සඳුදා (ජූනි 24) සවස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේ, ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයකට එකඟ වූ බවත් එය කල් පවතින සාමයකට මග පාදනු ඇති බවත් ය.
මෙම සටන් විරාමය පැවතුණහොත්, එය ස්ථිර සාමයක් බවට පරිවර්තනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
නමුත් අනෙකුත් ගැටුම්වලදී මෙන්, මේ සඳහා ද විශාල දක්ෂ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් අවශ්‍ය වෙනවා.
සටන් විරාමය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, "සටන් විරාමය" යන වචනය සඳහා තනි, විශ්වීයව පිළිගත් අර්ථ දැක්වීමක් නොමැති නමුත් එම වචනය "වෙඩි තැබීම නැවත් වන්නැයි" යන හමුදා නියෝගයෙන් පැමිණ ඇති අතර, එය "වෙඩි තැබීමේ" නියෝගයට ප්‍රතිවිරුද්ධ අර්ථයක් ගෙන දේ.
සටන් විරාමයක් ස්ථිර ද නැතිනම් තාවකාලික ද?
එය දෙආකාරයෙන් ම විය හැකි යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
ඇතැම් අවස්ථාවලදී, යුද්ධයක ප්‍රතිවිරුද්ධ පාර්ශව දෙක තාවකාලික හෝ මූලික සටන් විරාමයකට එකඟ වෙනවා.
ඒ, ප්‍රචණ්ඩත්වය අඩු කිරීමට හෝ මානුෂීය අර්බුදයක් සමනය කිරීමට වෙන්න පුළුවන්.
2023 නොවැම්බර් 24 සිට නොවැම්බර් 30 දක්වා කාලය තුළ ඊශ්‍රායලය සහ හමාස් ප්‍රමුඛ සටන්කාමී කණ්ඩායම් තාවකාලික සටන් විරාමයකට එකඟ වූ විට, හමාස් සංවිධානය සිරකරුවන් 240ක් පමණ නිදහස් කිරීම වෙනුවෙන් ප්‍රාණ ඇපකරුවන් 105 දෙනෙකු නිදහස් කළා.
සාකච්ඡා සඳහා උපකාරී වන සහ ස්ථිර හෝ නිශ්චිත සටන් විරාමයක් සඳහා මාවතක් සැකසීමට උපකාරී වන පරිසරයක් නිර්මාණය කිරීමටත් මූලික සටන් විරාමයකට එකඟ වෙන්න පුළුවන්.
තවත් අවස්ථාවලදී, සටන් කරන පාර්ශවයන්ගෙන් එක් පාර්ශවයක් හෝ පාර්ශව දෙක ම තමන් නැවත ශක්තිමත් කර ගැනීම සඳහා මූලික සටන් විරාමයක් භාවිත කිරීමට උත්සහ කරන්න පුළුවන්.
නියත (හෝ ස්ථිර) සටන් විරාමයක් සාමාන්‍යයෙන් ඇති වන්නේ සටන් කරන දෙපාර්ශවය අතර සාර්ථක සාම සාකච්ඡාවලින් පසුව යි.
සාමාන්‍යයෙන් එයට හඳුනාගත් හමුදාවන් නිරායුධ කිරීම හෝ විසුරුවා හැරීම ඇතුළත් වෙනවා. නමුත් ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව ත් පසු විපරම් ආරක්ෂක විධිවිධාන වසර ගණනාවක් පුරා පැවතිය හැකි යි.