ඊශ්‍රායලයට එරෙහිව එක්සත් වීමට ඉස්ලාමීය රටවල් අසමත් වී ඇත්තේ ඇයි?

सऊदी अरब और तुर्की

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉස්ලාමීය ලෝකයේ නායකත්වය සම්බන්ධයෙන් සෞදි අරාබිය සහ තුර්කිය අතර උණුසුම් තත්ත්වයක් පවතී
    • Author, රාජ්නීෂ් කුමාර්
    • Role, බීබීසී වාර්තාකරු

1974 පෙබරවාරි මාසයේදී, ඉස්ලාමීය රටවල සංවිධානයක් වන ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) දෙවන සමුළුව පකිස්ථානයේ ලාහෝර්හිදී පැවැත්විණි.

එවකට සෞදි අරාබියේ රජු වූ ෆයිසාල් බින් අබ්දුල්-අසීස් අල් සවුද් ද එම සමුළුවට සහභාගි විය.

සමුළුව අමතමින් එවකට පකිස්ථාන අගමැති සුල්ෆිකාර් අලි භූතෝ මෙසේ පැවසීය, "අපි දුප්පත් රටක්. අපට තියෙන්නෙ සීමිත සම්පත් ප්‍රමාණයක්. ආර්ථික ආයතන ගොඩනැගීමට දායක වීමට අපට ප්‍රමාණවත් මුදල් නැහැ. ඒ ආකාරයෙන් ආර්ථික දායකත්වයක් ලබා දීමට අපට බැරි වෙයි. ඒත් අල්ලාහ් මගේ සාක්ෂිකරු ලෙස, ඉස්ලාමය වෙනුවෙන් සෑම ලේ බිඳුවක් ම පිදීමට අපි පසුබට නොවන බව මම ඔබ සැමට සහතික වෙනවා. මේක වචනවලින් විතරක් දෙන සහතිකයක් නෙවෙයි. පකිස්ථාන ජනතාව අල්ලාහ් දෙවියන්ගේ සොල්දාදුවන් වන අතර පකිස්ථාන සොල්දාදුවන් ද අල්ලාහ්ගේ සොල්දාදුවන් ය. අනාගතයේදී එවැනි ගැටුමක් ඇති වූ විට, පකිස්ථානුවන් උදව් සඳහා පෙනී සිටිනු ඇත."

සුල්ෆිකාර් අලි භූතෝ ඉස්ලාමය වෙනුවෙන් ලේ වැගිරවීමට ප්‍රතිඥා දෙන විට ඉරානයේ ඉස්ලාමීය විප්ලවය සිදුවී නොතිබිණි. සදාම් හුසේන් ඉරානයට පහර දී තිබුණේ නැත. ඊජිප්තුව, ජෝර්දානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, මොරොක්කෝව සහ සුඩානය ඊශ්‍රායලය පිළිගෙන නොතිබිණි. සෞදි අරාබිය යේමනයට පහර දී නොතිබූ අතර සෞදි අරාබිය, බහරේනය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටාර් රාජ්‍යයට එරෙහිව අවහිරයක් පනවා නොතිබිණි.

බංග්ලාදේශය නිසැකව ම පාකිස්තානයෙන් වෙන් වී පැවතියේ ය. ඒ වන විටත් සුල්ෆිකාර් භූතෝ ඉස්ලාමීය රටවල එකමුතුකම ගැන බලාපොරොත්තු තබා සිටි බවක් පෙනෙන්නට තිබිණි.

පකිස්ථානයට නැවතත් ඉස්ලාමීය රටවල් ඊශ්‍රායලයට එරෙහිව එක්සත් වීම අවශ්‍ය වී තිබේ. පකිස්ථානය න්‍යෂ්ටික බෝම්බ නිපදවා තිබුණ ද, බටහිර රටවල් තමන්ගේ අභිමතය පරිදි බොහෝ ඉස්ලාමීය රටවල ආණ්ඩු එකින් එක වෙනස් කළහ. උදාහරණයක් ලෙස, ඉරාකයේ, ලිබියාවේ, සිරියාවේ බටහිර විරෝධී ආණ්ඩු දැන් නොපවතින අතර දැන් ඉරානයේ ද එය ම සිදුවෙමින් පවතින බව පෙනේ. ඇෆ්ඝනිස්ථානයේ ඇමෙරිකානු හමුදා මෙහෙයුමට පකිස්ථානය ද සහය දුන්නේ ය.

