SriLankan Airlines: ‘ශ්‍රී ලංකාවට ආදරෙයි.නමුත් ගුවන් සේවය ඒ අත්දැකීම විනාශ කළා’

මෑත කාලීනව වැඩි වශයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව කතාබහක් ඇති වන්නේ එහි ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව නොව එම ගුවන් සේවයේ දිගින් දිගටම ඇති වන ගුවන් ගමන් ප්‍රමාද වීම සහ අවලංගු කිරීම් පිළිබඳවය.

ඡායාරූප මූලාශ්‍රය, LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images

‘ශ්‍රී ලංකාවට ආදරෙයි.නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒ අත්දැකීම විනාශ කළා.’ ඒ , නොවැම්බර් 26 වැනිදා චීනයේ කැන්ටන් - ග්වැන්ෂෝ වෙත පියාසර කිරීමට තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය අවලංගු වීම නිසා දැඩි ලෙස පීඩාවට පත්වූ විදේශීය ගුවන් මගියෙකු X ඔස්සේ තබා තිබූ වැකියකි.

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින්, ජාතික ගුවන් සේවය පිළිබඳ එවැනි ආකල්පයක් දැරීම රටේ කීර්තිනාමයට මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට කුමන බලපෑමක් ඇති කරයිද? යන්න අමුතුවෙන් කිවයුතු නොවේ.

මෑත කාලීනව වැඩි වශයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව කතාබහක් ඇති ඇතිව තිබෙන්නේ එහි ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව නොව එම ගුවන් සේවයේ දිගින් දිගටම ඇති වන ගුවන් ගමන් ප්‍රමාද වීම සහ අවලංගු කිරීම් පිළිබඳවය.

චීනයේ කැන්ටන් - ග්වැන්ෂෝ වෙත නොවැම්බර් 25 වැනිදා පිටත් වීමට තිබූ ශ්‍රී ලන්කන් ගුවන් ගමන යානය කාර්මික දෝෂයකට ලක් වීම නිසා අවලංගු කිරීම හේතුවෙන් මඟීන් ගණනාවක් අසීරුතාවට පත් වූ අවස්ථාව එහි ආසන්නතම සිද්ධිය විය.

කලක් කලාපයේ විශිෂ්ටතම ගුවන් සේවයක් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙවැනි තත්ත්වයකට පත්කිරීම පිළිබඳව ඇඟිල්ල දිඟු වන්නේ පැවති රජයන්ට සහ ඔවුන් විසින් පාලනාධිකාරියට පත් කළ දේශපාලන නෑහිතවතුන්ටය.

මෙම ප්‍රමාද වීම් සහ අවලංගු වීම් මෙම ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත ගත කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට උපකාර වෙමින් පවතින බව එම ගුවන් සේවයේ සහ ගුවන් සේවා කර්මාන්තයට සම්බන්ධ බොහෝ දෙනාගේ මතය වී තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් යානා මෙසේ ප්‍රමාද වීමට මූලික හේතුව වී ඇත්තේ එම ගුවන් සේවාව සතු ගුවන් යානා ප්‍රමාණවත් නොවීමයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලන්කන් ගුවන් යානා මෙසේ ප්‍රමාද වීමට මූලික හේතුව වී ඇත්තේ එම ගුවන් සේවාව සතු ගුවන් යානා ප්‍රමාණවත් නොවීමයි.

යානා ප්‍රමාදයට හේතුව කුමක් ද?

ශ්‍රී ලන්කන් ගුවන් යානා මෙසේ ප්‍රමාද වීමට මූලික හේතුව වී ඇත්තේ එම ගුවන් සේවාව සතු ගුවන් යානා ප්‍රමාණවත් නොවීමයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව මීට පෙර ගුවන් යානා 29 ක් පැවති අතර ඒවායින් 5 ක් පමණ කල්බදු කාලසීමාව අවසන් වීම නිසා යළිත් ප්‍රංශයේ එයාර් බස් ගුවන් සමාගම වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සිය දෛනික ගුවන් මෙහෙයුම් සඳහා ගුවන් යානා 24 ක් අවශ්‍ය වී තිබේ . එහෙත් මේ වනවිට ගුවන් සේවය සතුව සක්‍රිය තත්ත්වයෙන් පවතින්නේ ගුවන් යානා 20 ක් පමණි .

