'කිසි ම තැනක ආරක්ෂාවක් නෑ': ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ ඉරාන වැසියන්ගේ ජීවිත වෙනස් වූ හැටි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
- Author, BBC පර්සියානු සේවය
"හිරවෙලා". ඉරානයේ ගෙවන ජීවිතය විස්තර කිරීමට බීබීසී පුවත් සේවයට කතා කළ බොහෝ දෙනෙකු භාවිත කළ වචනය එය යි.
දින තුනක ඊශ්‍රායල ප්‍රහාරවලින් පසු, "හැමෝම මොනයම් හෝ ආකාරයකින් ටෙහෙරානයෙන් පැන යාමට උත්සහ කරනවා," යැයි එක් නිවැසියෙක් බීබීසී පර්සියානු පුවත් සේවයට පැවසීය.
ඉරිදා දිනයේ නගරය පුරා ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ඇති විය. බොහෝ නගර වැසියන් ඊශ්‍රායල් ඉලක්කවලින් තොර දූරස්ථ ප්‍රදේශවලට යාමට උත්සහ කළ නමුත්, අධික වාහන තදබදය නිසා ප්‍රදේශයෙන් පිටතට යාමට පවා නොහැකි විය.
"ටෙහෙරාන් පැහැදිලිව ම ආරක්ෂිත තැනක් නෙවෙයි," ටෙහෙරාන්හි පදිංචිකරුවෙක් පැවසීය. "ඊශ්‍රායලයෙන් එල්ල කරන ප්‍රහාර ගැන නිලධාරීන්ගෙන් කිසි ම අනතුරු ඇඟවීමක්වත්, හදිසි අනතුරු සංඥාවක්වත් අපට ලැබෙන්නෙ නෑ."
ටෙහෙරාන් නගරයේ සිට වෙනත් ප්‍රදේශයකට පළා යාමට හැකි වූ පුද්ගලයෙකු පැවසුවේ, "මම ක්‍රියාකාරී යුද්ධ කලාපයක ජීවත් වෙන බව මට සම්පූර්ණයෙන් ම වැටහිලා තියෙන බවක් මම හිතන්නෙ නෑ, ඒ වගේ ම මට ඒක කවදා වැටහෙයි ද කියලා මට විශ්වාසයක් නැහැ."
"මේක මගේ යුද්ධයක් නෙවෙයි. මම කිසි ම පැත්තකට පක්ෂව කතා කරන්නේ නැහැ, මට ඕන මගේ පවුලත් එක්ක ජීවත් වෙන්න විතර යි."
"අපේ නායකයින් අපි ගැන තැකීමක් නොකිරීම ගැන කනගාටු යි. හැමෝම ආතතියෙන් ඉන්නේ. ඒක හරි ම වේදනාකාරී යි," ඉරාන කාන්තාවක් පැවසීය.
සිකුරාදා සිට, ඊශ්‍රායලය වසර ගණනාවකට පසු එල්ල කළ දැවැන්ත ම ගුවන් ප්‍රහාර මාලාවකින් ඉරානයට පහර දුන්නේ ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඉරානය පළිගැනීමක් ලෙස ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කළේ ය.
සිකුරාදා සිට එල්ල වූ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති බව බලධාරීහු පැවසූහ. මේ අතර, සිකුරාදා සිට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 224 දෙනෙකු මිය ගොස් ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය ඉරිදා පැවසීය.
ඉරාන ජාතික කාන්තාවක බීබීසී පුවත් සේවයට පැවසුවේ, ඇයට රාත්‍රී දෙකක් නිදා ගැනීමට නොහැකි වූ බව ය: "මම ඇත්තට ම අමාරු අවස්ථාවලට මුහුණ දුන්නා."
වර්තමාන තත්ත්වය, ඇය කුඩා කාලයේ 1980 ගණන්වල ඉරාන-ඉරාක යුද්ධය අතරතුර බෝම්බ ප්‍රහාර එල්ල වීම් සහ නවාතැන් සොයා ගිය ආකාරය සිහිපත් කරන බව ඇය පැවසුවා ය.
"ඒ කාලේ, අඩු ම තරමින් ප්‍රහාරයක් එල්ල වුණා ම, අපට සයිරන් හඬක් හරි අඩු තරමින් අනතුරු ඇඟවීමක්වත් ඇහුණා. ඒත් දැන්, මේ බෝම්බ ප්‍රහාර හෝ ඕන ම ගුවන් ප්‍රහාරයක් සිද්ධ වෙනකොට, සයිරන් හඬක්වත් අනතුරු ඇඟවීමක්වත් ලැබෙන්නෙ නැහැ."
