පාර්ලිමේන්තුවේදී ගල් අඟුරු ටෙන්ඩර් ගැන හෙළි වූයේ මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Screen-grab
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 6
වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ගෙන්වන ලද ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර බව මෙන් ම ඒ හරහා වංචාවක් සිදුව ඇති බැවින් ඊට වගකිව යුතු සියලු දෙනා සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස විපක්ෂ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේ ය.
නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු මිල දී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව විගණකාධිපති නිර්දේශ මත පාර්ලිමේන්තුවේ, රජයේ මුදල් කාරක සභාව විසින් ප්‍රතිපත්තිමය උපදෙස් සපයා තිබියදී රජයේ මාර්ගෝපදේශ ඇතුළු මූලික අවශ්‍යතා උල්ලංඝනය කර කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව නොමග යවමින් ගල් අඟුරු මිල දී ගෙන ඇති බවත්, ඊට සම්බන්ධ වගකිව යුතු සියලු දෙනාට අවශ්‍ය පියවර ගන්නා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පාර්ලිමේන්තුවට යෝජනා කළේ ය.
මෙරටට ගෙන්වන ලද ගල් අඟුරු නැව්ගත කිරීම් කිහිපයක ප්‍රමිතියේ පවතින ගැටලු සහ ප්‍රසම්පාදනයේ පවතින ගැටලු සම්බන්ධව මරික්කාර් මන්ත්‍රීවරයා දීර්ඝ වශයෙන් පෙබරවාරි 20 වන දා පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරනු ලැබීය.
එමෙන් ම ගල් අඟුරු මිල දී ගැනීමේ දී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා රැසක් පිළිබඳව ද විපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට හෙළි කළේ ය.
'දූෂිත සමාගම්වලට මේක ඇතුළට එන්න අවස්ථාව ලබා දුන්නා'
"ගල් අඟුරු සමාගමේ හිටපු සභාපතිවරයා මේ ටෙන්ඩර් එක දාද්දී විගණකාධිපතිවරයා විසින් 2022.09.20 වෙනි දා දීලා, රාජ්‍ය මුදල් කාරක සභාව විසින් 2022.10 වෙනි මාසේ 4 වෙනි දා අනුමත කරලා පාර්ලිමේන්තුවට ලබා දීපු දත්ත අනුව ක්‍රියා කළේ නැහැ.
"2022 පෝලිම් තියෙනකොට, කරන්ට් කපනකොට හදිස්සි මිල දී ගැනීම් සඳහා පාවිච්චි කරපු ක්‍රමවේදයන් පාවිච්චි කරලා තියෙනවා. නෝමර්ලයිස් ක්‍රමවේදයක් තුළ විගණකාධිපතිවරයා පාවිච්චි කරන්න උපදෙස් ලබා දීලා තියෙද්දී ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් අවුරුදු තුනක් ඇතුළත සප්ලයි කරන්න ඕන කියලා තියෙන එක 5ට අඩු කෙරුවා. කිලෝ කැලරි 5,900ට වැඩි ප්‍රමාණයක් ගේන්න ඕන කියන එකේ අත්දැකීම ලක්ෂයට අඩු කෙරුවා.
"ඒ හරහා මොකක් ද කෙරුවේ දූෂිත සමාගම්වලට මේක ඇතුළට එන්න අවස්ථාව ලබා දුන්නා," ඔහු පැවසීය.
"පළවෙනි නැව එන්න ඕනේ දෙසැම්බර් මස 14 වෙනි දා, හැබැයි මා දන්නා තරමට පළවෙනි නැව ආවේ දෙසැම්බර් මාසේ 30 වෙනි දා. පළවෙනි නැව ආවා ම පටවන වරායේ ඉඳලා රිපෝර්ට් එකක් එන්න ඕනේ.
"ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ගල් අඟුරු පටවන රටෙන් නැතිව, දකුණු අප්‍රිකාවෙන් පැටෙව්වේ, රිපෝට් එක එන්නේ ඉන්දුනීසියාවෙන්. ඉන්දුනීසියාවට යවපු සාම්පල් මේ පටවපු එකේ සාම්පල් ද කියලා අපේ කමිටුවේදිවත් පිළිගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ," යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.