ශ්‍රී ලන්කන් ගුවන් යානා ඇණිය සතු A330 සහ A320 වර්ගයේ ගුවන් යානා 2 ක් දිගු කාලීන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සදහා මේ වනවිට ශ්‍රී ලන්කන් හැංගර් තුළ රඳවා තිබේ.

මීට අමතරව තවත් A320 neo වර්ගයේ ගුවන් යානා 2 ක් එංජින් නොමැතිකම නිසා ශ්‍රී ලන්කන් හැංගරය තුළ නවතා ඇත.

මෙම A320 නියෝ කාණ්ඩයේ ගුවන් යානා සඳහා ලොව පුරා ඒංජින් හිඟයක් පවතින අතර , මෙම ගුවන් යානා සඳහා අවශ්‍ය ඒංජින් මේ වනවිට ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් ඇනවුම් කර ඇති අතර , ඒවා ලැබුණු වහාම , මෙම ගුවන් යානා වෙත ඒවා සවි කර ගුවන් ගමන් සඳහා එක් කිරීමට නියමිතය .

මෙසේ ශ්‍රී ලංකන් හැංගරය තුළ ඇති ගුවන් යානා ද යළි සේවය සදහා එක් වුවහොත් කඩිනමින් මෙම ප්‍රමාද වීම් යම් තරමකින් අවම කර ගත හැකිය .

ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාද වීම සඳහා එහි සේවක හිඟය ද දැඩි බලපෑමක් එල්ල කරන සාධකයක් බවට පත්ව තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාද වීම සඳහා එහි සේවක හිඟය ද දැඩි බලපෑමක් එල්ල කරන සාධකයක් බවට පත්ව තිබේ.

සේවක හිඟය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාද වීම සඳහා එහි සේවක හිඟය ද දැඩි බලපෑමක් එල්ල කරන සාධකයක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ප්‍රධාන වශයෙන් ගුවන් නියමුවන් , ගුවන් යානා ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන් වශයෙන් ඍජුවම බලපෑම් එල්ල කළ හැකි සේවක කණ්ඩායම් තුනක් සිටිති .

මෙයින් ගුවන් නියමුවන් 260 ක් පමණ දැනට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව සිටින අතර ඔවුන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නියමයන් , නිර්දේශ සහ පිරිවිතරයන් මත සේවයේ නියැලී සිටිති . ඒ අනුව ඔවුන් මාසයකට ගුවන් පැය 100 ක සේවා කාලයක් සේවයේ නිරත වීමට අවකාශ තිබුණ ද ශ්‍රී ලන්කන් ගුවන් සේවා කාලසටහන අනුව ඔවුන් සේවයේ නිරත වන්නේ පැය 60 ක් පමණ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පසුගියදා පැවති ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳ සාකච්ඡාවකදී අනාවරණය කළේය .

එහෙත් ගුවන් නියමුවන් මාසයකට පැය 100 බැගින් සේවයේ නිරත වුවහොත් ඔවුන්ට වසරකට පැය 1,200 ක් සේවයේ නිරත වීමට සිදුවේ. එහෙත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නිර්දේශය වන්නේ වසරකට ගුවන් නියමුවෙකුට ගුවන් යානා පියාසාර කළ හැකි පැය සීමාව පැය 1,000 ක් පමණක් බවය. එනිසා අමාත්‍යවරයා පවසන පරිදි මාසිකව එසේ පැය 100 බැගින් ගුවන් නියමුවන් සේවය කළහොත් ඔවුන්ට වසරකට මාස දෙකක කාලයක් වැටුප් සහිත නිවාඩු ලබා දීමට සිදු වන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු බීබීසී සිංහල වෙත පැවසීය .

