කටාර්හි ඇමෙරිකානු හමුදා කඳවුරෙන් භට පිරිසක් ඉවත් කර ගැනීම මධ්‍යයේ මැද පෙරදිග සිදුවන්නේ කුමක් ද?

Aerial view of the Tanker Ramp at Al Udeid Air Basev

ඡායාරූප මූලාශ්‍රය, TSGT Scott Reed, USAF

ඡායාරූප ශීර්ෂ වැකිය, අල් උඩෙයිඩ් යනු මැද පෙරදිග විශාලතම ඇමෙරිකානු හමුදා කඳවුරයි
    • Author, ට්න්ශුයි ඉන්ග්

ඉරානයේ ආණ්ඩු විරෝධී විරෝධතා මර්දනය කිරීමේ ක්‍රියාවලියට එරෙහිව පියවර ගත යුතුද යන්න ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් සලකා බලන බැවින් ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය කටාරයේ ස්ථාපිත අල් උඩෙයිඩ් ගුවන් කඳවුරේ සිටින හමුදා කාර්යය මණ්ඩල සංඛ්‍යාව අඩු කරමින් සිටිති.

බීබීසී පුවත් සේවයේ ඇමෙරිකානු සහකරු වන CBS පුවත් සේවයට බලධාරීන් පවසා ඇත්තේ ඇමෙරිකානුවන් අර්ධ වශයෙන් ඉවත් කරගැනීම "පූර්වාරක්ෂාව සඳහා" ගනු ලබන පියවරක් බවයි.

බීබීසී පුවත් සේවය අවබෝධ කරගෙන ඇති පරිදි, එක්සත් රාජධානියේ හමුදා සාමාජිකයින් පිරිසක්ද ඉවත් කරමින් සිටිති.

කටාර් රජය නිකුත් කළ නිවේදනයකට අනුව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ගන්නා බවට වාර්තා වන මෙම පියවර "වර්තමානයේ පවතින කලාපීය ආතතිවලට ප්‍රතිචාරයක් " යැයි සඳහන් කර ඇත.

බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලය ටෙහෙරානයේ පිහිටි සිය බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමා ඇති අතර, එය දැන් වෙනත් ස්ථානයක සිට ක්‍රියාත්මක වන බව එරට රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයෙකු සඳහන් කළේය.

දෝහාහි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය එහි සේවකයින්ට දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස සහ උඩෙයිඩ් ගුවන් හමුදා කඳවුර වෙත සිදු කරන අත්‍යවශ්‍ය නොවන ගමන් සීමා කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

ඇමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලන වෙබ් අඩවියට අනුව, ඉරානය බ්‍රහස්පතින්දා උදෑසන 02:45 (ග්‍රිනිච් වේලාවෙන් 22:15) සිට එහි ගුවන් අවකාශය සියලු ගුවන් ගමන් සදහා වසා දමා ඇත.

පළමුව මෙම වසා දැමීම පැය දෙකක් සදහා පමණක් ක්‍රියාත්මක කර තිබූ නමුත්, පසුව එය පෙරවරු 08:00 (ග්‍රිනිච් වේලාවෙන් 03:30) දක්වා දීර්ඝ කරන ලද බව රොයිටර් පුවත් ඒජන්සිය සඳහන් කළේය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම තත්ත්වයට ප්‍රතිචාර වශයෙන්, ගුවන් සමාගම් කිහිපයක්ම ඉරානය හරහා සිදු කෙරෙන ගුවන් ගමන් වෙනත් මාර්ග ඔස්සේ සිදු කරන බව ප්‍රකාශ කර ඇත. එම ගුවන් සමාගම් අතරට Air India සහ ජර්මනියේ Lufthansa ද ඇතුළත් වේ.

Air India සමාගම, කලාපය හරහා ගුවන් ගමන් නැවත මාර්ගගත කිරීම හේතුවෙන් මගීන්ට ගුවන් ගමන් ප්‍රමාදවීම් හෝ ගුවන් ගමන් අවලංගු වීමේ අවදානමක් ඇතිවිය හැකි බව අනතුරු අඟවා ඇත. Lufthansa සමාගම ද, "නැවත දැනුම්දීමක් සිදු කරන තුරු" ඉරාන සහ ඉරාක ගුවන් අවකාශ මගහැර පි‍යාසර කරන බව තහවුරු කරමින් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

මානව හිමිකම් කණ්ඩායම්වලට අනුව ඉරාන බලධාරීන් විසින් සිදු කරන ලද මෑතකාලීන ප්‍රචණ්ඩකාරී මර්දනයේදී රජයට එරෙහි විරෝධතාකරුවන් 2,400 කට වැඩි පිරිසක් ඝාතනය වී තිබේ.

