නිමක් නැති පාස්පෝට් පෝලිම අවසන් වන්නේ කවදා ද?

- Author, අමන්දිකා කුරේ
- Role, බීබීසී සිංහල
ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අධික තදබදයක් පවතින්නේ දැනට වසර කිහිපයක සිට ය.
ආර්ථික අර්බුදයත් සමග බොහෝ දෙනෙකු රටින් පිටව යාමේ බලාපොරොත්තුවෙන් විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට පැමිණීම එයට හේතු විය.
ඒ සමඟ මාර්ගත ක්‍රමවේදය ඔස්සේ වේලාවක් වෙන් කරගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන් අතර, ඒ අනුව එක් දින සේවාව සඳහා පැමිණෙන අය කලින් දින වෙන් කරවාගෙන පැමිණීමට සිදු විය.
කෙසේනමුත් ඊ-පාස්පෝට් නියමිත දිනට ටෙන්ඩර් ලබාගත් සමාගමට ලබා දීමට නොහැකි වූ නිසා එම සමාගමට ම නැවත කලින් පැවති විදෙස් ගමන් බලපත්‍රයම ලබා දීමට පෙර රජය විසින් අනුමැතිය ලබා දී තිබිණි.
පෙර රජයේ එම තීරණය අභියෝගයට ලක් කරමින් මීට පෙර විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය කළ සමාගම අධිකරණය වෙත ගොස් තහනම් නියෝගයක් ලබාගෙන තිබිණි.
පසුව අධිකරණයේදී ඇති කර ගත් එකඟතාවක් මත පැරණි සමාගම විසින් නැවත විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණයට එකඟ වී තිබේ.
ඒ වන විට මුද්‍රණය කරන ලද විදෙස් ගමන් බලපත්‍ර තොගය සීමිත වූ නිසා දිනකට නිකුත් කළ විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය ද සීමා වීම තදබදයකට හේතු විය.
දැන් ක්‍රමවේදය කුමක් ද?
මුද්‍රණය කළ විදෙස් ගමන් බලපත්‍ර හිඟයත් සමග පෙර පැවති මාර්ගගත ක්‍රමය ඔස්සේ වේලාවක් වෙන් කරගෙන විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට තිබූ ක්‍රමවේදය ඉවත් කර තිබූ අතර, ඒ වෙනුවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ගොස් එක්දින සේවාව සඳහා දිනයක් වෙන් කර ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබිණි. මෙම තත්ත්වය යටතේ එක්දින සේවය සැබැවින් ම එක්දින සේවයක් නොවූයේ ඒ සඳහා ගාස්තු වශයෙන් රු.20,000ක් ද අය කරන පසුබිමක ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙම ගැටලුව සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 15 වන දා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ, එම සතිය තුළ මුද්‍රණය කළ විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණයක් ලැබීමට නියමිත බවත් ඒ අනුව මෙම තදබදය ඉක්මනින් ම අවසන් කිරීමට හැකි වනු ඇති බවත් ය.
තවද ඔහු ප්‍රකාශ කළේ පසුගිය සෙනසුරාදා එනම් ඔක්තෝබර් 19 වන දා විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත බැවින් ඔක්තෝබර් 21න් ආරම්භ වන සතියේ සිට තත්ත්වය පාලනය කිරීමට හැකි වනු ඇති බව ය.
ඒ අනුව, බීබීසී සිංහල විසින් ඔක්තෝබර් 21 වන දින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන ආගමන හා විගමන පාලකවරිය ඇතුළු නිලධාරීන් සම්බන්ධ කරගැනීමට උත්සහ කළේ මෙම සතියේ සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට බලාපොරොත්තු වන ක්‍රමවේදය කුමක්දැයි දැනගැනීමට ය. කෙසේනමුත් එම උත්සහය ව්‍යර්ථ වූ අතර, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා වන ආර්. ජී. කන්නන්ගර පැවසුවේ, එවැනි දැනුම්දීමක් කරන්නේ නම් එය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා සිදු කරන බවයි.
