අලුතින් පැමිණෙන බදු කුලී නීතියට පෙර පැවති නීතිය සම්බන්ධයෙන් දේපළ හිමි ඔබ දැනගත යුතු කරුණු 5ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මේ දිනවල වැඩි වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇති පසුබිමක බොහෝ දෙනෙකු නගන ප්‍රශ්නයක් වන්නේ, එම නිතිය යටතේ පදිංචිකරුවන් ආරක්ෂා කෙරෙන්නේ නම් දේපළ හිමියන්ට ඇති නීතිමය ආරක්ෂාව කුමක් ද? යන්න ය.
මේ සඳහා දැනටමත් නීතියක් පවතින අතර, එය 2023 අංක 01 දරන 'බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත' ලෙස හැඳින්වේ.
මෙම පනත යටතේ බදු කුලී ගිවිසුමක් මගින් බද්දට දී ඇති දේපළ ආපසු ලබා ගැනීම ඇතුළු නිවෙස් සහ දේපළ හිමියන් මුහුණ දෙන ගැටලුවලට අදාළව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සඳහන් වේ.
01. දේපළ හිමි ඔබට ක්‍රියාමාර්ග ගත හැක්කේ කුමන අවස්ථාවල ද?
බදු ගිවිසුමක් යටතේ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය මේ නීතිය යටතේ ඔබට ආපසු ලබා ගත හැකි ය.
මෙම නීතිය යටතේ අධිකරණය හමුවට යන ඔබට හිඟ බදු වාරික මුදල්, සේවා ගාස්තු සහ අලාභ අය කර ගැනීම සඳහා ඉල්ලීම් කළ හැකි ය.
පනතේ දෙවන වගන්තිය අනුව,
- බදු ගිවිසුමේ කාලසීමාව කල්පිරීමේදී හෝ
- බදු ගිවිසුමේ සඳහන් කවර හෝ නියම, කොන්දේසි, ප්‍රතිඥා, බැඳීම් සහ යුතුකම් බදු ගැනුම්කරු විසින් උල්ලංඝනය කරනු ලබන අවස්ථාවක බදු ගිවිසුම අවසන් වීමට පෙර බදු ගිවිසුම අවසන් කිරීමේ නිවේදනයක් නිකුත් කර බදු ගිවිසුම අවසන් කිරීමේදී,
බද්දට දී ඇති පරිශ්‍රය ගැනුම්කරු හැරයාම ප්‍රතික්ෂේප කරන විට, පැහැර හරින විට, අතපසු කරන විට පරිශ්‍රයේ සන්තකය ආපසු ලබා ගැනීම සඳහා මෙම පනත යටතේ නඩුවක් පැවරීමට ඔබට හැකි ය.
02. නීත්‍යනුකුල බදු ගිවිසුමක් යනු කුමක් ද?
මෙම පනත යටතේ නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන ඔබත්, යෝජිත පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත යටතේ නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බදු ගැනුම්කරුවෙකු වන ඔබටත් මෙම ඕනෑ ම නීතිමය පියවරක් ගැනීමට නම් නීත්‍යනුකූල බදු ගිවිසුමක් තිබීම වැදගත් වේ.
2023 අංක 01 දරන බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනතේ බදු ගිවිසුම යන්න අර්ථ දක්වා තිබේ.
එය මුද්දර ගාස්තු යථා පරිදි ගෙවා ඇති, (70 වන අධිකාරිය වූ) වංචා වැළැක්වීමේ ආඥා පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව ලියා අත්සන් කර ඇති පරිශ්‍රයක් බදු දෙන්නෙකු සහ ගැනුම්කරුවෙකු සම්බන්ධ වන යම් ගිවිසුමක් විය යුතු ය.
එසේත් නැතිනම් 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ විධිවිධාන යටතේ යථා පරිදි අත්සන් කර ඇති බදු සාධන පත්‍රයක් මෙයින් අදහස් වේ.
03. මෙය ආදාළ වන්නේ කුමන ආකාරයේ දේපළ සඳහා ද?
බදු ලබා දෙන පරිශ්‍රයක් ලෙස හැඳින්වෙන්නේ ගොඩනැගිල්ලක්, ගොඩනැගිල්ලක කොටසක්, ගොඩනැගිල්ලක කොටසකට සම්බන්ධ භූමිය, ගොඩනැගිල්ලක් නොමැති හිස් භූමියක් හෝ තට්ටු ගොඩනැගිල්ලක කොටස් ය.
