ශ්‍රී ලංකාවේ ආණ්ඩු ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගවලට පයින් ගැසූ අවස්ථා 6ක්

2023 වසරේ මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (අගෝස්තු 22 වැනිදා) තීන්දු කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2023 වසරේ මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (අගෝස්තු 22 වැනිදා) තීන්දු කළේය.

ඒ අනුව අදාළ ඡන්ද විමසීම නොපමාව පැවැත්වීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියෝගයක් කරනු ලැබීය.

කෙසේ වෙතත් එම නියෝගය පිළිගනිමින් ආණ්ඩුව පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන්නේ ද? ඒ පිළිබඳ ව ආණ්ඩුව මෙතෙක් අදහස් දැක්වීමක් කර නොමැත.

මේ අතර වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නියෝගය පිළිගත නොහැකි බව ආණ්ඩුව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නියෝග ක්‍රියාත්මක කළ නොහැකි බවට ආණ්ඩුව ප්‍රකාශ කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. එවැනි අවස්ථා 6ක් මෙරට ඉතිහාසයෙන් හමුවෙයි.

 වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නියෝගය පිළිගත නොහැකි බව ආණ්ඩුව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ

ඡායාරූප මූලාශ්‍රය, Parliament of Sri Lanka

ඡායාරූප ශීර්ෂ වැකිය, වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද නියෝගය පිළිගත නොහැකි බව ආණ්ඩුව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය

1. බ්‍රිගේඩියර් පැරී ලියනගේ මේජර් ජෙනරල් ධූරයට උසස් කරන ලෙස දුන් නියෝගය

මහත් ආන්දෝලනයකට තුඩු දුන් ඇඹිලිපිටිය සිසු ඝාතන නඩුවේ විත්තිකරුවෙකු වශයෙන් නම් කර පසුව නිදොස් කොට නිදහස් කළ යුද්ධ හමුදා බ්‍රිගේඩියර් පැරී ලියනගේ, තමන්ව මේජර් ජෙනරාල් ධූරයට උසස් කරන ලෙස යුද්ධ හමුදාපතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කරන ලද නිර්දේශය ක්‍රියාත්මක නොකිරීමෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා 1999 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණි.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම තුළින් බ්‍රිගේඩියර් පැරී ලියනගේ සඳහන් කර තිබුණේ, තමන්ව මේජර් ජෙනරල් ධූරයට උසස් කරන ලෙස යුද්ධ හමුදාපතිවරයා 1999 වසරේ මාර්තු මස 8 වන දා ආරක්ෂක ලේකම්වරයා වෙත නිර්දේශයක් ඉදිරිපත් කර තිබූ බව ය.

එම නිර්දේශයට අනුකූලව තමන්ව මේජර් ජෙනරල් ධූරයට උසස් නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවටත් තමන්ව එම ධූරයට උසස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එම පෙත්සම පිළිබඳ දීර්ඝ විභාගයක් පැවැත්වූ ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පැරී ලියනගේ මේජර් ජෙනරල් ධූරයට උසස් කරන ලෙස යුද්ධ හමුදාපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කරන ලද නිර්දේශය ක්‍රියාත්මක නොකිරීම තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි තීන්දු කළේය.

ඒ අනුව, පැරී ලියනගේ මේජර් ජෙනරල් ධූරයට උසස් කිරීමේ නිර්දේශය ක්‍රියාත්මක කරන්නැයි ආරක්ෂක ලේකම්වරයා වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබිණි.

එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද මෙම නියෝගය ආරක්ෂක ලේකම්වරයා ක්‍රියාත්මක කිරීම පැහැර හැර ඇතැයි පැරී ලියනගේ පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළේ ය.

ඒ තුළින් රජය අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් සඳහන් කරමින් බ්‍රිගේඩියර්වරයා තවත් පෙත්සමක් ඉදිරිපත් කළේ ය.

එහෙත් ඒ පිළිබඳ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ, අදාළ උසස් වීම සම්බන්ධයෙන් තීරණ ගත හැකි අවසන් බලධාරියා වන්නේ සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරිය බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පෙත්සම්කරු ඉල්ලා සිටින ආකාරයේ නියෝගයක් නිකුත් කළ නොහැකි බවත් අධිකරණය විසින් සඳහන් කර තිබිණි.

