව තියනවා.

කෞශල්‍ය: තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද ඔබ ලියන්න යන නවකතාව ගැන ඔබ මේ වෙනකොට දන්න ප්‍රමාණය ගැන?

සුමිත්‍රා: මම දන්නව මම ලියන්න යන චරිත මොනවද කියන එක, ඒව පිහිටන පරිසරය ගැන. හැබැයි මම දන්නේ නැහැ කතාවේ අවසානය ගැන. මම මැදිහත් වෙලා නවකතා අවසන් කරන්නෙ නැහැ. ඒවා අවසන් වෙන්න හරිනවා. ඒ නිසා කතාව ඉදිරියට යන්නෙ මේ චරිත වල හැසරීමත් එක්ක. ඒක මම කලින් සැලසුම් කරල තියන එකක් නෙවෙයි. එතකොට මම කලින් හිතපු යම් යම් දේවල් වලට වඩා වෙනස් දේවල් අපේක්ෂා නොකළ දේවල් සිද්ද වීමේ හැකියාවක් තියනවා. මොකද ලිවීමට පාලනයක් නැහැ.

කෞශල්‍ය: ලියන කාලෙට ඔබ මොනවගේ කෙනෙක් ද?

සුමිත්‍රා: අපේ පරම්පරාවෙ ගැහැනු ගත්තොත් බොහොමයක් දෙනාට අනෙකුත් දේවල් කරන්න වෙන්නෙ ගෙදර වැඩ පල කරන ගමන්. දැන් අපේ ගෙදර වැඩට සේවකයෙක් නැහැ.මම එහෙම තියා ගන්න කැමති නැහැ මොකද මට ඒක ටිකක් අන් ඊසි. ඉතින් මට ඒ දේවල් එක්ක තමයි ලියන්න වෙන්නෙ. මට ලියන්න විශේෂ වෙලාවක් නැහැ, උදේ ද දවල්ද රෑ ද කියන එක බලපාන්නෙ නැහැ. ඒ කොයි වෙලාවෙදි හරි මට හිතුනොත් දැන් ලියන්න ඕන කියල මම ලියනවා. හිතන්න මං දවල් ලියමින් ඉන්නව කියල, ඔන්න සමහර වෙලාවට මගෙ නංගි ඇවිත් අහනවා, අක්කෙ අද දවල්ට මොනවද උයන්නෙ කියල, එහෙම නැත්තන් අන්න කෙනෙක් ඇවිත් ඉන්නවා හම්බවෙන්න එයාට මොකද කියන්නෙ කියල. ඉතින් මේ වගේ ඩිස්ටර්බන්ස් එක්ක තමයි දවල් වෙලාවට වැඩ කරන්න වෙන්නෙ. නමුත් මං දැන් ඒකට හුරු වෙලා. ඒ නිසා අනික් අය මොනව කළ ත් අහල පහළ මොන දේ වුනත් මං ලියනවා. රෑට ලියන කොට නං හරි පහසුයි නිශ්ශබ්දතාව තියන නිසා. ඒ නිසා මං උත්සාහ කරනවා වැඩිපුර රෑට ලියන්න.

කෞශල්‍ය: ඔබ ලියන නවකතා ඔබේ අතින් මොන තරම් දුරට සංස්කරණය වෙනවද?

