රාහුල් ගාන්ධි: ඉන්දියානු කොංග්‍රසය පණගැන්වීමට දිගු පාගමනකට හැකි ද?

ඡායාරූප මූලාශ්‍රය, EPA
ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂයේ නායක රාහුල් ගාන්ධි සමග ඔහුගේ කොංග්‍රස් පක්ෂ සාමාජිකයින් 100කට වැඩි දෙනෙකු "ඉන්දියාව එක්සත් කිරීම" සඳහා වන පාද යාත්‍රාවට එක්ව ඇත.
පස් මසක් පුරාවට සිදුකෙරෙන මෙම පාදයාත්‍රාව රාහුල් ගාන්ධි සැප්තැම්බර් 7වැනිදා සවස් යාමයේ දී ආරම්භ කල අතර මෙය ඉන්දියානු ප්‍රාන්ත 12ක් හරහා ගමන්ගන්නා කිලෝමීටර 3570ක රට හරහා වැටුණු ඉතා දීර්ග පාද යාත්‍රාවකි.
ගමන අතරතුර දිවා කාලයේ දී ගාන්ධි ජනතාව හමුවනු ඇති අතර රාත්‍රියේ දී තාවකාලික නවාතැන්හි ලැගුම්ගනු ඇත. පාගමන වෙබ්අඩවියක් හරහා සජීවීව විකාශය කෙරෙන අතර, එහිදී ගමනින් ලබාදෙන පණිවිඩය ප්‍රකාශ කරනා ගීත වාදනය කෙරේ.
'භාරත් ජෝඩෝ යාත්‍රා' (එක්සත් ඉන්දියාවක් සඳහා පාගමන) හී අරමුණ දේශපාලනික ය. එය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) ට එරෙහිව සිදුකරන පාද යාත්‍රාවකි.
"අපි විවිධාකාරයේ ක්‍රමවලින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්වන ඉන්දියාව යන සංකල්පය ආරක්ෂාකර ගන්නට පැවැත්මේ අරගලයක නියැලී සිටිනවා. [පාගමනේ] පණිවිඩය වෙන්නේ, පාලක පක්ෂය ප්‍රවර්ධනය කරන ආගම, කුලය සහ භාෂාව මත අපව බෙදා වෙන්කරන ක්‍රියාවලිය නවත්වන්නත්, ඉන්දියාව එක්සත් කරන්නටත් හැකි පක්ෂය අපේ පක්ෂය කියන එක,"යි කොංග්‍රස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකුවන ශෂී තරූර් BBCයට පැවසීය.
මෙම පාගමන, විඩාපත් පක්ෂයක ප්‍රාණය පුනර්ජීවනය කිරීමට හා ගිලිහෙමින් පවතින එහි නායකයාගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමේ උත්සාහයක් ද වෙයි.
"අපි පිටතට යන්නේ මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්න මිස, ඔවුන්ට දේශනා පවත්වන්න නෙවෙයි," තවත් පක්ෂ නායකයෙකු වන ජයරාම් රමේෂ් පැවසීය.

ජනතාවට ඇහුම්කන්දීම සෑමවිටම ඉතා අගනා අදහසකි. 2014 වසරේ මෝදි මහා ජයග්‍රහණයක් ලබා ඉන්දියාවේ බලය ලබාගත් තැන් පටන් කොංග්‍රසය කඩාවැටීමකට ලක්ව සිටියේ ය.
පිට පිට දෙවතාවක් BJPය විසින් ෆෙඩරල් මැතිවරණවල දී කොංග්‍රසය පරාජයට පත්කළ අතර, ප්‍රාන්ත මැතිවරණවල දී ප්‍රාන්ත 45න් 40ක දී පරාජයට ලක්වන්නට ද කොංග්‍රසයට සිදුවිය. මේ වන විට පක්ෂයේ පාලනය යටතේ පවතින්නේ ප්‍රාන්තයන් ද්විත්වයක් පමණකි. කොංග්‍රසය පක්ෂය විසම්මුතියෙන් පීඩා විඳියි.
ඓහික ඉන්දියාවක් වෙනුවෙන් වන කොංග්‍රස් පක්ෂ දැක්ම හැරුණුකොට, සිය සාම්ප්‍රදායික ඡන්දදායකයින්ගෙන් බහුතරය BJPට අහිමිව සිටින කොංග්‍රසය පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන් ද යන්න ද අපැහැදිලි ය. ගාන්ධි ද පක්ෂය වෙත විශාල ළැදිකමක් නොදක්වන නායකයෙකුබව පෙනෙන්නට තිබේ.
