ගුජරාට් ඡන්ද ප්‍රතිඵල: මෝදි ඉන්දියාවේ ඉහළම ඡන්දලාභියා ලෙස තවදුරටත් රැඳී සිටින්නේ කෙසේ ද?

India's prime minister Narendra Modi (C) addresses a gathering during a Bhartiya Janata Party (BJP) rally ahead of Gujarat state elections at Dehgam, some 40 kms from Ahmedabad on November 24, 2022.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මෝදි මැතිවරණ තුනකින් පිට පිට ජයග්‍රහණය කළ අතර වසර 12කට වැඩි කාලයක් ගුජරාට් ප්‍රාන්තය පාලනය කළේ ය

ලෝකයේ වඩාත්ම අවදානමට ලක්ව සිටින්නෝ අතර ඉන්දීය වත්මන් දේශපාලනඥයෝ ද සිටිති.

"ඉන්දියාවේ රජයයන්ගෙන් තුනෙන් දෙකක බලය නැති වෙනවා. අමෙරිකාවේ මේකේ අනික් පැත්ත - තුනෙන් දෙකක් බලයට පත්වෙනවා," රුචිර් ෂර්මා නමැති ප්‍රමුඛ පෙළේ විශ්ලේෂකයෙක් වරක් පැවසීය.

නරේන්ද්‍ර මෝදි එම නිර්වචනයට අනුකූල අයෙකු නොවන බව පෙනෙන්නට තිබේ. භාරතීය ජනතා පක්ෂයේ නායකයා වන ඔහු අඛණ්ඩව ප්‍රාන්ත මැතිවරණ තුනක් ජයගත් අතර, දිල්ලි වෙත සංක්‍රමණයවීමට පෙර වසර 12කට වැඩි කාලයක් සිය මව් ප්‍රාන්තය වූ ගුජරාටය පාලනය කළේ ය. ඉන්පසු ඔහු ඉන්දියාව පාලනය කිරීම සදහා තීරණාත්මක ජයග්‍රහණ දෙකක් වෙනුවෙන් සිය පක්ෂය මෙහෙයවීය.

එයින් ද, ඔහු ගුජරාට් ප්‍රාන්ත රජය සදහා වන ව්‍යාපෘතිය මෙහෙයවීම නතර කළේ නැත. ආසන 182න් 156ක් සහ මනාප ඡන්දවලින් අඩකට වැඩි සංඛ්‍යාවක් හිමි කර ගනිමින් පසුගිය බ්‍රහස්පතින්දා ලැබූ වාර්තාගත ජයග්‍රහණය, ප්‍රාන්තයේ පාලනය සත්වන වරටත් භාරතීය ජනතා පක්ෂය සතු කර ගැනීමට මඟ සකස් කළේ ය. බොහෝ විචාරකයින් පවසන පරිදි, මෝදි යනු ගුජරාට් ප්‍රාන්තයට අත්‍යන්තයෙන් බැඳී පවතින සමාන වචනයක් බව ද ඉන් තහවුරු විය.

මෝදි ගුජරාට් මැතිවරණය තමා පිළිබද ජනමත විචාරණයක් බවට පත්කර ගත්තේ ය. ඔහු ඡන්ද ප්‍රචාරක රැස්වීම් 30කට අධික සංඛ්‍යාවක් ආමන්ත්‍රණය කළේ ය. ඊට අමතරව ඔහු ඡන්ද දායකයින්ගේ ආදරය දිනා ගැනීම සදහා සැතපුම් ගණන් දුර වීදි සංචාරවල නිරත විය. ප්‍රවෘත්ති ජාලවලින් සෑහීමකට පත්විය හැකි ප්‍රමාණයේ ආවරණයක් ලබා ගත්තේ ය. ඔහු ඡන්ද දායකයින් අමතන විට ගුජරාට් ප්‍රෞඪත්වය පිළිබදව අවධාරණය කළ අතර, තමන්ව සහ භාරතීය ජනතා පක්ෂය "විශ්වාස කරන" ලෙස ඔහු ආයාචනා කළේ ය. "අගමැති කෙනෙක් ප්‍රාන්ත මැතිවරණයක් වෙනුවෙන් වැඩි වෙලාවක් සහ ශක්තියක් යොදවයි කියලා අපේක්ෂා කරන්න බෑ," ගුජරාට්හි මහරාජා සායජිරාඕ විශ්වවිද්‍යාලයයේ දේශපාලන විද්‍යා මහාචාර්ය අමිත් ධෝලකියා පවසයි.