පළමු නෞකාවෙන් ගෙන ආ ගල් අඟුරු ලක්විජය බලාගාරයේ පරීක්ෂණවලදී අසමත් වූ බවත් ඉන් පසුව අනතුරු අඟවා තිබියදී ගෙන්වන ලද දෙවන ගල් අඟුරු නැව ද අසමත් වූ බව මරික්කාර් මන්ත්‍රීවරයා පැවසීය.
"දෙවෙනි නැව එද්දී අපි කිව්වා මේක ෆේල්, එතකොට පැනලා කිව්වා 'එහෙම නෑ, එහෙම ෆේල් නෑ' කියලා. ෆේල් නම් 'අපි දඩ ගහනවා' කිව්වා. දඩ ගහනවා කියලා එහෙම එකක් නැහැ කොහෙවත්."
ගල් අඟුරු නැව් 8කින් රටට පාඩු සිදු වුණා ද?
වත්මන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි යටතේ ගල් අඟුරු මිල දී ගැනීම හරහා රජයට පාඩු කළ බව කියමින් මිල ගණන් කිහිපයක් ද එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
"පළවෙනි නැවෙන් මිලියන පන්සිය අනූ පහයි දශම එකයි. ඒකට හයසිය හතළිස් හතරක් අය කරගෙන තියෙනවා. දෙවෙනි නැවෙන් මිලියන දෙසීය අසූ අටයි දශම පහයි, තුන්වෙනි නැවෙන් මිලියන එක්දාස් හතළිස් හතයි දශම හතරයි. හතරවෙනි නැවෙන් මිලියන අටසිය හැට පහයි. පස්වෙනි නැවෙන් මිලියන එක්දාස් හාරසීය හතළිස් හතරයි දශම දෙකයි.
"හයවෙනි නැවෙන් මිලියන එක්දාස් එකසීය අනූ හතයි දශම හතයි. හත්වෙනි නැවෙන් මිලියන නමසීය හැත්තා හතරයි දශම නමයයි. අටවෙනි නැවෙන් මිලියන එක්දාස් පන්සීය පනස් නමයයි දශම දෙකයි. මේ මම කියන ඒවා නෙමෙයි විදුලි බල අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා අත්සන් සහිතව විදුලි බල මණ්ඩලයේ සමාන්‍යාධිකාරි ඔෆිස් එකෙන් එවපු එක," ඔහු පැවසීය.
විදුලි කප්පාදුවක් සිදු කරයි ද?
ලක්විජය බලාගාරයට අනුව ගල් අඟුරු වාර්තා අසමත් වුව ද ඉන්දීය සමාගමෙන් ලබා ගන්න ලද වාර්තා සමත් වී ඇති බව පෙන්වා දුන් මරික්කාර් මන්ත්‍රීවරයා, කූඨ ලේඛන සකසා ඇති බවට සැක පළ කළේ ය.
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිතය මගින් ලක්විජය බලාගාරය අක්‍රමණ්‍ය විය හැකි බවට ද මන්ත්‍රීවරයා අනතුරු ඇඟවීය.
"මාර්තු මාසේ ඉඳලා තියෙන්නේ මේ ටෙන්ඩරේ බාල ගල් අඟුරු. දිගින් දිගට ම පාවිච්චි කළොත් අවශ්‍ය ප්‍රමාණයට විදුලිය ජනනය කරන්න බැරි වුණා ම අනිවාර්යෙන් ම එක්කෝ කරන්ට් කපන්න ඕනේ, එහෙම නැතිනම් ඩීසල් මාෆියාවෙන් විදුලිය මිල දී ගන්න ඕනේ."
'හොරකම දරා ගැනීම සඳහා බිල වැඩි කිරීමට සෙට් වෙන්නේ'
මෙවැනි පසුබිමක් තුළ විදුලි බිල වැඩි කිරීමට සිදුවිය හැකි බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.
