පළාත් පාලන මැතිවරණය 2023: මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

 People gather at the Supreme Court complex

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීමට රජයේ දෙපාර්තමේන්තු කීහිපයක් අසමත් වීම හෝ ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (මාර්තු 16වැනිදා) අවසර ලබා දුන්නේය.

අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් (පෙබරවාරි 28 වැනිදා) මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබුවේය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රීයා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ කැඳවුම්කාර ආයතනයක් මෙන්ම එහි ලේකම් කාර්යාලය ලෙස ද ක්‍රියා කරයි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 1

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවලට සාමාජිකයින් ලෙස පුද්ගලයින් තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත සහ අදාළ නීතිවලට අනුකූලව සෑම වසර හතරකට වරක් පැවැත්විය යුතු බවය.

මෙම ඡන්ද විමසීම අවසන්වරට 2018 දී පැවැත්වූ අතර 2022 දී අවසන් වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතනවල නිල කාලය ඉන්පසුව තවත් වසරක් සඳහා 2023 මාර්තු 19 තෙක් දීර්ඝ කරනු ලැබීය.

එබැවින් එම නිල කාලය දීර්ඝ කිරීම සඳහා වෙනත් විකල්ප අවස්ථාවක් නොමැතිව ඉක්මනින් අවසන් වනු ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

2023 ජනවාරි 30 වැනිදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු 9 වන දින පවත්වන බව නිවේදනය කෙරිණ.

කෙසේවෙතත් මුදල් ලබා නොදන්නේ නම් තැපැල් ඡන්දය සඳහා අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බව පෙබරවාරි 13 වැනිදා රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් දන්වා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ එමෙන්ම අවශ්‍ය පොලිස් ආරක්ෂාව නොමැතිකම හේතුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් ප්‍රකාශ කර ඇති බවද වාර්තා වූ බවය.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම කල් දැමීම සඳහා රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරීත්වය තුළ සහයෝගී එකඟතාවක් පෙන්නුම් කරන බව පෙත්සම්කරුවෝ ප්‍රකාශ කරති.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා 2023 පෙබරවාරි 23 වන දින අවසන් අවස්ථාව වන තුරුම මැතිවරණය සඳහා මුදල් වෙන් කිරීමේ අභියෝගයක් පවතින බව පෙන්වා දී නොමැති බවද පෙත්සම්කරුවන් සදහන් කර ඇත.

මෙම ක්‍රියාවන් පෙත්සම්කරුවන්ගේ සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට අගති අගතිදායකව ක්‍රියාත්මක වන බව ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු පෙන්වා දෙයි.

රටක් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වීමට නම් නීතිය අනුව ඡන්ද බලය ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බවත් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් වීමට නම් මැතිවරණ පැවැත්වීම අත්‍යාවශ්‍ය දෙයක් ලෙස සැලකිය යුතු බවත් පෙත්සම් කරුවන් අවධාරණය කර ඇත.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම නතර කිරීමට සහ කඩාකප්පල් කිරීමට ගන්නා උත්සාහයන් නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති යටතේ ඇති අයිතිවාසිකම් උල්ලංඝනය වී හෝ දිගින් දිගටම උල්ලංඝනය කරමින් ඇති බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 2

ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදුවුයේ කුමක්ද?

රට තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන බැවින් පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා මැයි මස 11 වනදා කල් තැබීමට පෙබරවාරි 23 ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් නම් කර සිටින මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන දිවුරුම් ප්‍රකාශය අධ්‍යයනය කොට කරුණු දැක්වීම සඳහා මැතිවරණ කොමිසම ඇතුළු පාර්ශ්වකරුවන්ට අවසර ලබා දෙමින් අදාළ පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා මැයි මස 11 වනදා දක්වා කල් තැබීමට අධිකරණය ඒ අනුව තීරණය කළේය.

මෙම පෙත්සම අද වැඩිදුර සලකා බැලීම සඳහා එස්. තුරෙයිරාජා ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්නගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකාර මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතියට අනුකූලව නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බවට තම සේවාදායකයන් ලබා දුන් ප්‍රතිඥාව මේ වනවට ඉටු කිරීමට අපහසු තත්ත්වයක් උද්ගතව තිබෙන බව සඳහන් කළේය.

මැතිවරණයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මුදා නොහැරීම නිසාත් මැතිවරණයට අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුදාහැරීම රජයේ මුද්‍රණාලාධිපතිනිය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසාත් මෙම තත්ත්වය උද්ගත වී තිබෙන බව හෙතෙම කියා සිටියේය.

මෙහිදී විනිසුරු මඩුල්ල අදාළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේගෙන් කරුණු විමසා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ රට තුළ වර්තමානයේ උග්‍ර ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති නිසාත්, ආදායම් ගලනය පහත වැටී ඇති නිසාත් රාජ්‍ය වියදම් සීමා කරන ලෙස දන්වමින් අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව මුදල් අමාත්‍යංශයේ විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති නිසාත්, පළාත් පාලන ඡන්ද විමසීම් කටයුතුවලට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මුදාහැරීම අපහසු බවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සිය දිවුරුම් ප්‍රකාශය මගින් අධිකරණය දැනුවත් කර ඇති බවයි.

කෙසේ වෙතත් මැතිවරණයේ මූලික කටයුතු සඳහා මැතිවරණ කොමිසම වෙත රුපියල් මිලියන 30 ක් සහ රුපියල් මිලියන 70ක් ද, පොලිස් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් මිලියන 25 ක් ද, රාජ්‍ය මුද්‍රණාලය වෙත රුපියල් මිලියන 40 ක් ද දැනට මුදාහැර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

මෙහිදී විනිසුරුවරු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියා සිටියේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා රුපියල් මිලියන 8000 ක පමණ මුදලක් අවශ්‍ය වන බවයි.

මෙහිදී විනිසුරු නවාස් ප්‍රශ්නයක් යොමු කරමින් මෙම මුදල් තත්ත්වය යහපත් වන්නේ කවදාදැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාගෙන් විමසා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් තමාට මෙම අවස්ථාවේදී ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවත් ඊට අදාළව තම සේවා දායකයාගෙන් උපදෙස් ලබා ගැනීම අවශ්‍ය වන බවත්ය.

එහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් මෙසේ කියා සිටියේය : "ස්වාමීනි පළාත් පාලන ඡන්ද විමසීම කියන්නේ අත්‍යවශ්‍ය ඡන්ද විමසීමක්. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට රාජ්‍යය ආයතන බැඳී සිටිනවා. එසේ තිබියදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ රජයේ මුද්‍රණාලාධිපතිනිය මැතිවරණ කටයුතුවලට බාධා කිරීම බරපතල වරදක්. මුදල් අමාත්‍යාංශය වියදම් සීමා කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති නිසා පළාත් පාලන ඡන්ද විමසීමට අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන මුදා හළ නොහැකි බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පවසනවා. මේක අනුමත කරන්න බැහැ. මැතිවරණ පැවැත්වීමේ බලය අමාත්‍ය මණ්ඩලයේ හෝ මුදල් අමාත්‍යවරයා යටතට පත් කරන්න ඉඩ දෙන්න එපා කියලා මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. එහෙම කරන්න ගියොත් මැතිවරණ පාලනය කිරීමේ බලය අමාත්‍ය මණ්ඩලය හෝ මුදල් අමාත්‍යවරයාට පැවරෙනවා. ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය වගේ ජාතික මැතිවරණත් මෙයාකාරයෙන් කල් දැමීමට ඔවුන්ට අවකාශ සැලසෙනවා. ඒක අයහපත් තත්වයක්."

