ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි යනු කවුද? ඔහුගේ පවුල කෙතරම් බලගතු ද?

An Iranian woman holds a poster of Iranian Supreme Leader Ayatollah Ali Khamenei during an anti-Israel rally in Tehran, Iran, 14 June 2025 2025 ජුනි 14 වන දින ඉරානයේ ටෙහෙරාන් නුවර පැවති ඊශ්‍රායල විරෝධී රැලියක් අතරතුර ඉරාන කාන්තාවක් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ පෝස්ටරයක් ​​අතැතිව සිටී.

ඡායාරූප මූලාශ්‍රය, EPA-EFE/Shutterstock

    • Author, බීබීසී පර්සියානු සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 6

වත්මන් ගැටුම අතරතුර ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට ඊශ්‍රායලය විසින් කරන ලද සැලැස්මක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළ බව කියනු ලබන අතර, එය "හොඳ අදහසක් නොවන" බවට විස්තර කළ බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලය පවසන්නේ, සිය ප්‍රහාර ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ තර්ජනය නැවැත්වීම අරමුණු කරගෙන ඇති බව ය. නමුත් අගමැති නෙතන්යාහු ද පැවසුවේ, ප්‍රහාර පාලන තන්ත්‍රයේ වෙනසක් ඇති කළ හැකි බව ය. ඔහු මීට පෙර ඉරාන ජනතාවගෙන් ඉල්ලා සිටියේ, ඔවුන්ගේ නායකයින්ට එරෙහිව නැගී සිටින ලෙස ය.

ඉරානයේ උත්තරීතර නායකයා කවුද?, ඔහු රට තුළ දරන බලය කුමක් ද? සහ ඔහුගේ පවුල රටේ දේශපාලනය තුළ ඉටු කරන කාර්ය භාරය කුමක් දැයි අපි සොයා බලමු.

වීඩියෝ ශීර්ෂ වැකිය, 1989 සිට අයතුල්ලා අලි කමේනි ඉරානයේ උත්තරීතර නායකයා ලෙස කටයුතු කරයි.

1989 සිට අයතුල්ලා අලි කමේනි ඉරානයේ උත්තරීතර නායකයා වන අතර, 1979 විප්ලවයෙන් පසු ඔහු රටේ දෙවන නායකයා බවට පත්විය. ඔහු බලයේ නොමැති ජීවිතයක් තරුණ ඉරාන ජාතිකයන් කිසි දා දැන සිටියේ නැත.

ඔහු ප්‍රධාන බලයක් දරන අතර, ඕනෑ ම ප්‍රතිපත්තියක් අවහිර කිරීමට සහ විවිධ බල කණ්ඩායම් තුලනය කරමින්, රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ඕනෑ ම කාරණයක් නිෂේධ කිරීමට සහ රාජ්‍ය තනතුරු සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමට ඔහුට හැකියාව ඇත.

රාජ්‍ය නායකයා සහ ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ඇතුළු හමුදාවේ සේනා විධායකයා ලෙස, ඔහුගේ තනතුර ඔහුව බලවත් තැනැත්තෙකු බවට පත් කොට තිබේ.

ඔහු 1939 දී ඉරානයේ දෙවන විශාලතම නගරය වන මෂාඩ්හි උපත ලැබී ය.

ආගමික පවුලක දරුවන් අට දෙනාගෙන් දෙවැන්නා වූ ඔහුගේ පියා ඉරානයේ ප්‍රමුඛ නිකාය වන ඉස්ලාම් ආගමේ ෂියාවරුන්ගේ මධ්‍යම පෙළේ පූජකයෙකි.

ඔහු ප්‍රධාන වශයෙන් කුරානය හැදෑරූ අතර වයස අවුරුදු 11 දී පූජකයෙකු බවට පත්විමට සුදුසුකම් ලැබීය.

නමුත්, එකල බොහෝ ආගමික නායකයින් මෙන්, ඔහුගේ කාර්යය අධ්‍යාත්මික මෙන්ම දේශපාලනික විය.

ශක්තිමත් කථිකයෙකු වූ කමේනි, පසුව ඉස්ලාමීය විප්ලවයෙන් බලයෙන් පහ කරන ලද ෂා රජුට විරුද්ධ වූ අය සමඟ එක් විය.

වධහිංසා ලක්වෙමින් හා අභ්‍යන්තර පිටුවහල් කිරීම් අත්විඳිමින් වසර ගණනාවක් ඔහු රහසිගතව හෝ සිරගෙවල්වල ජීවත් විය. ෂාගේ රහස් පොලිසිය විසින් ඔහු හය වතාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

1979 ඉස්ලාමීය විප්ලවයෙන් වසරකට පසු, අයතුල්ලා රුහොල්ලා කොමේනි ඔහු ව ටෙහෙරානයේ සිකුරාදා යාඥා නායකයා ලෙස පත් කළේය. පසුව 1981 දී කමේනි ජනාධිපති ලෙස තේරී පත් වූ අතර, 1989 දී, කොමේනිගේ මරණයෙන් පසු, ආගමික නායකයින් කමේනිව ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස තෝරා ගන්නා ලදී.

