'බාල ගල් අඟුරු' සිද්ධියේ අක්‍රමිකතා පිළිබඳව විගණන වාර්තාවෙන් හෙළි කර ඇති කරුණු 19ක්

විගණන වාර්තාව

ඡායාරූප මූලාශ්‍රය, Facebook / NAOSL

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 8

2025/2026 කාල පරිච්ඡේදය සඳහා ගල් අඟුරු ආනයනය කිරීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබේ.

'බාල ගල් අඟුරු' ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විගණන පරීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් කර ඇති අතර, එම ගල් අඟුරු පරිභෝජනයෙන් සිදුවිය හැකි අලාභය රුපියල් මිලියන 2237.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

මෙම ගනුදෙනුවේදී සිදුව ඇති අක්‍රමිකතා රැසක් පිළිබඳව අදාළ විගණන වාර්තාවේ සඳහන් වේ.

එම වාර්තාවේ නිරීක්ෂණ මෙසේ ය.

ලංසු ලේඛන ඉදිරිපත් කිරීමේදී සිදුවූ අක්‍රමිකතා:

  • ගල් අඟුරු සැපයීම වෙනුවෙන් ලංසු කැඳවීම ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් සිදු කරන බවත්, ලියාපදිංචි සැපයුම්කරුවන්ට එදින ම පරිශීලනය සඳහා ලංසු ලේඛන විද්‍යුත් තැපෑල මගින් යොමු කරන බවත්, 2025 අගෝස්තු 20 දින කුරියර් සේවාව මගින් ලියාපදිංචි සැපයුම්කරුවන්ට ලංසු ලේඛන යැවීමට කටයුතු කරන බවත්, 2025 අගෝස්තු 18 දිනැති ලංසු කැඳවීම දැන්වීමේ දක්වා තිබුණ ද, ලංසු කැඳවීමේ දැන්වීම පළ කරන අවස්ථාව වන 2025 අගෝස්තු 18 දින වන විට සම්පූර්ණ ලියාපදිංචි ගාස්තුව ගෙවා ලියාපදිංචිය තහවුරු කර ගැනීමට අපොහොසත් වූ Trident Chemphar Limited සමාගම සහ 2025 අගෝස්තු 19 වන දින මුදල් ගෙවා ලියාපදිංචිය තහවුරු කර ගත් ANACAPE TRADING DMC සමාගම වෙත ලියාපදිංචි සැපයුම්කරුවන් ලෙස සලකා 2025 අගෝස්තු 18 දින විද්‍යුත් තැපෑල මගින් හා 2025 අගෝස්තු 19 දින කුරියර් සේවාව මගින් ලංසු ලේඛන යැවීමට ලංකා ගල් අඟුරු සමාගම කටයුතු කර තිබුණු බව නිරීක්ෂණය වී තිබේ.
  • ප්‍රසම්පාදනය සඳහා තෝරා ගන්නා ලද Trident Chemphar Limited සමාගම සම්පූර්ණ ලියාපදංචි ගාස්තුව වූ ඇමෙරිකානු ඩොලර් 5,000ක මුදල ගෙවූ බවට සහතික කරමින් ගල් අඟුරු සමාගම 2025 අගෝස්තු 22 දින කුවිතාන්සියක් නිකුත් කර තිබුණු අතර, ඒ අනුව මෙම සැපයුම්කරුගේ ලියාපදිංචිය එදින සම්පූර්ණ වී තිබුණු බව නිරීක්ෂණය විය.
  • ඒ අනුව, 2025/2026 කාලපරිච්ඡේදය සඳහා ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 1.5ක් සැපයීමට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කරන ලද Trident Chemphar Limited සමාගම 2025 අගෝස්තු 18 එනම් ලංසු කැඳවූ දින වන විට නියමිත පරිදි ලියාපදිංචි ගාස්තු ගෙවා සමාගමෙහි ලියාපදිංචි නොවූ සැපයුම්කරුවෙකු බව විගණනයේදී නිරීක්ෂණ වී ඇති අතර, මෙම සැපයුම්කරු ද ඇතුළත්ව ඉතා දීර්ඝ අගැයීම් ක්‍රියාපටිපාටියක් මගින් සුදුසුකම් ලත් සැපයුම්කරුවන් තෝරාගෙන තිබියදී හා ඉතා තරගකාරී අවස්ථාවක ලියාපදිංචි ගාස්තු ගෙවීමේ වැදගත්කම අවධාරණය කර තිබියදීත්, විධිමත් පරිදි ලියාපදිංචි ගාස්තු ගෙවා ලියාපදිංචිය සම්පූර්ණ කිරීමට අපොහොසත් වූ සැපයුම්කරුවෙකු වෙත අවස්ථාව ලබා දී තිබුණු බව විගණනයේදී නිරීක්ෂණය වී ඇත. තව ද, ගල් අඟුරු සැපයීම සඳහා හැකියාව ඇති ලියාපදිංචි වීමට ඉල්ලීම් කළ නොහැකි වූ අනෙකුත් සැපයුම්කරුවන්හට මෙම අවස්ථාව ලබා නොදීම තුළ ප්‍රසම්පාදන මූලධර්මයක් වූ සාධාරණත්වය නමැති මූලධර්මට කඩවී ඇති බවත් නිරීක්ෂණය වී තිබේ.
ලක්විජය බලාගාරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලක්විජය බලාගාරය

