‘මෙහෙම දෙයක් කවදාවත් වෙලා නැහැ’: UL 607 SriLankan ගුවන් යානය තුළ වුණේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
“අවුරුදු 45ක් පුරා ක්‍රියාත්මක වෙන SriLankan ගුවන් සේවාවේ මේ වගේ සිද්ධියක් මීට පෙර කවදාවත් සිද්ධ වෙලා නැහැ. මේ සිද්ධියට සම්බන්ධ වැරදිකරුවන්ට එරෙහිව කිසි ම ලිහිල් කිරීමක් නැතිව ක්‍රියාමාර්ග ගන්නවා,” ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසීය.
පසුගිය සැප්තැම්බර් 21 වන දා ගුවන් යානයක් තුළ ගුවනේදී සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
සැප්තැම්බර් 21 වන දා සිදුවූයේ කුමක් ද?
ආන්දෝලනයට තුඩු දී ඇති සිද්ධිය සිදුව ඇත්තේ, ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 607 අංකය දරන යානය තුළ ය.
එය, සැප්තැම්බර් 21 වන දා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබිණි.
අදාළ සිද්ධිය වී ඇත්තේ, ඒ අතරතුරදී ය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය රූපවාහිනී සේවයක් වන ITN වාර්තා කර තිබුණු පරිදි, ‘මෙම ගුවන් යානයේ සේවය කළ සහායක නියමුවරිය (1st officer), ශරීර කෘත්‍යය සදහා වැසිකිළිය වෙත ගොස් ආපසු පැමිණෙද්දී, ප්‍රධාන ගුවන් නියමුවා (Captain) විසින් , සහායක නියමුවරියට නියමු කුටියට පිවිසීමට නොහැකි වන පරිදි දොර අගුළු දමා තිබී ඇත.’
ලෝකයේ ගුවන් යානා සම්බන්ධ පුවත් සහ වීඩියෝ පළ කරන, Breaking Aviation News & Videos X සමාජ මාධ්‍ය නාලිකාව මෙසේ පළ කර තිබිණි.
“සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිවලට අනුකූලව නියමු කුටියේ ප්‍රධාන නියමුවා සමග යාමට තවත් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සූදානම් නොකර ඇය (සහයක නියමුවරිය) නියමු කුටියෙන් පිටතට යාම සම්බන්ධයෙන් කපිතාන්වරයා තම සහයිකාව සමග මතබේදාත්මක තත්ත්වයක් ඇති කර ගත් බව ගුවන් ආරංචි මාර්ග පවසයි.”
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
මේ අතර, එහිදී ඇති වූ සිද්ධිය පිළිබඳ පැහැදිලි තොරතුරක් ලබා දීම ශ්‍රීලන්කන් ගුවන් සේවය මෙන් ම සිවිල් ගුවන් සේවා අධිකාරිය ද ප්‍රතික්ෂේප කළේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවෙමින් පවතින බව පවසමිනි.
සේවය අත්හිටුවයි
මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන ගුවන් නියමුවාගේ සහ සහයක නියමුවරියගේ සේවය අත්හිටුවා ඇතැයි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා පැවසීය.
“ආයතනයක් වශයෙන් අපි මේ ගැන උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. මොක ද, අපේ ගුවන් යානයක මගීන් අනාරක්ෂිත විදිහට යන්න බැහැ. අපි අවුරුදු 45ක් පුරාවට ආරක්ෂාව පැත්තෙන් ඉතා හොඳ කීර්ති නාමයක් දිනාගෙන තියෙනවා. ඒක කිසි ම කෙනෙකුට පළුදු කරන්න ඉඩ තියන්නෙ නෑ අපි.”
විමර්ශන 3ක්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන 3ක් ආරම්භ කර ඇතැයි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා තහවුරු කළේ ය.
ඒ අනුව, ශ්‍රීලන්කන් ගුවන් සේවය, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය යන ආයතන තුන විමර්ශන සිදු කරයි.
ගුවන් යානා පියාසර කරවීමේදී මානව ක්‍රියාකාරකම් අවම වන පරිදි තාක්ෂණය භාවිත කරන බව දීපාල් පෙරේරා පැවසීය.
“ගුවන් සේවා කර්මාන්තයේ ගුවන් යානයක් උඩට ගත්තාට පස්සේ හියුමන් ඉන්ටර්ෆියරන්ස් එක අඩුවෙන් ම තමයි හදලා තියෙන්නේ. ගුවන් යානයක් උඩට ගියාට පස්සේ නවීනතම තාක්ෂණය අනුව ඔටෝපයිලට් වගේ ලෝකයේ ඉතා ම හොඳ තාක්ෂණයෙන් පියාසර කරන ගුවන් යානා තියෙන්නේ. හුඟක් වෙලාවට හියුමන් ඉන්ටර්ෆියරන්ස් එක එන්නේ ලෑන්ඩිං, ටේක් ඕෆ් වගේ ඒවාට.”
කෙසේ වෙතත්, හදිසි තත්ත්වයකදී ගුවන් යානයේ ආරක්ෂාව වෙනුවෙන් ගුවන් නියමුවන්ට අදාළ නීති පනවා ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.
“ඒක නිසා නීති දාලා තියෙනවා. පයිලට් කෙනෙක් එළියට යනවා නම් තව කෙනෙක් ඇතුළෙ ඉන්න ඕන. හයිජැකිං වගේ ඒවායින් බේරෙන්න බුලට් පෲෆ් දොරවල් දාලා තියෙනවා. ඔක්කොම තියෙන්නේ ආරක්ෂාව වෙනුවෙන්. මෙතන වෙලා තියෙන්නේ පයිලට්ලා දෙන්නා අතර ඇති වුණ සිද්ධියක්. මිනිස්සු ක්‍රියා කරන්නේ එක එක විදිහට. ඒක නිසා තමයි, ඒවාට නීති දාලා තියෙන්නේ.”
ඒ අනුව, අදාළ සිද්ධියේදී සහයක නියමුවරිය, නියමු කුටියෙන් පිටතට යාමේදී නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය කර තිබුණා ද, සහ ගුවන් නියමුවාගේ හැසිරීම සාධාරණ ද යන්න පිළිබඳව විමර්ශනවලදී සොයා බැලෙනු ඇත.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රෙහාන් වන්නිඅප්පා බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් තහවුරු කළේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ය.
ශ්‍රීලන්කන් ගුවන් සේවය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවය ඔක්තෝබර් 14 වන දා නිවේදනයක් නිකුත් කළේ ය.
එම සම්පූර්ණ නිවේදනය මෙසේ ය.
“සැප්තැම්බර් 21 දින සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ UL607 අංක දරන ගුවන් යානයේ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විටත් අදාල අංශ විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. ශ්‍රීලංකන් ගුවන් සේවය අදාළ බලධාරීන් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන අතර, විමර්ශන වාර්තාව ලැබෙන තෙක් කපිතාන්වරයා සේවයෙන් ඉවත් කර ඇත. මගී ආරක්ෂාව සහතික කිරීම සහ සියලු නියාමන අවශ්‍යතා සමග අනුකූලව කටයුතු කිරීම ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රමුඛතාව වේ.”
ශ්‍රීලන්කන් ගුවන් සේවය
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙසින් ක්‍රියාත්මක වන ශ්‍රීලන්කන් ගුවන් සේවය 1979 වසරේදී ආරම්භ කරන ලදී.
එය, රටවල් 62ක ගමනාන්ත 114ක් කරා ගුවන් සේවා ක්‍රියාත්මක කරයි.