"දැනට එහෙම දැනුවත් කිරීමක් නෑ. එහෙම දැනුවත් කිරීමක් කරනවා නම් අපි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා සිදු කරනවා," ඔහු පැවසුවේ ය.

'පාස්පෝර්ට් නිකුත් කරන්නේ සාමාන්‍ය ක්‍රමවේදයට'
ඒ අනුව, දැන් ක්‍රියාත්මක වන ක්‍රමවේදය සම්බන්ධයෙන් ජනතාව වෙත කළ කිසිදු දැනුවත් කිරීමක් නොතිබූ බැවින් ඔක්තෝබර් 22 පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී බීබීසී සිංහල විසින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් වෙත මෙම ප්‍රශ්නය යොමු කරන ලදි.
එහි දී බීබීසී සිංහල විසින් අමාත්‍යවරයාගෙන් විමසූවේ මේ වන විට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය කුමක් ද?, විදෙස් ගමන් බලපත්‍ර ලබා දෙන්නේ කුමන පුද්ගලයන්ට ද? තෝරාගන්නේ කෙසේ ද යන්න සහ ඒ සම්බන්ධයෙන් ජනතාවට දැනුවත් විය හැකි කුමන මූලාශ්‍ර හරහා ද යන්නයි.
අමාත්‍ය විජිත හේරත් එයට පිළිතුරු දෙමින් පැවසුවේ සාමාන්‍යයෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන ආකාරයට ම නිකුත් කිරීම සිදු කරන බවයි.
"කලින් පාස්පොර්ට් 3,000ක් 3,500ක් දවසකට නිකුත් කළා. නමුත් ගිය සිකුරාදා දක්වා නිකුත් කළේ දවසකට 1,000ක් විතර. දැන් පවතින තදබදය තව දවස් දෙක තුනකින් නැතිවෙලා යනවා. ඉදිරියේ දී තවත් පාස්පෝට් තොගයක් ලැබීමට නියමිතයි. එතකොට අපට පරණ විදිහට දවසකට පාස්පෝට් 3,000ක් විතර නිකුත් කරන්න පුළුවන්," ඇමතිවරයා ප්‍රකාශ කළේ ය.
එහි දී බීබීසී සිංහල විසින් නැවතත් දැනට විදෙස් ගමන බලපත්‍ර නිකුත් කරන ක්‍රමවේදය කුමක් ද යන්න ඇමතිවරයාගෙන් විමසන ලදි. එයට ඔහු ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.
"සාමාන්‍ය ක්‍රමවේදය. සාමාන්‍ය ක්‍රමවේදය කියන්නේ පාස්පෝට් නිකුත් කරන ක්‍රමවේද කීපයක් තියෙනවා. උදේ දෙපාර්තමේන්තුවට ඇවිල්ලා එදින නිකුත් කරන, දවසින් ලබාගන්න පාස්පෝට් එක. අනෙක් ක්‍රමවේදය වෙන්නේ පාස්පෝට් එක ඉල්ලුම් කරලා ගිහින් දවස් කීපයකින් ලැබෙනවා. එහෙමත් නැතිනම් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාරායලවලින් පාස්පෝට් අයදුම් කිරීමේ ක්‍රමවේදය. තව ටික දිනකින් පාස්පෝට් තොගය ඒ ආයතනවලට විමධ්‍යගත කරලා දුන්නම දුරබැහැර ප්‍රදේශවල සිට වුණත් ලබාගැනීමේ හැකියාව තිබෙනවා," ඇමතිවරයා පැහැදිලි කළේ ය.
අවුල් ජාලාවක් වූ බලපත්‍ර නිකුත් කිරීම
මේ වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අසල සැබැවින් ම සිදුවන්නේ කුමක් දැයි සොයාබැලීම සඳහා අපි ඔක්තෝබර් 23 උදෑසන එම දෙපාර්තමේන්තුව අසලට ගියෙමු.