ඉස්ලාමීය රටවල් අතර ඇති වෙනස්කම්

तुर्की-इसराइल

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායලය පිළිගත් මුස්ලිම් බහුතරයක් වෙසෙන පළමු රට තුර්කිය යි.

ජූනි 12 වන දින ඊශ්‍රායලය ඉරානයට පහර දීම ආරම්භ කළ අතර, තවමත් ප්‍රහාර එල්ල වෙමින් පවතී. ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය ඊශ්‍රායලයට ද පහර දුන්නේ ය. දෙරට අතර ගැටුමේ බලපෑම බටහිර ආසියාව පුරා දැනෙමින් පවතී. බොහෝ අය මෙම ගැටුම ඉස්ලාමයට එරෙහි යුද්ධයක් ලෙස ද හඳුන්වති.

පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් පසුගිය සතියේ ජාතික සභාවේදී ඊශ්‍රායලයට එරෙහිව එක්සත් වන ලෙස සියලු ම මුස්ලිම් රටවලින් ඉල්ලා සිටියේ ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එවැනි තත්ත්වයක් තුළ, ඉස්ලාමීය රටවලට එක්සත් වීමට හැකියාවක් තිබේ ද යන ප්‍රශ්නය පැන නගී. දෙවන ප්‍රශ්නය වන්නේ, ඉස්ලාමීය රටවල එකමුතුකම ගැන පකිස්ථානය නැවත නැවතත් කතා කරන්නේ ඇයි? යන්න ය. ලොව පුරා ඉස්ලාමීය රටවල් ඊශ්‍රායලයට එරෙහිව එක්සත්ව ප්‍රතිචාර දැක්විය යුතු බව පකිස්ථානයට හැඟෙන නමුත්, වර්තමානයේ පවතින තත්ත්වය නම්, ඉස්ලාමීය රටවල් අන්‍යෝන්‍ය ගැටුම්වල සහ වෙනස් මත ගැටුම්වල පැටලී සිටීම ය.

සෞදි අරාබිය සහ ඉරානය අතර පවතින එදිරිවාදිකම් තවමත් අවසන් වී නැත.

මෙම එදිරිවාදිකම් සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන්ගේ සිට සෞදි අරාබියේ රාජාණ්ඩුව සහ ඉරානයේ ඉස්ලාමීය විප්ලවය දක්වා විහිදේ. අසර්බයිජානය ෂියා මුස්ලිම් බහුතරයක් සිටින රටක් වන නමුත් එය ඊශ්‍රායලයට සමීප වුව ද, ෂියා බහුතරයක් වෙසෙන ඉරානය සමග ආරවුලක් තිබේ.

ඇමෙරිකාව ඉරාකයට පහර දී සදාම් හුසේන් එල්ලා මැරූ බව තහවුරු කළ අවස්ථාවේ, ඉරානය ඇමෙරිකාවට විරුද්ධ නොවී ය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවය සිදුවූ වසරේ ම ඊජිප්තුව ඊශ්‍රායලය ජාතියක් ලෙස පිළිගෙන එරට සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමට තීරණය කළේ ය. ජෝර්දානය ද 1994 දී ඊශ්‍රායලය පිළිගත්තේ ය.

2020 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, මොරොක්කෝව සහ සුඩානය ද ඊශ්‍රායලය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත්තේ ය.

තුර්කියේ දෙබිඩි පිළිවෙත

शहबाज़ शरीफ़ और अयातुल्लाह अली ख़ामेनेई

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පකිස්ථාන අගමැති ෂාබාස් ෂරීෆ් සහ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි

තුර්කිය, ඊශ්‍රායලය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ බහරේනයේ විවේචනයට ලක් විය. ඒ, තුර්කිය ඊශ්‍රායලය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ කාලයේදී ය. තුර්කිය සහ ඊශ්‍රායලය 1949 සිට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වයි.

ඊශ්‍රායලය රටක් ලෙස පිළිගත් මුස්ලිම් බහුතරයක් වෙසෙන පළමු රට වූයේ, තුර්කිය යි.

