ආශා බෝස්ලේ: 'සංගීතය කියන්නෙ මට මගේ හුස්ම වගේ. මම සංගීතය වෙනුවෙන් බොහෝ දේ කළා'

ඡායාරූප මූලාශ්‍රය, AFP
- Author, සුධා ජී තිලක්, සෝයා මීටීන්
- කියවීමේ කාලය: මිනිත්තු 7
සංස්කෘතික සලකුණක් මෙන් ම බොලිවුඩයේ අග්‍රගණ්‍ය ගායිකාවක වූ, 92 හැවිරිදි වියේ පසු වූ ආශා බෝස්ලේ අභාවප්‍රාප්ත වූ බව ඇගේ පුත්‍රයා තහවුරු කළේ ය.
ඉන්දියානු පසුබිම් ගායනයේ අසමසම රැජින, හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මුම්බායිහිදී මිය ගියා ය.
ඇගේ අභාවය බොලිවුඩ් සංගීතයේ යුගයක අවසානය සනිටුහන් කරයි. දශක 8කට අධික කාලයක් දිගු වෘත්තීය ජීවිතයකට උරුමකම් කියන ඇය ගීත 12,000කට වඩා ගායනා කර තිබේ.
බෝස්ලේගේ සුවිශේෂී හඬ චිත්‍රපට ගීත රැසකට ම නව ජීවයක් ලබා දුන්නේ ය.
බොලිවුඩය තුළ ඇය කෙතරම් ජනප්‍රිය වී ද යත් 1997 වසරේදී Cornershop සංගීත කණ්ඩායම ඇයට උපහාර පිණිස 'Brimful of Asha' ගීතය නිර්මාණය කළේ ය. එමෙන් ම බ්‍රිතාන්‍ය සංගීතඥ බෝයි ජෝර්ජ් සමග කළ නිර්මාණ කාර්යය ඇය ජාත්‍යන්තරව ද ජනප්‍රියත්වයට පත් කළා ය.
රසිකයින් නර්තනයට සහ ගායනයට පොළඹවමින් හුනස්නෙන් නගා සිටුවීමට තරම් ඇයගේ හඬ තුළ පැවති ආකර්ශණීය ගුණය ඇගේ සංගීතය පරම්පරා ගණනාවක් ඉදිරියට පවතින බව සහතික කළේ ය.
ප්‍රේම ගීතවල සිට වේග රිද්ම ගීත දක්වා ඕනෑ ම ගීත ශෛලියක් ආයාසයකින් තොරව ගායනා කිරීමට ඇය සතුව තිබූ හැකියාව ඇය සංගීතඥයින්ගේ නිරන්තර තේරීම බවට පත් කළේ ය.
බෝස්ලේගේ හඬ පරාසය සහ එහි ගැබ්ව තිබුණු ජවය සෑම ගීතයක් ම රසියකයින් අමන්දානන්දයට පත් කරවන්නක් බවට වූයේ, ඈ ගැයූ අමරණීය ගී බොලිවුඩ් සංගීතයේ හෘද ස්පන්දනය බවට පත් කරමිනි.
'දම් මාරෝ දම්' වැනි කෙළිලොල් රිද්මයක් ඇති ගීයක් වුව ද 'පියා තූ අබ් තෝ ආජා' වැනි ශෘංගාරාත්මක ගීයක් වුව ද 'මෙහ්න්දි හේ රච්නේවාලි' වැනි ජවසම්පන්න ගීයක් වුව ද බෝස්ලේ ආයාසයකින් තොරව ගැයුවා ය.
'තීස්රි මන්සිල්', 'කැරාවෑන්', 'යාදෝ කී බාරාත්', 'ඉජාසත්' සහ 'සාගර්' වැනි චිත්‍රපටවල ගීත සලකුණු තැබු නිර්මාණ බවට පත්විය. 'උම්රාඕ ජාන්' චිත්‍රපටය තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වූ අතර බොහෝ දෙනාගේ විශ්වාසය වූයේ එහිදී සංගීත අධ්යක්ෂ ඛයියාම් බෝස්ලේගේ උපරිම දක්ෂතාව මතු කර ගත් බවයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2022 වසරේදී අභාවප්‍රාප්ත වූ ඇගේ සොහොයුරිය වන ලතා මංගේෂ්කාර් මෙන් ම බෝසෙලේ ද සංගීත ලෝකය තුළ වෙනස් වූ සහ තමාට ම අනන්‍ය වූ මාවතක් නිර්මාණය කර ගත්තා ය.