ගුවන් නියමුවන් ඇතුළු සමස්ත ගුවන් යානා කාර්යය මණ්ඩලය එම ගුවන් ගමනේ ගමනාන්තය සමග විවේක ගැන්වීම සිදු කෙරෙන අතර , එහිදී පැය ගණන ගැන අවධානය යොමු කිරීමක් සිදු නොකෙරේ. නිදසුනක් ලෙස කටුනායක සිට එංගලන්තය බලා යන ගුවන් යානයක් එරට හීත්‍රෝ ගුවන් තොටුපොළේ දී නවතා , එහි ගුවන් යානා කාර්යය මණ්ඩලය පැය 48 ක කාලයක් සඳහා විවේක ගන්වන අතර වෙනත් ගුවන් යානා කාර්යය මණ්ඩලයක් එම ගුවන් යානය ආපසු කටුනායකට වෙත රැගෙන එනු ලබයි.

ඊට අමතරව ගුවන් යානා ඉංජිනේරුවන් 160 දෙනෙකු පමණ අවශ්‍ය වුවද මේ පිරිස අතරින් මේ වනවිට 35 දෙනෙකු පමණ වෙනත් විදේශීය ගුවන් සේවා සමාගම් වෙත ගොස් තිබේ.

එසේම ගුවන් යානා තාක්ෂණ ශිල්පීන් 200 ක් පමණ සිය දෛනික මෙහෙයුම් කටයුතු සදහා අවශ්‍ය වුවද ඒ අතරින් 40 දෙනෙකු පමණ මේ වනවිට වෙනත් විදේශීය ගුවන් සමාගම් වෙත සේවය සඳහා ගොස් ඇත.

 ගුවන් යානා තාක්ෂණ ශිල්පීන් 200 ක් පමණ සිය දෛනික මෙහෙයුම් කටයුතු සදහා අවශ්‍ය වුවද ඒ අතරින් 40 දෙනෙකු පමණ මේ වනවිට වෙනත් විදේශීය ගුවන් සමාගම් වෙත සේවය සඳහා ගොස් ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගුවන් යානා තාක්ෂණ ශිල්පීන් 200 ක් පමණ දෛනික මෙහෙයුම් කටයුතු සදහා අවශ්‍ය වුවද ඒ අතරින් 40 දෙනෙකු පමණ මේ වනවිට වෙනත් විදේශීය ගුවන් සමාගම් වෙත සේවය සඳහා ගොස් ඇත.

එයට හේතු වී ඇත්තේ රට තුළ පවතින ආර්ථික අර්බුදය සහ මෙම සේවකයින්ගේ වැටුප් වලින් උපයන විට බදු කපා ගැනීමයි .

ගුවන් සේවා ක්ෂේත්‍රයේ සියලුම රැකියා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන අතර රැකියාවල නිරත සේවකයින් ක්ෂේත්‍රයේ ඔවුන්ගේ වැටුප් තල සහ අනෙකුත් දීමනා හා වරප්‍රසාද පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරති .

මෙම තත්ත්වය මත ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම පුරප්පාඩු පිරවීම සදහා පසුගිය දා ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඔස්සේ නව සේවකයින් බඳවා ගැනීම සඳහා දැන්වීම් පළ කර තිබූ අතර එහි අයදුම් කළ හැකි සේවකයින්ගේ වයස් සීමාව අවුරුදු 50 දක්වා ඉහළ නංවා තිබීම මෙම සේවක ගැටළුවේ ගැඹුර පැහැදිලි කරන කදිම හරස් කැපුමකි.

චීනයේ කැන්ටන් - ග්වැන්ෂෝ ගුවන් ගමනට මොකද වුනේ ?

චීනයේ කැන්ටන් - ග්වැන්ෂෝ වෙත නොවැම්බර් 25 වැනිදා පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් ගමන එම යානය කාර්මික දෝෂයකට ලක්වීම නිසා අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය පැවසීය.