ගල් අඟුරු ප්‍රමිතිය පරීක්ෂා කිරීම:

  • 2025/2026 කාලපරිච්ඡේදය සඳහා ඉන්දියන් සමාගමක් වන Trident Chemphar Limited සමාගමෙන් ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 1.5±10% ආනයනයේදී 2026 මාර්තු 11 දින වන විට ලංකාවට ගොඩබා ඇති ගල් අඟුරු නැව් තොග 12ක් සම්බන්ධයෙන් බලාගාරයෙහි පාලන ඒකකය අනුව ලබා දෙන ධාරිතාව පූර්ණ ධාරිතා මට්ටම ළඟා වී නොතිබියදී හා ගල් අඟුරු තොගයෙහි ප්‍රමිතිය පිළිබඳව පාර්ලිමේන්තු අනුකමිටු තුළ හා සමාජය තුළ අභියෝගයට ලක්වී තිබියදී ගැනුම්කරුට විකිණුම්කරුට පිළිගත හැකි තවත් ස්වාධීන පරීක්ෂකවරයෙකු පත් කිරීමට අවස්ථාව පවතින විට එම අවස්ථාව භාවිත කිරීමට ලංකා ගල් අඟුරු සමාගම කටයුතු කර නොතිබුණු බව නිරීක්ෂණය වී තිබේ. තව ද, සෑම නැව්ගත කිරීම් පහකට ආසන්න වශයෙන් එක් වරක් පදනම මත ගැනුම්කරුගේ බලයලත් නියෝජිතයින් දෙදෙනෙකුට අහඹු පදනමක් මත පැටවීමේ වරායේදී නියැදීම හා විශ්ලේෂණ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට විකිණුම්කරු පහසුකම් සපයන බවට එකඟ වී තිබියදීත් මෙම ප්‍රශ්නගත ගල් අඟුරු නැව් තොග සම්බන්ධයෙන් එවැනි පරීක්ෂාවක් කර අදාළ සැපයුම්වල ගුණාත්මකභාවයෙහි ගැටලු පවතී නම් එම තත්ත්වය නිවැරදි කර ගැනීමට ලංකා ගල් අඟුරු සමාගම කටයුතු කර නොමැත.
  • විකිණුම්කරුගේ සහය ඇතිව දෙවන සාම්පලය (Umpire Sample) පරීක්ෂා කිරීමට ලබා දී ඇති අවස්ථාව භාවිත කිරීම තුළින් පවත්නා තත්ත්වය නිවැරදි කර ගැනීමට තවදුරටත් සමාගමට තිබූ අවස්ථාව ද භාවිත කර නොමැත.
  • ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී විසින් 2025 දෙසැම්බර් 23 දින Trident Chemphar Limited සමාගමේ අධ්‍යක්ෂ වෙත යවන ලද ලිපිය මගින් ගල් අඟුරු ප්‍රමිති පරීක්ෂාව ඉන්දුනීසියාවේ PT Mitra SK Analisa Testama Samarinda සමාගම වෙත පැවරීමට එකඟ වී තිබිණි. එලෙස එම ප්‍රමිති පරීක්ෂාව උක්ත ඉන්දුනීසියානු සමාගම වෙත පවරා තිබුණ ද 2026 මාර්තු 11 වන විට ගොඩබාන ලද නැව් තොග 12ට ම අදාළව පැටවුම් වරායේ ගල් අඟුරු පරීක්ෂණ වාර්තා, වෙනත් කාර්යයක් සඳහා වගකීම් පවරන ලද Mitra SK South Africa (Pty) Ltd සමාගම මගින් නිකුත් කර