මංගේෂ්කාර් ශාස්ත්‍රීය, සුනම්‍ය සංගීත ආරක් නියෝජනය කළ අතර බෝස්ලේ තමා ගායනා කළ සෑම ගීතයකට ම නව ජවයක් එක් කළා ය.
බෝස්ලේ සහ තනු නිර්මාපක ආර්.ඩී. බර්මන් (පසුව ඇය ඔහු සමග විවාහ විය) අතර හවුල බොලිවුඩයේ වඩාත් ම සංකේතාත්මක සහයෝගීතාවක් විය. ඔවුහු එක්ව සංගීත කර්මාන්තය තුළ විප්ලවීය වෙනසක් සිදු කළ නව නිර්මාණ බිහි කළහ.
ඇගේ කටහඬ බර්මන්ගේ පර්යේෂණාත්මක, විචිත්‍රවත් තනුවලට සර්වසම්පූර්ණ ලෙස ගැළපුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස හැඟුම්බර මෙන් ම වේග රිද්ම ගීත දක්වා පැතිරුණු බොහෝ ශානරවලට අයත් ගීත නිර්මාණය විය.
වසර 25කට වැඩි කාලයක් පුරා බෝස්ලේ සහ බර්මන් එක්ව අපූරු සංගීතමය උරුමයක් ගොඩනැගූ අතර ආශා වරෙක ඔහු ඇය තුළ සිටි දක්ෂතම ගායිකාව මතු කළ ආකාරය සිහිපත් කළා ය.
"ගායිකාවක් විදියට මගේ හඬ පරාසය මතු කර ගත්තේ පංචම් (බර්මන්ව ආදරයට හැඳින්වූ නාමය) විතරයි. පංචම් මගේ හඬෙහි ඇතුළාන්තයේ පවතින හැකියාව සොයා යාමට මාව යොමු කරන තෙක් මෙතරම් නම්‍යශීලී හඬකින් මට ගායනා කරන්න පුළුවන් කියලා මම කිසිසේත් ම දැනගෙන හිටියේ නැහැ," බෝස්ලේ 2023 වසරේදී සහභාගී වූ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවා ය.

ඡායාරූප මූලාශ්‍රය, ASHA BHOSLE/INSTAGRAM
1933 වසරේ සැප්තැම්බර් 8 වන දා මහාරාෂ්ට්‍රයේ ගෝර්හිදී උපත ලැබූ බෝස්ලේ කීර්තිමත් මංගේෂ්කාර් පවුලෙන් පැවත එයි.
ජනප්‍රිය රංගන ශිල්පියෙකු සහ සම්භාව්‍ය ගායකයෙකු වූ ඇගේ පියා වන දීනානාත් මංගෙෂ්කාර් විසින් සංගීතයෙන් පෝෂණය කළ නිවසක හැදී වැඩුණු ආශා, 1943 වසරේදී මරාති චිත්‍රපටයක් වන 'මාජා බාල්' සඳහා ඇගේ පළමු ගීතය ගායනා කරමින් ඇගේ සංගීත ගමනේ ආරම්භය සනිටුහන් කළා ය.
චිත්‍රපට ගීත, ගසල්, භජන්, කව්වාලි සහ පොප් ඇතුළු විවිධ ශානර ඔස්සේ බහුවිධ හැකියාවෙන් යුක්ත කලාකාරිනියක බවට පත්වෙමින් 50 සහ 60 දශකවල ඇය තම වෘත්තීය ජීවිතයේ හිණි පෙත්තට ම ගමන් කළා ය. ඕ.පී. නායර්, බර්මන් සහ එස්.ඩී. බර්මන් සමග එක්ව සිදු කළ නිර්මාණ ඇය ඉන්දියාව තුළ වඩා ත් ජනප්‍රිය ගායිකාවක බවට පත් කළා ය.