නොවැම්බර් 25 වැනිදා පස්වරු 01.55 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL880 දරන ගුවන් යානය චීනයේ කැන්ටන් - ග්වැන්ෂෝ බලා ගුවන් මගීන් 170 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වීමට නියමිතව තිබුණි .

එහෙත් මෙම ගුවන් යානය කාර්මික දෝෂයකට ලක් වීමෙන් පසුව මෙම ගුවන් යානය අලුත්වැඩියා කර නැවත යළි රාත්‍රී 09.20 ට පමණ ගුවන් ගත වීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ ගුවන් ධාවන පථය වෙත පැමිණි ද යළිත් එම කාර්මික දෝෂය හට ගැනීමෙන් පසුව මෙම ගුවන් ගමන අත්හැර දැමීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේ.

මයිකල් පැට් නැමැති විදේශිකයෙකු මෙම ගුවන් ගමන් ප්‍රමාදය ගැන මෙලෙස X හි සටහනක් තබා තිබුණි.

“අද ගුවන් ගමන ඉතා ප්‍රමාද වුණා. මෙහින්දා මගේ ඊළඟ ගුවන් යානයත් මඟ හැරුණා. ඒ අය මට වෙනත් ගුවන් සේවයක ආසනයක් වෙන්කර දුන්නා. එක භයානක ගුවන් ගමනක්. මැද ආසනයක මිරිකිලා ගියේ.. කොළඹ පැවති සමුළුවකට සහභාගි වුණා විතරයි. බොහෝ අය පියාසර කළේ ශ්‍රී ලංකා ගුවන් සේවයේ.බොහෝ ගුවන් ගමන් දැඩි ලෙස ප්‍රමාද වුණා. ලංකාවට ආදරය කරනවා. නමුත් ගුවන් සේවය ඒ අත්දැකීම විනාශ කළා.”

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

මෙම ගුවන් යානයෙන් චීනයේ කැන්ටන් - ග්වැන්ෂෝ වෙත ඉතාමත් හදිසියේම පිටත්ව යාමට අවශ්‍යතා මතුව තිබූ ගුවන් මගීන් සිංගප්පූරුව , මැලේසියාව ඔස්සේ වෙනත් ගුවන් යානා මගින් පිටත් කර හැරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබුණි .

මීට අමතරව දුරබැහැර සිට මෙම ගුවන් යානය සඳහා පැමිණ තිබූ ගුවන් මගීන් සඳහා ගුවන් තොටුපොළ අසළ හෝටල් පහසුකම් සළසා දීමට ද පියවර ගෙන තිබුණි .

ඊට අමතරව තවත් ගුවන් මගීන් පිරිසක් ස්වකැමැත්තෙන් සිය නිවෙස් කරා යාමට එකඟතාවය පළ කර පිටත්ව ගොස් තිබුණි.

මෙම ගමනාන්තය වෙත ගමන් කිරීමට නොහැකි වූ මගීන් නොවැම්බර් 27 වැනිදා පස්වරු 01.55 ට චීනයේ කැන්ටන් - ග්වැන්ෂෝ බලා කටුනායක තවත් යානයකින් පිටත්කර හැරුණි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පරිගණක පද්ධතියෙත් ගැටළු ද?

කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය නොවැම්බර් 26 වැනිදා පෙරවරු 11.30 පමණ අක්‍රීය වීමත් සමග විදෙස් ගත වීමට පැමිණි දහස් සංඛාත ගුවන් මගීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ තුළ කුපිත වී සිටින බවට තොරතුරු වාර්තා විය.

ආගමන විගමන දෙපාර්තමේන්තු මෙම පරිගණක පද්ධතිය පෞද්ගලික අංශයේ සමාගම් කීපයක් විසින් සකස් කර පවත්වා ගෙන යනු ලබන අතර , නිසි නඩත්තු කිරීමක් නොමැති නිසා මාසයකට කීප වරක් මේ ආකාරයට අක්‍රීය වන බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු පැවසීය .

