මහා ගත්කතුවරයෙකුගේ රන්සුනු මතක සොයා කොග්ගලට

සවස් යාමයට ඇද වැටෙතැයි අනාවැකි පළ වූ නිරිත දිග මෝසම් වර්ෂාව අනපේක්ෂිත ලෙස උදෑසන ම කඩාවැටෙද්දී, අප යමින් සිටියේ අදින් වසර 133කට පෙර මෙළොව එළිය දැක, ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් ඉටු කළ මහා ගත්කරුවරයෙකුගේ ග්‍රන්ථයන් හි මතකයන් සොයමින් ය. වර්ෂාව එන්න එන්න ම ප්‍රබල වූයේ මුහුදු තීරයත් සමඟ පෙනෙනා ක්ෂිතිජයේ රිදී පැහැ ඉරි අඳිමිනි. අප මහත් කුහුලෙන් බලා සිටි ගමනාන්තය කරා යාමට නොහැකි වෙතැයි සැක සංකා මතුවෙමින් තිබුණි.
කෙසේවෙතත් අපගේ ගමනාන්තයට ආසන්න වත් ම වර්ෂාව ක්‍රමයෙන් අඩු වෙමින් පැවති නිසා, ඒ මහා ගත්කතුවරයා වන - කොග්ගල ප්‍රාඥයා ලෙස ද හඳුන්වන, මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ උපන් නිවස සහ මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය නැරඹීම සඳහා බලාපොරොත්තු වූ පරිද්දෙන්ම අපිට යාමට හැකිවිය.

ඔහුගේ උපන්ගම වන, "කොග්ගල වූ කලී එක් පැත්තකින් මුහුදින් ද අනෙක් පැත්තෙන් සුන්දර නදියකින් ද සීමා වුණු බිම්තීරයකි," යැයි මාර්ටින් වික්‍රමසිංහ මහතා ඔහු විසින් රචනා කළ 'ගම්පෙරළියේ' විස්තර කර තිබේ. සැබැවින් ම කොග්ගල මුහුදෙන් ද, කොග්ගල ඔයෙන් ද සීමා වූ මනරම් භූමි භාගයකි. වර්තමානයේ දී මේ ප්‍රදේශය සංචාරක ගමනාන්තයක් බවට ද පත් ව තිබේ.
මාර්ටින් වික්‍රමසිංහ රචනා කළ ග්‍රන්ථ කීපයකට ම පාදක වී තිබෙන්නේ කොග්ගල ග්‍රාමයයි. මඩොල් දූව, ගම්පෙරළිය, කරුවල ගෙදර, උපන්දා සිට හා අපේ ගම වැනි ග්‍රන්ථ ඒ සඳහා නිදසුන් ය. කොග්ගල ගමේ සැබෑ ස්වරූපයන් ඔහු සිය ප්‍රබන්ධයන්ට සහ ජීවිතාවර්ජන කෘතිවලට ඇතුළත් කර තිබේ. අප මේ සොයමින් යන්නේ ඔහු විසින් විස්තර කර තිබෙන කොග්ගල ග්‍රාමයේ සුන්දර ස්ථානයන් ය.