'ආයියේ මෙහෙර්බාන්' (1958), 'පර්දේ මේ රෙහ්නේ දෝ' (1968) සහ 'දම් මාරෝ දම්' (1971) වැනි අතිශය ජනප්‍රිය ගීත ඇයගේ අතිවිශාල ගීත එකතුවෙන් කිහිපයක් පමණි.
මොහොමඩ් රාෆි, කිෂෝර් කුමාර් සහ මන්නා ඩේ වැනි අග්‍රගණ්‍ය ගායකයින් සමග ඇය ගැයූ යුග ගීත සදාකාලික සම්භාව්‍ය නිර්මාණ කෘති ලෙස පවතිනු ඇත.
බෝස්ලේගේ පෞද්ගලික ජීවිතය ද ඇයගේ වෘත්තීය ජීවිතය මෙන් විවිධ සිදුවීම්වලින් පිරුණු එකක් විය. ඇය වයස අවුරුදු 16දී තම අසල්වැසියා වූ ගන්පත්රාඕ බෝස්ලේ සමග රහසේ පැන ගිය නමුත් එය අර්බුදවලින් පිරිණු විවාහයක් වුණු අතර පසුව ඔවුහු වෙන් වූහ.
බෝස්ලේගේ සැමියා ඇය පවුල සමග සම්බන්ධතා පැවැත්වීම වළක්වා වසර ගණනාවක් ඇය හුදෙකලා කර තැබූ බව මංගෙෂ්කාර් පසුකාලීනව සිහිපත් කළා ය. ඇයගේ දක්ෂතාවයෙන් ලාභ ලැබීමේ අරමුණින් ගන්පත්රාඕ ඇය සංගීත අධ්යක්ෂවරුන් වෙත කැටුව ගිය අතර ඇයට දුෂ්කරතා රැසකට මුහුණපෑමට හේතුවන පරිදි ඇයව පාලනය කිරීමට උත්සහ කළ බව මංගෙෂ්කාර් චිත්‍රපට ඉතිහාසඥ නස්රීන් මුන්නි කබීර්ට වරෙක පවසා තිබිණි.
අනතුරුව බෝස්ලේ 1960 වසරේදී දරුවන් තිදෙනෙකු සිටි තනි මවක් බවට පත්වෙමින් තම සැමියා අතහැර වෙන්ව ජීවත් වීමට පටන් ගත්තා ය. පසුව ඇය 1980 වසරේදී බර්මන් සමග විවාහ විය. බර්මන් 1994දී 54 අවුරුද්දක් ගෙවූ දිවියෙන් සමුගත්තේ ය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
බෝස්ලේ ඇගේ සහෝදරිය සමග නිරන්තරයෙන් සංසන්දනය කිරීම්වලට ලක් වූ අතර, එය එදිරිවාදිකම් පිළිබඳ කටකතා පැතිර යාමට ද හේතු විය.
එක ම ගොඩනැගිල්ලක ජීවත් වෙමින් සුහද සබඳතාවක් පැවැත්වූව ද ඇතැමෙකු මංගේෂ්කාර් බෝස්ලේගේ වෘත්තීය ගමනට බාධා කළ බවට චෝදනා කළ අතර තම සොහොයුරියගේ සහය ලැබුණේ නම් "මීට පෙර තමාට ඉදිරියට පැමිණීමට තිබූ බව" බෝස්ලේ විසින් ම වරෙක ප්‍රකාශ කර තිබුණා ය.
මංගෙෂ්කාර් පැවසුවේ, ඔවුන්ගේ නිහඬතාවට හේතුව බෝස්ලේගේ සැමියාගේ බලපෑම බවයි. පොදු ජන මතය තුළ මෙම එදිරිවාදිකම් පිළිබඳ අදහස නොනැසී පවතින අතරතුර බොහෝ දෙනා විශ්වාස කළේ, එය අතිශයෝක්තියක් ලෙස ය.
"අවසානයේ අප දෙදෙනාට ම උරුම වී තිබුණේ සංගීතයමය තිලිණයක්. දීදී (හින්දි බසින් වැඩිමහල් සොහොයුරිය යන අර්ථය දෙයි) මට වඩා ඉදිරියෙන් සිටි බවට සැකයක් නැහැ, නමුත් ඒක ඇයව අභිබවා යාමට මට තිබූ අධිෂ්ඨානය තවත් වැඩි කළා," 1971දී බෝස්ලේ චිත්‍රපට තිර රචක රාජු භාරතන්ට පැවසුවා ය.