එසේම ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය සමග මෙම පරිගණක පද්ධතිය ඒකාබද්ධ කර පවතින අතර එහි මන්දගාමී වීමක් ද කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය අඩපණ වීමට හේතු වී ඇති බව එම ප්‍රකාශයා සඳහන් කළේය.

නොවැම්බර් 26 වැනිදා දහවල් 12.20 පමණ වනවිට ක්‍රමයෙන් මෙම පරිගණක පද්ධතිය යළිත් සක්‍රීය වෙමින් පවතින අතර අනතුරුව ගුවන් තොටුපොළ තුළ පැවති අධික මගී තදබදය මදක් ලිහිල් විය.

යානා කිහිපයක ලීසිං කාලය අවසන්

මෙම වසර අවසානයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු තවත් ගුවන් යානා කීහිපයක් සිය ලීසිං කාලය අවසන් වීමෙන් පසු ප්‍රංශයේ එයාර් බස් සමාගම වෙත භාර දීමට නියමිතය.

එම නිසා මෙසේ ශ්‍රී ලන්කන් හැංගර් තුළ පවතින ගුවන් යානා සිය නඩත්තු කටයුතු අවසන් කර යළි සේවය සඳහා එක්කළද , යළිත් මෙම වසර අවසානයේ ගුවන් යානා හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇත.

මේ තත්වයට පිළියමක් ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් නවතම පුළුල් බද සහිත A 350 වර්ගයේ ගුවන් යානා 5 ක් ලීසිං පදනම මත ලබා ගැනීමට ඇනවුම් කර තිබුණ ද පසුව බලයට පැමිණි යහපාලන රජය විසින් එම ගිවිසුම අවලංගු කර දැමීමට පියවර ගෙන තිබුණි . මේ නිසා ශ්‍රී ලංකාවට විශාල දඩ මුදලක් ගෙවීමට ද සිදු විය.

ඊට පසුව මෑතකදී මෙම ගුවන් යානා හිඟයට පිළියමක් ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම අරමුදල් යොදවා නවතම ගුවන් යානා 11 ක් ලීසිං පදනම මත ලබා ගැනීමට සැළසුම් කළ ද රජය සහ භාණ්ඩාගාරය ඒ සඳහා අවශ්‍ය අවසරය ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණි.

මෙම වසර අවසානයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු තවත් ගුවන් යානා කීපයක් සිය ලීසිං කාලය අවසන් වීමෙන් පසු ප්‍රංශයේ එයාර් බස් සමාගම වෙත භාර දීමට නියමිතය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම වසර අවසානයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු තවත් ගුවන් යානා කීපයක් සිය ලීසිං කාලය අවසන් වීමෙන් පසු ප්‍රංශයේ එයාර් බස් සමාගම වෙත භාර දීමට නියමිතය.

එහෙත් මේ වනවිට මෙසේ නව ගුවන් යානා ලබා ගැනීමට රජය විසින් අවසර ලබා දී තිබුණ ද , ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කර තිබීම සහ විදෙස් ණය ගෙවීම නතරකර ඇති නිසා ප්‍රංශයේ එයාර් බස් ගුවන් සමාගම ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත ලීසිං පදනම මත ගුවන් යානා ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බව ගුවන් සේවයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැන ගැනීමට හැකි වී තිබේ .

මෙම අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ඉකුත් ඔක්තෝම්බර් 2 වැනිදා කොළඹදී සාකච්ඡාවක් පැවති අතර ඒ සදහා විදේශීය ගුවන් සේවා සමාගම් රැසක නියෝජිතයෝ ද සහභාගී වී සිටියහ .

මෙම සාකච්ඡාව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව වුවද ඒ සදහා විදේශීය ගුවන් සේවා සමාගම් සහභාගී වී සිටීම සැක සහිත වූයේ , එහිදී අමාත්‍යවරයා ශ්‍රී ලන්කන් ගුවන් යානා දිගින් දිගටම ප්‍රමාද වීම් වලට සහ කාර්මික දෝෂවලට ලක් වන බැවින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් වෙනත් විදේශීය ගුවන් සේවා වෙතින් ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා ලෙස දැනුවත් වීමක් කළ බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අන්තර් සමාගම් සේවක සංගමය සඳහන් කළේය.