උපන් දා සිට - කම්බා අටකට පසු ඉපදුණු එක ම සරම
1890 මැයි මස 29වන දින ඔහු උපත ලැබූ නිවස සහ උපන් කාමරය අද දක්වා ම සංරක්ෂණය කර තිබෙනු දැකිය හැකි ය. "මා උපන් දිනයේ අඩවන් කරන ලද දොර ඇති කාමරයේ උන් වින්නඹුව සරම යැයි කියනු ඇසූ තාත්තාත් සහෝදරියනුත් බෙහෙවින් සන්තෝෂ වූහ යි මගේ නෑයන් කියනු මම නොයෙක්වර අසා ඇත. ඔවුන් එතරම් සතුටු වූයේ පිට පිට කම්බා අටක් බිහිකළ අම්මා වැදූ එක ම 'සරම' මා බැවිනි," යැයි උපන් දා සිට කෘතිය තුළ සිය උපත ගැන මාර්ටින් වික්‍රමසිංහ විස්තර කර තිබේ. මෙම නිවස පිටුපසින් කොග්ගල ඔය ගලා යයි.
1942 දී බ්‍රිතාන්‍ය පාලනය විසින් හමුදා කඳවුරක් ඉදිකිරීම සඳහා මුළු කොග්ගල ග්‍රාමය ම අත් පත් කරගත් බව කෞතුකාගාරයේ පරිපාලන නිලධාරියෙකු වන ගුණසේන කොකාවෙල පැහැදිලි කළේ ය. ඔහු පැවසූ ආකාරයට, කොග්ගල අනෙකුත් සියලු ගෙවල් හමුදා කඳවුර වෙනුවෙන් කඩා බිඳ දැමූව ද මෙම නිවසට කැමති වූ එක් බ්‍රිතාන්‍ය නිලධාරිනියක් එම නිවසේ නැවතී සිටීමට තීරණය කළ නිසා එයට හානියක් සිදු ව නොමැත. එම නිවස 1960 දශකයේ දී ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් වික්‍රමසිංහට නැවත පවරා දී තිබේ. නිවසින් එක් පසෙක 1976 දී මෙලොවින් සමුගත් වික්‍රමසිංහගේත්, එයින් දශක කිහිපයකට පසු මෙලොවින් සමුගත් ප්‍රේමා වික්‍රමසිංහගේත් භෂ්මාවශේෂ තැන්පත් කර ඇති 'වික්‍රමසිංහ සමාධිය' දැකිය හැකියි. වික්‍රමසිංහ නාරාහේන්පිට දී සිය ජීවිතයෙන් සමුගත්ත ද ඔහුගේ මතකයන් රැඳුණු කොග්ගල ඔහු අදටත් සුවසේ නිදයි.
කෞතුකාගාරය තුළ දකුණු පළාතට ආවේණික ජන කලා, විවිධ වෘත්තීන්ට අදාල දේ හා බොහෝ දේ ඇතුළත් ප්‍රදර්ශන භාණ්ඩ තිබේ. මාර්ටින් වික්‍රමසිංහ ජීවත් ව සිටිය දී පරිහරණය කළ බොහෝ දේ මතක සටහන් ලෙස එහි තැන්පත් කර තිබේ. නිවස පසුබිම්කරගත් මෙම කෞතුකාගාරය 1982 දී ඉදිකර තිබේ.

කෞතුකාගාරය නරඹා පැමිණෙන විට කාළගුණය යහපත් තත්වයකට එළැඹී තිබුණෙන් අප මහත් කුහුලෙන් පැමිණි ගමන යාමට ලහි ලහියේ පිටත් වීමු.


කොග්ගල ඔය මැද දූපත් අතරින් මඩොල් දූවට
වර්ෂාපතනයත් සමඟ ජල මට්ටම ද ඉහළ ගොස් තිබූ කොග්ගල ඔය හරහා අපි, වරෙක ජින්නාත්, උපාලිත් ඔරුවකින් සිය "මුරකාවල් නැති වැටකොටු බැමි නැති" නිවහනක් සොයා ගිය ගමනේ අත්දැකීම විඳගැනීමට සූදානම් වෙමින් සිටියෙමු. ඔවුන්ගේ ඒ ප්‍රබන්ධාත්මක අපූර්ව නවාතැනට කොග්ගල ඔය හරහා යා හැකි කෙටි මාර්ගයක් තිබුණ ද මෙදින අප යාත්‍රා කිරීමට තෝරාගත්තේ තරමක් දුර නමුත් පරිසරයේ සැබෑ ම අත්දැකීමක් ලබා ගත හැකි, ගම්මානය තුළින් යන මාර්ගයකි.
පෙරදින ඇදහැළුණු වර්ෂාවෙන් අප යාමට සූදානම් ව සිටි බෝට්ටුවේ වහළයට හානි වී තිබූ නිසා එය නැවත සකස් කරනතෙක් අවට පරිසරයේ සිරි නැරඹුවෙමු. කඩොලාන ශාක වලින් වට වූ අභ්‍යන්තර ඇළ මාර්ග ස්වරූපයේ දිය පහරවල්වලින් කොග්ගල ඔය සමන්විත ය. ඉදින් අපගේ යාත්‍රාව සූදානම් ව තිබුණෙන් උපාලිගේත් ජින්නාගේත් නවාතැන බලා යන ගමන අපි ඇරඹුවෙමු.