ඔහුගේ පුත් මොජ්තාබා කොතරම් බලවත් ද?

අලි කමේනි කලාතුරකින් විදේශගත වන අතර මධ්‍යම ටෙහෙරානයේ තම බිරිඳ සමඟ නිවාස සංකීර්ණයක සරලව ජීවත් වන බව කියනු ලැබේ.

ඔහු ගෙවතු වගාව සහ කවි වලට ප්‍රිය කරන බව පැවසේ. ඉරානයේ ආගමික නායකයෙකුට දුර්ලභ සිදුවීමක් වන ඔහු තරුණ වියේදී දුම් පානය කිරීමට පුරුදුව සිටියේය. 1980 ගණන්වල ඝාතන උත්සාහයකින් ඔහුගේ දකුණු අත භාවිත කිරීමට නොහැකි තත්ත්වයට පත් විය.

ඔහුට සහ ඔහුගේ බිරිඳ වන මන්සූරේ කොජාස්තේ බකර්සාදේට දරුවන් හය දෙනෙක් සිටියි. ඒ පුතුන් හතර දෙනෙක් සහ දියණියන් දෙදෙනෙකි.

කමේනි පවුල ප්‍රසිද්ධියේ දක්නට ලැබෙන්නේ කලාතුරකිනි, ඔහුගේ දරුවන්ගේ පෞද්ගලික ජීවිත ගැන දන්නේ අල්ප වශයෙනි.

ඔහුගේ පුතුන් සිව්දෙනාගෙන්, මොජ්තාබා වඩාත් ප්‍රසිද්ධ වන්නේ ඔහුගේ ඇති බලපෑම නිසා සහ ඔහුගේ පියාට සමීපව වැදගත් කාර්යභාරයක් ඉටු කරන බැවිනි.

File picture of Mojtaba Khamenei attends a demonstration in Tehran in 2019 2019 දී ටෙහෙරානයේ පැවති උද්ඝෝෂණයකට සහභාගී වන මොජ්තාබා කමේනිගේ සංරක්ෂිත ඡායාරූපයක්.

ඡායාරූප මූලාශ්‍රය, NurPhoto/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, උත්තරීතර නායකයාගේ දෙවන පුත්‍රයා වන මොජ්තාබා කමේනි, ඉස්ලාමීය ජනරජයේ බලවත්ම පුද්ගලයින්ගෙන් කෙනෙකු ලෙස සැලකේ.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මොජ්තාබා ටෙහෙරානයේ අලවි උසස් පාසලට ඇතුළත් වූ අතර, එම පාසලට සාම්ප්‍රදායිකව ඉස්ලාමීය ජනරජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ දරුවන් ද ඇතුළත් වේ.

ඔහු පූජකයෙකු වීමට පෙර ප්‍රසිද්ධ ගතානුගතිකයෙකු වන ගෝලාම්-අලි හඩාඩ්-අඩෙල්ගේ දියණිය සමඟ විවාහ විය. ඔහු වයස අවුරුදු 30 දී ඉරානයේ ඉහළම ෂියා පාසල වන කොම් සෙමනේරියේ විධිමත් ආගමික අධ්‍යයන කටයුතු ආරම්භ කළේය.

2000 දශකයේ මැද භාගය වන විට, මොජ්ටාබා දේශපාලනික වශයෙන් වඩාත් බලගතු වූ නමුත්, මාධ්‍ය ඒ ගැන කතා කළේ කලාතුරකිනි.

2004 දී මතභේදාත්මක ජනාධිපතිවරණවලින් පසුව මොජ්ටාබා අවධානයට ලක් වූයේ, ප්‍රමුඛ අපේක්ෂකයෙකු වූ මෙහ්ඩි කරෝබි විසින් අයතුල්ලා කමේනි වෙත විවෘත ලිපියක් යවමින්, මොජ්ටාබා මහමුද් අහමඩිනෙජාඩ්ට ජයග්‍රහණය කරලීම සඳහා රහසිගතව උදව් කළ බවට චෝදනා කිරීමත් සමඟය.

2010 ගණන්වල සිට, බොහෝ දෙනෙක් මොජ්ටාබා ඉතා බලවත් කෙනෙකු ලෙස දකින අතර කමේනිගෙන් පසු එම තනතුර සඳහා මීළඟ තේරීම ද ඔහු විය හැකිය. නමුත් ඇතැම් නිලධාරීන් පවසන්නේ මෙය සත්‍ය නොවන බවයි.