පසුව මේ සම්බන්ධයෙන් එවක ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ පැරී ලියනගේ මේජර් ජෙනරාල් ධූරයට උසස් කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එවක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙත ඉදිරිපත් කරන ලද නිර්දේශය ක්‍රියාත්මක කිරීමට ඇය අකැමැත්ත පළ කර තිබීම හේතුවෙන් බ්‍රිගේඩියර්වරයාට අදාළ උසස්වීම ලබාදීමට නොහැකි වී ඇති බව ය.

2. අගවිනිසුරු සරත් එන්. සිල්වාට එරෙහි දෝෂභියෝගයට එරෙහිව දුන් අධිකරණ තීන්දුව ප්‍රතික්ෂේප කිරීම

2001 වසරේ එවක අග විනිසුරු සරත් එන්. සිල්වා එම ධූරයට නොහොබිනා විෂමාචාර ක්‍රියාවල නිරත වී ඇති බවත් එබැවින් ඔහු එම තනතුරෙන් ඉවත් කරන ලෙසත් ඉල්ලා එවකට විපක්ෂය වශයෙන් කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට දෝශාභියෝග යෝජනාවක් ඉදිරිපත් කළහ.

එම දෝශාභියෝග යෝජනාව භාර ගත් එවක කතානායක අනුර බණ්ඩාරනායක, අගවිනිසුරු සරත් එන්. සිල්වාට එල්ල කර තිබූ චෝදනා විභාග කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද පත් කළේ ය.

අග විනිසුරුවරයාට එරෙහිව චෝදනා විභාග කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමට කතානායකවරයා ගත් තීරණය නීතියට පටහැනි බවත් එබැවින් අදාළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කෙරිණි.

එම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්වලින් ඉල්ලා තිබෙන අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ නොවන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා ද අධිකරණය හමුවේ සඳහන් කළේ ය.

ඒ අනුව, අග විනිසුරු සරත් එන්. සිල්වාට එරෙහි චෝදනා විභාග කිරීම සඳහා කතානායකවරයා විසින් පත්කරනු ලැබූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

මෙම අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි සංවාදයක් හට ගැනිණි.

ජ්‍යෙෂ්ඨ නීති විශාරදයින් පෙන්වා දී තිබුණේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බල බෙදීම් ප්‍රකාරව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව යි.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ප්‍රතික්ෂේප කරන ලෙස පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී විපක්ෂ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු මෙන් ම සෙසු පක්ෂවල මන්ත්‍රීවරුන් ද කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව, කතානායක අනුර බණ්ඩාරනායක සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ විධිවිධාන මෙන් ම පූර්වාදර්ශ හා මීට පෙර ලබා දුන් නඩු තීන්දු සැලකිල්ලට ගෙන තමන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද අතුරු තහනම් නියෝගය භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බව යි.

පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුත්තක් සම්බන්ධයෙන් මැදිහත්වීමට අධිකරණයට බලයක් නොමැති බවත් කතානායකවරයා පෙන්වා දුන්නේ ය.

නමුත්, කතානායකවරයාගේ තීන්දුව ප්‍රකාශයට පත්වී දින කීපයකින් එවක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා එම දෝෂාභියෝග යෝජනාව අහෝසි වී ගියේ ය.

3. පෙට්‍රල් මිල අඩු කිරීමට අදාළ නියෝගය ප්‍රතික්ෂේප කිරීම

2008 වසරේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ ඉන්ධන මිල දී ගැනීම සඳහා ඇති කර ගත් හෙජිං ගිවිසුම තුළින් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වන බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබිණි.

එවක අගවිනිසුරු සරත් එන්. සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් විභාගයට ගැනිණි.

එම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී හෙජිං ගිවිසුම නිසා රටට සිදුවී තිබෙන හානිය පිළිබඳව පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළහ.

එම කරුණු විභාගය අතරතුර අග විනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුණු මඩුල්ල තීන්දු කළේ, එම අවස්ථාවේ පැවති මිලට වඩා අඩු මිලකට පෙට්‍රල් විකිණීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හැකියාව තිබෙන බව යි.

මේ පිළිබඳව විමසීම සඳහා එවක මුදල් අමාත්‍යාංශයේ ලේකම් සුමිත් අබේසිංහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවන ලදී.

ඒ අනුව, අධිකරණය හමුවේ පෙනී සිටි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ, පෙට්‍රල් විකිණිය හැකි අවම මිල අධිකරණයට දැනුම් දෙන ලෙස යි.