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
වෙනදාට වඩා ජල මට්ටම ඉහළ ගොස් තිබූ කොග්ගල ඔයේ ජලය එදින අඳුරු පැහැයකින් දිස්වුණි. මාටින් වික්‍රමසිංහගේ 'කරුවල ගෙදර' ග්‍රන්ථයේ කොග්ගල ඔය විස්‍තර කර ඇත්තේ "පළින් පළ පිහිටි දූපත් රාසියක් හා දියෙන් උඩට නැගී සිටින මහා ගල්කුළු ද ඇති කොග්ගල ඔය සමබිමක අතුළ මහා තුත්තනායගම් තහඩුවක් වැන්න," යනුවෙනි. කඩොලාන ශාක මැදින්, ගල්කුළු අතරින් යාත්‍රා කළ අපට ද එය සත්‍යක් බව වැටහුණි. එලෙස අහසට නැගි ගල්කුළු දෙකක් අතරින්, විසි එක් හැවිරිදි වුවත් පළපුරුදු බෝට්ටු හසුරවන්නෙකු වූ අපගේ බෝට්ටුව හැසිරවූ තරුණයා විසින්, අප ගමන් ගත් බෝට්ටුව ගෙන ගිය අතර බෝට්ටුව ගල්කුළු දෙක අතරින් ගමන් කළේ ගෑවී නොගෑවී ය.
දියකාවුන්, විවිධ පක්ෂීන් මෙන් ම කුඩා කිඹුල් පැටියෙකු ද මේ පරිසර පද්ධතිය තුළ අපට නිරීක්ෂණය කිරීමට හැකි විය. නමුත් අප ඒ දුටුවේ විශාල කිඹුල් ගහණයකින් එක් කුඩා පැටවෙකු පමණක් බව බෝට්ටුව හැසිරවූ තරුණයා පැවසුවේ ය. කොග්ගල ඔයේ, සාම්ප්‍රදායික පන්න ක්‍රමවලට ඔරුවලින් ගොස් මසුන් දඩයම් කරන ධීවරයන් ද තැනින් තැන සිටියහ. එක් ස්ථානයක ඔරු තුනකින් පැමිණි ධීවරයන් විසි දැල් දමමින් මසුන් දඩයම් කරමින් සිටිය හ.
අප යන ගමනේ දී කොග්ගල ඔයේ පිහිටා ඇති තවත් දූපත් කිහිපයක් ද පසුකර ගියෙමු.

සංචාරක මග පෙන්වන්නෙකු වූ සිය පියාගේ අඩිපාරේ යමින් විදේශීය සංචාරකයන් ව කොග්ගල ඔයේ සිරි නැරඹීමට බෝට්ටුවෙන් රැගෙන යන, විසි එක් හැවිරිදි තරුණයෙකු වූ මලිෂ ලියනගේ මෙම දූපත් සමූහය ගැන විස්තර කළේ ය. "මේ ඔයේ දූපත් හතක් විතර පිහිටලා තියෙනවා. ගං දූව, තලාතුඩුව දූපත, කුරුළු දූපත හා කත්දූව වගේ එක එක නම්වලින් මේවා හඳුන්වනවා," ඔහු පවසයි. අප ඒ වන විට සිටියේ ඉහත දූපත් පසුකරමින් ය. සුන්දර කොළ පැහැති රුක්ගොමුවලින් පිරි දූපත් පසුකරමින් අප කෙමෙන් කෙමෙන් ළඟා වෙමින් සිටියේ අප ගොඩබැසීමට බලාපොරොත්තුවෙන් සිටි දූපත වෙතයි. වර්ෂාපතනයෙන් තෙත බරිත වූ එහි හරිත පැහැ ගහකොළ පායා තිබූ ළා හිරු රශ්මියෙන් දිළිසෙමින් ඇති අයුරු දර්ශනය වීම ආරම්භ විය.
"මාර්ටින් වික්‍රමසිංහ මියගිහිල්ලත් දැන් කොච්චර කල් ද? තාම එයාගෙ පොත් කියවලා කොග්ගල බලන්න එන අය නිසා තමයි අපි කාලා ඇඳලා ඉන්නේ," තරුණයා පවසයි.