"පිරිවැය දරා ගැනීම සඳහා ලු ගාණ වැඩි කරන්නේ. පිරිවැය කොහෙද හොරකම දරා ගැනීම සඳහා බිල වැඩි කිරීම සඳහා සෙට් වෙන්නේ මේ ආණ්ඩුව. කිව්වේ කොහොම ද තුනෙන් එකකින් කරන්ට් එක අඩු කරනවා කියලා."
'අලාභ පියවීම බිලියන එකයි දශම බින්දුවයි තුනයි හතයි. පාඩුව බිලියන දෙකයි'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මේ අතර, ටෙන්ඩර්කරුවන් වෙනස් කිරීමෙන් පසුව ගෙන්වන ලද ගල් අඟුරු නැව් හරහා විදුලි බල මණ්ඩලයට සිදුවූ සමස්ත පාඩු පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.
"2026 පෙබරවාරි මාසේ 11 වෙනි දා, විදුලි බල මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා මේ ලිපිය. ඒ ලිපිය ඉදිරිපත් කරන දවසට ගණන් හදන්නේ ගල් අඟුරු නැව් 4ක් ගැන. ඒ ගල් අඟුරු නැව් හතරේ වෙලා තියෙන සමස්ත පාඩුව, ඍජු විදුලි ජනන අලාභය මිලියන දෙදාස් හතිසීය අනූ හයයි. ඇස්තමේතුගත නඩත්තු සහ අලුත් වැඩියා සඳහා යන වියදම මිලියන දෙසීය තිහය දශම හතයි හතරයි. මුළු ඇස්තමේන්තු ගත අලාභය බිලියන තුනයි දශම බින්දුවයි දෙකයි, නැත්නම් මිලියන තුන්දාහයි. සැපයුම්කරුගෙන් අඩු කරන්න පුළුවන් අලාභය නැත්නම් අලාභ පියවීම බිලියන එකයි දශම බින්දුවයි තුනයි හතයි. පාඩුව බිලියන දෙකයි."
බලශක්ති අමාත්‍යවරයා විසින් ගල් අඟුරු ලබා ගැනීමේ කොන්දේසි වෙනස් කරනු ලබන විට විදුලි බල අමාත්‍යංශයේ තාක්ෂණික අංශයේ අධ්‍යක්ෂවරයා ඒ හරහා බලා ගල් අඟුරු තත්ත්වය බාල විය හැකි බවට වාර්තාවක් මගින් දැනුම් දී තිබූ බව ද අජිත් පී. මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.
'අනීතිකව කිසි ම දෙයක් අපිට කරන්න බැහැ'
විගණකාධිපති නිර්දේශ අනුව කටයුතු කර ඇති බවට අදාළ නිර්දේශ සහ මාර්ගෝපදේශයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එල්ල වූ චෝදනාවලට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි කියා සිටියේ ය.
ගල් අඟුරු සැපයුම්කරුවන් තෝරා ගන්නා ලද්දේ එම නිර්දේශයන්ට අනුව බවද ඇමැතිවරයා විස්තර සහිතව පැහැදිලි කළේ ය.
"මේක ප්‍රසම්පාදනයේවත් කිසි ම විදිහකින් සැපයුම්කරුවෝ වෙනස් කිරීමේ ක්‍රමවේදයක් හෝ ඒගොල්ලන්ට ෆේවර් කරලා අපි කරලා නැහැ. අපි ඕන වෙලාවක ඩිෆෝල්ට් කරන්න පුළුවන් නම් අපි ඒ වෙලාවට ඩිෆෝල්ඩ් කරනවා. එහෙම ඇරෙන්න අනීතිකව කිසි ම දෙයක් අපිට කරන්න බැහැ, නීත්‍යනුකූලව අපි වැඩ කරන්නේ," යැයි කුමාර ජයකොඩි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.
විපක්ෂ මන්ත්‍රීවරුන් එල්ල කරන ලද තාක්ෂණික දෝෂ වැනි කරුණු සම්බන්ධව ද අමාත්‍යවරයා විස්තර කරමින් පිළිතුරු ලබා දුන්නේ ය.