ඒ වන විටත් එම ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇදහැලෙමින් පැවති අතර, විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ අරමුණින් පැමිණ සිටි ජනතාව අතරින් විශාල පිරිසක් එම වර්ෂාවේ තෙමෙමින් ම පෝලිම්වල සිටගෙන සිටින අයුරු දැකගත හැකි විය.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දෙවන ගේට්ටුව අසල විශාල පිරිසක් රැස්ව සිටි අතර, ඒ අතර ට අලුතෙන් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණ සිටි අය, විදෙස් ගමන් බලපත්‍ර අලුත් කරගැනීමට පැමිණ සිටි අය, මීට මාස කිහිපයකට පෙර සියලු ලියකියවිලි භාර දී මෙතෙක් විදෙස් ගමන බලපත්‍රය ලැබී නොමැති නිසා ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි අය මෙන් ම, සිය විදෙස් ගමන් බලපත්‍රයේ දෝෂ සංස්කරණය කරගැනීමට පැමිණි අය ඇතුළුව විවිධාකාර අවශ්‍යතා සඳහා පැමිණ සිටි සියලු දෙනා එක පොදියට රැස්ව සිටියේ ඔවුන්ගේ අවශ්‍යතා මත වෙන් වෙන් වශයෙන් ඔවුන් ව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළට ගැනීමට ක්‍රමවේදයක් නොතිබූ බැවිනි.
එහි සිටි එක් පොලිස් නිලධාරියෙකු ඔවුන්ට එක් පසෙකින් පෝලිමක් සෑදෙන ලෙස පැවසූ අතර, එහි දී එම විවිධාකාර අවශ්‍යතා ඇති පිරිස් දැඩි වර්ෂාව මධ්‍යයේ තනි පෝලිමකට එක් වූහ.

'වැසිකිළි යන්න වෙන නිසා ඊයෙ ඉඳන් වතුර බිව්වේ නෑ'
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ වර්ෂාවෙන් බේරීම සඳහා ආවරණය වී සිටි පිරිසක් බීබීසි සිංහල වෙත අදහස් දැක්වූහ. එක්දින සේවයෙන් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමේ අරමුණින් පැමිණ තිබූ ඔවුන්ට හිමිව තිබුණේ නොවැම්බර් මාසයේ දිනයකි.
පෙර දින රාත්‍රී 8ට පමණ මෙම පෝලිමට එක් ව තිබූ දේවිකා වර්ණසූරිය පැමිණ තිබුණේ සිය විදෙස් ගමන් බලපත්‍රය අලුත් කරගැනීමටයි. එහි දී පෙර දින රාත්‍රියේ සිට ඇය මුහුණ දුන් අත්දැකීම ඇය විස්තර කළා ය.
"ඊයේ රෑ අටයි මම පෝලිමට එකතු වෙනකොට. වැසිකිළි පහසුකම්වත් හරියට නෑ. ඊයේ රෑ ඉඳන් වතුර බීලා නෑ ඒ නිසා. අපේ බදු සල්ලිවලින් ක්‍රියාත්මක වෙන මේ තැන් අපට අපේ අයිතීන් නැති කරලා පාරට ඇදලා දාලා තියෙනවා," ඇය පැවසුවා ය.
"මම ඉතාලියේ රැකියාවක නිරත වෙන්නේ. කලිනුත් ඇවිල්ලා මට දිනයක් ගන්න බැරි වුණ නිසා හැරිලා යන්න සිද්ධ වුණා. දැන් මේ දෙවැනි පාර තමයි ඇවිල්ලා දිනයක් ගත්තේ. ලබන මාසේ 20 වෙනිදා වෙනකන් ඉන්න සිද්ධ වෙනවා ඒ විදිහට ගන්නත්. මේක ඇත්තටම වන් ඩේ සර්විස් කිව්වට එහෙම එකක් නෙවෙයි."