2005 වසරේදී පවා තුර්කියේ ජනාධිපති එර්දෝවන් විශාල ව්‍යාපාරිකයන් පිරිසක් සමග දින දෙකක සංචාරයක් සඳහා ඊශ්‍රායලයට ගියේ ය. මෙම සංචාරයේදී ඔහු එවකට ඊශ්‍රායල අගමැති ඒරියෙල් ෂැරොන් හමුවී ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ඊශ්‍රායලයට පමණක් නොව මුළු ලෝකයට ම තර්ජනයක් බව පැවසීය.

එවැනි තත්ත්වයක් තුළ, ඉස්ලාමීය රටවල් ඊශ්‍රායලයට එරෙහි ඔවුන්ගේ සියලු වෙනස්කම් සහ ප්‍රතිවිරෝධතා අමතක කරයි ද? යන ප්‍රශ්නය පැන නගී.

සෞදි අරාබියේ හිටපු ඉන්දීය තානාපති තල්මිස් අහමඩ්ගෙන් ද එම ප්‍රශ්නය ම ඇසුවෙමු.

"පකිස්ථානයට දැන් විශාල පීඩනයක් එල්ල වී තිබෙනවා. ඔවුන් ඉන්දියාව සමග හමුදා ගැටුමකට මුහුණ දී සිටින අතර බොහෝ පීඩාවන්ට මුහුණ දී තිබෙනවා. පකිස්ථානය මේ සියලු ප්‍රකාශ නිකුත් කරන්නේ ඔවුන්ගේ වැදගත්කම පවත්වා ගැනීම සඳහා. ඔවුන් තුර්කිය සමග ඔවුන්ගේ සමීපත්වය වැඩි කරගෙන ඇති අතර ඉරානය සමග සම්බන්ධතාව වැඩි කර ගන්නත් කැමති යි. මීට පෙර පකිස්ථානය ඇෆ්ඝනිස්ථානයට වැදගත්කමක් දුන්නා. එයින් උපාය මාර්ගික ප්‍රතිලාභ ලැබෙන බව පැවසුවා. සීතල යුද්ධ යුගයේ සිට තුර්කිය, ඉරානය සහ පකිස්ථානයට හිතවත්ව සිටින අතර පකිස්ථානය නැවතත් එයට වැදගත්කමක් ලබා දෙමින් සිටිනවා."

"එක්සත් ජාතීන්ගේ යෝජනාව නිෂ්ඵල වී ඇති විට, ඉස්ලාමීය රටවල සංවිධානය (OIC) දැනටමත් අදාළ නැහැ. පළමුවෙන් ම, ඉරානය සහ ඊශ්‍රායලය පිළිබඳ ප්‍රශ්නය ඉස්ලාමීය ප්‍රශ්නයක් නෙවෙයි. ඒක රටවල් දෙකක් අතර ගැටලුවක්. ඒක උපාය මාර්ගික තරගයක්. එය ඉතා පැරණි එදිරිවාදිකමක් වන අතර එය කලාපීය නායකත්වයට ද බලපෑමක් ඇති කරනවා. ඒකට ඉස්ලාමීය ආවරණයක් ලබා දීමෙන් ඵලක් නැහැ. තුර්කිය පකිස්ථානය සමග සබඳතා පවත්වන්නේ ඉස්ලාමය නිසා නෙවෙයි. පකිස්ථානය ඉරානය සමග සබඳතා පවත්වන්නේ ඉස්ලාමය නිසා නෙවෙයි. ඉස්ලාමය සැමවිට ම එයට ඇද ගැනීම සුදුසු නැහැ" තල්මිස් අහමඩ් පවසයි.

පලස්තීන ප්‍රශ්නය ඉස්ලාමීය ප්‍රශ්නයක් ද?

