පළාත් පාලන මැතිවරණය 2023: තැපැල් ඡන්ද සලකුණු කිරීම දින නියමයක් නොමැතිව කල් දැමෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
මාර්තු නවවන දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම පෙබරවාරි 22, 23, 24 සහ 28 දින දිනවල පැවැත්වීමට නියමිතව තිබුණි.
එහෙත් අදාළ දිනවල සලකුණු කිරීම සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා ලබාදීමට එකඟව තිබූ පරිදි රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනවලදී තම කොමිෂන් සභාව වෙත ලබා දී නැතැ යි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
ඒ අනුව තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම අදාල දිනවල නොකරන බවත්, නැවත සලකුණු කිරීමේ දිනය පසුව දැනුම් දෙන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක අද (පෙබරවාරි 17) නිවේදනය කළේ ය.
තවමත් ප්‍රමාණවත් පොලිස් ආරක්ෂාවක් නැහැ!
රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංඟා කල්පනී ලියනගේ බීබීසී සිංහල සේවය සමග ප්‍රකාශ කළේ ප්‍රමාණවත් පොලිස් ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් මැතිවරණයේ මුද්‍රණ කටයුතුවලට බාධා මතුව ඇති බවය.
අද (පෙබරවාරි 17) වන විටද ලබා දී ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පමණක් බවද ඇය සඳහන් කළාය.
ඇය ප්‍රකාශ කළේ තැපැල් ඡන්ද මුද්‍රණය ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා ආරක්ෂක කටයුතු වෙනුවෙන් සේවා මුර දෙකකට පොලිස් නිලධාරීන් 65 දෙනෙකු ඉල්ලා සිටි බවත් ය.
කිහිප වරක්ම පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටියත් අද දක්වාම ප්‍රමාණවක් ආරක්ෂාවක් ලැබී නැතැ යි ඇය පැවසුවාය.
පොලිස් ආරක්ෂාවක් නොමැතිව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු නොකරන ලෙස සමස්ත සේවකයින් තමන්ගෙන් ඉල්ලා ඇති බවද රජයේ මුද්‍රණාලයාධිපතිනිය ප්‍රකාශ කළා ය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සඳහා ඡන්ද පත්‍රිකා ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් තැපැල් ඡන්ද නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල් දමා ඇතිබව පෙර ප්‍රකාශ කරද්දී ඉදිරිපත් වූ හේතුව වූයේ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය අරමුදල් ලබානොදීම යි.
මැතිවරණයට මුදල් ලබා නොදීම පළාත් පාලන ඡන්ද විමසීම වැළැක්වීමේ කුමන්ත්‍රණයක් බවට විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා කර සිටිති.
මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෝ කුමන්ත්‍රණයක් විය හැකි බව මැතිවරණ නිරීක්ෂණයින් ද මතුකරණ කාරණයකි.
පවතින තත්ත්වය හමුවේ මෙය සමස්ත පළාත් පාලන මැතිවරණයම කල්දැමීමට හේතුවක් විය හැකිද යන අවිනිශ්චිතභාවය මහජනයා තුළ පවතී.
නියමිත දිනයට මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත්?
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රමුඛ නිලධාරීන් පළාත් පාලන මැතිවරණය සැලැසුම් කළ පරිදි මාර්තු 09 වැනිදා පැවැත්වීමට අදාළ අංශ සමග සම්බන්ධීකරණය කරමින් දැඩි පරිශ්‍රමයක නිතර වෙමින් සිටිති.
මැතිවරණ නිරීක්ෂකයින් පවසන්නේ දිස්ත්‍රික් මට්ටමින් මැතිවරණ නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබා ගැනීමේ දුෂ්කරතාද මේවන විට මතුව ඇති බවය.
ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පැවසුවේ මාර්තු 09 වැනිදා ඡන්දය පැවැත්වීමට නොහැකි වුවහොත් නෛතිකව ප්‍රතිපාදන අනුව දින 21කට පසු යළි මැතිවරණ දිනයක් නියම කර මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇති බවය.
කෙසේවෙතත් මැතිවරණ කොමිෂන් සභාවට ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වා අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට සහනයක් ඉල්ලීමට හැකි බවද ඔහු පැවසීය.