'පාස්පෝට් එක හම්බවෙනකොට රැකියාව නැතිවෙයි ද දන්නේ නෑ'

විදෙස් රැකියාවකට යාමේ අරමුණින් විදෙස් ගමන් බලපත්‍රයක් එක්දින සේවයෙන් ලබා ගැනීම සඳහා පැමිණ තිබූ ගම්පහ ප්‍රදේශයේ පදිංචි උපුල් ජීවකට ද ලැබී තිබුණේ නොවැම්බර් මාසයේ දිනයකි. ඔහු පවසන්නේ ඔහු යාමට නියමිත විදෙස් රැකියාව අහිමි වීමේ අවදානමක් ද තිබෙන බවයි.
"රැකියාවක් හම්බවුණු නිසා මම ඉක්මනින් ම යන බලාපොරොත්තුවෙන් තමයි පාස්පෝට් එක ගන්න ආවේ. ඊයේ රෑ 10 ඉඳන් පෝලිමේ ඉඳලත් හම්බවුණේ නොවැම්බර් මාසයේ දිනයක්. ඒ වෙද්දි රස්සාව තියේවිද දන්නේත් නෑ," ඔහු පැවසුවේ ය.
"ඇත්තටම මේ රුපියල් 20,000ක් ගන්න එකේ තේරුම මොකක්ද? එක්දින සේවය කිව්වාට මාසයක් පරක්කු වුණ එකක් තමයි තියෙන්නේ," ඔහු පැවසුවේ ය.
'අද පාස්පෝට් ඔෆිස් එක පොලිස් ස්ථානයක් වෙලා'
එක්දින සේවය ලබා ගැනීම සඳහා පැමිණ සිටි ජනතාව ඉතා විශාල පිරිසක් ඒ වන විටත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අසල ඇති ගේට්ටු අංක 5 අසල පෝලිමක සිටි අතර එහි අවසානයක් දැකීමට නොහැකි තරම් දීර්ඝ විය. එම පෝලිම ආරම්භයේ පොලිස් ජීප් රථයක සිට පොලිස් නිලධාරීන් විසින් අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍රවලට මුද්‍රාවක් තබා ඔවුන්ව නැවත ආගමන හා විගමන කාර්යාල පරිශ්‍රයට එවයි. එහි දී තවත් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ඔවුන්ට දින ලබා දීම සිදු කරනු ලබයි.
එම ක්‍රමවේදය සම්පූර්ණයෙන් ම හසුරුවනු ලැබුවේ පොලිස් නිලධාරීන් විසින් ය.
එම දීර්ඝ පෝලිමේ රැඳී සිටි අසංග ද සිල්වා එක්සත් රාජධානියේ සිට පැමිණ තිබුණේ ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අලුත් කරගැනීම සඳහායි. මේ වන විට ක්‍රියාත්මක වන ක්‍රමවේදය සම්බන්ධයෙන් ඔහු පළ කළේ මෙවන් අදහසකි.
"මම UK ඉඳලා සඳුදා අවේ මගේ වීසා දීර්ඝ කරන්න පාස්පෝට් එක අලුත් කරගන්න. මම ආපහු සිකුරාදා යන්න ඕනේ. දැනටම මම දවස් තුනක් මෙතනට ආවා මගේ වැඩේ කරගන්න. ඊයේ මම සියලුම නිලධාරීන් හමුවෙලා කිව්වා මගේ ප්‍රශ්නය. වැඩබලන පාලකවරිය හමුවෙන්න ඇහුවම ඇයගේ ලේකම්වරිය කියනවා ඇය වැඩබලන කෙනෙක් නිසා මොකුත් දන්නේ නෑ කියලා," ඔහු පැවසුවේ ය.