පරිණාමය වන සංගීත ශෛලීන් අනුව ඇගේ හඬ හැඩගස්වා ගැනීමට තිබූ සුවිශේෂී හැකියාව හේතුවෙන් බෝස්ලේ ඇගයීමට ලක් වූවා ය.
වසර ගණනාවක් පුරාවට ජාත්‍යන්තර පොප් කලාකරුවන් රැසක් සමග නිර්මාණකරණයේ යෙදුණු ඇය, 1990 දශකයේ මුල් භාගයේදී බෝයි ජෝර්ජ් සමග එක්ව R.E.M. සංගීත කණ්ඩායමේ මයිකල් ස්ටයිප් සමග ගීතයක් පටිගත කළා ය.
මේ අතර, Cornershop නමැති සංගීත කණ්ඩායම ඇය වෙනුවෙන් ගැයූ උපහාර ගීතය ෆැට්බෝයි ස්ලිම්ගේ රීමික්ස් නිර්මාණයෙන් පසුව වඩාත් ජනප්‍රිය විය.
බෝස්ලේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කළ බව ප්‍රසිද්ධ කරුණක් වූ අතර ඒ වෙනුවෙන් ඇය තම විවේකී කාලය පවා වෙන් කළා ය.
2007දී ඇය සහ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙට් ලී හවුල විනෝදය ගෙන දුන් අවස්ථාවක් වූයේ ඔවුන් එක්ව ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) සමාරම්භක උළෙලේදී You're the One for Me ගීතය ගායනා කිරීමත් සමග ය.
"ආශා සමග සිදුවන ඕනෑ ම හමුවීමක් සාකච්ඡා වැඩසටහනක් වගේ තමයි. ඇය දිගට ම කතා කරගෙන යනවා, කතාව නතර කරන්නේ ගීතයක් ගායනා කිරීමට පමණයි," ඇයගේ චරිතාපදානයේදී භාරතන් සඳහන් කළේ ය.
"ඔබට අවශ්‍ය තරම් ඇය සමග විහිළුවෙන් කාලය ගත කළ හැකියි, ඒත් ඇය ඒ ගැන අහිතක් හිතන්නෙවත් හිත අවුල් කර ගන්නෙවත් නැහැ."
බෝස්ලේ 2023 වසරේදී ඩුබායිහි පැවති සජීව ප්‍රසංගයදී ඇගේ 90 වන උපන්දිනය සැමරුවා ය. "වයස අවුරුදු 90දී, වේදිකාව මත පැය තුනක් හිටගෙන ගායනා කිරීම ආශිර්වාදයක්," ඇය ප්‍රසංගයට පෙර පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවා ය.
බෝස්ලේ කිසි දිනක වැඩ කිරීම නතර නොකළා ය. 2020 වසරේදී ඇය "Asha Ki Asha" නමින් ඔන්ලයින් කුසලතා වැඩසටහනක් ද ආරම්භ කළා ය. ඇගේ මිණිබිරිය වන සනායිගේ දිරිමත් කිරීමක් හමුවේ ඇය යූටියුබ් නාලිකාවක් ද ආරම්භ කළ අතර, එහි ඇය ඇගේ වෘත්තීය ජීවිතයේ කතා බෙදා ගනිමින් ග්‍රාහකයින් 160,000කට වඩා තමන් වටා ඒකරාශී කර ගත්තා ය.
"සංගීතය කියන්නෙ මට මගේ හුස්ම වගේ. මම මගේ ජීවිතය ගත කළේ ඒ සිතුවිල්ලත් එක්ක. මම සංගීතය වෙනුවෙන් බොහෝ දේ කළා. දුෂ්කර කාලවලින් එළියට අව එක ගැන මට සහනයක් දැනෙනවා. මට දරා ගන්න බැරි වේවි කියලා හිතුණු අවස්ථා ගොඩක් තිබුණා, ඒත් මම ඒක කළා," බෝස්ලේ 2023 වසරේදී පැවසුවා ය.


