සාමාන්‍ය ප්‍රමාණයට වඩා නරේන්ද්‍ර මෝදි වෙහෙස වී කටයුතු කළේ ය. හින්දු ජාතිකවාදය සමග බැඳුණු ආර්ථික සංවර්ධනයේ පොරොන්දු ඇතුළත් වූ ඔහුගේ මතවාදය ඡන්දදායකයින්ගේ කැමැත්ත උරගා බැලීමක් විය. 2002 වසරේ ඔහු පළමු වරට බලයට පත්වීමෙන් කෙටි කලකට පසු ආගමික කැරලිවලින් ගුජරාට් ප්‍රාන්තය කම්පනයට පත්වූව ද, පැහැදිලිවම ඉන් ඔහුගේ ජනප්‍රියත්වයට බලපෑමක් එල්ල වූයේ නැත. ආයෝජන සහ ඒක පුද්ගල ආදායම ගත්කල ගුජරාට් ප්‍රාන්තය ඉන්දියාවේ සෙසු ප්‍රාන්ත ඉක්මවාගොස් ඇති අතර එරට සිව්වන විශාලතම ආර්ථිකය හිමි ප්‍රාන්තය බවට ද පත්ව තිබේ.

A boy holds a Bhartiya Janta Party (BJP) placard during a BJP rally attended by Indian Home Minister Amit Shah ahead of Gujarat assembly elections in Ahmedabad on November 26, 2022.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මෝදි ගුජරාටයේ ඡන්දදායකයින් සමග ශක්තිමත් සබදතාවක් තවමත් පවත්වාගෙන යයි

කෙසේ වෙතත්, ඉන්දියාවේ සෙසු ප්‍රදේශවල මෙන්ම ගුජරාට් ප්‍රාන්තයේ ද රැකියා අහිමිවීම සහ භාණ්ඩ මිල ඉහළ යාම දැකිය හැකි ය. ළදරු සහ මාතෘ මරණ අනුපාතය වැනි සෞඛ්‍ය නිර්ණායකවලට අදාළව ගුජරාට් ප්‍රාන්තය ධනවත්භාවයෙන් අඩු ප්‍රාන්තවලට වඩා පසුගාමී තත්ත්වයක පසුවෙයි. මෝදිගෙන් පසුව බලයට පත්වූ ප්‍රාන්ත රජයේ බලධාරීන් ඡන්දදායකයින් සමග මෝදි මෙන් සබදතා පවත්වා ගැනීමට සමත්වූයේ නැත. 2017 ප්‍රාන්ත මැතිවරණයේ දී, නැවත ගොඩ නැගෙමින් පැවති විපක්ෂ කොංග්‍රසය සහ ඉඩම් හිමි ප්‍රජාවට සම්බන්ධ ආධාරකරුවන්ගේ බලපෑමට යටත් වූ භාරතීය ජනතා පක්ෂය සුළු ජයකින් යන්තම් ගැලවිණි.

"ඒත් මෝදි කරළියට ආව ගමන්, පිටපත වෙනස් වෙනවා," ThePrint නමැති පුවත් වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ ශේඛර් ගුප්තා පවසයි.

ගුජරාට්හි දී භාරතීය ජනතා පක්ෂයට යම් පසුබෑමක් සිදුවුවහොත් ඉන් සිය පක්ෂයට පමණක් නොව තම ප්‍රතිරූපයට ද හානියක් සිදුවන්නේයැ යි නරේන්ද්‍ර මෝදි දන්නා බව විචාරකයෝ පවසති. මෙවර ඔහු සිය වෙලාව සහ ශක්තිය ප්‍රාන්ත මැතිවරණය සදහා වැඩිපුර යෙදවීමට හේතු වූ කරුණක් වූයේ, අර්වින්ද් කෙජ්රිවාල්ගේ නායකත්වයෙන් යුත් විපක්ෂයේ සිටින ආම් ආද්මි පක්ෂය මැතිවරණයට ඉදිරිපත්වීම විය හැකි ය. ආම් ආද්මි පක්ෂය 2015 වසරේ සිට දිල්ලි ප්‍රාන්තය පාලනය කරන අතර මේ වසරේ මුල් භාගයේ දී තවත් ප්‍රධාන ප්‍රාන්තයක් වන පන්ජාබ් ප්‍රාන්තය ජය ගත්තේ ය. භාරතීය ජනතා පක්ෂය වසර 15ක් පාලනය කළ දිල්ලි අගනුවර ධනවත් නගර සභාවේ පාලනය ද ඔවුහු ලබා ගත්හ.

