අලුතෙන් රියැදුරු බලපත්‍රයක් ලබාගන්නේ මෙන්න මෙහෙමයි

A man holding Sri Lanka's Driving Licence
    • Author, තාරක සම්මාන්
    • Role, බීබීසී සිංහල

රියැදුරු බලපත්‍රය යනු, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) විසින් නිකුත් කරනු ලබන නිල ලේඛනයක් වන අතර එය පුද්ගලයින්ට ශ්‍රී ලංකාවේ මහා මාර්ගවල මෝටර් රථ පැදවීමට අවසර ලබා දෙයි.

එමෙන් ම එය දරන්නා මෝටර් රථයක් පැදවීම සඳහා අවශ්‍ය පරීක්ෂණ සමත් වී, නීතිමය අවශ්‍යතා සපුරා ඇති බවට ද සාක්ෂි දරයි.

එපමණක් නොව, ශ්‍රී ලාංකික පුරවැසියෙකුට තම අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ද එය ඉදිරිපත් කළ හැකි ය.

මේ ලිපිය හරහා ශ්‍රී ලංකාව තුළ මේ වන විට පවතින නීතිමය විධි විධාන අනුව රියැදුරු බලපත්‍රයක් ලබා ගන්නා ආකාරය පිළිබඳව පියවරෙන් පියවර විමසා බැලෙයි.

අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය ද?

රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවුණ ද සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් එකකින් ලිවීමේ සහ කියවීමේ හැකියාව තිබිය යුතු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසීය.

කෙසේ වෙතත්, එම හැකියාව නොමැති අයෙකුට ද මේ සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව පවතී.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එවැනි පුද්ගලයින් ග්‍රාම සේවක මගින් තහවුරු කර ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහතිකය ඇතිව තමන්ට ඇති ගැටලුව පිළිබඳව ලියවිල්ලක් ඉදිරිපත් කිරීමෙන් ඔවුන්ට ලිඛිත පරීක්ෂණය සඳහා වාචිකව පිළිතුරු ලබා දීමට ඉඩ ලබා දෙන බව ය.

වයස, උස සහ බර

සැහැල්ලු පන්තියේ වාහන සඳහා රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමට වයස අවුරුදු 17 සම්පූර්ණ විය යුතු ය. ඒ අනුව, වයස අවුරුදු 17දී ඒ සඳහා ඉල්ලුම් පත්‍රය යොමු කර, ලිඛිත විභාගයට පෙනී සිටිය හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසීය.

කෙසේ වෙතත්, ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටීම සඳහා වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබිය යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

බර වාහන පන්තිය සඳහා ඉල්ලුම් කිරීමට අයැදුම්කරුගේ වයස අවුරුදු 20ක් විය යුතු අතර ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටීම සඳහා වයස අවුරුදු 21 සම්පූර්ණ විය යුතු ය.

රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා උපරිම වයසක් නොමැත.

මේ අතර, එක් එක් වාහන පන්ති අනුව අවශ්‍ය උස සහ බර ප්‍රමාණ වෙන් වෙන් වශයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් දක්වනු ලැබ තිබේ. ඒවා පහත පරිදි වේ.

  • D: උස - අඩි 5 / බර - 46KG
  • D1, C: උස - අඩි 4යි අඟල් 11 / බර - 46KG
  • C1: උස - අඩි 4යි අඟල් 10යි / බර 46KG
  • B, B1, A, G: උස - අඩි 4යි අඟල් 8යි / බර 38KG
  • A1: උස - අඩි 4යි අඟල් 8යි - අඩි 4යි අඟල් 6යි / බර 35KG - 38KG

වාහන පන්ති ගැන දැන ගනිමු

2009 අංක 08 දරණ සංශෝධිත මෝටර් රථ ප්‍රවාහන පනතේ 122 වගන්තිය අනුව, මෝටර් වාහන සැහැල්ලු සහ බර වාහන ලෙස ප්‍රධාන පන්ති දෙකකට බෙදා වෙන් කළ හැක.