ඇති බව නිරීක්ෂණය වී තිබේ. PT Mitra SK Analisa Testama Samarinda සමාගම විසින් අත්සන් කරන ලද ගල් අඟුරු පරීක්ෂණ වාර්තා කිසිවක් විගණනයේදී නිරීක්ෂණය වී නැත. කෙසේ වුව ද, පැටවුම් වරායේ ගල් අඟුරු පරීක්ෂණ වාර්තා අත්සන් කර නිකුත් කර තිබූ Mitra SK South Africa (Pty) Ltd වෙත අවශ්‍ය කරන ප්‍රමිතීන්ට යටත්ව ගල් අඟුරු සාම්පල් පරීක්ෂා කිරීම සඳහා ප්‍රතීතනතාවක් නොතිබුණු බව නිරීක්ෂණය විය.
  • ගොඩබාන වරායේ පරීක්ෂක වන Cotecna, India සමාගමෙන් අවසාන බැඳීමට යටත් වන වාර්තා ලබා ගැනීම මත පදනම්ව පැටවුම් වරායේ පරීක්ෂණ වාර්තා PT Mitra SK Analisa Testama Samarinda සමාගමෙන් ලබා ගැනීමට එකඟ වීමට හේතු වූ කරුණු විගණනයේදී අනාවරණය නොවී ය.
  • තව ද, ඉහත පැටවුම් වරායේ ගල් අඟුරු පරීක්ෂණය සඳහා එකඟ වී ඇති PT Mitra SK Analisa Testama Samarinda සමාගමේ ප්‍රතීතන බලපත්‍රය අලුත් කර ගල් අඟුරු සමාගම වෙත 2026 මාර්තු 31 දින වන විටත් ඉදිරිපත් කිරීමට කටයුතු කර නොතිබිණි.
  • ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද නැව් 9ක ගෙන එන ගල් අඟුරු පැටවුම් වරායේදී (Loading Port) බොහොමයක් පරාමිතීන් නියමිත ප්‍රමිතියට (සම්මත අගයන්ට) අනුකූල නොවුණ ද, ප්‍රතික්ෂේපිත මට්ටමෙහි නොවන බව විකිණුම්කරු විසින් පත් කරන ලද ස්වාධීන පරීක්ෂකවරයෙකු වන Mitra SK South Africa (Pty) Ltd සමාගම සහතික වී තිබිණි. තව ද, ආනයනික නැව් 12ක් අතරින් නැව් 9ක (පළමු, නව වන හා දොළොස් වන නැව් හැර) ගෙන එන ගල් අඟුරු ගොඩබෑමේ වරායේදී (unloading port) බොහොමයක් පරාමිතීන් නියමිත ප්‍රමිතියට (සම්මත අගයන්ට) අනුකූල නොවුණ ද ප්‍රතික්ෂේපිත මට්ටමෙහි නොවන බව Cotecna Inspection India (Pvt) Ltd සමාගම සහතික කර තිබිණි. නමුත්, ලක්විජය බලාගාරයෙහි පාලන ඒකකයේ සඳහන් වන තොරතුරු අනුව මෙම ගල් අඟුරු තොගයෙන් අපේක්ෂිත ධාරිතාවයෙන් විදුලිය නිපදවීමට නොහැකි වී තිබියදී ගැනුම්කරුට ලබා දී ඇති අවස්ථාවන් භාවිත නොකිරීම තුළ මෙම ස්වාධීන වාර්තා මත පමණක් පදනම්ව ගුණාත්මකභාවය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් විගණනයට එකඟ විය නොහැකි බව දක්වා තිබේ.

සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ නිර්ණායක:

  • ලක්විජය බලාගාරය සඳහා භාවිත කිරීමට නියමිත ගල් අඟුරු තොගයන්හි සම්මත දළ තාපජනන අගය සැපයුම්කරු සමග ඇති කර ගන්නා ලද ගිවිසුමට අනුව 6,150 kcal/kgක් වුව ද, ලංකාවට ගල් අඟුරු සැපයීම සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ නිර්ණායක ඇතුළත් කිරීමේදී පසුගිය මාස 36 තුළ ගල් අඟුරු සැපයීමේදී සපයා තිබුණු මෙට්‍රික් ටොන් 500,000ක ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 100,000ක් ප්‍රතික්ෂේපිත මට්ටම වූ 5,900 kcal/kg හෝ ඊට වැඩි ලෙස ඇතුළත් කිරීම හේතුවෙන් දළ තාපජනක අගය ප්‍රතික්ෂේපිත මට්ටම හෝ ඊට ආසන්න මට්ටමෙහි ගල් අඟුරු සපයා පළපුරුද්ද ඇති සැපයුම්කරුවන්ට ද මෙම බලාගාරය සඳහා ගල් අඟුරු සැපයීමට අවස්ථාව සලසා දී ඇති බව නිරීක්ෂණය වී ඇත.
  • ඒ අනුව, 2025/2026 කාල පරිච්ඡේදයට අදාළව ගල් අඟුරු සැපයීමට තෝරා ගන්නා ලද Trident Chemphar Limited නම් සැපයුම්කරු ලියාපදිංචියට පෙර සපයා තිබුණු ගල් අඟුරු තොගයන්හි ඉහළ ම දළ තාපජනන අගය 5900 kcal/kg ත් 6000 kcal/kg ත් අතර පරාසයක පැවති අතර, එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 291,840ක් වී තිබිණි. තව ද, සපයා තිබුණු ගල් අඟුරු මෙට්‍රික් ටොන් 1,871,771ක් අතරින් මෙට්‍රික් ටොන් 1,579,931ක් දළ තාපජනන අගය 4,900 kcal/kg ත් 5,900 kcal/kg ත් අතර පැවති බව නිරීක්ෂණය විය.
  • වරාය තුළදී මෙම සමාගම සපයන ලද ගල් අඟුරු නැව් තොග 9ක ගොඩබෑමේ වරායේදී ලබා ගන්නා වාර්තා පරීක්ෂා කිරීමේදී සපයා ඇති ගල් අඟුරු තොගයන්හි දළ තාපජනන අගය ඉහත සඳහන් මෙම බලාගාරයට සුදුසු යැයි හඳුනාගෙන තිබුණු සම්මත මට්ටමට වූ තාපජනන අගය 6,150 kcal/kg හෝ ඊට වැඩි තාපජනන අගයකින් යුක්තව කිසිදු අවස්ථාවක සපයා නොමැති බව ද වැඩිදුරටත් විගණනයට නිරික්ෂණය වී තිබේ.
  • මෙම ප්‍රසම්පාදනය සඳහා තෝරා ගන්නා ලද සැපයුම්කරු වූ Trident Chemphar Limited හැරුණු විට 2023 වර්ෂයේ ලියාපදිංචි කරන ලද හා 2025/2026 කාලපරිච්ඡේදය සඳහා මිල ගණන් ඉදිරිපත් කරන ලද සැපයුම්කරුවෙකු වූ Taranjot Resource (pvt) Ltd සමාගම සැපයුම්කරු ලියාපදිංචිය සඳහා සලකා බලන ලද මාස 36ක කාලය තුළ සපයා තිබුණු ගල් අඟුරු මෙට්‍රික් ටොන් 1,115,900ක ප්‍රමාණයෙහි ම දළ තාපජනන අගය 5,900 kcal/kg ක ප්‍රතික්ෂේපිත මට්ටමට ද පහළ අගයන් ගෙන තිබුණු බව නිරීක්ෂණය වී ඇත.