කෙජ්රිවාල් යනු මෝදිට ප්‍රහාර එල්ල කරමින් වින්දනයක් ලබන ධෛර්යවත් නායකයෙකි. ඔහු භාරතීය ජනතා පක්ෂයේ නායකයාට එරෙහිව තරග කිරීම සදහා 2014 වසරේ පැවති මහ මැතිවරණයේ දී වාරානාසි වෙත ගියේ ය (ඉන් ඔහු පරාජයට පත් විය). ගුජරාට් මැතිවරණයේ දී ඔහුගේ පක්ෂය පළමු වරට මුහුණදුන් මැතිවරණයේ දී ආසන පහක සොච්චම් ජයග්‍රහණයක් හිමිකර ගත්ත ද, මනාප ඡන්ද 13%ක් ලබා ගැනීමට සමත්විය. ඉන් වැඩි කොටසක් විපක්ෂය වූ කොංග්‍රස් පක්ෂයට හිමි ඡන්ද විය. "එය විපක්ෂයේ ඉඩක් හිමි කරගෙන තිබෙනවා. ඔවුන් බිම් මට්ටමේ සාමාජික ජාලයක් ගොඩ නගා ගැනීමටත්, විශ්වසනීය නායකයින් නිර්මාණය කිරීමටත් පියවර ගත යුතු යි," මහාචාර්ය ධෝලකියා පවසයි.

Arvind Kejriwal, Chief Minister of Delhi seen during a road show which is the part of Election Campaign for upcoming MCD Elections 2022 at Roshanara Road on November 30, 2022 in New Delhi, India.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කෙජ්රිවාල්, මෝදිට ප්‍රහාර එල්ල කරමින් වින්දනයක් ලබන ධෛර්යවත් නායකයෙකි

ආම් ආද්මි පක්ෂය, ඉන්දීය ජාතික කොංග්‍රසය භුක්ති විඳි විපක්ෂයේ භූමිකාව අත්පත් කර ගනිමින්, භාරතීය ජනතා පක්ෂය සදහා ජාතික විකල්පයක් කරා පියවර තබමින් සිටින බව ගෝලීය පර්යේෂණ ආයතනයක් වන YouGov සහ දිල්ලි පදනම් කර ගත් ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානය නගර 200කට අධික සංඛ්‍යාවක් ආශ්‍රිතව කරන ලද සංගණනයකින් අනාවරණය වී තිබේ. "ඔවුන් පළමු පියවර තබලා ඉවරයි. ඒකෙන් කියවෙන්නෙ නෑ ඔවුන් ඊළග මැතිවරණයෙන් දිනයි කියන එක. ඒත් ඔවුන් ප්‍රාන්තයේ දේශපාලන තරගකරුවන් බවට පත් වෙලා ඉන්නේ," ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානයේ සාමාජිකයෙකු වන රාහුල් වර්මා පවසයි.

එහෙත්, මෝදිගේ භාරතීය ජනතා පක්ෂය පරාජය කිරීම තවමත් අපහසු ක්‍රියාවකි. ඡන්දලාභියෙකු ලෙස ඔහුගේ අවිවාදිත ආකර්ෂණය නිර්මාණය වන්නේ, ඔහුගේ පක්ෂයේ හින්දු මතවාදය, ශක්තිමත් සංවිධානාත්මක ව්‍යුහය, බහුල වූ සම්පත්, රාජ්‍ය පාලනයේ ඉතිහාසය, ශක්තිමත් සමාජයීය සබදතා සහ දැවැන්ත මාධ්‍ය සහය යන කරුණු හේතුවෙනි.

දුර්වල විපක්ෂය නිසා මෝදිට ලැබුණු සහය ද සුළුපටු නොවේ. විචාරකයින් පවසන්නේ කොංග්‍රස් පක්ෂය ඡන්දදායකයින්ට තවදුරටත් ආකර්ෂණීය මට්ටමක නොපවතින්නේයැ යි ගුජරාට් මැතිවරණයේ දී කොංග්‍රස් පක්ෂය දක්වා ඇති දුර්වල ප්‍රතිඵලයෙන් පෙනී යන බව ය. බලයේ සිටින දේශපාලකයින් පන්නා දැමීමට ඡන්දදායකයන් තුළ ඇති වුවමනාව නිසා භාරතීය ජනතා පක්ෂයට එරෙහිව කුඩා කඳුකර ප්‍රාන්තයක් වන හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඔවුන් ලැබූ සුළු ජයග්‍රහණය, දුර්වල පක්ෂයකට දුර්ලභ බලාපොරොත්තුවක් පමණක් ඇති කරයි. කෙසේ වෙතත්, "ප්‍රාන්ත මැතිවරණවල දී භාරතීය ජනතා පක්ෂය තනි අතින් තල්ලු කරගෙන යාමට මෝදිට ඇති හැකියාවේ සීමාවන්" සම්බන්ධයෙන් ද හිමාචල් ප්‍රදේශ් මැතිවරණය නිදසුනක් ලෙස ගත හැකි බව දේශපාලන විද්‍යාඥ අසීම් අලි පෙන්වා දෙයි.

ගුජරාට් ප්‍රාන්තයේ ලැබූ විශිෂ්ට ජයග්‍රහණයෙන් පෙනී යන්නේ, දේදුනු සන්ධානයකි - උසස්, පහත් සහ මධ්‍යම කුලවලින් එක්ව ගොඩනැගුණු පක්ෂයේ සියලු දෙනා එක්ව බැඳී ලැබූ ජයග්‍රහණයකි. මිලියන 60කට අධික ගුජරාට් ජනගහනයෙන් අඩක් මධ්‍යම කුල නියෝජනය කරන ඡන්දදායකයින් වන අතර මේ වන විට පක්ෂයේ ඡන්දදායකයින්ගෙන් බහුතරය නිර්මාණය වී ඇත්තේ ඔවුන්ගෙනි.

භාරතීය ජනතා පක්ෂයේ විශාලතම ශක්තිය වන්නේ, මෝදිගේ ආකර්ෂණය සහ ඔහු ඡන්දදායකයින් සමග පවත්වන සම්බන්ධතාව යි. "ඒත්, පක්ෂයේ ලොකුම ශක්තිය තමයි ඒකේ ලොකුම දුර්වලකම. මෝදි අයින් කරල හිතුවොත් භාරතීය ජනතා පක්ෂය අවදානම් තත්ත්වයක තියෙන බව පේනවා," මහාචාර්ය ධෝලකියා පවසයි. "මෝදි මත යැපෙනවා කියන්නේ ප්‍රාදේශීය නායකයින්ගේ දුර්වලකම පිළිගැනීමක්. අනෙක් ප්‍රාන්ත නායකයින් ජනප්‍රිය නෑ."

අඛණ්ඩව වසර 29ක් පුරා ගුජරාට් ප්‍රාන්තය පාලනය කිරීමට භාරතීය ජනතා පක්ෂය දැන් සූදානමින් සිටියි. එම කාලයට වඩා, එනම්, අඛණ්ඩව වසර 34ක්, මීට පෙර ප්‍රාන්තයක් පාලනය කර ඇත්තේ (බටහිර බෙංගාල ප්‍රාන්තය) ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය පමණි. හැත්තෑ දෙහැවිරිදි නරේන්ද්‍ර මෝදි ඔහුගේ ප්‍රාන්තයේ මෙන්ම පිටත ද බලයේ සිටින දේශපාලකයන්ට එරෙහිව ඇති විරෝධයට අභියෝග කරමින් දේශපාලනික පිටස්තරයෙකු ලෙස දිගටම ක්‍රියා කරනු ඇත.