මැතිවරණ කොමිෂන් සභාවේ නියෝග පිළි නොගන්න තැනකට රාජ්‍ය නිලධාරීන් පත්වීම ඉතාම භයානක බවද ඔහු සඳහන් කළේය.
ඡන්දය කඩාකප්පල් කරන නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියමාර්ග
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2023 පළාත් පාලන මැතිවරණය සැලසුම් කළ පරිදි පැවැත්වීම කඩාකප්පල් කරන නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ජන බලවේගය අවධාරණය කරයි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (පෙබරවාරී 15 වැනිදා) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවැසුවේ, මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක ඒ සඳහා සහයෝගය ලබාදීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බවය.
එම වගකීම පැහැර හරින නිලධාරීන්ට එරෙහිව නඩු පවරා අධිකරණය හමුවේ වරදකරුවන් කළ හැකි බවද ඔහු පැවසීය. “ඡන්දය කඩාකප්පල් කරන නිලධාරීන්ට අපි කියන්නේ ජනතාවගේ වගවීම ඉටු කරන්න. නැතිනම් නීතිමය ක්‍රියාමාර්ගවලට අවතීරණ වෙනවා.”
අනුර කුමාර දිසානායක අවධාරණය කර සිටියේ වත්මන් ආණ්ඩුවට ඇත්තේ විකෘති වූ ජනවරමක් බවය.
රටේ ජනතාවගේ කැමත්ත මැනීමට හැකි හොඳම ක්‍රමවේදය මෙම මැතිවරණය බවද ඔහු සඳහන් කළේය.
“ප්‍රාදේශීය සභාවක ප්‍රශ්නයක් නෙමේ. රටේ ජනතාවගේ ජනමතය මොකක්ද කියලා බලන මැතිවරණයක් මේක. මේවගේ වෙලාවක තමා රටට ඡන්දයක් අවශ්‍ය. මේ වෙලාවේ නොතියන ඡන්ද මොකටද? මේ වෙලාව ඡන්දය පැවැත්විය යුතු අවස්ථාවක්.” ඔහු අවධාරණය කළේය.
මෙරට සෑම මැතිවරණයක්ම පවත්වා ඇත්තේ මහා භාණ්ඩාගාරය සතුව මුදල් තිබී නොමැතිව බවද ඔහු පැවසීය.
“අපේ රටේ හැමදාම මුදල් තිබිලා ඡන්දය කළේ නැහැ. ආණ්ඩුවට හැමදාම තිබ්බේ සීමිත මුදල් ප්‍රමාණයක්. තමන්ගේ සීමිත මුදල් වලින් අවශ්‍ය ප්‍රමුඛතාව දෙන්න මොනවටද කියන්න තමා පාර්ලිමේන්තුව, භාණ්ඩාගාරය ඉන්නේ. භාණ්ඩාගාරයේ එකවුන්ට් එක බැංකු අයිරාවෙන් යන්නේ. හැමදාම තිබ්බේ සෘණ ශේෂයක්. ඒක අද නෙමේ හැමදාම එහෙමයි. මුදල් අර්බුදයක් තිබුණත් ප්‍රමුඛතාව වෙන්නේ ජනතාවගේ කැමැත්ත, ප්‍රජාතන්ත්‍රවාදය.”
මැතිවරණය පැවැත්වීම වළක්වාලීම සඳහා ජනාධිපතිවරයා නිලධාරීන් යොදා ගනිමින් සිටින බවටද ඔහු චෝදනා කළේය.
“රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් හපුහින්න හරහා ඇප මුදල් භාර ගැනීම නතර කරන්න ලිපියක් ඇරියා දිසාපතිවරුන්ට. ඒක ව්‍යවස්ථා විරෝධී. නිලධාරීන් තමන්ගේ කැත බල උවමනාවන් සඳහා උපයෝගී කරගනන්නවා. අවස්ථාව ලැබුණු පළවෙනි මොහොතෙදි ම නිලධාරීන් පාවා දෙනවා”
“රජයේ මුද්‍රණාලයාධිපතිනිය , භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන හරහා ඡන්දය පැවැත්වීම කඩාකපල් කරවීම සඳහා රනිල් වික්‍රමසිංහ තමන්ගේ සැඟවුණු හස්තය යොදවා තිබෙනවා.” අනුර කුමාර දිසානායක චෝදනා කළේය.
“ජනාධිපතිවරයා තම බලය අනිසි ලෙස උපයෝගී කරගනිමින් රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කිරීම හරහා මෙම මැතිවරණය කඩා කප්පල් කිරීම සඳහා දරණ ප්‍රයත්නයක් මේකේ තියෙන්නේ. අපි අහනවා පුරවැසියන්ගෙන් එහෙම ප්‍රයත්නයකට අපි ඉඩ දිය යුතුද?
කොමිසමේ අවශ්‍යතාව අනුව ඔවුන්ට අවශ්‍ය සහයෝගය දැක්වීම සියලු රජයේ නිලධාරීන්ගේ කාර්යය වියුයුතු බවත්, එම කාර්යය පැහැර හරින නිලධාරීන් අධිකරණය හමුවේ වරදකරුවන් කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
ව්‍යවස්ථාවට අනුව එවැනි නිලධාරීන්ට රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයක් සහ වසර 3 සිර දඬුවමක් හෝ දඩය හා සිරදඬුවම් යන දඬුවම් දෙකම පැනවීමේ හැකියාව ඇති බවද ඔහු සඳහන් කළේය.
“හිතාමතා පොලිස්පතිවරයා, භාණ්ඩාගර ලේකම්, මුද්‍රණාලයාධිපතිනිය උත්සහා කරනවා නම් මේක තමා ව්‍යවස්ථාව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න ඔබ බැඳී සිටිනවා.”

ඡායාරූප මූලාශ්‍රය, Anura Kumara Dissanayake| FaceBook
ඡන්ද විමසීම වළක්වාලීමට අධිකරණයෙන් සහ පාර්ලිමේන්තුවෙන් අවස්ථාවක් නොමැති තත්ත්වය තුළ මැතිවරණ ක්‍රියාදාමය කඩා කප්පල් කිරීම සඳහා ජනාධිපතිවරයා මැදිහත්ව සිටින බවටද ඔහු චෝදනා කළේය.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මුදල් වියදම් කළ යුතු ආකාරය පිළිබඳ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇති බවත් මුදල් වියදම් කළ යුතු කේෂ්ත්‍රයට මැතිවරණය ඇතුලත් කර නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
“ඔහු උත්සාහ කරනවා ඡන්දයට සල්ලි දෙන්න එපා කියලා.”
අනුර කුමාර දිසානායක සඳහන් කළේ “ජනාධිපතිවරයා මැතිවරණය කඩා කප්පල් කිරීම සඳහා කටයුතු කරමින් සිටිනවා. දිනන්න පුලුවන් නම් ඡන්දය තියෙනවා. දිනන්න බැරිනම් ඡන්දයක් තියෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ නිසි කලට නිසි පරිදි, සාධාරණව ජනතාවගේ මතය විමසීම.” යනුවෙනි.
"ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින්නේ ඔහුව ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ඡන්දය දුන් මන්ත්‍රීවරුන්134 දෙනා සතුටු කිරීමට" බව පෙන්වා දෙන ඔහු සිටින්නේ “ජනාධිපතිවරයාගේ බැඳීම තියෙන්නේ මහජනයාට නෙමේ. මේ රටේ ආර්ථිකයට නෙමේ. කර්මාන්තකරුවට නෙමේ, ප්‍රජාතන්ත්‍රවාදය ගැන නෙමේ.” යනුවෙනි.
ඔහු කියා සිටියේ “සල්ලි නැතිකම නෙමේ. ඩොලර් මිලියන 20ක් දීලා තියෙනවා පමා වන තෙල් නැව්වලට. රුපියල් බිලියන 7.3ක් දීලා තියෙනවා. ඡන්දය තියන්න පුලුවන් තරමේ මුදල් ප්‍රමාණයක් පොහොර සමාගම්වලට ගෙවලා තියෙනවා, පමා වූ තෙල් නැව්වලට ගෙවලා තියෙනවා. ගල් අඟුරු වලින් කොමිස් ගහලා තියනවා. පොහාර ඇටයක් ලැබෙන්නේ නැතිව කුණු පොහොර නැවකට ගෙවලා තියෙනවා"
“මිලියන 400 ඡන්ද පත්‍රිකා මුද්‍රණයට යන්නේ. ඒ මුදලයි ජනාධිපතිවරයාගේ නිදහස් උත්සවයට වැය කරලා තියෙන මුදලයි සමාන වෙලා”
“ඔවුන්ට නැත්තේ සල්ලි නෙමේ ඡන්ද. ඡන්ද නොමැති වීමේ අර්බුදය විසින් ඔවුන් ඡන්ද කල් දමමින් සිටිනවා.”
ඡන්ද කල්දැමීමේ ඉතිහාසයක් නැවත ප්‍රතිනිර්මාණය කිරීමට ඉඩ නොදිය යුතු බවත් ජනාධිපතිවරයා උත්සහ කරමින් සිටින්නේ එම යුගය ප්‍රති නිර්මාණය කිරීම බවත් හෙතෙම චෝදනා කළේය.
“අපි ලෑස්තියි ඒක පරාජය කරන්න.”
මානවහිමිකම් කණ්ඩායම් සහ ජාත්‍යන්තර සංවිධාන හරහා එම විරෝධය දක්වන බවත්, ඡන්දය කඩාකප්පල් කරන නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගලට යන බවත් මහජනයා සමග එක්ව උද්ඝෝෂණ පවැත්වීමට ද කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොලිසිය හා හමුදාව යොදාගෙන ජනතාව ගැටුම්කාරී, ප්‍රචණ්ඩකාරී තත්ත්වයට යොමු කිරීමට උත්සාහ කරන බවද ඔහු මෙහිදී පැවසීය.
“ගැටුම්කාරී සමාජයේ තමා ඔහුගේ පැවැත්ම තියෙන්නේ. ඒ හරහා බලය තහවුරු කරගන්න උත්සාහ කරන්නේ. රනිල්ගේ පොර පිටියට යන්න අපි සූදානම් නැහැ. සාමකාමී ප්‍රජාන්ත්‍රවාදී පිටියට අපි යන්නේ.” ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වැඩි දුරටත් කියා සිටියේය.
"මැතිවරණ මුද්‍රණ කටයුතුවලට ප්‍රමාණවත් ආරක්ෂාවක් නැහැ" - රජයේ මුද්‍රණාලයාධිපතිනි
2023 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා පෙර පැවති මැතිවරණවල මෙන් ආරක්ෂාවක් ලැබී නැතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංඟා කල්පනී ලියනගේ බීබීසී සිංහල සේවය සමග ප්‍රකාශ කළාය.
ඇය කියා සිටියේ පොලිස් නිලධාරීන් 60 දෙනෙකුගේ ආරක්ෂාවක් අවශ්‍ය වුවත් දැනට ලබා දී ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පමණක් බවය.
ඒ අනුව තම කටයුතු සඳහා මුදල් සහ ආරක්ෂක ගැටලු මතුව ඇති බව ඇය පැවසුවාය.
“සල්ලි නැහැ කියලා අපි මුද්‍රණය නොකර ඉදලා නැහැ. මුද්‍රණය කරගෙන ගියා.”
රජයේ මුද්‍රණාලයාධිපතිනිය පැවසුවේ දැනට මහා භාණ්ගාරයෙන් ලැබී ඇත්තේ රුපියල් මිලියන 40ක් බවය.
දැනට මිලියන 200ක පමණ මුද්‍රණ කටයුතු කර ඇති බවද ඇය පැවසුවාය.

ඡායාරූප මූලාශ්‍රය, Government Printer
ආරක්ෂාව දුන්නහාම දැනට මුද්‍රණයකර ඇති ද්‍රව්‍ය පරීක්ෂාවට ලක්කළ හැකි බවද ඇය කියා සිටියාය.
ඇය සඳහන් කළේ මැතිවරණ මුද්‍රණ කටයුතු සඳහා ආරක්ෂාව ලබාදෙන ලෙස පොලිස්පතිවරයාට, මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී ඇති බවය.
මැතිවරණයට අදාළ උපදෙස් පත්‍රිකා, ඡන්දපොල දැන්වීම් මුද්‍රණය කර ඇති බවත්, පෝස්ටර්, ඡන්ද පත්‍රිකා සහ ප්‍රතිඵල ලේඛන මුද්‍රණය කිරීමට නියමිතව ඇති අතර මැතිවරණයට අදාළ සෙසු මුද්‍රණ කටයුතු වලින් 75% ක් මුද්‍රණය කර අවසන් බවද ඇය සඳහන් කළාය.
දැනට මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 200ක පමණ අමුද්‍රව්‍ය ණයට ලබා ගෙන ඇති බවද ගංඟා කල්පනී ලියනගේ පැවසුවාය.
නියමිත පරිදි මුදල් හා ආරක්ෂාව ලබා දෙන්නේ නම් සැලසුම් කළ පරිදි මුද්‍රණ කටයුතු කළ හැකි බවද ඇය සඳහන් කළාය.
මේ අතර ඉදිරි දින කිහිපය තුළ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා බීබීසී සිංහල සමග පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදය ඝාතනයට ආණ්ඩුව දරන උත්සාහය පැහැදිලියි
මේ අතර මැතිවරණය තුළ කුමන මතවාදයක් නියෝජනය කළ ද එකිනෙකා අතර ඇති සියලු ප්‍රතිවිරෝධයන් පසෙක තබා ගෞරවනීය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එක් අරමුණකට, එක් පෙරමුණකට අනුගතව එක්වන්නැයි පාර්ලිමේන්තුවේ සහ ඉන් බැහැර සියලු විපක්ෂ බලවේගයන් වෙතින් නිදහස් ජනතා සන්ධානය ඉල්ලා සිටියි.
එම සන්ධානය පෙන්වා දෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සිද්ධාන්තය වනුයේ රටක බහුතර කැමැත්ත මත පිහිටා කටයුතු කිරීම බවය.
ජනාධිපතිවරණය, මහ මැතිවරණය, පළාත් පාලන මැතිවරණය ආදී වශයෙන් වන සියලු මැතිවරණවලදී ජනතාවට සිය ඡන්දය ප්‍රකාශ කර තමන්ට කැමති පාලකයන් තෝරාගැනීමේ අවස්ථාව හිමිවෙයි.
ජනතාවගේ බහුතර කැමැත්ත මත පිහිටා රාජ්‍යය පිළිබඳව තීන්දු තීරණ ගැනීමටත් රට පරිපාලනය කිරීමටත් මහජන නියෝජිතයන්ට නීත්‍යනුකුල බලය හිමිවන්නේ එවිටය.
එම අවස්ථාව උදාවන්නේ මැතිවරණයක් තුළින් පමණක් බව ඔවුහු අවධාරණය කරති.
“වර්තමානයේ ශ්‍රී ලංකාවේ බලයේ සිටිනුයේ කිසිදු ජනතා කැමැත්තක් නොමැති, ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ, ජනමතයක් නැති, අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු සහ ආණ්ඩුවකි. තමන් වෙත පවතින ජනතා අප්‍රසාදය හෙළිදරව්වීම වැළැක්වීම සඳහා මැතිවරණ කල් දැමීමට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හැකි සෑම උත්සාහයක්ම දරමින් සිටියි. විසි වතාවක් එම උත්සාහය ගත් බව මැතිවරණ කොමිසම මීට පෙර හෙළිදරව් කරනු ලැබීය. තැපැල් ඡන්දයට එරෙහිව විසි එක් වැනි තහංචිය ද එළිදැක්වූ අතර, එමඟින් ප්‍රජාතන්ත්‍රවාදය ඝාතනය කිරීම සදහා ආණ්ඩුව දරන උත්සාහය මනාව පැහැදිලි වෙයි.” නිදහස් ජනතා සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මේ මොහොතේ ද මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම නවතා දමමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැළැක්වීම සඳහා ඉතා නින්දිත උත්සාහයක යෙදෙමින් සිටින බට නිදහස් ජනතා සන්ධානය චෝදනා කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 වගන්තියට අනුව, මැතිවරණය පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට රජයේ නිලධාරීන් සහ ආයතන වගකීමෙන් බැඳී සිටියි. යම් හෙයකින් එම වගකීම උල්ලංඝනය කරන්නේ නම්, එම නිලධාරීන් පෞද්ගලිකව ද ආයතනවල ප්‍රධානීන් / අධ්‍යක්ෂක මණ්ඩලය සහ නිලධාරී මණ්ඩලය පෞද්ගලිකව සහ සාමූහිකව ද එහි වගකීම භාරගත යුතු බවද නිදහස් ජනතා සන්ධානය පැවසීය.
මැතිවරණ කල්දමමින් ඊට එරෙහිවූ ප්‍රජාතන්ත්‍රීය ප්‍රවාහයන් මර්දනය කරමින් විවිධ ආණ්ඩු විසින් ඉතිහාසය පුරා ගනු ලැබූ උත්සාහයන් අවසන් වූයේ මිනී කඳු මතින් සහ ලේ ගංගාවලිනි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා සූදානම් වනුයේ නැවත වරක් ජනතාවගේ ලේ සොලවා අත්තනෝමතික ලෙස බලයේ රැඳී සිටීමටදැයි සාධාරණ සැකයක් මතුවන බව නිදහස් ජනතා සන්ධානය අවධාරණය කර සිටියේය.
පක්ෂයක් හැටියට අපි මැතිවරණයට සූදානම්: පොහොට්ටුව
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා හර්ෂණි ගුණවර්ධන පක්ෂ මූලස්ථානයේ ඊයේ (පෙබරවාරී 15 වැනිදා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පැවසුවේ, පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයට සූදානම් බවය.
“තැපැල් ඡන්දය කල්දාලා තිබෙනවා මැතිවරණ කොමිෂන් සභාව. මැතිවරණ කොමිසම ඡන්දය පවත්වනවා කියන ඕනෑම අවස්ථාවක අපි ඡන්දයට සූදානමින් සිටිනවා. කවුරු මොන විදිහට කිව්වත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි මැතිවරණයට බයේ සිටින පක්ෂයක් නොවේ. පැහැදිලිවම ඕනෑම මැතිවරණයකට සූදානම්.” ඇය පැවසුවාය.
මන්ත්‍රීවරිය සඳහන් කළේ “ 2018 මැතිවරණයේදී බොහෝ පිරිසක් කිව්වා අපි පරදිනවා කියලා. නමුත් අපි අති විශිෂ්ට ජයක් ලැබුවා. ඒ වගේම ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කෙරුවා. එන පළාත් පාලන මැතිවරණයත් අපි අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා. ඒ සඳහා ගම්වල ජනතාව සූදානමින් සිටිනවා.”

ඡායාරූප මූලාශ්‍රය, SLPP
ඇය කියා සිටියේ “යම් යම් පක්ෂ භීෂණය වපුරලා මැතිවරණය තුළ වාසි ගන්න හැදුවත් පැහැදිලිව ජනතාව දන්නවා මේ රටට වැඩකරපු පක්ෂය, වැඩ කරපු නායකයෝ කවුද කියලා. ඒ නිසා මේ මැතිවරණය ඕනෑම අවස්ථාවක ජයග්‍රහණය කරන්න අපි පක්ෂයක් හැටියට සූදානමින් සිටිනවා. අපි තමයි මුලින්ම ඇප තැන්පත් කළේ. ඒ වගේම මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළත් සකස් කරලා ක්‍රියාත්මක කෙරුවා.” යනුවෙනි.
ඇය පවසන්නේ බිම් මට්ටමේ ජනතාව සිටින්නේ තම පක්ෂය සමග බවය.
“ඔවුන් සිටින්නේ පැහැදිලිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක. මේ රටේ අධිවේගී මාර්ගය ඉඳන් ගමේ පාර දක්වා හැදුවේ, මේ රට සංවර්ධනය ගෙනිච්චේ කවුද කියලා මිනිස්සු දන්නවා. මේ සංවර්ධනය දකින මිනිස්සුන්ට කෙලෙහි ගුණ අමතක නෑ. රට සංවර්ධනය කරන්න පුළුවන් පක්ෂය මොකක්ද කියන එක මිනිස්සු දන්නවා. ඔය සියලු මතවාද බිඳදාලා අපේ ස්ථාවරය රටට පෙන්වන්න දවසක් එනවා" ඇය කියා සිටියාය.












