'කතානායකවරයාගේ ක්‍රියාකලාපයට' එරෙහිව පාර්ලිමේන්තුවේ නි. මහ ලේකම්ගෙන් පෙත්සමක්

කතානායක ජගත් වික්‍රමරත්න සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න

ඡායාරූප මූලාශ්‍රය, PARLIAMENT OF SRI LANKA

ඡායාරූප ශීර්ෂ වැකිය, කතානායක ජගත් වික්‍රමරත්න සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න
    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 2

කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව තමන් වැඩ තහනමකට ලක් කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම රිට් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස කතානායකවරයා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සභානායක අමාත්‍ය බිමල් රත්නායක ඇතුළු 14 දෙනෙකු නම් කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් වශයෙන් කටයුතු කළ තමන්ව ඉකුත් ජනවාරි මස 23 වනදා සිට වැඩ තහනම් කිරීමට කටයුතු කෙරුණු බව ය.

'චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා'

2026 වසරේ පෙබරවාරි මස දෙවන දා තමන් වෙත චෝදනා පත්‍රයක් ලබා දීමට කටයුතු කෙරුණු බවත් පෙත්සම්කරු සඳහන් කළේ ය.

එම චෝදනා පත්‍රයේ අන්තර්ගත චෝදනා සියල්ල තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව පෙත්සම්කරු සඳහන් කරයි.

ඒ අනුව සිය වැඩ තහනම් කරමින් නිකුත් කර තිබෙන ලිපිය සහ චෝදනා පත්‍රය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

ඊට අමතරව අදාළ නීති විරෝධී චෝදනා පත්‍රය පදනම් කරගෙන තමන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ රුක්ෂාන් සේනාධීර සමග ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පෙනී සිටියහ.