ඒ අනුව, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා අධිකරණයට දැනුම් දුන්නේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 100/- මුදලකට විකිණීමට හැකියාව පවතින බව යි.

එම කරුණු සලකා බැලූ අගවිනිසුරු සරත් එන්. සිල්වා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙට්‍රල් මිල රුපියල් 100/- දක්වා අඩු කරන ලෙස රජයට නියෝග කළේ ය.

එහෙත්, රජය එම තීන්දුව ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ මිලට පෙට්‍රල් අලෙවි කළහොත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පාඩු විඳීමට සිදුවිය හැකි බවත් ප්‍රකාශ කර තිබිණි.

4. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග චෝදනා විභාග කළ කමිටුවේ වාර්තාව බල රහිත කරමින් දුන් තීන්දුව ප්‍රතික්ෂේප කිරීම

2012 වසරේ එවකට අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජය පාර්ලිමේන්තුවට දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කළේය.

එම දෝෂාභියෝග චෝදනා විභාග කිරීම සඳහා එවක කතානායක චමල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද පත් කරන ලදී.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තමන්ට එරෙහි චෝදනා විභාග කිරීම නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කළා ය.

එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් විභාගයක් පවත්වා ඉදිරිපත් කළ නිර්දේශය ඇතුළත් වාර්තාව බල රහිත කරමින් 2013 වසරේ ජනවාරි මස 7 වනදා තීන්දුවක් නිකුත් කළේ ය.

එහෙත් එම තීන්දුව ප්‍රතික්ෂේප කළ එවක රජය අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි තේරීම් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් දෝශාභියෝග යෝජනාව සම්මත කොට ඇය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

5. පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා වෙන්කළ මුදල් රඳවා ගැනීම වළක්වාලමින් නිකුත් කළ තහනම් නියෝගය ප්‍රතික්ෂේප කිරීම

2023 වසරේ මාර්තු මස 09 වන දා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව අයවැය යෝජනා තුළින් වෙන්කර තිබූ මුදල් ප්‍රතිපාදන තවදුරටත් රඳවා ගැනීම වළක්වාලමින් එම වසරේ මාර්තු මස 03 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට රජය ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගයක් නිකුත් කළේ ය.

එම පෙත්සම දීර්ඝ ලෙස කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එය විභාගයට ගැනීමට අවසර දෙමින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අයවැය තුළින් වෙන් කර තිබෙන මුදල් ප්‍රතිපාදන තවදුරටත් රඳවා ගැනීම වළක්වාලමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

එහෙත් එම අතුරු නියෝගය රජය විසින් ක්‍රියාත්මක කළේ නැත.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුම් දී තිබුණේ රට තුළ හට ගෙන තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය වියදම් සඳහා පමණක් මුදල් ප්‍රතිපාදන මුදා හරින ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇති බවත් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ මුදල් ප්‍රතිපාදන එම අමාත්‍ය මණ්ඩල තීරණයේ සඳහන් "අත්‍යාවශ්‍ය වියදම්" යන්නට ඇතුළත් නොවන හෙයින් තමන්ට එම මුදල් ප්‍රතිපාදන මුදා හැරීමට හැකියාවක් නොමැති බවයි.

අදාල ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව කටයුතු නොකිරීම තුළින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය මහලේකම් මද්දුම බණ්ඩාර තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

එහෙත් එම පැමිණිල්ල විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේය.

6. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් විධිමත් ආකාරයෙන් පත්කර නොමැති නිසා ඔහුගේ පත් කිරීම නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව නවයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළහ.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව එම පෙත්සම් විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධූරයේ බලතල සහ රාජකාරී කටයුතු ඉටු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

මෙම අතුරු තහනම් නියෝගය හේතුවෙන් පොලිස්පතිවරයාගේ රාජකාරී කටයුතු ආවරණය කිරීම සඳහා සුදුසුකම්ලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වැඩ බලන පොලිස්පතිවරයවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙන බවත් එම නඩු තීන්දුවෙන් සඳහන් විය.

එහෙත් රජය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය රජය විසින් පිළි නොගන්නා බව සඳහන් කර තිබිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ව්‍යස්ථාදායකයේ කොටසක් බැවින් ඊට එරෙහිව නියෝග නිකුත් කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශයේ සඳහන් කළේ ය.