මේ සඳහා අවශ්‍ය නීතිමය පදනම සකස් කිරීම සදහා ගුවන් සේවා ප්‍රඥප්තියේ සඳහන් 05 වැනි වගන්තිය , එනම් අයිතිය සම්බන්ධ නිදහස ( 05 th Freedom Right ) වගන්තිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළ බව එම සාකච්ඡාවට සහභාගී වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න පැවසීය.

ඒමගින් විදේශීය ගුවන් සේවාවන්ට ශ්‍රී ලාංකික ගුවන් මගීන් ප්‍රවාහනය කිරීමේ නීත්‍යානුකූල අයිතිය හිමි වන බව ඔවු පැවසීය.

මේ පිළිබඳ ශ්‍රී ලංකාවේ ගුවන් ගමනාගමන කටයුතු භාර ආයතනය වන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ මතය , එම අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රෙහාන් වන්නිඅප්පාගෙන් විමසූ විට ඔහු මෙසේ පැවසීය .

“අපිට මේ පිළිබඳ මතයක් නැහැ . ගුවන් මගීන් තමයි මේ පිළිබඳ තීරණය ගන්න ඕන.ඔවුන් මුදල් දීල ප්‍රවේශ පත්‍ර මිළදී ගන්නා විට ඔවුන්ගේ අවශ්‍යතා මත ගුවන් සේවය තෝරා ගැනීමට ඔවුන්ට නිදහසක් තියෙනවා”යැයි රෙහාන් වන්නිඅප්පා පැවසීය.

ගුවන් මගීන් තමයි මේ පිළිබඳ තීරණය ගන්න ඕන.ඔවුන් මුදල් දීල ප්‍රවේශ පත්‍ර මිළදී ගන්නා විට ඔවුන්ගේ අවශ්‍යතා මත ගුවන් සේවය තෝරා ගැනීමට ඔවුන්ට නිදහසක් තියෙනවා”යැයි රෙහාන් වන්නිඅප්පා පැවසීය .

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "ගුවන් මගීන් තමයි මේ පිළිබඳ තීරණය ගන්න ඕන.ඔවුන් මුදල් දීල ප්‍රවේශ පත්‍ර මිළදී ගන්නා විට ඔවුන්ගේ අවශ්‍යතා මත ගුවන් සේවය තෝරා ගැනීමට ඔවුන්ට නිදහසක් තියෙනවා”යැයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රෙහාන් වන්නිඅප්පා පැවසීය

කෙසේවෙතත් මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා නව විදේශීය විධායක නිලධාරීවරයෙකු පත් කර ඇති අතර , එළඹෙන 2024 වසරේ ජනවාරි මස මෙම ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීමේ වගකීම ඔහු වෙත පවරා ඇති බව අමාත්‍යවරයා ප්‍රසිද්ධ ජනමාධ්‍ය වෙත අනාවරණය කර තිබේ .

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම වසරේ ගත වූ මාස 8 ක කාළය තුළ ලාභ උපයා ඇති බව අමාත්‍යවරයා පසුගිය දා පුවත් පත්වලට ප්‍රකාශ කර තිබුණි . එසේම පසුගිය වසර 3 ක කාලය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවය මහා භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් ලබා නොගෙන සිය මෙහෙයුම් කටයුතු කර ගෙන ගොස් ඇති බව එම ගුවන් සේවා අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේය.

ජාතික ගුවන් සේවයක් රටකට වැදගත් වන්නේ ඇයි ?

රටකට ජාතික ගුවන් සේවාවක් පවත්වා ගෙන යාමේ වටිනාකමක් ඇති වන අවස්ථා නැතිවා ද නොවේ.