  • තව ද, 2023 ලියාපදිංචිය ලබා දුන් PT Fawad Trading & Construction සමාගම දළ තාපජනන අගය 5,900 kcal/kg හෝ ඊට ඉහළ අගයක සපයන ලද ගල් අඟුරු තොග පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර නොතිබිණි. ඒ අනුව, අදාළ නිර්ණායක සපුරාලීමට අපොහොසත් වූ සමාගම් සැපයුම්කරුවන් ලෙස ලියාපදිංචි කර ගැනීමට තාක්ෂණික අගැයුම් කමිටුව නිර්දේශ කිරීමත්, ප්‍රසම්පාදන කමිටුව එය අනුමත කිරීමටත් කටයුතු කර තිබුණු බව නිරීක්ෂණය වී තිබේ.
  • 2023 වර්ෂය දක්වා වූ සැපයුම්කරුවෙකු ලියාපදිංචි කිරීමේ නිර්ණායක සලකන විට ලියාපදිංචිය සඳහා අයැදුම් කරනු ලබන සැපයුම්කරුවෙකුට අවසාන මාස 36 තුළ අවම වශයෙන් ගල් අඟුරු මෙට්‍රික් ටොන් 1,000,000ක් සැපයීමේ පළපුරුද්ද තිබිය යුතු අතර, එයින් අවම මෙට්‍රික් ටොන් 500,000ක් දළ තාපජනන අගය 5,900 kcal/kg ක් හෝ ඊට වැඩි අගයක් ගත යුතු බවට සඳහන් කර තිබුණ ද, ඉන්පසුව වර්ෂයේදී මෙම නිර්ණායකය අවසාන මාස 36 තුළ අවම වශයෙන් ගල් අඟුරු මෙට්‍රික් ටොන් 500,000ක් සපයා තිබීමේ පළපුරුද්ද තිබිය යුතු බවටත්, දළ තාපජනන අගය 5,900 kcal/kg ක් හෝ ඊට වැඩි අගයක් තිබිය යුතු වටිනාකම මෙට්‍රික් ටොන් 100,000ක් වැනි පිළිගත නොහැකි මට්ටමක් දක්වා ලිහිල් කර තිබිණි. නමුත්, එවැනි ලිහිල් කිරීමක් සිදුකිරීමේදී යම් නීතිමය හා තාක්ෂණික උපදෙස් මත සාධාරණ විශ්ලේෂණයකින් පසු සිදු කිරීමට වගකිව යුතු පාර්ශව කටයුතු කර තිබුණේ ද යන්න විගණනයට නිරීක්ෂණය වී තිබුණේ නැත.
  • ලක්විජය බලාගාරය සඳහා ගල් අඟුරු සැපයීම සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සඳහා සුදුසු සැපයුම්කරුවන් සපුරා තිබිය යුතු එක් නිර්ණායකයක් ලෙස ලියාපදිංචියට ආසන්න වර්ෂ 3ක කාලය තුළ සපයා තිබුණු මුළු ගල් අඟුරු ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් දළ තාපජනන අගය 5,900 kcal/kg හෝ ඊට ඉහළ අගයක් ගෙන තිබීම සලකා තිබුණ ද, ලංසු ලේඛනවල අදාළ සැපයුම්කරුවන් සැපයිය යුතු ගල් අඟුරු තොගයන්හි ප්‍රමිතිය සම්බන්ධයෙන් එකිනෙක ලේඛනයන්හි පරස්පර විරෝධී තත්ත්වයක් ඇති බව නිරීක්ෂණය විය.
  • ලක්විජය බලාගාරය සඳහා වසර 3ක් සඳහා එකවර ලියාපදිංචිය වලංගු වන සේ සැපයුම්කරුවන් ලියාපදිංචි කර ගැනීම මගින් සැපයුම්කරුගේ මූල්‍ය ශක්‍යතාව සහ ආසන්න වසර 3ක් තුළදී ගල් අඟුරු සැපයීමේ පළපුරුද්ද වැනි ප්‍රධාන නිර්ණායක වාර්ෂිකව නැවත අගැයීමට ලක් නොවන බැවින් සහ ගැනුම්කරු විසින් සැපයුම්කරුගේ පූර්ව සුදුසුකම් යාවත්කාලීන්ව පරීක්ෂාවට ලක් නොකරන බැවින් (යම් හෙයකින් සැපයුම්කරු බුන්වත් වුවහොත්, අසාදු ලේඛනගත වුවහොත්) තවදුරටත් සැපයුම්කරු සුදුසුකම් ලත් සැපයුම්කරුවෙකු ද යන්න පිළිබඳව තහවුරු කර ගැනීමට නොහැකි විය.