इसराइल-पाकिस्तान

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2005 සැප්තැම්බර් 1 වන දින, එවකට පකිස්ථාන විදේශ අමාත්‍ය කුර්ෂිඩ් කසූරි, ඉස්තාන්බුල්හිදී එවකට ඊශ්‍රායල විදේශ අමාත්‍ය සිල්වාන් ෂාලොම් හමුවිය

"සෑම අරාබි රටක ම එක්සත් ජනපද හමුදාව ඉන්නවා. මුළු ගල්ෆ් කලාපයේ ම ඇමෙරිකානු සොල්දාදුවන් 70,000ක් ඉන්නවා. ඔවුන්ට අමතර භෞමික අයිතිවාසිකම් තියෙනවා. ඒ කියන්නේ ඒ රටවල නීති සහ රෙගුලාසි ඔවුන්ට අදාළ නැහැ. ඇමෙරිකාවට ඒ රටවල හමුදා කඳවුරු තියෙනවා, ඒක හැසිරවීමට ඔවුන්ට පූර්ණ බලයක් තියෙනවා. කිසි ම අරාබි රටකට ඇමෙරිකාව නවත්තන්න බැහැ. පැහැදිලිව ම, ඊශ්‍රායලයේ ඩ්‍රෝන යානය ජෝර්දානය හරහා එනවා. මේ ඩ්‍රෝන යානා නැවැත්වීම ජෝර්දානයේ වගකීමක්. බොහෝ ඩ්‍රෝන යානා ජෝර්දානයට ම වැටෙනවා. ටෙල් අවිව් සහ ටෙහෙරාන් අතර කිලෝමීටර් 2000ක දුරක් තියෙනවා, නමුත් සටන සිදුවන්නේ ඩ්‍රෝන යානා එක්ක," තල්මිස් අහමඩ් පවසයි.

ඉරාකය සම්පූර්ණයෙන් ම ඇමෙරිකාවේ යුද්ධයක් වූ නිසා ඉරානය ඉරාකය සමග සැසඳිය නොහැකි බව තල්මිස් අහමඩ් පවසයි.

"1967ට කලින් පලස්තීනය සහ ඊශ්‍රායලය සම්බන්ධ ගැටලුව අරාබි ගැටලුවක් වුණාට, 1967 දී අරාබි-ඊශ්‍රායල් යුද්ධයෙන් ඊශ්‍රායලය ජයග්‍රහණය කිරීමෙන් පසු එය ඊශ්‍රායලය සහ පලස්තීනය පිළිබඳ ගැටලුවක් විදිහට යි තිබුණේ. ඒක විසඳන්න පුළුවන් ඊශ්‍රායලයට සහ පලස්තීනයට විතර යි," ඔහු පැවසීය.

ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධය හේතුවෙන් පකිස්ථානයේ වැදගත්කම වැඩි වී ඇති බව පැවසේ.

මෙම කාරණයේදී බටහිර රටවල් පකිස්ථානය ඉරානයට කිසිදු ආකාරයකින් සහය නොදීමට කැමැත්තක් දක්වනු ඇති අතර, ඉරානය පකිස්ථානය තමන් සමග රැඳී සිටිනවාට කැමති වනු ඇත. සීතල යුද්ධයේදී පකිස්ථානය ඇමෙරිකානු කඳවුරේ සිටි අතර, ඔවුන්ට ඉරානය සමග එක්වීම එතරම් පහසු නොවනු නැත.

පකිස්ථානයේ ෆීල්ඩ් මාර්ෂල්වරයා ජූනි 18 වන දින ධවල මන්දිරයේදී දිවා ආහාරය සඳහා ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් හමුවූ අතර මෙම හමුව ඉරාන-ඊශ්‍රායල් යුද්ධයට සම්බන්ධ කර ඇත.

හිටපු ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික කේ.සී. සිං X සමාජ මාධ්‍ය ඔස්සේ මෙසේ සටහන් කර තිබිණි, "මෙයට අර්ථ දෙකක් තිබිය හැකි ය. එක්කෝ ට්‍රම්ප් උත්සහ කරන්නේ එක්සත් ජනපදය ඉරානයට එරෙහි යුද්ධයට සම්බන්ධ වුවහොත් පකිස්ථාන හමුදාව කෙසේ ප්‍රතිචාර දක්වයි ද? යන්න තේරුම් ගැනීමට හෝ ට්‍රම්ප් දැනටමත් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන විනාශ කිරීමට තීරණය කර ඇති අතර පකිස්ථානයේ උදව් අවශ්‍ය කර තිබේ." යන්නයි.