සුමිත්‍රා: මම අතින් තමයි ලියන්නෙ. අතින් ලියන තරම් සුමට ව මට කම්පියුටර් එකෙන් ලියද්දි අදහස් එන්නෙ නැති නිසා. මම ලියාගෙන යනකොට එක වෙලාවකදි මට හිතෙනවා දැන් මේක අවසානයට ළං වෙලා තියෙන්නෙ කියල. එතකොට මම කරන්නේ ලිවීම නවත්තල මාසයක් විතර ඉන්නවා. එහෙම ඉන්න කොට අවසාන කළයුතු ආකාරය මගෙ හිතට එනවා. එතකොට නැවත ලිවීම පටන් අරන් නවකතාව අවසන් කරනවා. ඉන්පස්සේ කරන්නේ මේක ටයිප් සෙට් කරගන්න එක. එතන ඉඳන් හය වතාවක් විතර මේක නැවත නැවත සකස් වෙනවා. ලියපු කොටස් කපනවා, අලුතෙන් දේවල් ඇතුල් කරනවා. ඉතින් මාත් එක්ක ප්‍රින්ටර්ස්ල හරි තරහයි. මොකද මගෙ පෲෆ් බැලීමේ දි හැම වෙලේම නවකතාව වෙනස් වෙනවා. එතනදි තමයි මගෙ එඩිටින් ඇත්තටම සිද්ද වෙන්නේ.

කෞශල්‍ය: මේ කෙටි සංවාදය අවසාන කිරීමට ඔබ ලිවීම විඳින ආකාරය ගැන යමක් කියන්න පුළුවන්ද?

සුමිත්‍රා: මම ලිව්ව ම ඒක නැවත නැවත කියවන්න ආසයි. හිතන්න, මං පරිච්ඡේදයක් ඉවර කළා කියල, ඒක මං නැවත නැවත කියවනවා. සමහර වෙලාවට මං දුවට කියනවා ඒක අහගෙන ඉන්න කියල. දුව තමයි මගෙ හොඳම යාළුවා සහ තරහකාරයා ඔක්කොම. මගෙ හස්බන්ඩ් ජීවතුන් අතර ඉන්න කාලෙ මං එයාට ත් මම ලියපු දේවල් කියවනවා. හැබැයි අපේ විවාහයේ මුල් අවුරුදු පහෙන් විතර පස්සෙ මං එයාට මං ලියපුවා කියවන එක නවත්තනවා. මොකද එයාගෙ අදහස් එයා මේක ඇතුළට ගේන්න හදන නිසා. හැබැයි දුව එහෙම නැහැ.එයා නිදහස්ව හිතන කෙනෙක්. ඒ නිසා එයා එහෙම මැදිහත් වෙන්න එන්නෙ නැහැ. මම හිතන්නෙ නැහැ නවකතා ලිවීම සාමූහික දෙයක් කියල. ඒක වැරදි වෙන්න පුළුවන්, නමුත් මගෙ චරිත ස්වභාවය අනුව මම හිතන්නෙ එහෙමයි. දුව යම්කිසි දෙයක් ගැන එයාගෙ අදහස කිව්වොත් මං ඒක පරිස්සමෙන් සළකා බලනවා. නමුත් මම ඒ චරිතය ගැන හිතන ආකාරයට වෙනත් කෙනෙකුට ඇඟිලි ගහන්න මම දෙන්නෙ නැහැ. හරි හෝ වැරදි හෝ මගේ එක තමයි එළියට යන්න ඕන කියල මම හිතන්නේ. ඒක වැරදි වෙන්නත් පුළුවන්. ඉතින් ඔහොම තමයි. මම පරිච්ඡේදෙන් පරිච්ඡේදය රස විඳිමින් තමයි ලියන්නේ.

කාලාන්තරයක් තිස්සේ ලිවීම සිය ජීවින පැවැත්මේ අත්‍යන්ත අංගයක් බවට පත්ව ඇති නවකතාකාරියකගේ අත්දැකීම් සහ අදහස් අපට ලිවීමට අනුප්‍රාණය සපයනු ඇතුවා සේම ඇයගේ කෘතීන් කියවන විට ඒ වචන පිටුපස සිටින ඇයගේ වෙහෙස ගැන අවලෝකනය කරන්නට ද බල කරනු ඇත.

මීළඟ සතියේ අප මුණගැසෙන්නේ සිංහල සාහිත්‍ය ඉතිහාසයේ ජනප්‍රියම නවකතාකරුවන් අතරින් කෙනෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල යි.

බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.

ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි.