2023 මැතිවරණ වසරක් වෙයි ද? අරගල වසරක් ‌වෙයි ද?

Sri Lanka's chairman of Election Commission Mahinda Deshapriya inspects a center used for a mock election ahead of the parliamentary election in Colombo, Sri Lanka, Saturday, June 20, 2020

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2023 වසර මැතිවරණ වසරක් වනු ඇතැ යි යන සේයා පෙන්නුම් කරමින්, පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දැන්වීම ඊයේ (ජන. 04) නිකුත් කෙරිණ.

පළමුව පළාත් පාලන මැතිවරණය පවත්වයි ද, නැතහොත් ජනාධිපතිවරණයක් හෝ මහා මැතිවරණයක් මේ වසර තුළ පවත්වන්නේදැ යි යන්න පිළිබඳ දේශපාලන පක්ෂ අතර පැවතියේ අවිනිශ්චිත බවකි.

මේ අවිනිශ්චිතතාව තීව්‍ර වූයේ පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව සූදානම් වන බවට විපක්ෂයෙන් චෝදනා එල්ලවීම නිසා ය.

මේ අතර ඡන්ද විමසීම කල්දමන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා විශ්‍රාමික හමුදා නිලධාරියෙකු ද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය ඊයේ නිකුත් කෙරුණේ එම වාතාවරණය තුළ ය.

පළාත් පාලන ආයතන 340ක් සඳහා සභිකයින් තෝරයි

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත, පළාත් පාලන ආයතන 340ක් සඳහා සභිකයින් තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීමට නාම යෝජනා භාර ගැනීම සඳහා වන නිවේදනය ඊයේ (ජන. 04) ප්‍රසිද්ධ කෙරිණ.

මේ යටතේ ගාල්ල දිස්ත්‍රික් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර මහ නගර සභා 29ක්, නගර සභා 36ක් හා ප්‍රාදේශීය සභා 275ක් සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, නියෝජ්‍ය සභාපති සහ සභිකයින් තෝරා පත්කර ගනු ඇත.

ජනවාරි 04 සිට ජනවාරි 20 වැනිදා දහවල් 12 දක්වා ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාර ගැනෙනු ඇත.

ජනවාරි 18 වැනිදා සිට ජනවාරි 21 වැනිදා දහවල් 12 දක්වා ඒ ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී නාමයෝජනා භාරගන්නා බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කළේය.

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඇරඹේ

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අද දින නාමයෝජනා කැඳවීමේ දැන්වීම් නිකුත් කළ පළාත් පාලන අයතන 340කට අදාළ ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දයදීමට සුදුසුකම් ලැබුවන්ගේ අයදුම්පත් බාර ගැනීමේ කාල සීමාව අද (ජන. 05) ඇරඹී, ජනවාරි 23 මධ්‍යම රාත්‍රී 12ට අවසන්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.

කොමිෂන් සභාව සඳහන් කළේ එම දිනය නැවත කිසිසේත්ම දීර්ඝ නොකරන බව ය.

ඡන්ද විමසීමේ දී අදාළ පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ඡන්දහිමියන් ලෙස ලියා පදිංචිව සිටින හා ඡන්ද විමසීම් රාජකාරි සඳහා යෙදවීමට නියමිත සියලුම රාජ්‍ය නිලධාරීන්, සේවකයින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් එම පළාත්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිලධාරීන්, සේවකයින්, තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා සේවකයින්, දුම්රිය සේවා පවත්වා ගෙන යාම පිණිස අවශ්‍ය වන දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් සහ සේවකයින් හා දිවයිනේ සියලුම ප්‍රදේශවල ආරක්ෂක කටයුතුවල නිරත වන ත්‍රිවිධ හමුදාවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ සහ සක්‍රීය ආරක්ෂක සේවයේ යොදවා ඇති සිවිල් ආරක්ෂක බලකා සාමාජික සාමාජිකාවන්, තමාට වෙන් කරන ලද ඡන්ද පොළේ දී පෞද්ගලිකව ඡන්දයදීමට නොහැකි නම් හෝ එසේ වීමට ඉඩ ඇති නම් තැපෑලෙන් ඡන්දයදීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබයි.

මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී සිටින්නේ තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ කාලසීමාව අවසන් වන තෙක් නොසිට නොපමාව ස්වකීය ඉල්ලුම් පත ඉදිරිපත් කරන ලෙස ය.

මෙම ඡන්ද විමසීමේ දී තැපෑලෙන් ඡන්දය දීම පිණිස ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කිරීමේ දී ඒ සඳහා වූ තොරතුරු 2022 පළාත් පාලන ඡන්ද හිමි නාමලේඛණයේ නිවැරදිව ලබාගත යුතු බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේ ය.

අදාළ අයදුම්පත් ජනවාරි 23 දින හෝ එදිනට පෙර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබෙන සේ යැවිය යුතු අතර, එම දිනය නැවත දීර්ඝ නොකරන බවත්, නියමිත දින හෝ ඊට පසුව ලැබෙන අයදුම්පත් හා අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බවත් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 1

ඡන්ද වීමසීම වළක්වන්නැ යි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණට පෙත්සමක්

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා කරනු ලබන සංවිධාන කටයුතු බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ. 

පෙත්සමේ වගඋත්තරකරුවන් වන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, මුදල් අමාත්‍යංශ ලේකම්, අග්‍රාමාත්‍යවරයා, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා ය. 

පෙත්සම්කරු පෙන්වා දී ඇත්තේ පළාත් පාලන මැතිවරණය සඳහා අවම වශයෙන් රුපියල් බිලියන 10ක් වැයවන බව යි. 

රජයට ලැබෙන ආදායම මත සහ ණය ලබා ගැනීමේ පදනම මත එම මුදල ලබා ගැනීමේ හැකියාව රඳා පවතින බව මැතිවරණ කොමිෂන් සභාව තමන්ට ලිඛිතව දන්වා ඇතැ යි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත.

රටේ ආදායම් තත්ත්වය සීඝ්‍රයෙන් පහළ බැස ඇති මේ මොහොතේ පළාත් පාලන මැතිවරණක් පැවැත්වීමෙන් රටට හෝ මහජනතාවට ඇතිවන සුගතිය කුමක්දැ යි පෙත්සම්කරු විමසා සිටියි. 

මේ වන විට පළාත් සභාවලට පත්ව සිටින 8711ක් දෙනා රටේ රටේ ආර්ථිකයට බරක් වී ඇති මොහොතේ පළාත් පාලන මැතිරණ සභිකයින් සංඛ්‍යාව තුනෙන් එක දක්වා අඩු කළ යුතු බවට සාකච්ඡා කෙරමින් ඇති බවත් පෙත්සම්කරු පෙන්වා දී තිබේ. 

ද්වී පාර්ශවික හා බහු පර්ශවික ණය ගැනීමේ නොහැකියාව මත මුදල් මුද්‍රණය කිරීමට සිදුවුවහොත්, ඊට සාපේක්ෂව උද්ධමනය ඉහළ යා හැකි බවත්, මැතිවරණ වියදම් දැරීමට සිදුවීම හේතුවෙන් සිදුවන ආර්ථිකයේ කඩාවැටීම මත නැවතත් විදුලිය, ඉන්ධන, ගෑස් හිඟයක් මතුවිය හැකි බවත්, විදුලිය කප්පාදුව දීර්ඝවීමෙන් බරපතල අර්බුද ගණනාවනට මුහුණදීමට සිදුවනු ඇතිබවත් පෙත්සම්කරු පෙන්වා දී ඇත. 

ඒ අනුව සිය පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙනතුරු හෝ අධිකරණයට මැනවියැ යි හැඟෙන කාලයක් ඡන්ද කටයුතු වළක්වන අතුරු නියෝගයක් නිකුක් කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. 

මේ සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන ඊයේ ප්‍රකාශ කළේ පෙත්සමේ තීන්දුව කුමක්වේදැ යි නොදන්නා බව යි.

"ඒ තීන්දුව කුමක් වෙයි ද අපි දන්නේ නැහැ. ඒ කෙසේ වෙතත්, පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණ විපක්ෂයේ ඔය කෑ ගසන පක්ෂවලටත් කලින් නෙලුම් මාවත අපේ පක්ෂ මූලස්ථානය මැතිවරණයට අදාළ කටයුතුවල යෙදී සිටිනවා. දිස්ත්‍රික්ක කිහිපයක මැතිවරණ මෙහෙයුම් කටයුතු මා හට පවරා තිබෙනවා. එවැනි සූදානමකින් අපි කටයුතු කරමින් ඉන්නේ. ඡන්දය මඟහැරීමේ සූදානමක් පක්ෂය තුළ නැහැ. ඡන්දය කල්දාලා පුරුදු අය මේ පිළිබඳව ප්‍රශ්නයක් ඇති කරගෙන ඉන්නෙ.”

'අපි විශාල වරදක් කර නැහැ' - පොදුජන පෙරමුණ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මෙසේ ද ප්‍රකාශ කර සිටියේ ය: “පළාත් පාලන ඡන්දය ජයග්‍රහණය පිළිබඳව අපට ප්‍රශ්නයක් නැහැ. අපි ජයග්‍රහණය කරනවා. අපේ පක්ෂයේ ගොඩනැගුණේ පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ. අපි පක්ෂය හදන විට එදා හිටපු ජනාධිපතිවරයා කිව්වේ පක්ෂ හදන අය පාර දිගේ ඇවිද්දනවා කියලා. ඒ වගේ තර්ජන ගර්ජන මැද්දේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩ නැගුණේ. අපි පක්ෂය ගොඩනඟා අවුරුදු එකහමාරකින් පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. ඉන් පසු පැවති ජනාධිපතිවරණයෙන් හා පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා එවැනි ශක්තියක් අපට තිබෙනවා.”

“පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කරන බවට සමගි ජන බලවේගය චෝදනාවක්කර තිබුණා. අපි ඡන්ද කල්දාන පක්ෂයක් නොවෙයි. අපි මැතිවරණයට සූදානමින් මේ වන විට අවශ්‍ය කටයුතු කර තිබෙනවා. මැතිවරණය කල්දැමීම පිළිබඳව ඉතිහාසයක් තිබෙන්නේ අද ඔය අපට ඇඟිල්ල දිගු කරන අයට යි. ඔවුන් තමයි එදා යහපාලන ආණ්ඩුව කාලේ පළාත් සභා මැතිවරණය කල් දමා එය සදාකාලිකව යටපත් කිරීමට කටයුතු කළේ. පළාත් සභා ඇති කළේත් ඒ අය, පළාත් සභා නැති කළේත් ඒ අය යි,” මන්ත්‍රීවරයා පැවසීය.

“කොට්ඨාස ක්‍රමය ඇතිකර මන්ත්‍රීවරුන් 8000කට වැඩි පිරිසක් පත්කරන්න කටයුතු කළ ඒ අයම දැන් මන්ත්‍රීවරු වැඩියි කියනවා. මේ වගේ දිව හැරෙන හැරෙන පැත්තට කතා කියනවා. පළාත් පාලන ඡන්දය කල් දැමීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිවිටෙකත් සූදානම් නැහැ. මේ 7,8,9,10 යන දිනවල නාමයෝජනා අත්සන් කිරීමට සියල්ල සූදානම් කර තිබෙනවා. අඩුපාඩු අපෙන් සිදුවුණත් ඡන්දය පරාජය වෙනවා කියන මානසිකත්වයක් අපි ළඟවත් අපේ පක්ෂ නායකයන් තුළවත්, ජනතාව ළඟත් නැහැ. අපි විශාල වරදක් කර නැහැ.”

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 2

මේ අවුරුද්ද ජනතාවට ජයග්‍රහණ ගේන වසරක්!

මේ අතර ජන අරගල ව්‍යාපාරය ඊයේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී විරෝධවක් පවත්වනු ලැබීය.

'ආර්ථික අපරාධයේ වන්දිය ජනතාවට පටවන රනිල් රාජපක්ෂ ජුන්ටාව පන්නමු!' යන මැයෙන් උද්ඝෝෂණය සංවිධාන කර තිබුණි.

එහිදී අදහස් දැක්වූ ලහිරු වීරසේකර කියා සිටියේ, “අප ලෑස්ති නැහැ ගහන ගහන පදයට නටන්න. දැන් මැතිවරණ සෙල්ලමක් ආපහු එන්න නියමිත යි. මැතිවරණයක් ඇවිල්ලා මේගොල්ලෝ ඒ මැතිවරණය ඇතුළෙත් සෙල්ලම් කරන්න නියමිත යි. අපි ජනතාවට කියනවා, ඔව් ජනාතාවට මැතිවරණයක් අවශ්‍ය යි. හැබැයි ඒ මැතිවරණයෙනුත් පත්වෙන්නේ පරණ එවුන්නම්, ඒ මැතිවරණ ක්‍රමය පරණ එක නම්, අපිට හම්බ වෙන දෙයක් නැහැ. ඒ නිසා අපි අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටනක් කරන්න ඕනේ," යනුවෙනි.