සැහැල්ලු වාහන පන්තිය සඳහා කාර්, වෑන්, ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් වැනි වාහන අයත් වේ. බර වාහන පන්තිය සඳහා මෝටර් කෝච්, මෝටර් බස් සහ මෝටර් ලොරි ආදී වාහන අයත් වේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඒවා A1, A, B1, B, C1, C, CE, D1, D, DE, G1, G සහ J ලෙස පන්ති වශයෙන් බෙදා වෙන් කර ඇති අතර ඔබට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ පිළිබඳව සවිස්තර තොරතුරු ලබා ගත හැක.

රියැදුරු බලපත්‍රයේ පිටුපස ද ඔබට පැදවීම සඳහා අවසර ලැබෙන මෙම වාහන පන්ති වෙන් වෙන් වශයෙන් සඳහන් කර ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකි ය.

අපි දැන් මුල් වරට රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව සොයා බලමු.

රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය මොකක් ද?

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් රියැදුරු බලපත්‍රය සඳහා නව ආකෘතියක් හඳුන්වා දෙනු ලැබ තිබේ. ඒ අනුව, දැන් නිකුත් කරනු ලබන්නේ ස්මාට් කාඩ් රියැදුරු බලපත්‍රයකි.

එය ලබා ගැනීම සඳහා ක්‍රමවේද දෙකක් පවතී.

1. පළමු ක්‍රමය මාර්ගගත (online) ක්‍රමය වන අතර කොළඹ වේරහැර ඇති රියැදුරු බලපත්‍ර නිකුත් කරන ප්‍රධාන කාර්යාලයේදී හා කුරුණෑගල, කළුතර, හම්බන්තොට, ගම්පහ (මීගමුව උපකාර්යාලයක් පිහිටා ඇත) අනුරාධපුරය, යාපනය, මොණරාගල, මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක කාර්යාල 10කදී මෙම ක්‍රමය මගින් බලපත්‍රය සඳහා ඉල්ලුම් කළ හැකි වේ.

2. අනෙක් ක්‍රමය (offline) මගින් අනෙකුත් දිස්ත්‍රික් කාර්යාලවලදී රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලුම් කළ හැකි වේ.

අවශ්‍ය කරන ලියකියවිලි

රියැදුරු බලපත්‍රය සඳහා ඉල්ලුම් කිරීමට අයැදුම්කරු පෞද්ගලිකව පැමිණිය යුතු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, එම පුද්ගලයා තම ජාතික හැඳුනුම් පත (offline ක්‍රමය සඳහා නම් එහි පිටපතක් ද රැගෙන යන්න), උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6කට නොවැඩි කාලයක් තුළදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය තමන් සමග රැගෙන යා යුතු ය.

ජාතික හැඳුනුම් පත වෙනුවට එම අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ හැකි අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒත් සමග තමන් පදිංචි ලිපිනය සහතික කළ ග්‍රාමසේවක සහතිකය ඉදිරිපත් කළ යුතු බව ය.

විදේශිකයෙකු නම්, විදේශ ගමන් බලපත්‍රය සහ අයැදුම්කරන දින සිට ඉදිරියට මාස 6කට නොඅඩු වීසා බලපත්‍රය ද ඉදිරිපත් කළ යුතු ය.

මාර්ගගත ක්‍රමය (online) ඇති කාර්යාලවලින් සේවය ලබාගැනීමේදී ඡායාරූප රැගෙන ඒම අවශ්‍ය නොවන අතර පරිගණක ක්‍රියාවලියේදී අදාළ ඡායාරූප ලබා ගනු ලැබේ.

අනෙක් කාර්යාල (offline) සඳහා පාස්පෝට් ප්‍රමාණයේ ලා පැහැති පසුබිම සහිත කළු සුදු ඡායාරූප 2ක් අවශ්‍ය වේ.

