මාස 5ක් කල් ගත වන පාස්පෝර්ට් එක දිනකින් ගන්නේ මෙහෙමයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එක්දින ක්‍රමවේදය යටතේ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අවම වශයෙන් මාස 5ක කාලයක් බලා සිටීමට සිදුවන බව අද (ජන: 23) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විමසූ ප්‍රශ්නයකට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල දුන් පිළිතුරකිනි.
විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා මාස ගණනක් ගතවීම තවමත් යථාතත්ත්වයට පත්කිරීමට නොහැකි වී තිබීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා කරුණු විමසා සිටියේ ය.
'විදෙස් රැකියා අපේක්ෂකයින් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා'
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී පවතින දැඩි ප්‍රමාදය නිසා විදෙස් රැකියා අපේක්ෂා කරන්නන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී පෙන්වා දුන්නේ ය.
මේ හේතුවෙන් අල්ලස් ලබා ගනිමින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ඉහළ ගොස් ඇතැයි ඔහු පැවසීය.
විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට කොපමණ කාලයක් ගත වේ ද?
මෙහිදී විපක්ෂ නායකවරයා විමසුවේ, "එක් එක් වර්ගීකරණයන්ට අදාළව ඉල්ලුම් කරන අයෙකුට විදේශ ගමන් බලපත්‍රයක් ලබා දීම සඳහා අද වන විට කොපමණ ගත වේ ද?" යනුවෙනි.
ඊට අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසුවේ, එක්දින මාර්ගගත ක්‍රමය අනුව දිනයක් වෙන් කරවා ගැනීමේදී අද දිනයේ එනම් ජනවාරි 23 වන දා ලියාපදිංචි වන්නෙකුට විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ලැබෙන දිනය ජූනි 27 වන දා බව ය.
ඒ අනුව, සාමාන්‍ය ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට මාස 5ක කාලයක් බලා සිටීමට සිදුවන බව අමාත්‍ය ආනන්ද විජේපාල පිළිගත්තේ ය.
කෙසේ වෙතත්, සාමාන්‍ය ක්‍රමය යටතේ මාසයක කාලයකදී බලපත්‍රයක් ලබා ගත හැකි බව ද අමාත්‍යවරයා පැවසීය.
විදෙස් ගමන් බලපත්‍ර හදිසි නම් කළ යුත්තේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Parliament
කෙසේ වෙතත්, හදිසි අවශ්‍යතාවක් සඳහා විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා විශේෂ ක්‍රමවේදයක් ද ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා පැවසීය.
"හදිසි අවශ්‍යතාවක් වෙනුවෙන් විදේශ ගමන් බලපත්‍රයක් ගන්න අවශ්‍ය නම් ඒ ඕනෑ ම අයෙකුට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසලා තියෙනවා. ඒ සඳහා දෙපාර්තමේන්තුවෙන් කමිටුවක් ස්ථාපනය කරලා තිබෙනවා. හදිසි විදෙස් ගමන් බලපත්‍රයක් අවශ්‍ය අයට කමිටුව හමුවට ඇවිල්ල ඔවුන්ගේ හදිසි අවශ්‍යතාව තහවුරු කරගෙන ඒ දිනයේදී ම බලපත්‍රය ලබා ගන්න ක්‍රමවේදයක් සකස් කරල තියෙනවා."
දෛනිකව ලැබෙන අයැදුම්පත් සහ නිකුත් කරන බලපත් සංඛ්‍යාව කොපමණ ද?
දිනකට ලැබෙන අයැදුම්පත් සංඛ්‍යාව සහ නිකුත් කරන බලපත් සංඛ්‍යාව පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඉදිරිපත් කළ දත්ත මෙසේ ය.
- සාමාන්‍ය ක්‍රමවේදය අනුව දින වෙන් කර ගත් අයැදුම්කරුවන් සඳහා විදෙස් ගමන් බලපත් 800ක්.
- විදේශ දූත මණ්ඩල අයැදුම්කරුවන් 500ක්.
- වන්දනා ගමන් (දඹදිව, හජ්ජි ආදී) සඳහා 250ක්.
- පෙර අයැදුම්කරුවන් සඳහා 250ක්.
- ශාඛා කාර්යාල 4 හරහා 200ක්.
- සාමාන්‍ය සේවය යටතේ 250ක්.
ඒ අනුව, එම ක්‍රමවේද ඔස්සේ දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර 2500ක් නිකුත් කෙරෙන අතර, හදිසි අවශ්‍යතා වෙනුවෙන් නිකුත් කෙරෙන බලපත් ද ඇතුළුව දිනකට බලපත්‍ර 2900ක් පමණ නිකුත් කරන බව අමාත්‍යවරයා පැවසීය.
මීට අමතරව, මේ වන විට අයැදුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර 125,000ක් නිකුත් කිරීමට නියමිත බව ද ඔහු පැවසීය.
2024 ජනවාරි මාසයේ සිට මේ දක්වා අයැදුම්පත් 586,935ක් ලැබී ඇතැයි ද එහිදී අනාවරණය කෙරිණි.
බලපත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය තත්ත්වයට පත් කළ හැක්කේ කවදා ද?
විදෙස් ගමන් බලපත් නිකුත් කිරීම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා වත්මන් රජය ක්‍රියාමාර්ග 3ක් ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.
- පැවති ප්‍රසම්පාදන ක්‍රමවේදය සම්බන්ධයෙන් ටෙන්ඩර් ඉදිරිපත් කර සුදුසුකම් නොලැබූ සමාගමක් ගොනු කර ඇති නඩුව කඩිනමින් අවසන් කිරීම.
- ප්‍රමාදය සම්බන්ධයෙන් විද්වත් කමිටුවක නිර්දේශ ලබා ගැනීම. (එම වාර්තාව ජනවාරි 23 ලැබෙන බව අමාත්‍යවරයා පැවසීය)
- නැවත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා ගමන් බලපත්‍ර 500,000ක් මුද්‍රණය කරවා ගැනීම.
මෙම පියවර අනුගමනය කිරීමෙන් 2025 වසරේ අගෝස්තු මාසය වන විට බලපත් නිකුත් කිරීම සාමාන්‍ය තත්ත්වයට පත් කළ හැකි වනු ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.