මඩොල් දූවේ විත්ති
අප දූපත වටේ වටයක් ගොස් බෝට්ටුව නවතා ගොඩබැසීමට ආරක්ෂිත තැනක් තෝරාගත්තෙමු. අප එහි යන විටත් කෙටි මාර්ගයෙන් පැමිණි දේශීය සංචාරකයන් පිරිසක් මඩොල් දූවට ගොඩ බසිමින් සිටිය හ. මඩොල් දූවේ ප්‍රමාණය සම්බන්ධයෙන් ග්‍රන්ථයේ ඇති ප්‍රබන්ධයට වඩා එහි විශාලත්වය බෙහෙවින් අඩු බව එහි ළඟා වූ අපට වැටහුණි.
එය සම්පූර්ණයෙන් ම වනරොදක ස්වරූපයක් ගත්තේ ය. එහි තිබූ වේ හුඹස් අපට සිහි කළේ, එකල මඩොල් දූවට ගැමියන් සර්පයන් හසු වූ විට ගෙනත් දමනා බවට වික්‍රමසිංහ මහතා ලියා තිබූ ආකාරයයි. දූපත පුරා කුඩා අඩිපාරවල් තිබූ අතර එය හුදෙක් ම වනරොදක් වූ බැවින් හිසෙහි අතුරිකිළි නොවැදීමට අපට ඒ මේ අතට හැරෙමින් යාමට සිදු විය. එහි පැරණි සෙක්කු ගලක් සහ ළිඳකට සමාන ඉදිකිරීමක් තිබුණ නමුත් "මඩොල් දූව" ප්‍රබන්ධයේ ඇති ආකාරයේ ගල් ගුහාවක් දක්නට ලැබුණේ නැත. මඩොල් දූවේ ඉහළ සිට කොග්ගල ඔය නරඹන විට නීල හරිත වන ලැහැබත්, ඔයේ ජලයත් ක්ෂිතිජයක් මෙන් දිස්විය. කුරුල්ලන්, රැහැයියන් කෑ ගසන හඬ අපගේ හඬ පරදා ඇසුණි.

සිරිමල් සහ කරුවල ගෙදර පාලම
මාර්ටින් වික්‍රමසිංහයන් රචනා කළ ග්‍රන්ථ කිහිපයක් ම පසු කාලීනව චිත්‍රපට හෝ ටෙලිනාට්‍ය ලෙස නිර්මාණකරණය වූ අතර මඩොල් දූවෙන් නැවත බෝට්ටුවට ගොඩ වූ අප යමින් සිටියේ එලෙස ප්‍රතිනිර්මාණය වූ කලාකෘතියක් රූ ගත කළ ස්ථානයක් නැරඹීමටයි.
අප ගිය ගමන් මඟේ ම ආපසු දුරක් පැමිණෙන විට තලාතුඩුව දූපතත්, ප්‍රධාන ගොඩබිමත් සම්බන්ද කෙරෙන සුදු පැහැ පාලමක් දිස් වෙයි. 2008 දී විකාශය වූ 'කරුවල ගෙදර' ටෙලි නාට්‍යයේ කොළඹට ගොස් නීතීඥයෙකු වන 'සිරිමල් කරුවල ගෙදර' මෙම පාලම මතින් ඇවිද යන දර්ශනයක් එම ටෙලිනාට්‍යයේ අන්තර්ගත ය. සිරිමල්ගේ චරිතය එහි නිරූපණය කරන්නේ රංගන ශිල්පී රොෂාන් පිලපිටිය විසිනි.

වර්තමානයේ දී එකල පැවති පාලම නැවත ඉදිකර ඇති බව අපගේ බෝට්ටුව මෙහෙයවන්නා පැවසුවේ ය.
කොග්ගල ඔයේ සිරි නරඹා අප නැවතත් ප්‍රධාන ගොඩබිමට ළඟා වූ අතර අපගේ මීළඟ නැවතුම වූයේ කොග්ගල දර්ශනීය වෙරළ තීරයයි.
වාරකන් මැද රිටිපන්න, කොරල් පර සොයා
සුන්දර මුහුදු වෙරළක අසිරිය විඳීමට ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් බහුල ව ම තෝරාගන්නේ දකුණු පළාතේ ඇති වෙරළ තීරයන් ය.
එයිනුත් කොග්ගල යනු සුන්දර මෙන් ම ආරක්ෂාකාරී වෙරළ තීරයකි. කෙසේ නමුත් අප එහි යනවිට වාරකන් කාලය ආරම්භ වී තිබීම නිසා, ප්‍රචණ්ඩ මුහුදු රැලි අපට හැඟවූයේ එය වෙන දා තරම් ආරක්ෂිත නොමැති බවයි.
ඈතින් පෙනෙන පොල් රුප්පාවත්, මෑතින් පෙනෙන රිටි පන්න ක්‍රමයට ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයනුත්, දැවැන්ත කොරල් පරයකිනුත් සමන්විත කොග්ගල වෙරළ තීරය මනරම් භූ දර්ශනයක් මවයි.

