කොම්පඤ්ඤවීදිය හැදුණේ කොහොම ද?

ඡායාරූප මූලාශ්‍රය, Facebook|Lahiru Kannangara
"ඒ කාලෙ කොළඹ වරායෙ ඉඳලා බේරෙ වැව හරහා මේ කියන ප්‍රදේශයට බත්තලං (භාණ්ඩ ප්‍රවාහනය කරන කුඩා බෝටු වර්ගයක්)වලින් බඩු ගේනවා. පොහොර ගබඩා, විවිධ සමාගම් ඒ කාලයේ පිහිටලා තිබුණේ මේ ප්‍රදේශයේ," යනුවෙන් කොම්පඤ්ඤවීදිය යන නාමය නිර්මාණය වීමේ පසුබිම් කතාව විස්තර කරමින් ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත පවසයි. ඔහු පවසන්නේ මේ ප්‍රදේශය ආශ්‍රිත ව විවිධ සමාගම්, එසේත් නැතිනම් Company පිහිටා තිබීම එලෙස නම නිර්මාණය වීමට හේතු වූ බවයි.
"මේ කොම්පැනිවල වැඩ කළේ දකුණු ඉන්දීය දමිළ ජනතාව. ඔවුන් කොම්පැනි වීදිය කියන එක දෙමළ ඌරුවට ශබ්ධ නැගීමත් එක්ක තමයි 'කොම්පඤ්ඤවීදිය' කියන නම නිර්මාණය වෙන්නේ," දළුපොත පැහැදිලි කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Facebook|I Love Slave Island
සියවස් කිහිපයක් තිස්සේ කොම්පඤ්ඤවීදිය, Slave Island ආදී විවිධ නම්වලින් හැඳින් වූ මෙම ප්‍රදේශය භාෂා ත්‍රිත්වයෙන් ම 'කොම්පඤ්ඤවීදිය' ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූයේ පසුගිය මැයි 23 වන දා ය.
ඒ අනුව, අංක 743/5 දරණ 1992-12-01 අති විශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කර නව ගැසට් පත්‍රයක් නිකුත් කෙරෙනු ඇත.
Slave Island නාමය ලැබුණේ කොහොමද?
කොම්පඤ්ඤවීදියේ ඉතිහාසය පිළිබඳ සොයා යාමේ දී, එය මුල් කාලීන යටත්විජිතවාදීන් විසින් එනම්, ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් විසින් වහලුන් රඳවා තබා ගැනීමට මෙම ප්‍රදේශය භාවිත කර තිබේ. "මැලේ ජනතාව සහ සමාජය" ග්‍රන්ථයේ කතුවරයා වන එඩ්වඩ් චන්ද්‍රසිරි පැවසුවේ මෙම ප්‍රදේශයේ මුලින් ම රඳවා තැබුවේ මැලේ ජාතිකයන් ව බවය.
"ඕලන්ද ජාතිකයන් මැලේ අය ජීවත්වන රටවලුත් ආක්‍රමණය කළා. ඔවුන්ට විරුද්ධ ව කැරලි ගහපු අයව ඔවුන් විවිධ රටවල්වලට වහලුන් විදිහට ගෙනාවා. කොම්පඤ්ඤවීදියෙ, එහෙමත් නැතිනම් Slave Island වල මුලින් ම රඳවන්නේ ඒ විදිහට ගෙන ආපු තරමක් වංශවත් මැලේ ජාතිකයන් ව," ඔහු පවසයි. පසු කාලීන ව ඉංග්‍රීසි පාලනය යටතේ කාපිරි ලෙස හඳුන්වන නීග්‍රෝ ජාතිකයන් ව ද මෙම ප්‍රදේශය ආශ්‍රිතව රැඳවීම හේතුවෙන් මැලේ ජාතිකයන් හා කාපිරි ජනතාව අතර ගැටුමක් ද වර්ධනය වූ බව ඔහු පවසයි.
මෙලෙස වෙනත් රටවල්වලින් ගෙන ආ වහලුන් මෙම ප්‍රදේශයේ රඳවා තැබීම නිසා ලන්දේසි පාලන කාලය තුළ දී Slave Island යන නාමය භාවිත වීම ආරම්භ වූ බව එඩ්වඩ් පැවසුවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Facebook|M Kasun Prabath Ramyakumara
කොම්පඤ්ඤවීදියේ සමාගම්වල සේවය කළ අයගේ ගමන් පහසුව සඳහා ඒ හරහා දුම්රිය මාර්ගය ගමන් ගන්නා ආකාරයට සහ දුම්රිය ස්ථානයක් ද ඇති කිරීම ඉංග්‍රීසි පාලන කාලය තුළ සිදු කළ බව මහින්ද කුමාර දළුපොත පැවසුවේ ය.
අප ද කොම්පඤ්ඤවීදියේ ඉතිහාසය සෙවීමට ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේඛන අධ්‍යනයන් සිදු කළ අතර, 1900-1905 ආසන්න කාලයේ දී කොම්පඤ්ඤවීදියේ දුම්රිය ස්ථානයේ ලී පාලමක් ඉදිකිරීමට කොළඹ නගර සභාවේ නගරාධිපති විසින් යටත්විජිත ලේකම් කාර්‍යාලයට යැවූ ලිපිගොනු කිහිපයක් හමු විය.
මේ සෑම ලිපිගොනුවක ම කොම්පඤ්ඤවීදිය හඳුන්වා ඇත්තේ Slave Island නමින් ය. ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ මහජන සම්බන්ධතා නිලධාරිනිය ප්‍රකශ කළේ, අගමැතිවරයාගේ උපදෙස් පරිදි කොම්පඤ්ඤවීදියේ ඉතිහාසය සම්බන්ධයෙන් ඔවුන් මේ වනවිට පරීක්ෂණයක් සිදුකරමින් පවතින බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Facebook|I Love Slave Island

ඡායාරූප මූලාශ්‍රය, Facebook|I Love Slave Island
ක්‍රිකට්වලට ඇති සම්බන්ධය කුමක්ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ද මුල් පුරුක් බිහිවන්නේ කොම්පඤ්ඤවීදියෙන් ය. යටත්විජිත හමුදාවේ සේවය කළ කොම්පඤ්ඤවීදියේ පදිංචි ව සිටි මැලේ ජාතිකයන් විසින් ශ්‍රී ලංකාවේ පළමු ක්‍රිකට් කණ්ඩායම පිහිට වූ බවත් වර්තමානය වන විට එයට වසර 150ක් පමණ වන බවත් එඩ්වඩ් චන්ද්‍රසිරි මහතා පවසයි.
එමෙන් ම එහි පැරණිත ම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වන 'මැලේ ක්‍රීඩාංගණය' පිහිටා තිබෙන අතර, එම ක්‍රීඩාංගණයේ හිමිකාරීත්වය ඇති 'මැලේ ක්‍රීඩා සමාජය' ද ශ්‍රී ලංකාවේ පැරණිත ම ක්‍රීඩා සමාජවලින් එකකි. එය බිහිවන්නේ ද කොම්පඤ්ඤවීදිය පසුබිම් කරගෙනයි.

ඡායාරූප මූලාශ්‍රය, Facebook|I Love Slave Island
වර්තමානය වන විට කොම්පඤ්ඤවීදිය ඉතා ම ජනාකීර්ණ ප්‍රදේශයක් වන අතර, පොලිසිය, අධිකරණය, හෝටල් නව ඉදිකිරීම් කෙරෙමින් ඇති කාර්‍යබහුල ප්‍රදේශයකි.