වේලාවක් වෙන් කර ගැනීම, ඉල්ලුම් කිරීම සහ මුදල් ගෙවීම

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම ලියකියවිලි සූදානම් කර ගැනීමෙන් අනතුරුව 011 2 117 116 (වේරහැර) අංකය අමතා තම අවශ්‍යතාව සඳහන් කර (අලුතින් රියැදුරු බලපත්‍රයක් ගැනීමට ද, පවතින බලපත්‍රය සඳහා වාහන පන්තියක් එකතු කර ගැනීමට ද, අලුත් කිරීම සඳහා ද, අනුපිටපතක් ලබා ගැනීමට ද ආදිය) දිනයක් හා වේලාවක් වෙන් කර ගත යුතු වේ.

අනෙක් දිස්ත්‍රික්කවල කාර්යාල ඇමතීම සඳහා මෙම අංකයේ මුලට තම ප්‍රදේශයට අදාළ කේත අංකය යොදා ඇමතුම ලබා ගත යුතු ය. (උදා: කුරුණෑගල නම් 037 පෙරට යොදා පසුව 2 117 116 ඇතුළත් කර ඇමතුම ලබා ගන්න.)

ඒ අනුව, තමන්ට අදාළ දිනය සහ වේලාවට, පෙර සූදානම් කර ගත් ලියකියවිලි ද රැගෙන අදාළ කාර්යාලය වෙත අයැදුම්කරු යා යුතු ය.

Online ක්‍රමයේදී අයැදුම්කරුගේ ජෛවමිතික දත්ත ලබා ගෙන ඒවා පරිගණකගත කිරීම සිදු කෙරේ (ඇඟිලි සලකුණු ආදිය). ඡායාරූපය ලබා ගැනීම ද එහිදී සිදුවේ. අනතුරුව අයැදුම්කරු වෙත ඉල්ලුම්පත්‍රයක් ලබා දීම සිදු කෙරේ. එය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අදාළ කවුන්ටරය වෙත තමන් ගෙන ආ ලියකියවිලි ද සමග එය භාර දීම සිදු කළ යුතු ය.

එහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ම අදාළ දත්ත පරිගණක පද්ධතියට ඇතුළත් කරනු ලබයි. අනතුරුව අයදුම්කරු ගෙන එන සියලු ලියකියවිලි අයැදුම්කරු වෙත යළි ලබා දීම සිදු කෙරේ.

එලෙස ඇතුළත් කරන දත්ත, දෙපාර්තමේන්තුවේ ඕනෑ ම online පහසුකම ඇති කාර්යාලයකට අවශ්‍යතාවකදී පරිගණක පද්ධතිය හරහා පිරික්සා බැලිය හැකි වේ.

නමුත් offline ක්‍රමයේදී අදාළ ලියකිවිලි සමග අයැදුම්කරු පෙර සඳහන් කළ පරිදි පාස්පෝට් ප්‍රමාණයේ ලා පැහැති පසුබිම සහිත කළු සුදු ඡායාරූප දෙකක් රැගෙන යා යුතු ය. එහිදී ඇඟිලි සලකුණු ගනු ලබන්නේ තීන්ත පෑඩ් එකක් මගිනි. එහිදී ලබා දෙන අයැදුම්පත ද අයැදුම්කරු පිරවීම සිදු කළ යුතු ය.

පසුව අදාළ ලියකියවිලි සහ අයැදුම් පත්‍රය එම කාර්යාලය විසින් භාර ගෙන ඒවා වේරහැර පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත යැවීම සිදු කරනු ලබයි. එම දත්ත පරිගණකගත වීම සිදුවන්නේ වේරහැර ප්‍රධාන කාර්යාලය වෙත ලියකියවිලි සහ අයැදුම් පත පැමිණි පසු ය. එහිදී නැවත අයැදුම්කරු වෙත ගෙන යන ලියකියවිලි නැවත භාර දීමක් සිදු නොකරයි.

ඉන් අනතුරුව තමන් ඉල්ලුම් කරන වාහන පන්ති අනුව ගාස්තු ගෙවීම සිදු කළ යුතු ය. සැහැල්ලු වාහන පන්ති තුන ම (කාර්/වෑන්, මෝටර් සයිකල් සහ ත්‍රිරෝද රථ) ඉල්ලුම් කරන්නේ නම්, රු. 5,225ක් ගෙවිය යුතු වේ.