“අපි රනිල් රාජපක්ෂට කියනවා, මේ අවුරුද්ද ජනතාවට ජයග්‍රහණ ගේන අවුරුද්දක් මිසක, අරගලයේ වසරක් මිසක, සට‌නේ වසරක් මිසක, උඹලාගේ වසරක් බවට පත්වෙන්නේ නැහැ. ජන අරගල ව්‍යාපාරය විදිහට රතු එළියක් විදිහට අපි අද ආණ්ඩුවට ලබා දෙනවා,” ඔහු අවධාරණය කළේ ය. 

මැතිවරණය ප්‍රමාද කරන්න - අමාත්‍ය මහින්ද අමරවීර

මේ අතර කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මෙසේ කියා සිටියේ ය: “වී මිලදී ගැනීමට තිබෙන අවස්ථාවේ ඊට වඩා ප්‍රමුඛ කාර්යයන් විදිහට සමහර විට විපක්ෂය කියන්නෙ ඡන්ද තියන්න කියා. මැතිවරණ කොමිසමම කියනවා බිලියන දහයක් මේ සඳහා වැයවන බව. අපේක්ෂකයින් වියදම් කරන ප්‍රමාණයත් එක්ක මෙය බිලියන තිහ හතළිහක්වත් වෙන්න ඉඩ තියෙනවා. මෙම මැතිවරණය තියන්න වැයවන බිලියන දහය නැත්නම් මිලියන දහදාහ අපිට ලබාදුන්නොත් අපි සාධාරණ මිලකට ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට කටයුතු කරනවා. මම දැක්කා මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙකුත් කියල තියෙනවා ඒ අයට මුදල් දීමේ යම් අපහසුතාවයන් පිළිබඳව. මේ නිසා අපි කල්පනා කරන්න අවශ්‍යයි හදිසි මැතිවරණයකට වැඩිය මේ රටේ ගොවි ජනතාවගේ ප්‍රශ්නයත්, අනෙක් ජනතාවගේ ප්‍රශ්නත් පිළිබඳව."

"මැතිවරණ කල් දමන්න අපි යෝජනා කරන කණ්ඩායමක් නොවෙයි. මේ වෙලාවේ ආණ්ඩු පෙරළියක් හෝ ඒවගේ සිද්ධියක් ඇති වෙන මැතිවරණයකුත් නෙවෙයි මේක. ඒ වගේම මැතිවරණයේ දී අපේක්ෂකයෝ 8000ක් පමණ මන්ත්‍රීවරු පත්වෙන මැතිවරණයක් මේක. ඒ නිසා මෙම කාරණය දවස් ගාණකට හෝ මාස ගාණකට හෝ ප්‍රමාද කරල, ඒ කියන්නේ නොතියම නොවේ, අපිට මේ වෙලාවේ ප්‍රමුඛතාවයක් ලෙස වී මිලදී ගැනීම සඳහා මේ මුදල ලබාදෙනවා නම් අපිට ගොවිජනතාවත් ආරක්ෂා කරගෙන පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට සහල් ලබාදීමේ හැකියාව තියෙනවා."

“මැතිවරණයක් ඉල්ලන්නෙ මම දන්නවා දේශපාලන පක්ෂ මිසක් මහජනතාව නොවේ. මහජනතාව ඉල්ලා සිටින්නේ මේ වෙලාවේ තමන්ගේ ජීවන වියදම අඩුකරන්න. ගොවියා ඉල්ලන්නෙ ගොවියාගේ නිෂ්පාදන සඳහා මිලක් දෙන්න. මේ වෙලාවේ ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීම අප සැමගේම ප්‍රධාන කාර්යභාරය විය යුතුයි. එයට ආණ්ඩුවට වගේම විරුද්ධ පක්ෂයටත් වගකීමක් තියෙනවා කියල මම විශ්වාස කරනවා.”

"මම ජනාධිපතිතුමාගෙන් මෙන්ම අමාත්‍ය මණ්ඩලය සහ මුදල් අමාත්‍යාංශය ඇතුළු සියලු ආයතනවලින් මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට මේ අවස්ථාවේ ප්‍රමුඛතම කාර්යය බවට මේ ගොවීන්ගේ අස්වැන්න මිලදී ගන්න කියල," අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.