දකුණු ආසියාවේ භූ දේශපාලනය පිළිබඳව සමීපව අධ්‍යයනය කරන මයිකල් කුගල්මන් ලියා ඇත්තේ, "ඉරානයේ වත්මන් රජය අනාගතයේදී බලයේ රැඳී සිටියහොත්, ඉදිරි වසරවලදී ඉරානය සහ පකිස්ථානය අතර සබඳතා ශක්තිමත් වනු ඇත. සෞදි අරාබිය සහ ඉරානය අතර සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ධනාත්මක පරිසරයක් නිර්මාණය වනු ඇත," යනුවෙනි.

ඉස්ලාමීය රටවලින් උදාසීන ප්‍රතිචාර

ईरान-इसराइल

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායලය සහ ඇමෙරිකාව ඉරානයේ බල පෙරළියක් සහ ඔවුන්ට හිතවත් රජයක් පිහිටුවීමට කැමැත්තෙන් පසුවෙයි

නවදිල්ලියේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ බටහිර ආසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ සහකාර මහාචාර්ය මොහොමඩ් මුදසීර් කමාර් පවසන්නේ, වචනවලින් එකට සිටීම සහ යථාර්ථයේදී එකට සිටීම අතර වෙනසක් ඇති බව ය.

"ඉරානය සහ සෞදි අරාබිය අතර තියෙන සතුරුකමට ප්‍රධාන හේතුව ෂියා සහ සුන්නි අතර ගැටුමක් නෙවෙයි. එතනදි වඩා වැදගත් වෙන්නෙ භූ දේශපාලනික හේතු. ඇමෙරිකාවට කටාර් රාජ්‍යය ඇතුළේ ගුවන් කඳවුරක් තියෙනවා. ඊශ්‍රායලය මෙම ගුවන් කඳවුර පාවිච්චි කළොත් කිසි ම කෙනෙකුට බෑ ඒක නතර කරන්න. කටාර් රාජ්‍යයත් ඒ වගේ තත්ත්වයක නැහැ. චීනයේ මුලපිරීම මත ඉරානය සහ සෞදි අරාබිය අතර දුර අඩු වෙලා තියෙනවා. ඒත්, මේ කලාපය ඇතුළේ ඉරානයට තියෙන බය තවමත් අඩු වෙලා නැහැ," මොහොමඩ් මුදසීර් කමාර් පවසයි.

"අරාබි කලාපයේ මුස්ලිම් රටවල් ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල් දෙකට ම බය යි. ගල්ෆ් කලාපයේ ඉස්ලාමීය රටවල් ඉරානය හෝ ඊශ්‍රායලය ඕනෑවට වඩා ශක්තිමත් වෙනව දකින්න කැමති නැහැ. ඒ හේතු දෙකේදි ම ඔවුන්ට දුෂ්කරතා මතු වෙනවා. ගල්ෆ් කලාපයේ ඉස්ලාමීය රටවල් ඇමෙරිකාවේ උපායමාර්ගික හවුල්කරුවන් විදිහට ක්‍රියා කරනවා. ඒ වගේ තත්ත්වයක් තුළ, ඔවුන් තවමත් ඇමෙරිකාව විශ්වාස කරනවා. නමුත් ඔවුන්ට ඉරානය විශ්වාස කරන්න බැහැ. 1979 න් පසු 2025 වන විට ඉරානයේ තත්ත්වය ඉතා දුර්වල වී ඇති බව පැහැදිලි යි. නමුත් ඉරානය තවමත් මෙම කලාපයේ බලවත්ව ඉන්නවා. සෞදි අරාබියට තවමත් ඉරානය සමග ඍජුව සටන් කරන්න බැහැ."

2003 මාර්තු මාසයේදී ඇමෙරිකාව ඉරාකයට පහර දුන් අතර ඉරානය මෙම ප්‍රහාරයට විරෝධය පළ කළේ නැත. ඉරානය සදාම් හුසේන් සමග හොඳින් කටයුතු කළේ නැත, ඇමෙරිකාව හුසේන් එල්ලා මරා දැමූ විට පවා ඉරානය විරෝධය පළ කළේ නැත.