පසුව මුල් වරට රියැදුරු බලපත්‍රය සඳහා ඉල්ලුම් කරන අයැදුම්කරු වෙත ලිඛිත පරීක්ෂණය සඳහා දිනයක් ලබා දීම සිදුවේ.

කෙසේ වෙතත්, සැහැල්ලු පන්තියේ වාහන සඳහා බලපත්‍රයක් තිබියදී අදාළ පුද්ගලයා වෙනත් සැහැල්ලු වාහන පන්තියක් සඳහා ඉල්ලුම් කරන්නේ නම්, එම පුද්ගලයා නැවත ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිටීම අවශ්‍ය නොවේ. එහිදී පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය (Learner Permit) සහ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා දිනයක් (ඉල්ලුම් කළ දින සිට මාස 3කට පසු දිනයක්) ලබා දීම සිදුවේ.

ලිඛිත පරීක්ෂණය

සැහැල්ලු වාහන සඳහා ඉල්ලුම් කරන අයැදුම්කරුට ලබා දෙන ප්‍රශ්න පත්‍රයේ ඇති ප්‍රශ්න 40කට පිළිතුරු සැපයිය යුතු වේ (බහුවරණ ප්‍රශ්න). එම පරීක්ෂණය සමත් වීම සඳහා ප්‍රශ්න 30ක් සඳහා ඔබ නිවැරදි පිළිතුරු සඳහන් කළ යුතු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසීය.

එහිදී මාර්ග සංඥා ආදිය පිළිබඳව ප්‍රශ්න කෙරෙනු ඇත.

අසමත් වුණොත් මොකද වෙන්නේ?

යම් හෙයකින් අයැදුම්කරු පරීක්ෂණය අසමත් වුවහොත් එම පුද්ගලයාට තවත් දෙවරක් පරීක්ෂණය සඳහා පෙනී සිටීමේ අවස්ථාව හිමි වේ (මුළු අවස්ථා ගණන 3කි). එවැනි අවස්ථාවකදී නැවත පරීක්ෂණයට ඉල්ලුම් කිරීම සඳහා රු. 500ක මුදලක් ගෙවිය යුතු වේ. (පරීක්ෂණය සඳහා පෙනී සිටීමට නොහැකි වූ විට ද මෙය අදාළ වේ.)

ඒ අනුව, තුන්වන වරත් පරීක්ෂණය අසමත් වුවොත් නැවත ඉල්ලුම් කළ නොහැකි ද?

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එවැනි අවස්ථාවලදී අදාළ අයැදුම්කරුගේ ඉල්ලුම් පත්‍රය අවලංගු වන බව ත් යළිත් මුල සිට රියැදුරු බලපත්‍රය සඳහා ඉල්ලුම් කළ යුතු බව ත් ය.

පරීක්ෂණය සමත් වීමෙන් පසු අයැදුම්කරුට පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය (Learner Permit) ලබා දීම සිදුවේ. එය මාස 18ක කාලයක් වලංගු වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසීය.

එම කාලය ඇතුළත ප්‍රයෝගික පරීක්ෂණයට පෙනී නොසිටින්නේ නම්, අයැදුම් පත අවලංගු වීම සිදුවේ.

තමන් මෝටර් රථය පැදවීමට පුහුණු වන අවස්ථාවේ එම ඉගෙනුම් බලපත්‍රය තමා සන්තකයේ තබා ගැනීම අනිවාර්ය වේ. එමෙන් ම, තමන් පුහුණු වන මෝටර් රථයේ ඉදිරිපස සහ පසුපස 'L' පුවරු දෙකක් ප්‍රදර්ශනය කළ යුතු වේ.