අලි කමේනි රජෙකු නොවන අතර ඔහුට ඔහුගේ පුත්‍රයාට සෘජුව ම බලය පැවරිය නොහැක. නමුත් මොජ්ටාබාට ඔහුගේ පියාගේ දැඩි මතධාරී කණ්ඩායම තුළ විශාල බලපෑමක් ඇත. විශේෂයෙන් ව්‍යවස්ථාපිත ආයතන යටපත් කරන බලවත් උත්තරීතර නායක කාර්යාලය ඇතුළුව ඔහුගේ පියාගේ දැඩි මතධාරී කවයන් තුළ මොජ්ටාබාට සැලකිය යුතු බලයක් ඇත.

මුස්තාෆා කමේනි පවුලේ වැඩිමහල් පුත්‍රයාය. ඔහුගේ බිරිඳ දැඩි ගතානුගතික සම්ප්‍රදායික පූජකයෙකු වන අසිසොල්ලා කොෂ්වාග්ට්ගේ දියණියයි.

1980 ගණන්වල ඉරාන-ඉරාක යුද්ධයේදී මුස්තාෆා සහ මොජ්ටාබා යන දෙදෙනාම ඉදිරි පෙළේ සේවය කළහ.

Seyyed Meysam Hosseini Khamenei, the youngest son of Iran's Supreme Leader Ali Khamenei in May 2017 in Tehran, Iran ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බාල පුත්‍රයා වන සෙයිද් මේයිසම් හොසේනි කමේනි 2017 මැයි මාසයේදී ඉරානයේ ටෙහෙරාන් නුවරදී

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මේයිසම් යනු කමේනිගේ බාල පුත්‍රයාය.

අලි කමේනිගේ තුන්වන පුත්‍රයා මසූඩ් වන අතර ඔහු 1972 දී උපත ලැබීය. ඔහු විවාහ වී සිටින්නේ කොම් සෙමනේරියේ ගතානුගතික ගුරු සංගමයට අනුබද්ධ සුප්‍රසිද්ධ පූජකයෙකු වන මොහ්සෙන් කරාසිගේ දියණිය සහ ප්‍රතිසංස්කරණවාදී නැඹුරුවක් ඇති හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන මොහොමඩ් සඩෙග් කරාසිගේ සහෝදරිය වන සුසන් කරාසි සමඟ ය.

මසූඩ් කමේනි දේශපාලනයෙන් ඉවත්ව සිටින අතර, ඔහු ගැන තොරතුරු ප්‍රසිද්ධියට පත් ව ඇත්තේ ඉතා අල්ප වශයෙනි.

ඔහු පෙර දී තම පියාගේ කාර්යාලයේ ප්‍රධානියා වූ අතර ප්‍රධාන ප්‍රොපගැන්ඩා හස්තය ලෙස ක්‍රියා කළේය; ඔහු තම පියාගේ චරිතාපදානය සහ මතක සටහන් සම්පාදනය කිරීමේ වගකීම ද දැරීය.

බාල පුත්‍රයා වන මේයිසම් 1977 දී උපත ලැබීය. සිය වැඩිමහල් සහෝදරයන් තිදෙනා මෙන් ඔහු ද පූජකයෙකි.

ඔහුගේ බිරිඳගේ නම පිළිබඳ මාධ්‍ය ඔස්සේ සඳහනක් කර නොමැති අතර ඇය 1979 දී විප්ලවයට පෙර විප්ලවවාදී පූජකවරුන්ට මූල්‍යමය වශයෙන් සහාය දීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ධනවත් හා බලගතු වෙළෙන්දෙකු වූ මහමුද් ලොලාචියන්ගේ දියණිය බව පැවසේ.

මේයිසම් ඔහුගේ සහෝදරයා වන මසූඩ් සමඟ ඔවුන්ගේ පියාගේ කෘති සංරක්ෂණය හා ප්‍රකාශනය සඳහා වූ කාර්යාලයේ සේවය කර ඇත.

දියණියන් දෙදෙනා

කමේනිගේ දියණියන් ගැන ප්‍රසිද්ධියේ දන්නේ ඉතා අල්ප වශයෙනි.

බුෂ්රා සහ හෝඩා පවුලේ ලාබාලම සාමාජිකයන් වන අතර දෙදෙනාම 1979 විප්ලවයෙන් පසුව උපත ලැබූහ.

බුෂ්රා 1980 දී උපත ලැබූ අතර, කමේනිගේ කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානියා වන ගෝලම්හොසේන් (මොහොමඩ්) මොහොමඩි ගොල්පයෙගානිගේ පුත්‍රයා වන මොහොමඩ්-ජාවාඩ් මොහොමඩි ගොල්පයෙගානි සමඟ විවාහ වී ඇත.

බාලම දරුවා වන හෝඩා 1981 දී උපත ලැබීය. ඇය ඉමාම් සාදික් විශ්ව විද්‍යාලයේ අලෙවිකරණය හැදෑරූ සහ ඉගැන්වූ මෙස්බා අල්-හෝඩා බගෙරි කානි සමඟ විවාහ වී ඇත.

ඇලෙක්සැන්ඩ්‍රා ෆවුචේ විසින් සංස්කරණය කරන ලදී.