"හැම කෙනාම කියනවා ඩීඅයිජී මාරපනට කතා කරන්න කියලා. එයා තමයි හැමදේම හැන්ඩ්ල් කරන්නේ කියලා කියනවා. අද පාස්පෝට් ඔෆිස් එක පොලිස් ස්ථානයක් වෙලා තියෙන්නේ. පොලිසිය තමයි ඔක්කොම හැන්ඩ්ල් කරන්නේ. පොලිසිය දන්නෙත් නෑ මොකද කරන්නේ කියලා," ඔහු පවසයි.
එක්දින සේවයේ අර්බුදය මෙලෙස පවතින අතරතුරේ මීට මාස කිහිපයකට පෙර ලියකියවිලි භාර දී මෙතෙක් විදෙස් ගමන් බලපත්‍රය නොලැබුණු විශාල පිරිසක් ද අධික වර්ෂාවේ පෝලිම්වල රැඳී සිටියේ සිය ගමන් බලපත්‍ර ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් ය.
මොහොමඩ් යූසුෆ් සහ රිසානා සිය විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීමේ අරමුණින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණේ සිව්වන දිනට ය.
"මාස දෙකකට කලින් ලියවිලි භාර දුන්නේ. කලින් එක දවසක් ඇවිල්ලා භාර දෙන්න බැරිවෙලා ආපහු හැරිලා ගියා. දැන් මේ හතරවෙනි දවස," රිසානා පැවසුවා ය.
"20 වෙනිදා කිව්වා මේ ප්‍රශ්නය විසඳනවා කියලා. අපි ඒක ප්‍රවෘත්තිවල බලලා ආවේ. යම් ආයතනයක් සල්ලි ගත්තා නම් අපට ඒ සේවාව දෙන්න ඕනේ. දැන් අපි දෙන්නගේ පාස්පෝට් ගන්න රුපියල් 20,000ක් බැන්දා. තාම හම්බුණේ නෑ," ඔවුන් පවසන්නේ අපේක්ෂා භංගත්වයෙනි.

දින දින කල් යන විසඳුම
මෙම සතියේ සිට තදබදය අඩු කර මෙම ගැටළුව ඉතා ඉක්මනින් විසඳන බවට අමාත්‍ය විජිත හේරත් පැවසුව ද ඒ සඳහා යෝජිත ක්‍රමවේදයේ ප්‍රායෝගික ගැටළුවක් ඇති බව එහි ගිය විට බීබීසී සිංහල වෙත නිරීක්ෂණය විය.
එක්දින සේවය පෙර පරිදි ක්‍රියාත්මක කරවීමට අවම වශයෙන් මාසයකටත් වඩා වැඩි කාලයක් ගත විය හැක්කේ ඔක්තෝබර් 23 දින එක්දින සේවය වෙනුවෙන් පැමිණෙන අයදුම්කරුවන්ට පවා එක්දින සේවයට දින ලැබී ඇත්තේ නොවැම්බර් මාසයේ 19, 20 වැනි දිනවල වීම නිසා ය.
එමෙන් ම මාස ගණනාවකට පෙර ලියකියවිලි භාර දී ඇති පිරිස් ද තවමත් විදෙස් ගමන් බලපත්‍රය බලාපොරොත්තු වෙමින් සිටිති.
තව ද මේ වන විට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් රජය පාර්ශවයෙන් ජනතාවට කිසිදු උපදෙසක් ලබා දී නොමැති අතර, ආගමන හා විගමන කාර්යාලයේ නිල වෙබ් අඩවියේ ද අයදූම් කිරීමේ ක්‍රමවේදය ලෙස දක්වා ඇත්තේ පැරණි ක්‍රමවේදයයි.
මේ නිසා හදිසි අවශ්‍යතා සඳහා විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ අරමුණින් පැමිණෙන බොහෝ අයදුම්කරුවන්ට අපේක්ෂා භංගත්වයට පත් වී ආපසු හැරී යාමට සිදුවී තිබෙන්නේ කිසිදු වගකිවයුතු නිලධාරියෙකුගේ පැහැදිලි කිරීමක් නොමැති පසුබිමකයි.