සන්තකය ලබා ගැනීම යන්නෙන් අදහස් වන්නේ, පරිශ්‍රයේ භෞතිකව පදිංචි වී සිටීමේ හෝ පරිශ්‍රයේ යතුරු රඳවා තබා ගැනීමේ හැකියාව ලබා ගැනීම ය.
04. අධිකරණයෙන් ලබා ගත හැකි සහන මොනවා ද?
අධිකරණයේ නඩුවක් ගොනු කිරීම හරහා සන්තකය ලබා ගැනීම මෙන් ම තවත් සහන ලබා ගැනීමට ද දේපළ හිමිකාරීත්වය හිමි ඔබට හැකි ය.
එම සහන පහත පරිදි වේ.
- හිඟ බදු වාරික මුදල්
- පැමිණිලිකරු වන ඔබට පරිශ්‍රයේ නිරවුල් සන්තකය ආපසු ලබා දෙන තෙක් සේවා ගාස්තු තිබේ නම් එම ගාස්තු
- බදු ගිවිසුම කල් පිරීමේ දිනයේ සිට හෝ බදු ගිවිසුම අවසන් කිරීමට බලාත්මක වන දිනයේ සිට, පැමිණිලිකරුට පරිශ්‍රයේ නිරවුල් සන්තකය ආපසු ලබා දෙන දිනය තෙක් කළ අලාභ ඇත්නම් එම අලාභ
- නීත්‍යනුකූල පොළී අනුපාතිකය අනුව හිඟ බදු වාරික මුදල්, සේවා ගාස්තු සහ ප්‍රමාණ කළ අලාභ මත පොළිය
- සුදුසු යැයි අධිකරණයට පෙනී යන වෙනත් සහන සහ අධිකරණයෙන් අවසර දිය හැකි නඩු ගාස්තු
05. යෝජිත නව නීතියෙන් දේපළ හිමියන්ට සිරගත වීමට සිදු වනවා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
යෝජිත පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත යටතේ එම දේපළේ හිමිකරුට සිරගත වන්නට සිදු වනවා ද? යන්න සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් මේ වන විට විවිධ අදහස් දක්වා ඇති ආකාරය දැකිය හැකි ය.
යෝජිත පනත් කෙටුම්පතේ දස වන වගන්තියට අනුව, අදාළ පරිශ්‍රය නැවත පෙත්සම්කරු වන පදිංචිකරුට ලබා දීමට අධිකරණය ආඥා කරන අවස්ථාවක, ආඥාවේ සඳහන් ස්ථානයේ පදිංචි සියලු තැනැත්තන් ඉවත් කර පෙත්සම්කරු එම ස්ථානයේ පිහිටුවීමට අධිකරණය විසින් පිස්කල් නිලධාරියාට නියෝග කරනු ලබයි.
එලෙස නැවත පෙත්සම්කරු එම ස්ථානයේ පිහිටුවීමේදී වගඋත්තරකරු වන ගෙහිමියා හෝ වෙනත් අයෙකු පිස්කල් නිලධාරියාට විරෝධය පාන්නේ නම් හෝ බාධා කරන්නේ නම්, එයින් දින 14ක් ඇතුළත ඒ පිළිබඳව අධිකරණයට වාර්තා කළ යුතු ය.
ඉදිරිපත් කරන පෙත්සමකදී වගඋත්තරකරු වන ගෙහිමියා හෝ වෙනත් තැනැත්තෙකු විරෝධය පෑම, බාධා කිරීම, අවහිර කිරීම හෝ පිටමං කිරීම යන ඒවා සිදු කර තිබෙන්නේ නම්, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රු. ලක්ෂ පහකට නොවැඩි දඩයක් හෝ අවුරුද්දකට නොවැඩි කාලයක් බන්ධනාගාරගත කිරීම හෝ එම දඬුවම් දෙක ම ලබා දීමට හැකි ය.
කෙසේ වෙතත්, මෙය සිදුවන්නේ නඩු විභාගයකින් අවසන් තීන්දුවක් පැමිණීමෙන් පසුව ඔබ එම තීන්දුවට පටහැනිව කටයුතු කළහොත් පමණි.
නමුත් ඔබට පදිංචිකරු ඉවත් කිරීමට අවශ්‍ය නම් මෙම දැනට පවතින 2023 අංක 01 දරන බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව පවතී.