යුද්ධයෙන් පසු උපන් තරුණ පරම්පරාව එය කෙබඳු දැයි නොදන්නා බව බීබීසී පර්සියානු පුවත් සේවයේ ගොන්චේ හබීබිඅසාද් පැවසීය.
ටෙහෙරානයේ තවත් කාන්තාවක පැවසුවේ, ප්‍රහාරවලින් බේරීම සඳහා නගරය හැර යාම ගැන සලකා බැලූ බව ය.
"අපි හැමෝට ම ඕනෑ ම තැනකට කුඩා නගරවලට හෝ ගම්වලට යන්න ඕන වුණා, ඒත් අපි හැමෝට ම දාලා යන්න බැරි ආදරණීයයන් ඉන්නවා, අපි ඔවුන් ගැන හිතනවා," ඇය පැවසුවා ය. "අපි අත්විඳින දේ ඉරානයේ ජීවත් වෙන අපට සාධාරණ දෙයක් නෙවෙයි."
"අපි හැමෝම මේ දවස්වල කාලය ගත කරන්නේ, බයෙන්, මහන්සියෙන් සහ දැඩි ආතතියකින්, මේක ගොඩක් දුෂ්කර යි වේදනාකාරී යි."
ටෙහෙරාන් අගනුවර පදිංචිකරුවෙක් මෙසේ පැවසීය: "මට ටෙහෙරාන් නගරය අත් ඇරල යන්න බෑ. ගොඩක් දුර යන්න බැරි මගේ වයසක දෙමාපියන් අත් ඇරල මට යන්න බෑ. ඊට අමතරව, මම රැකියාවට යන්න ඕනෙ. දැන් මම මොකක් ද කරන්නෙ?"

ඡායාරූප මූලාශ්‍රය, EPA-EFE
ඉන්ටර්නෙට් සබඳතා අස්ථාවර වී ඇති හෙයින්, රට තුළ සිටින පුද්ගලයින් සමග සම්බන්ධතා පැවැත්වීම ඉතා අපහසු වී තිබේ.
රටින් පිටත ජීවත් වන බොහෝ දෙනෙක් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් ඉරානයේ සිටින ආදරණීයයන්ට පණිවුඩ යවති.
ඇතැම් පුද්ගලයින්ට ඊශ්‍රායල් හමුදාවෙන් අනතුරු ඇඟවීම් ලැබී ඇති අතර, සියලු ම ඉරාන ජාතිකයින්ට හමුදා ස්ථාන අසල ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ඉල්ලා ඇත. ටෙහෙරානයේ ජනතාව මේ ගැන වඩාත් කනස්සල්ලට පත්ව සිටින බව පෙනේ.
"හමුදා මර්මස්ථාන තියෙන්නේ කොහේ ද? නැත්තේ කොහේ ද? කියල අපි දැන ගන්නේ කොහොම ද?" එක් අයෙක් පැවසීය.
ප්‍රහාර මාලාවේ දෙවන දිනයේ ඉරාන වැසියන් වෙත පණිවුඩයක් යවමින් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු දැනුම් දී තිබුණේ, ඉරාන වැසියන්ට "ඔබේ නිදහස වෙනුවෙන් නැගී සිට එක්සත් වීමට කාලය එළඹ ඇති" බව ය.
කෙසේ වෙතත්, ඉරානෙය් ජනතාව මේ දක්වා රට තුළ ම ආරක්ෂිතව සිටීම තෝරාගෙන ඇති අතර, නෙතන්යාහුගේ ආමන්ත්‍රණය පිළිබඳව ජනතාව අතර අවධානයක් යොමු වූ බවට සාක්ෂි නොමැති බව බීබීසී පර්සියානු පුවත් සේවයේ දාරියුෂ් කරීමි පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉරානය තුළ, න්‍යෂ්ටික මර්මස්ථාන සහ ගුවන් කඳවුරුවලට එල්ල වූ ප්‍රහාරවලට වඩා, නේවාසික ගොඩනැගිලි විනාශ වීම, ජනතාව වඩාත් කම්පනයට පත් කළ බව බීබීසී පර්සියානු පුවත් සේවයේ පූයාන් කලානි පැවසීය.
ඉරාන-ඉරාක යුද්ධය අවසන් වීමෙන් පසු බොහෝ ඉරාන වැසියන් එවැනි දර්ශන, විශේෂයෙන් අගනුවර වීදිවල දැක තිබුණේ නැත.