මේ වන විට පොලිසිය විසින් සිදු කරන දින ලබා දීමේ ක්‍රියාවලිය මීට පෙර මාර්ගගත ක්‍රමවේදයෙන් දින වෙන් කරගැනීමේ ක්‍රමයට සමාන කාර්යයක් සිදු කරයි.
නමුත් එහි වෙනස වන්නේ දැන් අයදුම්කරුවන්ට වේලාව වෙන් කරගැනීම සඳහා දින කිහිපයක් වැය කරමින්, කාලගුණ තත්ත්වයන් හමුවේ පීඩාවට පත් වෙමින් දීර්ඝ පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇත්තේ අවම යටිතල පහසුකම්වත් නොමැති පසුබිමක වීම නිසා ය.
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ජනතාව ආගමන හා විගමන කාර්යාල පරිශ්‍රයෙන් පිටත මහා මාර්ගයේ දීර්ඝ පෝලිමක රඳවාගෙන, පොලිස් ජීප් රථයක සිට පොලිස් නිලධාරීන් විසින් අයදුම්පත්වල මුද්‍රා තබා දින වෙන් කර දෙන්නේ මන්දැයි පෝලිම්වල සිටින ජනතාව විමසති.
තදබදය නැති කරන්න ජනතාව යෝජනා කරන විසඳුම් මොනවා ද?
බීබීසී සිංහල වෙත අදහස් දැක් වූ බොහෝ දෙනෙක් මෙම තදබදය අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා ඉදිරිපත් කළ හ.
ඇතැමුන් යෝජනා කර සිටින්නේ පෙර පැවති ක්‍රමවේදය මෙන් මාර්ගගත ක්‍රමවේදය මඟින් හෝ දුරකතන ඇමතුමක් ලබා දී දිනයක් වෙන් කරගැනීමේ අවස්ථාව නැවත ලබා දෙන ලෙසයි.
එවිට මේ ආකාරයෙන් පීඩාවට පත්වෙමින් දීර්ඝ පෝලිම්වල රැඳී නොසිට, පොලිසියෙන් අංක ලබා ගන්නවා වෙනුවට ජනතාවට පහසුවෙන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකි වන බව ඔවුහු පෙන්වා දෙති.
එමෙන් ම මෙම තදබදය අවසන් වන තෙක් සේවා මුර ක්‍රමයකට රාජ්‍ය නිලධාරීන් පැය 24ක සේවයේ යොදවන ලෙස ඇතැම්හු යෝජනා කළ හ.
ඔවුන් ප්‍රශ්න කරන්නේ ආගමන හා විගමන කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන් සිටිය දී විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පොලිසිය මැදිහත් කරගැනීමේ අවශ්‍යතාවය කුමක් ද යන්නයි.
වර්ගීකරණයක් නොමැති නිසා විවිධ අවශ්‍යතාවන් ඇති ජනතාව එක ම පෝලිම්වල දීර්ඝ වේලාවක් රැඳී සිටීමට විසඳුමක් ලෙස, ගමන් බලපත්‍රය ලබා ගැනීමට මාර්ගගත ක්‍රමවේදය හෝ දුරකතන ඇමතුමක් හරහා දිනයක් වෙන් කරගන්නා අවස්ථාවේ දී ම එම වර්ගීකරණය සිදු කර ඔවුන්ගේ අවශ්‍යතා සඳහා වෙන් වෙන්ව මැදිහත් වෙන ලෙස බොහෝ පිරිසක් යෝජනා කළ හ.
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට සෑම දෙනාම කොළඹට පැමිණීම නොව, ප්‍රාදේශීය කාර්යාල හරහා සහ අමාත්‍ය විජිත හේරත් පවසන ආකාරයට දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදය සිදුවන්නේ නම්, එය ඔවුන්ට වඩාත් පහසු බව කොළඹින් ඈත ප්‍රදේශවල සිට විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණි බොහෝ දෙනෙකුගේ අදහස විය.