එම වාහනයට පුහුණු රියැදුරු ආවරණය සහිත රක්ෂණ සහතිකයක්, සහ පූර්ණ රක්ෂණ ආවරණයක් තිබිය යුතු අතර පුහුණුව ලබන සෑම අවස්ථාවකදී ම බලපත්‍රලාභී රියැදුරු උපදේශවරයෙකු හෝ රියැදුරෙකු සිටිය යුතු ය.

ලිඛිත පරීක්ෂණය සමත් වී මාස 3කට පසු ප්‍රායෝගික පරීක්ෂණය සඳහා කැඳවනු ඇත.

ප්‍රායෝගික පරීක්ෂණය

ප්‍රායෝගික පරීක්ෂණය තමන් ඉල්ලුම් කළ ප්‍රදේශයට අදාළ මධ්‍යස්ථානයකදී උදෑසන 8:30ට සහ දහවල් 1:00ට ලෙස කොටස් දෙකකින් පැවැත්වෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසීය.

අදාළ දිනයේ අදාළ වේලාවට පැමිණි පසු, පරීක්ෂණයට පෙර අයැදුම්කරුගේ ඇඟිලි සලකුණු ලබා ගැනීම සිදු කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය (නිරවද්‍යතාව තහවුරු කර ගැනීම සඳහා). අනතුරුව අයැදුම්කරුට අංකයක් ලබා දීම සිදුකෙරේ.

ප්‍රායෝගික පරීක්ෂණය සඳහා අයැදුම්කරු පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය (Learner Permit), රියැදුරු පාසලකින් ඉදිරිපත් වන්නේ නම් පුහුණු සහතිකය, ජාතික හැඳුනුම්පත සහ වෛද්‍ය සහතිකය (මුලදී ලබා දුන්) රැගෙන පැමිණිය යුතු ය.

ඒවා පරීක්ෂා කිරීමෙන් අනතුරුව අයැදුම්කරු ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ඉදිරිපත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසීය.

යම් කෙනෙකු පරීක්ෂණය අසමත් වන්නේ නම්, එම තැනැත්තාට තවත් අවස්ථා 3කදී ඒ සඳහා පෙනී සිටිය හැකි වේ (මුළු අවස්ථා ගණන 4කි). කෙසේ වෙතත්, ඒ සඳහා නැවත අයැදුම්කරු විසින් රු. 1,000ක මුදලක් ගෙවනු ලැබිය යුතු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ, සැහැල්ලු වාහන සඳහා රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමට රියැදුරු පාසලක් හරහා ඉල්ලුම් කිරීම අනිවාර්ය නොවන බව ය. තම පෞද්ගලික වාහනයෙන් ඒ සඳහා පුහුණු විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පැවසීය.

එවැනි අවස්ථාවලදී අදාළ වාහනයේ අයිතිය අයැදුම්කරුගේ නමට, නැතිනම් මව හෝ පියාගේ නමට ඇති සහතිකය, වාහනයේ පූර්ණ රක්ෂණ ආවරණ සහතිකය මෙන් ම එදිනට පමණක් අදාළ වන පුහුණු රියැදුරු ආවරණය සහිත රක්ෂණ සහතිකයක් එහිදී ඉදිරිපත් කළ යුතු ය.

ප්‍රායෝගික පරීක්ෂණය සමත් වූ පසු අයැදුම්කරු වෙත තාවකාලික රියැදුරු බලපත්‍රය එම අවස්ථාවේදී ම ලබා දීම සිදුවන අතර ස්ථිර රියැදුරු බලපත්‍රය තැපැල් මගින් තම නිවසට ලැබීමට සලස්වයි.

සැහැල්ලු වාහන සඳහා ලබා දෙන රියැදුරු බලපත්‍රය නිකුත් කළ දින සිට අවුරුදු 8ක කාලයක් වලංගු වන අතර බර වාහන රියැදුරු බලපත්‍රයක් වලංගු වන්නේ අවුරුදු 4ක කාලයක් සඳහා පමණි.