හරියට ම සිදුවෙමින් තිබුණේ කුමක් ද? එය කෙතරම් පුළුල්ව පැතිරී තිබුණා ද? සහ ඔවුන් තමන් සහ ඔවුන්ගේ පවුල් ආරක්ෂා කර ගන්නේ කෙසේ ද? යන්න ටෙහෙරානයේ සහ වෙනත් ප්‍රදේශවල වෙසෙන බොහෝ දෙනෙකුට සිකුරාදා සිදුවූ ව්‍යාකූලත්වය තවමත් ආවර්ජණය කළ හැකි ය.
රජයේ ප්‍රතිචාරය
ඉරානය තුළ ජනතාව වඩාත් කම්පනයට පත් වූයේ, න්‍යෂ්ටික පහසුකම් සහ ගුවන් කඳවුරුවලට එල්ල වූ ප්‍රහාරවලටත් වඩා නේවාසික මහල් ගොඩනැගිලි විනාශ වීම හේතුවෙන් බව බීබීසී පර්සියානු පුවත් සේවයේ පූයාන් කලානි පවසයි. එය මහජනතාව හෝ රජයේ නිලධාරීන් අපේක්ෂා නොකළ දෙයකි.
සුන්බුන් යට මිය ගිය දරුවෙකුගේ, වීදියේ වැතිර සිටින දූවිලිවලින් වැසී ගිය ටෙඩි බෙයාර් කෙනෙකුගේ සහ බිම විසිරී ඇති කටු සටහන් පොතක රූප, ඉරාන-ඉරාක යුද්ධය අවසන් වූ දා සිට බොහෝ ඉරාන වැසියන් දැක නොතිබූ දර්ශන විය.
ටෙහෙරානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු බොහෝ දෙනෙකු සැබවින් ම සිදුවන්නේ කුමක් ද?, ගැටුම් කොතරම් දුරට ව්‍යාප්ත වනු ඇත් ද? සහ ඔවුන්ගේ පවුල් ආරක්ෂිතව තබා ගන්නේ කෙසේ ද? යන්න පිළිබඳව ප්‍රශ්න කිරීමට පෙළඹ සිටිති.
ඊශ්‍රායලයට පැය කිහිපයක් ඇතුළත තීරණාත්මක ඉලක්ක වෙත බෝම්බ හෙළීමට හැකි වන තරමට රටේ ගුවන් ආරක්ෂක පද්ධතිය අකාර්යක්ෂම වූයේ මන්දැයි පැහැදිලි කිරීමට ඉරාන නිලධාරීහු ද අසමත් වූහ.
ඊශ්‍රායලයේ පළමු ප්‍රහාරය එල්ල වී පැය කිහිපයකට පසුවත්, දිනකට පසුවත් ඉරාන රජය තවමත් සිදුවන්නේ කුමක් ද? යන්න ගැන සිය රට වැසියන්ට පැහැදිලි කර නොතිබිණි. රට යුද්ධයකට එළඹ ඇති ද? යන්න බොහෝ අය කල්පනා කළහ.
රාජ්‍ය රූපවාහිනියේ පෙනී සිටි ඉරාන නිලධාරීන් ප්‍රහාරය අවතක්සේරු කළේ, සියල්ල "පාලනය යටතේ" ඇති බවත්, නගර "ආරක්ෂිත හා සන්සුන්" බවත් පවසමිනි. නමුත් ඊශ්‍රායල ගුවන් යානා කිසිදු බාධාවකින් තොරව ටෙහෙරානය සහ අනෙකුත් නගර වෙත ළඟා වූයේ කෙසේ දැයි කිසිවෙකු පැහැදිලි කළේ නැත.
සිකුරාදා දහවල් වන විට, ඉරානයේ උත්තරීතර නායකයා ලිඛිතව සහ වීඩියෝවක් මගින් ප්‍රකාශ දෙකක් නිකුත් කිරීමෙන් පසු, රාජ්‍ය රූපවාහිනී සේවයේ නිවේදකයින් සහ විශේෂඥයින් "දරුණු පළිගැනීමක්" පිළිබඳව හඬ නැගීමට පටන් ගත්හ.

ඡායාරූප මූලාශ්‍රය, WANA/Reuters
"සන්නද්ධ හමුදා ශක්තිමත්ව ක්‍රියා කරන අතර දුෂ්ට සියොන්වාදී රෙජීමය දණ ගස්වන" බව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශ කළේ ය.