මෙයින් එක් අවස්ථාවක් උදා වූයේ මීට වසර කීපයකට පෙරය.එහිදී ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන වන්දනාවට විශාල වැඩිහිටි පිරිසක් ශ්‍රී ලංකාවේ සිට විවිධ ගුවන් සේවා මගින් ඉන්දියාවට ගොස් තිබුණි. එහිදී හදිසියේම ඉන්දියාවේ දැඩි ගංවතුර තත්වයක් ඇති වී එම ශ්‍රී ලාංකික වන්දනාකරුවන් පිරිස දකුණු ඉන්දීයාවේ කොටු විය. මේ තත්ත්වය යටතේ ඔවුන් ඉන්දියාවට රැගෙන ගිය ගුවන් සේවා වෙත මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ආපසු ගෙනැවිත් දෙන ලෙස දැනුම් දීම් කීපයක් කර තිබුණද, එය ඔවුන්ගේ වගකීමක් වුවද ඔවුන් එම ඉල්ලීම් සදහා ප්‍රතිචාර නොදක්වා නොතිබුණි.

මෙම පසුබිම යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සමග සම්බන්ධ වී මෙම වන්දනාකරුවන් පිරිස යළි ශ්‍රී ලංකාවට රැගෙන ඒමට පියවර ගෙන තිබුණි.

පසුගිය කොවිඩ් වසංගත සමයේ ආරම්භක අවධියේ චීනයේ කොටු වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිස පැවති අවදානම ද නොතකා විශේෂ ගුවන් යානයක් මගින් යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගැනීම එකල මහත් ඇගැයීමට ලක් වී තිබුණි.

එයා බස් නියෝ ගුවන් යානා සඳහා අවශ්‍ය එංජින් තවදුරටත් ප්‍රංශයේ එයාර් බස් සමාගමේ සිට ශ්‍රී ලන්කන් වෙත පැමිණීම ප්‍රමාද වී

ඡායාරූප මූලාශ්‍රය, srilankan

ඡායාරූප ශීර්ෂ වැකිය, A320 neo වර්ගයේ ගුවන් යානා 2 ක් එංජින් නොමැතිකම නිසා ශ්‍රී ලන්කන් හැංගරය තුළ නවතා ඇත.

යානා ප්‍රමාදය ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවය කියන්නේ කුමක්ද?

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරාගෙන් විමසනු ලැබූ අතර ඔහු පැවසුවේ මේ වනවිට මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානා ප්‍රමාද වීම් සහ අවලංගු වීම පාලනය කර ඇති බවය.

“ඒ සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග ශ්‍රී ලන්කන් වෘත්තීය සමිති ඇති කර ගත් එකඟතා මහත්සේ ඉවහල් වී තියෙනවා. ඒ අනුව මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් යානා ප්‍රමාද වීම සහ අවලංගු වීම නොමැති තත්වයකට පත් වී තියෙනවා. ඒ සදහා ගුවන් යානා ප්‍රවාහන කාළසටහන පවතින සක්‍රිය ගුවන් යානා සංඛ්‍යාව මත පදනම් වෙමින් සංශෝධනය කර තියෙනවා . ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් යානා ප්‍රමාද වීම සහ අවලංගු වීම පාලනය කර ගැනීමට හැකි වී තිබෙනවා.” ඔහු පැවසීය.

එසේම ප්‍රංශයේ සිට තම ගුවන් යානා සඳහා අවශ්‍ය අමතර කොටස් ලැබීම ආරම්භ වී ඇති බවත් ගුවන් යානා නඩත්තුව සහ අලුත්වැඩියා කිරීම කාර්යක්ෂමව කිරීමට අවස්ථාව උදා වී ඇති බවත් දීපාල් පෙරේරා සඳහන් කළේය.

එහෙත් එයා බස් නියෝ ගුවන් යානා සඳහා අවශ්‍ය එංජින් තවදුරටත් ප්‍රංශයේ එයාර් බස් සමාගමේ සිට ශ්‍රී ලන්කන් වෙත පැමිණීම ප්‍රමාද වී පවතින බවත් එනිසා එම ගුවන් යානා 2 ක තවදුරටත් සේවය සඳහා යොදා ගැනීමට නොහැකි වී ඇති බවත් දීපාල් පෙරේරා පැවසීය.

