ඇමෙරිකා-ඉරාන ආතතිය: ටෙහෙරානය 'යටත් වීම' වෙනුවට ගැටුමක් තෝරා ගනු ඇත්තේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, US Navy / Reuters
- Author, අමීර් අසිමි
- Role, බීබීසී පර්සියානු සේවය
- කියවීමේ කාලය: මිනිත්තු 8
මැද පෙරදිග කලාපය තුළ ඇමෙරිකා එක්සත් ජනපද හමුදා අඛණ්ඩ ගොඩනැගීම දැන් අනතුරු ඇඟවීමක් ලෙස නොව ක්‍රියාකාරී සූදානමක් ලෙස පෙනේ.
ඉරානය ආසන්නයට USS ඒබ්‍රහම් ලින්කන් නෞකා ප්‍රහාරක කණ්ඩායම පැමිණීම දැනටමත් වැදගත් වර්ධනයකි.
තවත් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන USS ජෙරල්ඩ් ආර්. ෆෝඩ් මෑතකදී ජිබ්‍රෝල්ටාර් සමුද්‍ර සන්ධිය අසල දක්නට ලැබුණු අතර මෙහෙයුම් සඳහා සහය වීමට නැගෙනහිර දේශයට යාත්‍රා කරමින් සිටියි. ඇමෙරිකාව හමුදා විකල්ප කිහිපයක් යෝජනා කරමින් අනෙකුත් හමුදා වත්කම් ද කලාපයට යොමු කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
එවැනි ස්ථානගත කිරීම් රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල ස්ථාවරය ශක්තිමත් කිරීමක් ලෙස ක්‍රියා කළ හැකි ය. කෙසේ වෙතත්, ටෙහෙරානය සහ වොෂිංටනය අතර වක්‍ර සාකච්ඡා ඇණහිට ඇති බවට අදහස් කළ හැකි අතර පාර්ශව දෙකෙන් එකක් හෝ තම ස්ථාවරය වෙනස් නොකළහොත් ඉන් පසුව හමුදා ක්‍රියාමාර්ගයකට එළඹිය හැක.
මෙය ප්‍රධාන ප්‍රශ්නයක් මතු කරයි: ඉරාන නායකයින්, අවම වශයෙන් ප්‍රසිද්ධියේ, ලෝකයේ බලවත් ම හමුදාවට සහ මැද පෙරදිග එහි ශක්තිමත් ම සගයාට එරෙහිව සිටින්නේ ඇයි?
පිළිතුර ඇත්තේ සාකච්ඡා සඳහා වොෂිංටනයේ ප්‍රකාශිත කොන්දේසි තුළ ය.

ඡායාරූප මූලාශ්‍රය, US Navy / Reuters
යටත් වීමක් ලෙස සැලකෙන ඇමරිකානු කොන්දේසි
ටෙහෙරානයේ දෘෂ්ටි කෝණයෙන්, මෙම ඉල්ලීම් සාකච්ඡා කිරීමක් නොව යටත් වීමකට සමාන වේ.
මෙම ඉල්ලීම් අතර යුරේනියම් පොහොසත් කිරීම නැවැත්වීම, ඊශ්‍රායලයට තර්ජනය කළ නොහැකි වන පරිදි බැලස්ටික් මිසයිල පරාසයන් සීමා කිරීම, කලාපයේ සන්නද්ධ කණ්ඩායම් සඳහා සහය අවසන් කිරීම සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසූ පරිදි, ඉස්ලාමීය ජනරජය තමන්ගේ ම ජනතාවට සලකන ආකාරය වෙනස් කිරීම යනාදිය ඇතුළත් වේ.
ඉරානයේ නායකයින්ට, මේවා සුළු ප්‍රතිපත්ති නොව ජාතික ආරක්ෂාවේ මූලික හරයන් ලෙස සලකනු ලබයි.
ශක්තිමත් ජාත්‍යන්තර මිත්‍ර පාර්ශව නොමැතිව, ඉරානය "ප්‍රතිරෝධයේ අක්ෂය" ලෙස හඳුන්වන කණ්ඩායම නිර්මාණය කිරීමට දශක ගණනාවක් ගත කර ඇත.