"ඉරානය හැමදාම සදාම් හුසේන්ව සැලකුවේ තර්ජනයක් විදිහට. නමුත් ඇමෙරිකාව සදාම් හුසේන් එල්ලා මැරුවේ ඔහු ඉරානයට තර්ජනයක් නිසා නෙවෙයි. ඇමෙරිකාවට තමන්ගේ ම හේතු තිබුණා. ඉරානය හැම විට ම ඉරාකයේ ෂියා ජනගහනයට සහය දක්වල තියෙනවා. වර්තමානයේ ඉරානය සම්පූර්ණයෙන් ම හුදෙකලා වී තිබෙනවා. දැන් ඉරානයට ඇමෙරිකාවට ඍජුව ම මුහුණ දෙන්න සිදුවෙයි. එහෙම වුණොත්, මේ ගැටුම ඉතා ම තීරණාත්මක විය හැකි යි."

"ඉස්ලාමීය රටවල් අතර වෙනස්කම් කෙතරම් ගැඹුරු ද කියනවා නම්, මේ දක්වා ඒවා විසඳ ගන්න ඔවුන්ට බැරිවෙලා තියෙනව. ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය සහ අරාබි ලීගය වැනි සංවිධාන තිබුණත් ඒවා නමෙ විතර යි තියෙන්නේ," මොහොමඩ් මුදසීර් කමාර් පවසයි.

2003 වසරේදී එර්දෝවන් තුර්කියේ අගමැති ධුරයට පත්වන විට, ඇමෙරිකාව ඉරාකයට පහර දීමට සූදානම් වෙමින් සිටියේ ය. එර්දෝවන් සදාම් හුසේන්ට සමීප වී සිටියේ නැත. ඉරාකයට එරෙහි යුද්ධයේදී තුර්කියේ භූමිය ඇමෙරිකාවට භාවිත කිරීමට ඉඩ දීමට පවා ඔහු තීරණය කර තිබිණි.

කෙසේ වෙතත්, තුර්කි පාර්ලිමේන්තුවේදී මෙම යෝජනාව ඡන්ද තුනකින් පරාජයට පත්වූ බැවින් එර්දෝවන්ගේ අභිප්‍රාය ඉටු කර ගැනීමට නොහැකි විය. මෙය සිදු වූයේ, ඔහුගේ පක්ෂයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් තිබියදී ය. එවකට ඇමෙරිකාවේ බුෂ් පරිපාලනය මෙම තීරණය ගැන දැඩි කෝපයට පත් විය.

කෙසේ වෙතත්, තුර්කි ගුවන් සීමාව භාවිත කිරීමට එර්දෝවන් ඇමෙරිකාවට අවසර දී තිබිණි.

එක් අතකින්, එර්දෝවන් මුස්ලිම්වරුන්ගේ ආත්ම ගෞරවය සහ එහි අවශ්‍යතා ගැන කතා කළ අතර, අනෙක් අතට, ඔහු ඉරාකයට එල්ල කළ ඇමෙරිකානු ප්‍රහාරයට සහය දැක්වීය; මේ දෙක ම එකිනෙකට සම්පූර්ණයෙන් ම පරස්පර විය.

ඉරානය පරාජය වුවහොත් කුමක් සිදු වෙයි ද?

तुर्की और सीरिया

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තුර්කියේ ජනාධිපති රිසෙප් තායිප් එර්දෝවන් සහ සිරියාවේ නව නායක අහමඩ් අල්-ෂාරා

දැන් ඊශ්‍රායලය ඉරානයට පහර දී ඇති බැවින්, එර්දෝවන් නැවතත් හඬ නගනු දක්නට ලැබේ.

එහෙත්, මීට මාස කිහිපයකට පෙර, සිරියාවේ ඉරාන හිතවාදී රජය තුර්කියේ සහය ඇතිව බලයෙන් පහ කරන ලදී.

එක්තරා ආකාරයකින්, ඉරානය සිරියාවේදී තුර්කිය අතින් පරාජයට මුහුණ දී තිබේ.

X සමාජ මාධ්‍යයේ දිගු සටහනක් තබමින්, එර්දෝවන් ඊශ්‍රායලය ගැන මෙසේ ලිවී ය.