වෘත්තීය සමිති පවසන්නේ කුමක්ද ?

මෙම තත්ත්වය පිළිබඳව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අන්තර් සේවක සංගමයේ ලේකම් ගාමිණී රණතුංගගෙන් බීබීසී සිංහල විමසීමක් කළේය.

ඔහු පැවසුවේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා නීතිරීති අකුරටම පිළිපැදීමට තම වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇති බවය.

ඒ අනුව නිදසුනක් ලෙස ගුවන් යානා ඉංජිනේරුවරයෙකු දිනකට අතිකාල සේවා සඳහා නිරත විය හැක්කේ වැඩිපුර එක් පැයක කාලයක් සඳහා පමණි.තවදුරටත් ඉංජිනේරුවරුන්ගේ සේවය අවශ්‍ය නම් වෙනත් විකල්ප ඉංජිනේරුවරයෙකු ඒ සදහා කැඳවිය යුතුය. මෙම තත්ත්වය තාක්ෂණවේදීන් සඳහා ද ඒ ආකාරයෙන්ම අදාල වේ .

මෙම ජාත්‍යන්තර නීතිරීති , පිරිවිතරයන් උල්ලංඝනය නොකර ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවත්වා ගැනීමට මේ වනවිට තීරණය කර තිබේ. එසේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා නීතිරීති උල්ලංඝණය කළහොත් , ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය අසාදු ලේඛනගත කිරීමේ අවදානමක් ද ඇති විය හැකි බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.

එහෙත් ශ්‍රී ලන්කන් ගුවන් සේවා උසස් නිලධාරීන් මෙම ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන් පවත්වා ගත යුතු අනුපාතය , නැතිනම් ප්‍රතිශතය ගනන් නොගෙන අත්තනෝමතික ලෙස කටයුතු කරමින් සිටින බවට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු සංගමය පැවසීය.

නිදසුනක් ලෙස ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරුන් 10 දෙනෙකු යටතේ කනිෂ්ඨ තාක්ෂණික ශිල්පීන් 100 ක් , පුහුණු වන අතර සේවයේ යෙදීමද පෙන්වා දිය හැකිය.

ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙකු පැයක දී කරන කාර්යය භාරය කනිෂ්ඨ තාක්ෂණ ශිල්පීන් 4 දෙනෙකු විසින් පැයක දී ඉටු කරනු ලබයි.

මේ පසුබිම යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන්ගේ හිගයක් පවතින අතර , ඒ සඳහා නව බඳවා ගැනීම් කිරීමට ශ්‍රී ලන්කන් උසස් නිලධාරීන් කල් යල් බලමින් කටයුතු කරමින් සිටීම මෙම ගුවන් යානා ප්‍රමාද වීමට සහ අවලංගු වීමට ඍජුව බලපා ඇති බව නම හෙළිදරව් කිරිමට අකමැති වූ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙකු සඳහන් කළේය .

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවන්නේ කෙසේද?

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා විශේෂ කමිටුවක් මේ වනවිට රජය විසින් පත් කර ඇති අතර , එම කමිටුව මගින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා ජාත්‍යන්තර මිල ගණන් කැඳවීමක් (ලංසු කැදවීමක් ) කර තිබේ.

ඒ සඳහා ලැබී ඇති ටෙන්ඩර් පත් අඩංගු පෙට්ටිය විවෘත කිරීම (දෙසැම්බර් 05 වැනිදා) සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා පැවසීය.

එතෙක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මිළදී ගැනීමට අපේක්ෂා කරන්නේ කවුරුන්ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය .

ශ්‍රී ලන්කන් මිළදී ගැනීමට එමිරේට්ස් නැතහොත් කටාර් ගුවන් සේවය ඉදිරිපත් වී ඇති බවට පළ වන වාර්තා දීපාල් පෙරේරා බැහැර කළේය .