ඊට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මෙසේ ප්‍රතිචාර දක්වා සිටියේය :"සෑම මැතිවරණයක්ම නිසි පරිදි නීත්‍යානුකූලව පැවතිය යුතු බව අධිකරණයක් පිළිගන්නවා. නමුත් මුදල් කියන විෂය පථය තිබෙන්නේ අධිකරණය යටතේ නෙවෙයි. ඒ නිසා එම කටයුත්තට මැදිහත් වීමට අධිකරණයට තිබෙන අවකාශය බොහොම පටුයි." ඉසේ සඳහන් කළ ඔහු මුදල් ගැටලුව සම්බන්ධයෙන් ඒ හා සම්බන්ධ ආයතන වෙත පැමිණිලි කරන ලෙස ප්‍රකාශ කළේය.

මෙහිදී පැෆරල් සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට භාණ්ඩාගාරයට මුදල් නොමැතිනම් මහජනතාවගෙන් මුදල් එකතුකොට මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබෙන බව පැවසු අතර ඊට විනිසුරු තුරෙයි රාජා දැඩි දෝෂාරෝපණ එල්ල කළේය.

මේ අවස්ථාවේදී මහජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව පෙන්වා දුන් විනිසුරුවරයා එවැනි තත්ත්වයක් යටතේ මහජනතාවගෙන් මුදල් එකතු කර මැතිවරණ පැවැත්වීම අනුමත කළ නොහැකි බව එහිදී ප්‍රකාශ කළේය.

'කැමති කෙනෙක් සිටිනවා නම් භාණ්ඩාගාරයට ගොස් මුදල් පරිත්‍යාග කළ හැකි බව' විනිසුරුවරයා විවෘත අධිකරණයේ කියා සිටියේය.

Skip Facebook post
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post

ඉන් අනතුරුව මෙම නඩුකරයට අදාලව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන දිවුරුම් ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර ප්‍රතිචාර දැක්වීමට මැතිවරණ කොමිසම ඇතුළු වගඋත්තරකරුවන්ට කල් ලබා දුන් අධිකරණය පෙත්සම නැවත මැයි මස 11 වනදා කැඳවන බව දැනුම් දුන්නේය.

ඊට එකඟ නොවූ මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා 'මෙය ජාතික වැදගත්කමක් සහිත ඉතා වැදගත් නඩුකරයක් බැවින් කඩිනම් දිනයක කැඳවීමට පියවර ගන්නා' ලෙස ඉල්ලා සිටියේය.

මාර්තු මස නව වන දා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී මෙම පෙත්සම් විභාගය මෙයාකාරයෙන් කල් දැමීම නුසුදුසු බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී විනිසුරු තුරේයි රාජා සඳහන් කළේ තම අධිකරණයේ දිනපොත අනුව මෙම නඩුව කැඳවීම සඳහා ලබාදිය හැකි ආසන්නතම දිනය මැයි මස 11 වනදා බවයි.

ඒ අනුව අදාළ පෙත්සම වැඩිදුර සළකා බැලීම සදහා පෙත්සම මැයි මස 11 වනදා කැඳවන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළහ.

මේ අතර මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බව දැනුම් දෙමින් මැතිවරණ කොමිසම වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසම ද අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී අදාළ මෝසමේ පාර්ශවකරුවන් වශයෙන් නම් කර සිටි මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මැතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිසම විසින් ලබා දී ඇති ප්‍රතිඥාව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මූදල් ප්‍රතිපාදන මුදා නොහැරීම නිසාත් රජයේ මුද්‍රණාලාධිපතිනිය ඡන්ද පත්‍රිකා මුදාහැරීම ප්‍රතික්ෂේප කිරීම නිසාත් ඉටුකිරීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන බව පෙන්වා දුන්නේය.

එබැවින් ඒ පිළිබඳව කරුණු විමසීම සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා හා රජයේ මුද්‍රණාලාධිපතිනිය අධිකරණය හමුවට කැඳවීම සඳහා නොතීසි නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.එම ඉල්ලීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද දින කිසිදු නියෝගයක් නිකුත් කළේ නැත.