නීතිපති එකඟතාව ලබා ගැනීම:

  • අදාළ ගල් අඟුරු සැපයීම සඳහා තෝරාගත් Trident Chemphar Limited සමාගම සමග අත්සන් කිරීමට සකස් කරන ලද කෙටුම්පත් ගිවිසුම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙහි එකඟතාව 2025 නොවැම්බර් 20 දින ලැබී තිබුණු නමුත්, එදිනට පෙර එනම්, 2025 නොවැම්බර් 19 දින නීතිපති එකඟතාව ලබා දීමට ද පෙර සැපයුම්කරු සමග ගිවිසුම්ගත වීමට කටයුතු කර තිබුණු බව නිරීක්ෂණය වී තිබේ.

ගල් අඟුරු නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවීම නිසා ඇති විය හැකි බලපෑම:

  • නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නැව් 9 හේතුවෙන් ගල් අඟුරු අධිපරිභෝජනයෙන් සිදු විය හැකි අලාභය රුපියල් මිලියන 2237.7ක් ලෙස විගණන වාර්තාව මගින් ඇස්තමේන්තු කර තිබේ.
  • නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවූ ගල් අඟුරු භාවිතය නිසා පූර්ණ විදුලි ධාරිතාව වන මෙගාවොට් 300ක් ජනනය කිරීමට නොහැකි වීම මත දෛනිකව පැය 24 පුරා ම පූර්ණ ධාරිතාව අවශ්‍ය වේ යැයි සැලකූ විට අතිරේකව සපයා ගත යුතු ඇස්තමේන්තුගත බලශක්ති ප්‍රමාණය කිලෝවොට් පැය 114,531,131කි. දෛනිකව පැය 16ක කාලයක් පූර්ණ ධාරිතාව අවශ්‍ය වේ යැයි සැලකූ විට අතිරේකව සපයා ගත යුතු ඇස්තමේන්තුගත බලශක්ති ප්‍රමාණය කිලෝවොට් පැය 76,354,087 කි.