කෙසේ වෙතත්, පැරණි ක්‍රමය යටතේ නිකුත් කර ඇති රියැදුරු බලපත්‍රය සඳහා වලංගු කාල සීමාවක් මෙතෙක් හඳුන්වා දී නොමැති අතර යම් හෙයකින් එහි අපැහැදිලිතාවක් පවතින්නේ නම් එය අලුත් කර ගත යුතු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එලෙස අලුතින් නිකුත් කරනු ලබන රියැදුරු බලපත්‍රය වලංගු කාල සීමාවකට යටත් වන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

බර වාහන

බර වාහන පැදවීම සඳහා රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට සැහැල්ලු වාහන (ද්විත්ව හා/හෝ ත්‍රිරෝද රථ වාහන පන්ති පමණි) සඳහා බලපත්‍රය ලබා ගෙන වසර දෙකක් ගත විය යුතු ය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම අයැදුම්කරුවන් ලිඛිත පරීක්ෂණයෙන් සමත් වුවහොත් උපරිම මාස 18ක් දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය නිකුත් කරන බව ය.

එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු විය හැකි අතර මෙම පුහුණුව බලයලත් රියැදුරු පාසලක උපදේශකයෙකු යටතේ සිදු විය යුතු ය.

පුහුණුව අවසානයේ අයැදුම්කරු වෙත අදාළ පාසල ප්‍රවීණතා සහතිකයක් ලබා දිය යුතු අතර එය ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වන අවස්ථාවේ ඉදිරිපත් කළ යුතු ය.

බර වාහන සඳහා ඉල්ලුම් කිරීමේදී ද පෙර සඳහන් කළ ලියකියවිලි ඉදිරිපත් කළ යුතු අතර ඒවාට අමතරව සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍රය ඉදිරිපත් කළ යුතු ය.

රියැදුරු බලපත්‍රය අලුත් කර ගැනීම

රියැදුරු බලපත්‍රය අලුත් කර ගැනීම සඳහා අයැදුම් කළ හැක්කේ රියැදුරු බලපත්‍රයේ වලංගු කාලය අවසන් වන දිනට, මාස තුනක කාලයක පූර්වයෙන් සිට ඉදිරියට පමණක් වේ.

ඒ අනුව, එම තැනැත්තා විසින් පෙර ක්‍රමවේදය අනුගමනය කරමින් දැනට ඇති රියැදුරු බලපත්‍රය පෙර සඳහන් කළ ලියකියවිලි ද සමග ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

වෛද්‍ය පරීක්ෂණය හැර නැවත විභාග සඳහා පෙනී සිටීම අවශ්‍ය නොවේ.

එක් දින සේවයෙන් රියැදුරු බලපත්‍රය අලුත් කර ගැනීම සඳහා රු. 4,000ක් ද (සෑම වාහන පන්තියකට ම) සාමාන්‍ය සේවය සඳහා රු. 3,025ක් ද අය කෙරේ.

එක් දින සේවය වේරහැර, අනුරාධපුර සහ හම්බන්තොට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලවලදී ලබා ගත හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසීය.

රියැදුරු බලපත්‍රයේ වලංගු කාලය ඉක්මවන සෑම වසරක් වෙනුවෙන් ම රු. 500ක දඩ මුදලක් බැගින් අය කෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මෙම ලිපියේ රියැදුරු බලපත්‍රයක් මුල් වරට ගැනීමේදී සහ එය අලුත් කර ගැනීමට අදාළ කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇති අතර ඊට අමතර තොරතුරු, එනම් රියැදුරු බලපත්‍රයට නව වාහන පන්ති ඇතුළත් කර ගැනීම, රියැදුරු බලපත්‍රයේ අනුපිටපතක් ලබා ගැනීම සහ රියැදුරු බලපත්‍රයේ ඇතුළත් තොරතුරු සංශෝධනය කිරීමට අදාළ පියවර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස ලබා ගත හැකි වේ.

ඊට අමතරව විදෙස්ගත වීමකදී ජාත්‍යන්තර රියැදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා ලංකා ඔටෝමොබයිල් සංගමය හරහා ඊට ඉල්ලුම් කළ යුතු වේ.

විශේෂ ස්තුතිය: මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව