සජීවී., අවසරයකින් තොරව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නැව් 'ඉලක්ක කර විනාශ කරන' බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

අවසරයකින් තොරව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නැව් "ඉලක්ක කර විනාශ කරන" බවට ඉරානය අනතුරු අඟවන අතර, එම සමුද්‍ර සන්ධිය "වසා දමා ඇත" යනුවෙන් ද නිවේදනය කර තිබේ.

සාරාංශය

  • සටන් විරාම උල්ලංඝනය කිරීම් 'සාම ක්‍රියාවලියට හානි කරයි': පකිස්ථාන අගමැති
  • හෝමූස් සමුද්‍ර සන්ධිය තවදුරටත් වසා දමා ඇති බව ඉරාන මාධ්‍ය පවසයි
  • ට්‍රම්ප් අනුකම්පාව තෝරා ගත් බවට ඇමෙරිකානු ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක්
  • ලෙබනනයේ ගොඩබිම් මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු "විශාලතම ප්‍රහාර" සිදු කළ බව ඊශ්‍රායලය පවසයි.
  • එක්සත් ජනපදයේ සහ ඉරානයේ 'ප්‍රඥාව සහ අවබෝධය' පකිස්ථාන අගමැතිගේ පැසසුමට ලක් වේ
  • සටන්විරාමය හමුවේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 13.6%කින් පමණ පහත වැටී ඩොලර් 94.50ක් ලෙස සටහන් වේ
  • දෙපාර්ශවය අතර සාකච්ඡා පාකිස්ථානයේදී පැවැත්වෙන බව ඉරානය පවසයි

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල

  1. ගල්ෆ් කලාපයේ නෞකාවලට දැනුම් දීමක්: 'හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇත'

    ජෝෂුවා චීතම් විසිනි

    ගල්ෆ් කලාපයේ නෞකාවලට පහත පණිවිඩය ලැබී ඇති බව SSY නැමති නෞකා තැරැව්කාර සමාගම BBC Verify වෙත තහවුරු කර ඇත

    "සියලුම යාත්‍රා මේ කෙරෙහි අවධානය යොමු කරන්න. සියලුම යාත්‍රා මේ කෙරෙහි අවධානය යොමු කරන්න. පර්සියානු ගල්ෆ් සහ ඕමාන් මුහුදේ සියලුම යාත්‍රා මේ කෙරෙහි අවධානය යොමු කරන්න. මෙය IRGC නාවික හමුදා මූලස්ථානයයි. හෝමූස් සමුද්‍ර සන්ධිය තවදුරටත් වසා දමා ඇති අතර සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට පෙර IRGC වෙතින් අවසර ලබා ගත යුතුය. මේ හරහා යාත්‍ර කිරීමට උත්සාහ කරන ඕනෑම යාත්‍රාවක් ඉලක්ක කර විනාශ කරනු ලැබේ." යනුවෙන් අදාළ පණිවිඩය විකාශය කර තිබේ.

    SSY හි පර්යේෂණ ප්‍රධානී ක්ලෙයාර් ග්‍රියර්සන් BBC Verify වෙත පැවසුවේ ජාත්‍යන්තර සමුද්‍රීය අනතුරු ඇඟවීම් සඳහා භාවිතා කරන ගුවන් විදුලි නාලිකාවක් ඔස්සේ විකාශය කළ මෙම පණිවිඩය නෞකා කාර්ය මණ්ඩලයවලට ශ්‍රවනය වී ඇති බවට සාමාගම දැනුවත් වී ඇති බවයි.

  2. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව් යාත්‍රා කිරීම නවතා දමා ඇති බව ඉරාන මාධ්‍ය පවසයි

    හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නෞකා යාත්‍රා කිරීම නවතා දමා ඇති බව ඉරාන මාධ්‍ය පවසනවා.

    ඊශ්‍රායලය තම ගොඩබිම් මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු ලෙබනනයට "දැවැන්තම ප්‍රහාර" එල්ල කරන බැවින්, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නෞකා යාත්‍රා කිරීම නතර කර ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරනවා.

    සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව්වලට යාත්‍රා කිරීමට ඉඩ දීම ඉරානය සහ එක්සත් ජනපදය අතර සටන් විරාමයේ ප්‍රධාන කොන්දේසියක්.

    නමුත් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) අනුබද්ධ ප්‍රවෘත්ති ඒජන්සියක් වන ෆාර්ස් වාර්තා කර ඇත්තේ අද උදෑසන ඉරානයේ අවසරය ඇතිව තෙල් නෞකා දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට හැකි වූ නමුත් දැන් තෙල් නෞකා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීම නවතා දමා ඇති බවයි.

    ඉස්ලාමීය ජනරජ ප්‍රවෘත්ති ඒජන්සිය ද නෞකා ගමනාගමනය නතර කර ඇති බව වාර්තා කරන අතර, ප්‍රවෘත්ති එජන්සි දෙකම ලෙබනනයට ඊශ්‍රායලය අඛණ්ඩව එල්ල කරන ප්‍රහාර ගැන සඳහන් කර තිබෙනවා.

  3. සටන් විරාම උල්ලංඝනය කිරීම් 'සාම ක්‍රියාවලියට හානි කරයි': පකිස්ථාන අගමැති

    "ගැටුම් කලාපය පුරා ස්ථාන කිහිපයක" සටන් විරාම උල්ලංඝනයන් වාර්තා වී ඇති බව ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සාකච්ඡා සඳහා මැදිහත්ව සිටින පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පවසනවා.

    "ගැටුම් කලාපය පුරා ස්ථාන කිහිපයකින් සාම ක්‍රියාවලියට හානි කරන සටන් විරාම උල්ලංඝනයන් වාර්තා වී ඇත.” X හි සටහනක් තබමින් පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

    "ගැටුම සාමකාමීව විසඳා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ හැකි වන පරිදි, එකඟ වූ පරිදි සති දෙකක කාලයක් සටන් විරාමයට ගරු කරන ලෙසත්, සංයමයෙන් කටයුතු කරන ලෙසත් මම සියලු පාර්ශ්වයන්ගෙන් ඉතා අවංකව ඉල්ලා සිටිමි." යනුවෙන් එහි වැඩිදුරත් දැක්වෙනවා.

  4. ට්‍රම්ප් අනුකම්පාව තෝරා ගත් බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් කියයි

    පීට් හෙග්සෙත්ගේ ඡායාරූපයකි

    ඡායාරූප මූලාශ්‍රය, POOL VIA REUTERS

    "අධික පීඩනය" යටතේ ඉරානය සටන් විරාමය පිළිගත් බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා.

    ඉරානය වොෂින්ටනයේ කොන්දේසි ප්‍රතික්ෂේප කළේ නම්, "ඊළඟ ඉලක්ක වන්නේ ඔවුන්ගේ බලාගාර, පාලම් සහ තෙල් හා බලශක්ති යටිතල පහසුකම් " බව ඔහු කියා සිටියා.

    එමගින් ඉරානය නැවත ගොඩ නැගීමට දශක ගණනාවක් ගතවන්නට තිබූ බව ඔහු යෝජනා කළා, නමුත් ඉරාන පාලන තන්ත්‍රයේ නායකයා එකඟතාවක් ඇති කර ගැනීම වඩා හොඳ යැයි හඳුනාගත් බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළා.

    "ජනාධිපති ට්‍රම්ප්ට ඉරානයේ මුළු ආර්ථිකයම මිනිත්තු කිහිපයකින් අඩපණ කිරීමට බලය තිබුණා, නමුත් ඔහු අනුකම්පාව තෝරා ගත්තා," ආරක්ෂක ලේකම් තවදුරටත් කියා සිටියා.

  5. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය ආරම්භ වී ඇති බවට වාර්තා

    ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කර තැබීමෙන් පසු, යළි නෞකා ගමනා ගමනය ආරම්භ වී ඇති බවට මුලික සළකුණු දක්නට ලැබෙන බව නාවික ගමනාගමනය පිළිබඳ තොරතුරු සපයන සමාගමක් වන මැරීන් ට්‍රැෆික් (Marine Traffic) අද උදෑසන අනාවරණය කර සිටියා.

    අදාළ ආයතනය අනාවරණය කළේ, නැව් දෙකක් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කර ඇති බවයි - එක් නෞවක් ග්‍රීසියට අයත් වන අතර අනෙක ලයිබීරියාවේ ලියාපදිංචි කර තිබෙනවා.

    බීබීසී මෙම වාර්තා සත්‍යාපනය කර නැහැ.

    මෙම සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීම පසුගිය සති කිහිපය තුළ මතභේදයට තුඩු දී ඇති අතර, මෙම නෞකා ගමනා ගමන මාර්ගය පිළිබඳ දීර්ඝ කාලීන සැලැස්ම අපැහැදිලිය.

    දැනට ප්‍රකාශයට පත් කරන ලද තාවකාලික සටන් විරාමය යටතේ ඉරානය මෙම සමුද්‍ර සන්ධිය නැවත විවෘත කළ යුතු වනවා.

    පකිස්ථානය, ඉන්දියාව සහ පිලිපීනය ඇතුළුව ගෝලීය නැව් මාර්ගය භාවිතා කිරීම සඳහා සමහර රටවල් මීට පෙර ඉරානය සමඟ ගිවිසුම්වලට එළඹ තිබුණි.

    සමුද්‍ර සන්ධියට ආසන්න ස්ථානවල පමණක් නොව ගල්ෆ් කලාපයේ සෙසු ප්‍රදේශවලදී ද අනෙක් රටවල නෞකා ප්‍රහාරවලට ලක් විය.

  6. ඉරානයට අවි සපයන රටවලට තීරුබදුවලට මුහුණ දෙනවා - ට්‍රම්ප්

    ඉරානයට අවි සපයන රටවලට තීරුබදුවලට මුහුණ දීමට සිදුවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

    ටෲත් සෝෂල් වෙත සටහනක් තබමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

    "ඉරානයට හමුදා අවි ආයුධ සපයන රටක්, ඇමෙරිකා එක්සත් ජනපදයට විකුණන ඕනෑම සහ සියලුම භාණ්ඩ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි 50% ක තීරු බදු අය කෙරේ. කිසිදු බැහැර කිරීමක් හෝ නිදහස් කිරීමක් නොමැත!" ට්‍රම්ප් අවධාරණය කළේය.

  7. ඇමෙරිකාව සහ ඉරානය අතර සටන්විරාමය ඇති කිරීමට මැදිහත්වූ 'පකිස්ථානයේ බලවත් ම පුද්ගලයා' ලෙස සැලකෙන ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් යනු කවුද?

    මුනීර්

    ඡායාරූප මූලාශ්‍රය, YouTube/@ISPR

    පකිස්ථානයේ මැදිහත්වීම යටතේ ඇමෙරිකාව සහ ඉරානය අතර සති දෙකක සටන් විරාමය තහවුරු කිරීමත් සමග පකිස්ථාන අග්‍රාමාත්‍යවරයගේ සහ පකිස්ථාන සන්නද්ධ හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් ​​මුනීර්ගේ කාර්යභාරය ගැන කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

    ජනාධිපති ට්‍රම්ප් විසින් පකිස්ථාන සන්නද්ධ හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් ​​මුනීර් ඔහුගේ "ප්‍රියතම" ෆීල්ඩ් මාර්ෂල් ලෙස හැඳින්වූ අතර "බොහෝ දෙනෙකුට වඩා හොඳින්" ඔහු ඉරානය ගැන දන්නා බව සඳහන් කළා.

    ඉරානය සහ ඇමෙරිකාව අතර එකඟතාවක් ඇති කර ගැනීම ස්ථිරව ම දූරස්ථ දෙයක් ලෙස පැවතිණි.

    ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමට සහ ඉරානය සෞදි අරාබියට පහර දීමට පෙර අඟහරුවාදා රාත්‍රියේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් මෙසේ කියා සිටියේ ; "ඊයේ වන තුරු දේවල් ධනාත්මක දිශාවකට ගමන් කරන බවට අපි ඉතා ශුභවාදීව සිටියා," පකිස්ථානය "තවමත් හැකිතාක් දේවල් කළමනාකරණය කිරීමට උත්සහ කරමින් ඉන්නවා." යනුවෙනි.

    ෆීල්ඩ් මාෂල් මුනීර් ඊටත් වඩා ප්‍රසිද්ධියේ විවේචනාත්මක අදහස් පළ කළේය. අඟහරුවාදා හමුදා නිලධාරීන් අමතමින් ඔහු පැවසුවේ සෞදි අරාබියට එල්ල වූ ප්‍රහාරය "සාමකාමී මාර්ගවලින් ගැටුම විසඳීමේ අවංක උත්සහයන් නරක අතට පත් කරන," බවයි.

    ගැටුම ආරම්භ වූ දා සිට පකිස්ථානය ඉරානයට එරෙහිව භාවිත කළ ප්‍රබල ම භාෂා ස්වරූපය මෙයයි.

    මෙය ඉරානය මත පීඩනය වැඩි කළ හැකි බව ඇතැම් විශ්ලේෂකයින් යෝජනා කළා.

  8. හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත්වීමට කාලයක් ගතවනු ඇත - විශ්ලේෂකයෙක්

    නාවික

    ඡායාරූප මූලාශ්‍රය, Reuters

    ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ රාත්‍රියේ ප්‍රකාශයට පත් කරන ලද සති දෙකක සටන් විරාමයට අනුව ඉරානයට හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට සිදුවනවා.

    නමුත් ඩෙන්මාර්ක සැපයුම් දැවැන්තයෙකු වන Maersk හි කලින් සේවය කළ නාවික විශ්ලේෂක ලාර්ස් ජෙන්සන්, බීබීසී රේඩියෝ 4 හි ටුඩේ වැඩසටහනට එක්වෙමින් කියා සිටියේ සමුද්‍ර සන්ධියේ "තවමත් කිසිවක් සැබවින්ම වෙනස් වී නැති" බවයි - විශ්වාසය ගොඩනැගීමට "කාලය ගතවනු ඇත" යනුවෙන් ඔහු කියා සිටියා.

    ඉදිරි දින කිහිපය තුළ ගල්ෆ් කලාපයෙන් පිටවන බොහෝ යාත්‍රා දැකීමට තමන් අපේක්ෂා කරන නමුත් සටන් විරාමය බිඳ වැටුණහොත් නැව් කොටු වීමේ හැකියාව නිසා නෞකා සීමිත ප්‍රමාණයක් පමණක් සමුද්‍ර සන්ධියට ඇතුළු වනු ඇතැයි, ඔහු සඳහන් කළා.

  9. බහරේනයට එල්ල වූ ඉරාන ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල

    ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු බහරේනයේ පුද්ගලයින් දෙදෙනෙකුට "සුළු තුවාල" සිදුවී ඇති බව බහරේන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසනවා.

    ඩ්‍රෝන යානයෙන් පතිත වූ කැබලි හේතුවෙන් සිට්‍රා ප්‍රදේශයේ "නිවාස ගණනාවකට" හානි සිදුව ඇති බව බහරේන් බලධාරීන් සඳහන් කළා.

    ඇමෙරිකා එක්සත් ජනපදය හා ඉරානය අතර සති දෙකක සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමට පෙර මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර තිබේද යන්න පිළිබඳ බහරේන් රජය තහවුරු කර නැහැ.

  10. ඇමෙරිකාව සහ ඉරානය අතර බිඳෙනසුලු සටන් විරාමය තහවුරු කර ගැනීමට පකිස්ථානය උදව් කළ අයුරු

    පකිස්ථාන අගමැති

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සති දෙකක සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමට පැය කිහිපයකට පෙර, පකිස්ථානයෙන් බලාපොරොත්තුවේ කුඩා සලකුණු කිහිපයක් දක්නට ලැබුණා.

    නිර්නාමිකව අදහස් දක්වමින් පකිස්ථාන මූලාශ්‍රයක් බීබීසීයට පැවසුවේ, සාකච්ඡා "කඩිනමින්" සිදු වූ බවත්, ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර අතරමැදියෙකු ලෙස පකිස්ථානය ක්‍රියා කළ වූ බවත් ය.

    පකිස්ථාන පාර්ශවයෙන් සාකච්ඡා මෙහෙයවූවන් "ඉතා කුඩා කවයකින්" සමන්විත වූ අතර මනෝභාවය "අඳුරු සහ බැරෑරුම් නමුත් තවමත් සතුරුකම් නැවැත්වීමේ ප්‍රතිඵලයක් වනු ඇතැයි බලාපොරොත්තු වුණා. ඉතිරි වෙලා තිබ්බේ පැය කිහිපයක් විතරයි," යනුවෙන් මූලාශ්‍රය පැවසීය. නමුත් තමන් එම කුඩා කවයේ කොටසක් නොවූ බව එම මූලාශ්‍රය පැවසුවා.

    පසුගිය සති කිහිපය තුළ පකිස්ථානය, දෙපාර්ශවය අතර පණිවිඩ හුවමාරු කරමින් ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර අතරමැදියෙකු ලෙස කටයුතු කළා.

    පකිස්ථානයට ඉරානය සමග ඓතිහාසික සම්බන්ධතාවක් ඇති අතර, දෙරට ම බෙදාගනු ලබන දේශසීමාවක් ඇති අතර, පකිස්ථානය නිතිපතා ඉරානය සමග ඇති තම "සහෝදර" සම්බන්ධතාව ගැන සඳහන් කරනවා.

    ඇමෙරිකානු සම්බන්ධතාව සම්බන්ධයෙන් ගත් කළ, ජනාධිපති ට්‍රම්ප් පකිස්ථාන සන්නද්ධ හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් ​​මුනීර් ඔහුගේ "ප්‍රියතම" ෆීල්ඩ් මාර්ෂල් ලෙස හැඳින්වූ අතර "බොහෝ දෙනෙකුට වඩා හොඳින්" ඔහු ඉරානය ගැන දන්නා බව සඳහන් කළා.

    එකඟතාවක් ඇති කර ගැනීම ස්ථිරව ම දූරස්ථ දෙයක් ලෙස පැවතුණා. සඳුදා ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමට සහ ඉරානය සෞදි අරාබියට පහර දීමට පෙර අඟහරුවාදා රාත්‍රියේ පාර්ලිමේන්තුවේදී කතා කරමින් පකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් මෙසේ කියා සිටියා; "ඊයේ වන තුරු දේවල් ධනාත්මක දිශාවකට ගමන් කරන බවට අපි ඉතා ශුභවාදීව සිටියා," පකිස්ථානය "තවමත් හැකිතාක් දේවල් කළමනාකරණය කිරීමට උත්සහ කරමින් ඉන්නවා."

    ෆීල්ඩ් මාෂල් මුනීර් ඊටත් වඩා ප්‍රසිද්ධියේ විවේචනාත්මක අදහස් පළ කළා. අඟහරුවාදා හමුදා නිලධාරීන් අමතමින් ඔහු පැවසුවේ සෞදි අරාබියට එල්ල වූ ප්‍රහාරය "සාමකාමී මාර්ගවලින් ගැටුම විසඳීමේ අවංක උත්සහයන් නරක අතට පත් කරන," බවයි.

    ගැටුම ආරම්භ වූ දා සිට පකිස්ථානය ඉරානයට එරෙහිව භාවිත කළ ප්‍රබල ම භාෂා ස්වරූපය මෙයයි.

    සමහර විශ්ලේෂකයින් යෝජනා කළේ, මෙය ඉරානය මත පීඩනය වැඩි කළ හැකි බවයි. පකිස්ථානය සෞදි අරාබිය සමග ආරක්ෂක ගිවිසුමක් ඇති කර ගෙන ඇති අතර, සෞදි අරාබියට නැවත නැවතත් ප්‍රහාර එල්ල කළ ද, එය දැනට ක්‍රියාත්මක කර නැහැ.

    මධ්‍යම රාත්‍රියෙන් පසු, පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා Xහි පළ කළේ, "රාජ්‍ය තාන්ත්‍රික උත්සහයන්... නුදුරු අනාගතයේදී සැලකිය යුතු ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව ඇති ස්ථාවරව, ශක්තිමත්ව සහ බලගතු ලෙස ඉදිරියට යමින් පවතින" බවයි, ඔහු ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේ සති දෙකකට ප්‍රකාශිත අවසන් කාලසීමාව දීර්ඝ කරන ලෙසත්, එම කාලය සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන ලෙසත් ය.

    පකිස්ථානයේ ඉරාන තානාපති රේසා අමිරි මොගදම්, දේශීය වේලාවෙන් අලුයම 03:00ට පමණ Xහි පළ කළේ "තීරණාත්මක, සංවේදී අවධියකින් පියවරක් ඉදිරියට ගොස් ඇති" බවයි.

    සටන් විරාමයකට දෙපාර්ශවය එකඟ වූ බව උදෑසන 05:00ට පෙර පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළ අතර, "තීරණාත්මක ගිවිසුමක් සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට" අප්‍රේල් 10 වන දා සිකුරාදා ඉස්ලාමාබාද්හිදී හමුවීමට දෙපාර්ශ්වයට ම ආරාධනා කළා.

    "අපි තවමත් ඉතා සුපරීක්ෂාකාරීව ඉන්නවා," පකිස්ථාන මූලාශ්‍රය බීබීසීයට පැවසුවේ, තත්ත්වයට "අඛණ්ඩ බිඳෙනසුලු බවක්" ඇති බවයි. ඔවුන් තවමත් එකිනෙකා විශ්වාස නොකරන අතර ඔවුන්ගේ ස්ථාවරය වෙනස් නොකරනු ඇත.

  11. සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඉරාන වැසියෝ ටෙහෙරානයට රැස්වෙති

    ඉරාන විරෝධතා

    ඡායාරූප මූලාශ්‍රය, Reuters

    සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඉරාන ජනතාව ඉරානයේ අගනුවරට රැස්වූයේ ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනිගේ ධජ සහ ඡායාරූප රැගෙනය.

    සටන් විරාමයට ඉරානයේ මිශ්‍ර ප්‍රතිචාරයක් ලැබී ඇති බව බීබීසී පර්සියානු වොෂින්ටන් වාර්තාකරු කෂයාර් ජොනෙයිඩි සඳහන් කළා.

    "බලාගාරවලට පහර නොදෙන බව දැනගත් විට දැන් ඔවුන්ට සහනයක් දැනේ නමුත් පාලන තන්ත්‍රයට විරුද්ධ අයට නැවත ඔවුන්ට මුහුණ දීමට සිදු වන නිසා වඩාත් කෝපයට පත්ව සිටිනවා."

    වීඩියෝ ශීර්ෂ වැකිය, සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ටෙහෙරානයට රැස් වූ ඉරාන වැසියන්ගේ ප්‍රතිචාරය
  12. ඉරාන යුද්ධයේදී හෝමූස් සමුද්‍ර සන්ධිය මෙතරම් වැදගත් වන්නේ ඇයි?

    හෝමූස්

    හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා "ආරක්ෂිත ගමන් මාර්ගයක්" සහතික කෙරේ යන කොන්දේසිය මත ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.

    පෙබරවාරි 28 වන දින එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට පහර දුන් දා සිට, ටෙහෙරානය ලොව කාර්යබහුලම ඉන්ධන නැව්ගත කිරීමේ හෝමුස් සමුද්‍රසන්ධිය අවහිර කර තිබුණි.

    ලෝකයේ තෙල් සහ ද්‍රව ස්වාභාවික වායු (LNG) නිෂ්පාදන වලින් 20% ක් පමණ සාමාන්‍යයෙන් මෙම සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කරන අතර එදිරිවාදිකම් හේතුවෙන් ගෝලීය ඉන්ධන මිල ඉහළ ගියා.

    සටන් විරාමය නිවේදනය කිරීමෙන් ටික වේලාවකට පසු තෙල් මිල 15% කින් පමණ පහත වැටී තිබෙනවා.

  13. ට්‍රම්ප්ගේ සටන් විරාම නිවේදනයෙන් පසු තෙල් මිල පහත වැටේ

    ජනාධිපති ට්‍රම්ප්ගේ සටන් විරාම නිවේදනයෙන් පසු තෙල් මිල තියුණු ලෙස පහත වැටී තිබෙනවා.

    ඒ අනුව, දැන් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100ට වඩා අඩු මිලකට අලෙවි වනවා.

    හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් "ස්ථිර සහතිකයක්" ලැබෙන තුරු වෙළෙඳුන් මේ මොහොත දෙස "දැඩි අවධානයකින් යුක්තව" බලා සිටි බව පර්යේෂණ ආයතනයක් වන රයිස්ටැඩ් එනර්ජිහි යෙ ලින් බීබීසීයට පැවසුවා.

    ගල්ෆ් නැව්ගත කිරීමේ අවදානම් හේතුවෙන් මෑත කාලීන තෙල් මිල ඉහළ යාමෙන් වැඩි කොටසක් නිවේදනයෙන් පසු "ක්ෂණිකව පාහේ බිඳ වැටුණු" බව ඇය ප්‍රකාශ කළා.

    ගල්ෆ් කලාපයේ නැව්ගත කිරීම්වලට ඇති විය හැකි බාධා පිළිබඳ කණස්සල්ල නිසා ඇති වූ තෙල් මිලෙහි මෑත කාලීන වැඩිවීම, නිවේදනයෙන් පසු ඉතා තියුණු ලෙස හා ඉක්මනින් පහත වැටුණු බව ඇය සඳහන් කළා.

    "පළමු නව ආරක්ෂිතව සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර තිබේ ද යන්න පිළිබඳව ඉදිරි පැය 48 තුළ පළවන සෑම සිරස්තලයක් ම මිල ගණන් වෙනස් කරනු ඇත," යේ තවදුරටත් පැවසුවා.

    නමුත් රියැදුරන්ට එම සහනය දැනීමට කාලයක් ගතවනු ඇත. සෑම රටක් ම දිනපතා පෙට්‍රල් මිල සංශෝධනය නොකරන බව යේ සඳහන් කළ අතර, එබැවින් තෙල් මිල කෙතරම් ඉක්මනින් පහත වැටේ ද යන්න බොහෝ දුරට රඳා පවතින්නේ නැව්ගත කිරීම නැවත ආරම්භ වී ගල්ෆ් තෙල් සැපයුම කොපමණ ප්‍රමාණයකින් සිදුවේ ද යන්න මත බව ඇය පැවසුවා.

  14. සටන් විරාමය ගැන ඊශ්‍රායලයෙන් ප්‍රකාශයක්

    ඩැනියෙල් ඩි සිමෝන්

    ජෙරුසලමේ සිට වාර්තා කරයි

    ඉරානය සමග සටන් විරාමය පිළිබඳව ඊශ්‍රායලය නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

    එම සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වෙනවා:

    ඉරානය වහා ම හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කර ඇමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ කලාපයේ රටවලට එල්ල කරන සියලු ම ප්‍රහාර නතර කිරීමට යටත්ව, ඉරානයට එරෙහි ප්‍රහාර සති දෙකකට අත්හිටුවීමට ජනාධිපති ට්‍රම්ප් ගත් තීරණයට ඊශ්‍රායලය සහය දක්වනවා.

    එමෙන් ම ඉරානය තවදුරටත් ඇමෙරිකාවට, ඊශ්‍රායලයට, ඉරානයේ අරාබි අසල්වැසියන්ට සහ ලෝකයට න්‍යෂ්ටික, මිසයිල සහ ත්‍රස්ත තර්ජනයක් නොවන බව සහතික කිරීම සඳහා එක්සත් ජනපදය දරන උත්සහයට ඊශ්‍රායලය ද සහය දක්වනවා.

    ඉදිරි සාකච්ඡාවලදී ඇමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඊශ්‍රායලයේ කලාපීය මිත්‍ර රටවල් විසින් මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමට කැපවී සිටින බව එක්සත් ජනපදය ඊශ්‍රායලයට පවසා තිබෙනවා.

    මෙම සති දෙකක සටන් විරාමයට ලෙබනනය ඇතුළත් වෙන්නේ නැහැ.

    මීට පෙර, පකිස්ථානය සහ ඉරානය පැවසුවේ සටන් විරාමයට ලෙබනනය ඇතුළත් වූ බවයි.

  15. ධවල මන්දිරය ජයග්‍රහණය ප්‍රකාශ කරයි

    ධවල මන්ධිර ප්‍රකාශිකාව

    ඡායාරූප මූලාශ්‍රය, EPA

    ඉරානය සමග සටන් විරාම නිවේදනයෙන් පසුව ධවල මන්දිරය ජයග්‍රහණය ප්‍රකාශ කර තිබුණා.

    "ජනාධිපති ට්‍රම්ප් සහ අපගේ ඇදහිය නොහැකි හමුදාවේ ක්‍රියාමාර්ග තුළින් එක්සත් ජනපදය මෙම ජයග්‍රහණය" අත්කර ගත් බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් සමාජ මාධ්‍ය සටහනක සඳහන් කරමින් "හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කළ" බව ප්‍රකාශ කළා.

  16. සටන් විරාමය නොතකා ප්‍රහාර අඛණ්ඩව

    සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රටවල් කිහිපයකින් ම ප්‍රහාර වාර්තා වී තිබෙනවා.

    ඉරානයේ:

    ඊශ්‍රායල නිලධාරියෙකු උපුටා දක්වමින් බදාදා උදෑසන වන විටත් ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කරමින් සිටින බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරනවා.

    ඊශ්‍රායලය ද සටන් විරාම ගිවිසුමට එකඟ වූ බවට ධවල මන්දිරය විසින් AFP වෙත තහවුරු කිරීමක් සිදු කර තිබියදී මෙම ප්‍රහාර එල්ල කර තිබෙනවා.

    ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය විසින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමයට ඊශ්‍රායලයෙන් තවමත් නිල ප්‍රතිචාරයක් ලැබී නැහැ.

    ඊශ්‍රායලයේ:

    ජෙරුසලමේ ප්‍රහාර වාර්තා වී ඇති අතර, එහි සිටින බීබීසී මාධ්‍යවේදීන් පැවසුවේ ඔවුන්ට පිපිරීම් කිහිපයක ම හඬ ඇසුණුයි. ප්‍රදේශවාසීන්පට අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.

    බහරේනයේ:

    "සයිරන් නාද කර ඇති" බව පවසන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය, ප්‍රදේශවාසීන්ට ආරක්ෂක ස්ථාන වෙත යන ලෙස දන්වා තිබෙනවා.

    කටාරයේ:

    කටාර් ආරක්ෂක අමාත්‍යංශය සමාජ මාධ්‍ය සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ රට දෙසට යොමු වූ මිසයිල ගුවනේදී ම විනාශ කළ බවයි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ:

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම රට "දැනට ඉරානයෙන් මිසයිල ප්‍රහාර සහ ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින" බවයි.

    සෞදි අරාබියේ:

    සෞදි සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂක කාර්යාලය සහ රියාද්හි බීබීසී මාධ්‍යවේදියෙකු විසින් සමාජ මාධ්‍ය පළ කරන ලද සටහන්වලට අනුව, පසුගිය පැය කිහිපය තුළ සෞදි සිවිල් ආරක්ෂක නිලධාරීන් අවම වශයෙන් අනතුරු ඇඟවීම් දෙකක් නිකුත් කර ඇති අතර, පළමු අනතුරු ඇඟවීමේදී ම පැහැදිලි සංඥාවක් ලබා දී තිබෙනවා.

  17. සටන් විරාමය ගැන පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් තැබූ X සටහන

    Shehbaz Sharif X message

    ඡායාරූප මූලාශ්‍රය, X / Screen-grab

  18. සාකච්ඡා පාකිස්තානයේදී පැවැත්වෙන බව ඉරානය කියයි

    ගොන්චේ හබිබියාසාඩ්

    ජ්‍යෙෂ්ඨ වාර්තාකරු, බීබීසී පර්සියානු

    ප්‍රකාශයට පත් කරන ලද කොන්දේසි සහිත සටන් විරාමයෙන් පසුව, ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය (SNSC) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, සවිස්තර සාකච්ඡා තුළින් එකඟතා "අවසන්" කිරීම සඳහා උපරිම දින 15ක් ඇතුළත පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරදී සාකච්ඡා පවත්වන බවයි.