හමුදා සාමාජිකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කටාර් රජය ප්‍රකාශ කළේ තම පුරවැසියන්ගේ සහ නේවාසිකයන්ගේ ආරක්ෂාව සහ ආරක්ෂිතභාවය ප්‍රමුඛතාවයක් ලෙස සලකා, වැදගත් යටිතල පහසුකම් සහ හමුදා පහසුකම් ආරක්ෂා කිරීම ඇතුළු සියලු අවශ්‍ය පියවර අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

"මෙහෙයුම් ආරක්ෂාව හේතුවෙන්'' එක්සත් රාජධානියේ හමුදා සාමාජිකයින් ඉවත් කරගෙන යන බවට පැතිර ගිය වාර්තා පිළිබඳව අදහස් දැක්වීම එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු ප්‍රතික්ෂේප කළේය.

අල්-උඩෙයිඩ් යනු මැදපෙරදිග පිහිටි විශාලතම ඇමෙරිකානු හමුදා කඳවුර වන අතර, එහි ඇමෙරිකානු හමුදා සාමාජිකයින් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් මෙන්ම එක්සත් රාජධානියේ හමුදා සාමාජිකයින් 100 ක් පමණ ස්ථාන ගත කොට තිබේ. ඔවුන්ගෙන් කොපමණ දෙනෙකු ඉවත්ව යනු ඇති ද යන්න මෙතෙක් පැහැදිලි නැත.

මෙම සතිය මුලදී ට්‍රම්ප් අනතුරු අඟවා සිටියේ ඉරාන බලධාරීන් විරෝධතාකරුවන්ට එරෙහිව මරණ දඬුවම් ක්‍රියාත්මක කළහොත්, ඇමෙරිකා එක්සත් ජනපදය ඒ සම්බන්ධයෙන් "ඉතා දැඩි පියවර" ගන්නා බවයි. ඇමෙරිකාව විසින් ප්‍රහාරයක් එල්ල කළහොත් ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරානය ප්‍රකාශ කර තිබේ.

පසුගිය බදාදා දිනයේදී ට්‍රම්ප් පැවසුවේ "විශ්වාසනිය මූලාශ්‍ර මත" තම පරිපාලනයට ලැබුණු තොරතුරු අනුව "ඉරානය තුළ සිදු කෙරෙන ඝාතන නතර වෙමින් පවතින අතර, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කිසිදු සැලසුමක් නැත" යනුවෙනි.

වාර්තාකරුවෙකු විසින් විමසල ලදුව ට්‍රම්ප් පැවසුවේ එම තොරතුරු "අනෙක් පැත්තේ සිටින ඉතා වැදගත් මූලාශ්‍රවලින්" ලැබුණු බවත්, ඒවා සත්‍ය වේ යැයි තමන් බලාපොරොත්තු වන බවත්ය.

හමුදා ක්‍රියාමාර්ග දැන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත් ද යන්න පිළිබඳව ද එහිදී ඇමෙරිකානු ජනාධිපතිවරයාගෙන් විමසූ අතර, "අපි ක්‍රියාපටිපාටිය නිරීක්ෂණය කරමින් ඉන්නේ" ඔහු කියා සිටියේය.

රාජ්‍ය තාන්ත්‍රිකයින් උපුටා දක්වමින් රොයිටර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ, කටාර්හි පිහිටි අල් උඩෙයිඩ් ගුවන් කඳවුරෙන් කාර්ය මණ්ඩලයේ කොටසකට ඉවත්වීමට දැනුම් දී ඇති නමුත්, පසුගිය වසරේ ඉරානය විසින් සිදු කළ ප්‍රහාරයකට පෙර පැය කිහිපය තුළ දැකිය හැකි වූ ආකාරයේ විශාල හමුදා සාමාජිකයින් සංඛ්‍යාවක් කඩිමුඩියේ බස් රථ මගින් පිටතට ගෙන යන බවට පැහැදිලි සලකුණු නොමැති බවයි.