එය ඉරානයේ දේශසීමාවලින් ගැටුම් වළක්වා ගැනීමට සහ ඊශ්‍රායලය දෙසට පීඩනය එල්ල කිරීමට නිර්මාණය කර ඇති මිත්‍ර සන්නද්ධ කණ්ඩායම් ජාලයකි.

ඡායාරූප මූලාශ්‍රය, EPA
ටෙහෙරානයේ බැලස්ටික් මිසයිල වැඩසටහන එහි පැරණි ගුවන් හමුදාවට ආදේශකයක් ලෙස ක්‍රියා කර ඇති අතර උසස් හමුදා තාක්ෂණයට සීමිත ප්‍රවේශයක් ලබා දී ඇත.
න්‍යෂ්ටික වැඩසටහන, නිල වශයෙන් සාමකාමී ලෙස විස්තර කළ ද, එය වැළැක්වීම පුළුල් ලෙස දක්නට ලැබෙන්නේ විභව තර්ජන වළක්වා ගැනීමේ ක්‍රමයක් ලෙස ය.
ආයුධ නිෂ්පාදනය නොකළ ද, යුරේනියම් බලගැන්වීම පාලනය කිරීම ඉරානයට "මූලික ශක්‍යතාවක්" ලබා දෙයි. මෙයින් අදහස් කෙරෙන්නේ, රජය තීරණය කරන්නේ නම් ඉක්මනින් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමට එයට යටිතල පහසුකම් ඇති බව ය. මෙම සැඟවුණු හැකියාව බලපෑමක් ලෙස භාවිත කළ හැකි ය.
ටෙහෙරානයේ දෘෂ්ටිකෝණයෙන්, මෙම අංග ඉවත් කිරීම එහි ආරක්ෂාවේ පදනම විනාශ කරනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Iran Army Office / EPA
උත්තරීතර නායකයාට ඇති අවදානම
ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ දෘෂ්ටිකෝණයට අනුව මෙම ඉල්ලීම් පිළිගැනීම ට්‍රම්ප් යටතේ ඇමෙරිකා එක්සත් ජනපදය සමග සීමිත යුද්ධයකට වඩා භයානක විය හැකි බව දකී. මිල අධික වුව ද හමුදා ගැටුමක් කළමනාකරණය කළ හැකි නමුත්, සියලු උපාය මාර්ගික හැකියාවන් අහිමි වීම එලෙස සිදු නොවේ.
එහෙත් මෙම ගණනය කිරීම තුළ අන්තර්ගත අවදානම් ගැඹුරු ය, එය ඉරානයට පමණක් නොවේ.

ඡායාරූප මූලාශ්‍රය, NurPhoto via Getty Images
ඕනෑ ම ඇමෙරිකානු ප්‍රහාරයක් ආරම්භයේදී ම ඉරානයේ ඉහළ ම නායකයින් ඉලක්ක කළ හැකි ය. කමේනි ඝාතනය කළහොත්, එය දශක තුනකට වැඩි පාලනයක් අවසන් කරනවා පමණක් නොව, අවදානමට ලක්විය හැකි මොහොතක අනුප්‍රාප්තිකය අස්ථාවර කළ හැකි ය.
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට සහ අනෙකුත් ආරක්ෂක හමුදාවන්ට එල්ල කරන ප්‍රහාර, ඉරාන ඉතිහාසයේ මාරාන්තික හා ප්‍රචණ්ඩකාරී මර්දනයකින් පසු මෑතකදී පාලනය නැවත ලබා ගත් පද්ධතිය ද දුර්වල කළ හැකි ය.
මෑත සතිවල වීදි පිරවූ සහ අධික බලයට පමණක් යටත්ව ඉවත් වූ විරෝධතාකරුවෝ දැඩි ලෙස කලකිරීමට පත්ව සිටිති. රාජ්‍යයේ බලහත්කාර යාන්ත්‍රණයට හදිසි පහරක් එල්ල වීම දේශීය සමතුලිතතාව අනපේක්ෂිත ආකාරයෙන් වෙනස් කළ හැකි ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඇමෙරිකා එක්සත් ජනපදය තම න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් දුර්වල කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කරනු ඇතැයි ටෙහෙරානය උපකල්පනය කළ හැකි ය. ඉලක්ක, කාලසීමාව හෝ දේශපාලන ප්‍රතිවිපාක පිළිබඳ වැරදි ගණනය කිරීම් ගැටුම ඉක්මනින් පුළුල් කළ හැකි ය.