සාහිත්‍ය ග්‍රන්ථවලට අමතර ව ජීව විද්‍යාත්මක පොතපත ලිවීමට වික්‍රමසිංහ මහතා උනන්දු වූයේ මෙම වෙරළ තීරයේ ජෛව විවිධත්වය නිසා බව කෞතුකාගාරයේ දී අපට දැනගන්නට ලැබුණි. 'අපේ ගම' කෘතිය තුළ ද ඔහු කුඩා කල දෙමවුපියන්ට හොරෙන් කොරල්පරයේ විසිතුරු නැරඹීමට ආ වග ලියා තිබේ.
නමුත් අප එහි යනවිට මුහුදේ ජල මට්ටම ඉහළ ගොස් තිබූ නිසා කොරල් පරය අසලට යාමට නොහැකි විය.
බාදිය කාලයේ දී මුහුදු රැල්ල කොරල් පරයේ වැදී වෙරළට ඇදී එන අතර වෙරළත් පරයත් අතර කොටස නොගැඹුරු පොකුණකට සමානය. එහි විවිධ පැහැ කුඩා මසුන් පිහිනා යති.
හිරිගල නොමැති හිරිගල් දේවාලය
ගම්පෙරළියේ පළමු පරිච්ඡේදය තුළ කොග්ගල දුම්රිය මාර්ගය ආසන්නයේ පිහිටා තිබූ දැවැන්ත හිරිගලක් පිළිබඳ විස්තර කෙරෙයි. "හිරිගල් දේවාලය, දේවාලේ ගල යන නම්වලින් ගැමියන් හඳුන්වන මේ මහා ගල වූ කලී වෘක්ෂ-ලතා පවා පහළ වීමට පෙර පටන් මේ පෙදෙසෙහි වූ විපර්‍යාසයන් දකිමින් නොසෙල් වී සිටින්නකි," යනුවෙන් එම පර්වතය පිළිබඳ ගම්පෙරළියේ විස්තර කර තිබේ. වර්තමානයේ එම ස්ථානයේ පන්සලක් පිහිටා ඇති නමුත් එම පර්වතය දක්නට නොලැබෙයි.
දකුණු පළාත් සභාවේ සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් එම පන්සල් භූමියේ සවිකර තිබූ පුවරුවක දැක්වුණේ 1942 දී හමුදා කඳවුරකට කොග්ගල භූමිය අත්පත් කරගැනීමෙන් පසු එම හිරිගල කඩාබිඳ දමා ඇති වගයි. පන්සලේ ඉහළ චෛත්‍ය පිහිටා ඇති භූමිය ඉහළ සිට කොග්ගල නිරීක්ෂණයට කදිම ස්ථානයකි.

වර්ග පහක මාර්ග පහක්
ඉහළ සිට බැලූ විට පන්සලට යාබධව පිහිටා ඇත්තේ කොග්ගල ගුවන් හමුදා කඳවුරයි. කොග්ගල භූමියෙන් විශාල කොටසක් කොග්ගල ගුවන් හමුදා කඳවුරත්, කොග්ගල අපනයන සැකසුම් කලාපයත් අත්පත් කරගෙන තිබේ.
මාර්ටින් වික්‍රමසිංහ මහතා විස්තර කර තිබෙන ස්වභාව සෞන්දර්‍යට අමතර ව කොග්ගල තවත් ආකාරයකට සුවිශේෂී වෙයි. ප්‍රවාහන මාධ්‍ය පහක මාර්ග පහක් එක ම ස්ථානයකින් ගමන් කිරීම එහි ඇති විශේෂත්වයකි. එක් පසින් මුහුදු මාර්ගයත්, මහා මාර්ගයත්, දුම්රිය මාර්ගයත්, කරත්ත ගමන් කළා යැයි පැවසෙන අමතර මාර්ගයකුත් (මහා මාර්ගයත් දුම්රිය මාර්ගයත් අතර), ගුවන් හමුදා කඳවුරේ ගුවන් පථයත් එක ම දර්ශනතලයක දිස් වේ. ශ්‍රී ලංකාවේ මෙවැනි ආකාරයක මාර්ග පහක් හමුවන එක ම ස්ථානය මෙයයි.

වාරකන් කාලය එළැඹී තිබුණ ද තැනින් තැන හමු වූ විදේශීය සංචාරකයන් පිළිබිඹු කළේ කොග්ගල යනු විශාල සංචාරක ආකර්ෂණයක් දිනා ගත් සංචාරක ගමනාතයක් බවයි. ස්වභාව සෞන්දර්‍ය මෙන් ම මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ජීවන මතකයන් එහි ඇති සංචාරක ආකර්ෂණය මෙතරම් ඉහළ නංවා ඇති බව නොරහසකි.
ඔහු මියගොස් දශක පහකට ආසන්න කාලයක් ගත වී තිබුණ ද ඔහුගේ කෘතිවලින් ඉතිරි කළ රන්සුණු මතකයන් තවමත් කොග්ගල පුරා පැතිර තිබේ.
සංචාරක සටහන : අමන්දිකා කුරේ
සේයා රූ : තාරක සම්මාන්