"බටහිර රටවල පුළුල් සහයෝගය ඇතිව ඊශ්‍රායලය ඉරානයට පහර දී තිබෙනවා. ඊශ්‍රායලය ගාසා තීරය විනාශ කර ඇති අතර කලාපයේ සෑම රටක් ම බය කරලා තියෙනවා. ඇත්ත වශයෙන් ම, ඊශ්‍රායලය තමන් ඇත්තට ම කරන්නේ මොනව ද කියල දන්නෙ නෑ."

''අනාගතයේදී ඊශ්‍රායලය තමන් කළ වැරැද්ද තේරුම් ගන්න ඉඩ තියෙනවා, නමුත් එතකොට ප්‍රමාද වැඩි වෙන්න පුළුවන්. පුරාණ කාලයේ කිසි ම රටකට තමන්ගේ ම දේශසීමා හෝ පරිපාලනයක් නොතිබූ බව ඊශ්‍රායලය අමතක කරන්න හොඳ නෑ. පලස්තීනයේ ජනතාවට සහ ඔවුන්ගේ භූමියට ඊශ්‍රායලය එල්ල කරපු ප්‍රහාරය ලක්ෂ සංඛ්‍යාත පිරිසකට පමණක් සීමා වුණේ නැහැ. දැන් ඊශ්‍රායලය ඉරානයට සහ එහි ජනතාවට පහර දී ඇති අතර මෙම ප්‍රහාරය ඉරානයට පමණක් අදාළ කාරණයක් නෙවේ. ඒක තුර්කියට ආවොත්, විෂය පථය තවදුරටත් පුළුල් වෙන්න පුළුවන්.''

"කරුණු තේරුම් නොගෙන මෙම කලාපයේ ගන්නා සෑම තීරණයක් ම අනාගතයට විනාශකාරී වෙන්න පුළුවන්. ඊශ්‍රායලය වැඩි වැඩියෙන් කෲරත්වය පෙන්වන තරමට, ඔවුන් වැඩි වැඩියෙන් ලේ වගුරුවන තරමට, මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ වැඩි වෙනවා; ඊශ්‍රායලය තම පැවැත්ම අනතුරේ දමා ගනියි. අවසානයේ මෙම කුරිරුකම් සඳහා ගැඹුරින් පසුතැවිලි වනු ඇති," එර්දෝවන් ලියා තිබිණි.

තුර්කිය සහ ඉරානය බටහිර ආසියාව තුළ දීර්ඝ කාලයක් තිස්සේ ගැටෙමින් සිටී. ඒ හා සමානව, ගල්ෆ් කලාපයේ අනෙකුත් ඉස්ලාමීය රටවල් අතර වෙනස්කම් ද ගැඹුරු ය. එවැනි තත්ත්වයක් තුළ, ආගමේ පදනම මත පමණක් ඊශ්‍රායලයට එරෙහිව බලමුළු ගැන්වීම, එය ද ඇමෙරිකාව ඊශ්‍රායලය සමග සිටින විට, කළ නොහැකි දෙයකි.

ඉරානය පරාජය වුවහොත් කුමක් සිදු වෙයි ද?

'ද හින්දු' ඉංග්‍රීසි පුවත්පතේ ජාත්‍යන්තර පුවත් කර්තෘ ස්ටැන්ලි ජොනී මෙසේ ලියා තිබේ, "ඉරානය මෙම යුද්ධයෙන් පරාජය වුවහොත්, බටහිර ආසියාවේ ඊශ්‍රායලයේ බලපෑම තවත් වැඩි වනු ඇත. බෂාර් අල්-අසාද් දැනටමත් සිරියාවෙන් නෙරපා හැර ඇත. ඉරානයේ සහය ලත් සන්නද්ධ කණ්ඩායම් දැනටමත් දුර්වල වී ඇත. ඊශ්‍රායලය දැනටමත් ගාසා තීරය විනාශ කර ඇත. ඊශ්‍රායලය බටහිර ඉවුරේ තමන්ට අවශ්‍ය ඕනෑ ම දෙයක් කරනු ඇත. ඉරානය දුර්වල වුවහොත්, බටහිර ආසියාවට අයත් රුසියාවේ ඉතිරි බලපෑම ද අඩු වනු ඇත. චීනය ගල්ෆ් කලාපයේ ඇමෙරිකානු හිතවාදීන්ගේ ඛනිජ තෙල් මත වඩාත් යැපෙනු ඇත."