බදාදා දිනයේදී ෆොක්ස් පුවත් සේවය වෙත අදහස් දක්වමින් ඉරානයේ විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරාච්චි, ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත අනතුරු ඇගවූයේ "ජූනි මාසයේ ඔබ කළ එම වැරද්ද නැවත නොකරන්න" යනුවෙනි. "ඔබ දැන ගන්න අවශ්‍යයි. ඔබේ අසාර්ථක අත්දැකීම නැවත සිදු කිරීමට උත්සාහ කළහොත්, ඔබට ඒ හා සමාන ප්‍රතිඵලයක් හිමිවෙනු ඇති" ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ඉරානයේදී මරණ දඬුවමට ලක් කර ඇතැයි පවුලේ සාමාජිකයින් පවසන වයස අවුරුදු 26ක පුද්ගලයෙකු පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු පැවසුවේ "කාවවත් එල්ලා මරන්නේ නෑ" සහ "අද හෝ හෙට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමක් සිදු වෙන්නේ නැහැ" යනුවෙනි.

ටෙහෙරානයේ පිහිටි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය තාවකාලිකව වසා දැමීමට අමතරව, සෞදි අරාබියේ ඇමෙරිකා එක්සත් ජනපද දූත මණ්ඩලය තම කාර්ය මණ්ඩලය හා පුරවැසියන්ට, "කලාපයේ කිසිදු හමුදා ස්ථානයක් වෙත සිදු කරන අත්‍යවශ්‍ය නොවන ගමන් සීමා කරමින් වැඩි අවධානයෙන් ක්‍රියා කරන්න" යනුවෙන් උපදෙස් ලබා දී ඇත.

ඉරානයෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටිමින් ඉතාලිය සහ පෝලන්තය තම පුරවැසියන්ට නිවේදන නිකුත් කර ඇති අතර, ''උග්‍ර වෙමින් පවතින ගැටුම් තත්ත්වය සහ ගුවන් යානා නාශක අවි" හේතුවෙන් ඇතිවිය හැකි අවදානමක් උපුටා දක්වමින් ජර්මනිය ගුවන් ගමන් සේවා මෙහෙයුම්කරුවන්ට ටෙහෙරානයට ගුවන් ගමන් සිදු නොකරන ලෙස නිර්දේශ කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

"සන්නද්ධ හමුදා මැදිහත්වීමකට හේතු නිර්මාණය කිරීමට උත්සාහ කරන බව" පවසමින් ඉරානයේ රජය ඇමෙරිකාවට චෝදනා කර ඇති අතර ඇමෙරිකාව ප්‍රහාරයක් එල්ල කළහොත්, කලාපයේ පිහිටි ඊශ්‍රායල සහ ඇමෙරිකානු හමුදා මෙන්ම නාවික ප්‍රවාහන මධ්‍යස්ථාන ද නීත්‍යානුකූල ඉලක්ක බවට පත්වන බව ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා අනතුරු අඟවා ඇත.

රටේ ජීවන වියදම් දැඩි ලෙස ඉහළ යාම හමුවේ මුදල් ඒකකයේ අගය කඩා වැටීමත් සමග දෙසැම්බර් මාසයේ අවසානයේදී ඉරානයේ දැන් ක්‍රියාත්මක විරෝධතා ආරම්භ විය.

ඒවා ඉක්මනින්ම දේශපාලන වෙනස්කම් සඳහා වන ඉල්ලීම් දක්වා විහිදී ගොස්, 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු පූජක පාලන පද්ධතිය මුහුණ දෙන අතිශය බරපතළ අභියෝගවලින් එකක් බවට පත්ව තිබේ.

ඇමෙරිකාව පදනම් කරගත් Human Rights Activists News Agency (HRANA) පවසන්නේ, අන්තර්ජාල අවහිරයක් පැවති නමුත් මේ දක්වා ළමුන් 12 දෙනෙකු ද ඇතුලුව විරෝධතාකරුවන් 2,403 දෙනෙකුගේ මරණ මේවනවිට තමන් තහවුරු ගෙන ඇති බවයි. එමෙන්ම, විරෝධතා අතරතුර පුද්ගලයන් 18,434කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බවද එම සංවිධානය වාර්තා කරයි.

"ඉරානය තුළ සිටින ඇසින් දුටු සාක්ෂිකරුවන්ගෙන් ලැබුණු විශ්වාසනීය තොරතුරු සහ තහවුරු කළ වීඩියෝ" උපුටා දක්වමින් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසන්නේ, "අතිවිශාල ප්‍රමාණයකින් නීතිවිරෝධී සමූහ ඝාතන" සිදුව ඇති බවයි.

විරෝධතාවලදී "ආරක්ෂක හමුදා විසින් සිදු කරන ලද ක්‍රියා අපරාධ ලෙස" හඳුනා ගන්නා ලෙස එම සංවිධානය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලින් ඉල්ලා තිබේ.