    "ඉරානයේ ජයග්‍රහණය දේශපාලන සාකච්ඡාවලදී ද තහවුරු වනු ඇත" යනුවෙන් ඔවුන් නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් වේ.

    මෙම ප්‍රකාශය රාජ්‍ය රූපවාහිනිය විසින් ප්‍රකාශයට පත් කරන ලද කරුණු 10කින් යුත් සැලැස්ම ඉක්මවා ගොස් ඇති, අතර එම ප්‍රකාශයේ සඳහන් වන්නේ එක්සත් ජනපදය පහත සඳහන් කරුණුවලට ද එකඟ වී ඇති බවයි:

    • ඉරානයට එරෙහි "ආක්‍රමණශීලීත්වය" නැවත සිදු නොවන බවට සහතික වීම
    • හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ඉරානයේ පාලනය දිගටම පවත්වාගෙන යාම
    • [යුරේනියම්] බලගැන්වීමේ අයිතිය පිළිගැනීම
    • සියලු ම ප්‍රාථමික සහ ද්විතීයික සම්බාධක ඉවත් කිරීම
    • [එක්සත් ජාතීන්ගේ] ආරක්ෂක මණ්ඩලයේ සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ සියලු ම යෝජනා අවසන් කිරීම.
    • ඉරානයට වන්දි ගෙවීම
    • කලාපයෙන් ඇමෙරිකානු සංග්‍රාමික හමුදා ඉවත් කර ගැනීම
    • ලෙබනනයට එරෙහිව ඇතුළුව සියලු ම පෙරමුණු වල යුද්ධය නැවැත්වීම
  19. ඉරානයට අනුව කොන්දේසි සහිත සටන් විරාමය සඳහා වන කරුණු 10කින් යුත් සැලැස්ම

    1. ඉරාකය, ලෙබනනය සහ යේමනයට එරෙහි යුද්ධය සම්පූර්ණයෙන් ම නැවැත්වීම

    2. කාල සීමාවකින් තොරව ඉරානයට එරෙහි යුද්ධය සම්පූර්ණයෙන් හා ස්ථිරව ම නැවැත්වීම

    3. කලාපයේ සියලු ගැටුම් සම්පූර්ණයෙන් ම අවසන් කිරීම

    4. හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම

    5. හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතුවල නිදහස සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ප්‍රොටෝකෝලයක් සහ කොන්දේසි ස්ථාපනය කිරීම

    6. ඉරානයේ ප්‍රතිසංස්කරණ වියදම් සඳහා සම්පූර්ණ වන්දි ගෙවීම

    7. ඉරානයට එරෙහි සම්බාධක ඉවත් කිරීමට පූර්ණ කැපවීමක් 8. එක්සත් ජනපදය සතුව ඇති ඉරාන අරමුදල් සහ තහනම් කළ වත්කම් නිදහස් කිරීම

    9. න්‍යෂ්ටික අවි කිසිවක් ළඟ තබා නොගැනීමට ඉරානය සම්පූර්ණයෙන් ම කැපවී සිටී

    10. ඉහත කොන්දේසි අනුමත වූ වහා ම සියලු ම පෙරමුණු සඳහා ක්ෂණික සටන් විරාමය ක්‍රියාත්මක වේ

  20. සටන් විරාමය ගැන ජනපති ට්‍රම්ප්ගෙන් නිවේදනයක්

    පාකිස්ථාන නායකත්වය සමග සාකච්ඡා කිරීමෙන් පසු, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනයට ඉඩ දීමට ඉරානය එකඟ වුවහොත්, එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාමයක් ඇති වන බව ඇමෙරිකානු ජානාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

    "ඉරානයට බෝම්බ හෙළීම සහ ප්‍රහාර එල්ල කිරීම සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට මම එකඟ වෙමි," ඔහු කියා සිටියා.

    "මෙය ද්වී පාර්ශවීය සටන් විරාමයක් (CEASEFIRE) වනු ඇත!"

    ට්‍රම්ප් තවදුරටත් පවසන්නේ, "හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණ, ක්ෂණික සහ ආරක්ෂිතව විවෘත කිරීමට ඉරාන ඉස්ලාමීය ජනරජය එකඟ වුවහොත්" සති දෙකක සටන් විරාමයට එකඟ වන බවයි.

    ප්‍රහාර නතර කළහොත් සටන් විරාමයකට එළඹීමට සහ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානය ද නිල වශයෙන් එකඟ වී තිබෙනවා.