ආර්ථික පීඩනයන් තත්ත්වය තවත් අවදානම් කරයි. සම්බාධක, උද්ධමනය සහ මිල දී ගැනීමේ හැකියාව පහත වැටීම හේතුවෙන් දැනටමත් හානි වී ඇති ඉරානයේ ආර්ථිකය තවත් කම්පන සමග අරගල කරනු ඇත. ඉන්ධන අපනයන හෝ හානියට පත් යටිතල පහසුකම් පිළිබඳ ගැටලු මහජන කෝපය වැඩි කරනු ඇත, එය මර්දනය කර ඇති නමුත් විසඳා නොමැත.
මෙම තත්ත්වය තුළ, විරෝධතාවලට අරමුණු කිහිපයක් ඇති අතර එය බාහිර ලෝකයට අධිෂ්ඨානය සහ ඉරානය තුළ සිටින ජනතාවට ශක්තිය පෙන්වයි, නමුත් එය සම්මුතිය වඩාත් අපහසු කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
වොෂිංටනයට ඇති අවදානම
වොෂිංටනයට ඇති අවදානම් ද ඒ තරමට ම බරපතළ ය.
ලිඛිතව ගත් කල, ආතතීන් උත්සන්න වුවහොත් ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවට සිය ජනාධිපතිවරයාගේ ඉලක්ක සපුරා දිය හැකි ය. නමුත් යුද්ධ සිදු වන්නේ කඩදාසි මත නොවේ. ඒවා වැරදි ගණනය කිරීම්, උත්සන්න වීම සහ අනපේක්ෂිත ප්‍රතිවිපාක මගින් හැඩගැසී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, EPA
ඊශ්‍රායලය සමග මෑතකදී පැවති දින 12ක යුද්ධය අතරතුර ඉරානයේ අණදෙන සහ හමුදා පද්ධතිවල දුර්වලතා පෙන්නුම් කළේ ය. අනුවර්තනය වන්නේ කෙසේ ද?, ප්‍රහාර හසුරුවන්නේ කෙසේ ද? සහ පීඩනය යටතේ ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද? යන්න පිළිබඳ පාඩම් ඉගැන්වීය.
පුළුල් ගැටුමකින් දෙපාර්ශවය ම අපේක්ෂා නොකරන ප්‍රතිඵල ඇති විය හැකි ය. ටෙහෙරානයේ දුර්වල රජයක් ස්වයංක්‍රීයව ස්ථාවරත්වයක් හෝ බටහිර අවශ්‍යතා සඳහා සහයෝගයක් ඇති වීම අදහස් නොකරයි.
බල පරතරයන් නව, බෙදී ගිය හෝ ආන්තික බලපෑම් මධ්‍යස්ථාන නිර්මාණය කළ හැකි අතර, එමගින් ඇමෙරිකාවට සහ එහි මිත්‍ර පාර්ශවයන්ට කලාපීය තත්ත්වය වඩාත් අස්ථායී වේ.

ඡායාරූප මූලාශ්‍රය, Iran's Supreme Leader Office via EPA
අයතුල්ලා කමේනිට ඇත්තේ විකල්ප කිහිපයක් පමණි. වොෂිංටනයේ ඉල්ලීම් පිළිගැනීමෙන් ඉරානයේ ආරක්ෂක උපාය මාර්ගය දුර්වල කළ හැකි අතර, ඒවා ප්‍රතික්ෂේප කළහොත් රට දැනටමත් අස්ථාවරව පවතින රටෙහි අභ්‍යන්තර ගැටුම් ඇතිවීමේ අවස්ථාව ඉහළ යයි.
"නරක ම" විකල්පය ලෙස ඔහුට පෙනෙන දෙය; එනම් උපාය මාර්ගික යටත්වීම සහ "නරක ම දේ අතරින් හොඳ ම දේ" යන විකල්පවලින් ටෙහෙරානය අවම වශයෙන් ප්‍රසිද්ධියේ දෙවැන්න දෙසට නැඹුරු වන බව පෙනේ.


