සවස් වන විට, ඉරානය ටෙල් අවිව් වෙත මිසයිල ප්‍රහාර එල්ල කළ අතර, රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රහාරවල සජීවී දර්ශන පෙන්වීය. ඉරාන මිසයිල ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂක වළලු බිඳ දැමූ බවත්, එය "පාඩමක්" සහ "ප්‍රබල ප්‍රතිචාරයක්" ලෙස හැඳින්වූ බවත් විශ්ලේෂකයෝ පැවසූහ.
මේ ආකාරයෙන්, ටෙල් අවිව්හි ගුවන් ප්‍රහාරක සයිරන් හඬක් බියට පත්වීමේ සලකුණක් බවට පත් කරමින් ඉරානයේ ජයග්‍රහණ පිළිබඳ කතාව හැඩ ගැස්විණි.
මේ සියල්ල සිදු වූයේ ඉරානයේ නටාන්ස්, ෆෝඩෝව් සහ ඉස්ෆහාන්හි ගුවන් කඳවුරු සහ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ඊශ්‍රායල ප්‍රහාර තවමත් සිදුවෙමින් පවතින අතරතුර සහ සෙනසුරාදා අලුයම වන විටත් සතුරු ඩ්‍රෝන යානා ටෙහෙරානයට ඉහළින් පියාසර කරමින් තිබියදී ය.
පැය කිහිපයකට පසු, ඉරානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා රාජ්‍ය මාධ්‍ය ඔස්සේ අමතමින්, ජනතාවට සන්සුන්ව සිටින ලෙසත්, බියට පත්නොවන ලෙසත්, නිල පුවත් පමණක් විශ්වාස කරන ලෙසත්, ගමන්බිමන් සීමා කරන ලෙසත් සහ හදිසි උපදෙස් අනුගමනය කරන ලෙසත් පැවසුවේ ය. නමුත් බොහෝ දෙනෙකු මෙය දුටුවේ මහජන නොසන්සුන්තාව පාලනය කිරීමේ උත්සහයක් ලෙස ය.
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහ න්‍යෂ්ටික විද්‍යාඥයින්ගේ මරණ නිවේදනය කිරීමට අමතරව, නිල තොරතුරු ලැබුණේ අර්ධ මාධ්‍ය වාර්තා ස්වරූපයෙන් පමණි. හමුදා සහ න්‍යෂ්ටික පහසුකම්වලට එල්ල වූ ප්‍රහාර පිළිබඳ සීමිත තොරතුරු සහ පළාත් ආණ්ඩුකාරවරුන් හෝ ප්‍රාදේශීය රතු අඩසඳ නිලධාරීන් විසින් නිකුත් කරන ලද සම්බන්ධීකරණය නොකළ තුවාලකරුවන්ගේ සංඛ්‍යා ලේඛන ඒ අතර විය.
ඒ වෙනුවට, ප්‍රවෘත්ති ආයතන නිලධාරීන්ගේ සහ ආගමික කණ්ඩායම්වල ප්‍රකාශවලින් පිරී තිබුණේ ඉරානය "පීඩිත නමුත් ශක්තිමත්" ජාතියක් යන පණිවිඩය ප්‍රතිරාවය කරමිනි. ඔවුන් ඉරානයේ කලාපීය සහචරයින්ට අඛණ්ඩව සහය දුන් අතර, "ශක්තිමත් පළිගැනීමක්" සඳහා නියෝග කරන ලෙස උත්තරීතර නායකයාගෙන් ඉල්ලා සිටියහ.
එහෙත්, මෙම වාර්තා සමාලෝචනය කිරීමෙන් පසුව පවා, මෙම පරිමාණයේ ප්‍රහාර සිදු කළ හැක්කේ කෙසේ ද, නිලධාරීන් සහ විද්‍යාඥයින් කී දෙනෙකු මිය ගියා ද, සිවිල් වැසියන් කී දෙනෙකු මිය ගියා ද, කුමන නිශ්චිත පහසුකම්වලට පහර දුන්නා ද, හානියේ සැබෑ ප්‍රමාණය සහ ටෙහෙරාන් සහ අනෙකුත් නගර තවමත් ආරක්ෂිත ද යන්න තීරණය කිරීමට නොහැකි වී තිබේ.
සංස්කරණය: ඇලෙක්සැන්ඩ්‍රා ෆෞචි