BJPය වැනි දරුණු ලෙස සටන්කාමී, සම්පත්වලින් පොහොසත් ප්‍රතිවාදියෙකුට එරෙහිව කොංග්‍රසය පණගන්වා ගැනීම පහසු කටයුත්තක් නොවනු ඇත්තේ ය. මෙවැනි පා ගමනක් රජයට එරෙහි දීපව්‍යාප්ත ව්‍යාපාරයක කේන්ද්‍රස්ථානයබවට පත්විය හැකිවන්නේ එය ජනප්‍රිය නායකයෙකුගේ නායකත්වයෙන් සිදුකෙරුනහොත් පමණක්බව බහුතරයකගේ විශ්වාසය යි.
ගාන්ධි ජනප්‍රිය නායකයෙකුබවට කිසිදු සළකුණක් පෙනෙන්නට නැත: නවතම මත විමසුමකට ප්‍රතිචාර දැක්වූ 120,000 දෙනෙකු පමණ පිරිසකගෙන් ගාන්ධි මීළඟ ඉන්දීය අග්‍රාමාත්‍ය වනවාට කැමැත්ත පළකර තිබුණේ 9%ක් පමණි. නමුත් පිරිසෙන් අඩක් පමණම මෝදි වෙත ප්‍රියතාව පළකර තිබුණි.
"නායකයා ගැන අංශුමාත්‍ර හෝ විශ්වසනීයත්වයක් නැති තැන කිසිම මහජන ව්‍යාපාරයකට සාර්ථක වෙන්න බැහැ. තමන්ට මහජනයා එක්ක කිසිදු සම්බන්ධයක් නැතිබවත්, විශ්වසනීයත්වයේ අංශුමාත්‍රයක්වත් නැතිබවත් රාහුල් ගාන්ධි දශක දෙකක් ඇතුළත නැවත නැවතත් පෙන්වා දීලා තියෙනවා," BJP පක්ෂයේ ජාතික උපසභාපති බයිජයන්ත් ජයි පාන්ඩා BBC වෙත ප්‍රකාශ කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
පාගමන මඟින් ගාන්ධිගේ ප්‍රතිරූපය ඉහළ නැංවෙතැ යි පක්ෂය බලාපොරොත්තුවන්නේ එනිසාවෙනි. කොංග්‍රසය පිළිබඳව පුළුල්ව රචනාකර ඇති දේශපාලන විද්‍යාඥවරියක වන සෝයා හසන් පැවසුවේ මෙම දිගු පාගමන ගාන්ධි ජාතික නායකයෙකු ලෙස "නැවත හඳුන්වාදීමට" ගන්නා ප්‍රයත්නයක් ලෙස පෙනෙනබව යි.
"ඉන්දියානු සමාජය විශාල ලෙස ධ්‍රැවීකරණය වෙලා තියෙන අවස්ථාවක මිනිස්සුන්ව එක්සත් කරන්නට අවධානය යොමුකරන එක බලගතු පණිවිඩයක්. හැමෝම ඒක වැළඳගන්න ඕන," ඇය පවසයි.
නමුත් දිගු පාගමන් සම්බන්ධයෙන් ඉන්දියාවේ මෑත ඉතිහාසය අප වෙත මිශ්‍ර ප්‍රතිඵලයන් දක්වයි.
1983 දී විපක්ෂ නායක චන්ද්‍ර ශේඛර් සයමසක් පුරාවට දිවෙන, කිලෝමීටර 4000ක් දිගු දීපව්‍යාප්ත පාගමනක යෙදුනේ තමා බිම් මට්ටමේ නායකයෙකු ලෙස පෙන්වාදීම සඳහා ය. ජනතාව මේ 56-හැවිරිදි දේශපාලඥයා "මැරතන් මිනිසා" ලෙස හැඳින්වූහ.
නමුත් මෙම පාගමන හරහා ඔහු ලද දේශපාලන වාසියක් නැත. එළැඹුණු වසරේ දී, ඉන්ධිරා ගාන්ධි ඝාතනයට පත්වීමත් සමග "අනුකම්පා ඡන්ද" ලැබූ කොංග්‍රසය මහා පරිමාණ ජයග්‍රහණයක් අත්කර ගත්තේ ය.
ඉන්දියානු දේශපාලනය වෙනස්කළ වඩාත් වැදගත් දීපව්‍යාප්ත පාගමනක් 1990 දී එකල BJP නායක එල්. කේ. ආද්වානි විසින් සිදුකෙරිණි. කරත්තයක් මෙන් පෙනෙන්නට සැරසූ කුඩා ලොරියක නැගී, බටහිරදිගට වන්නට පිහිටි සෝම්නාත් හින්දු දේවස්ථානයේ සිට උතුරට වන්නට පිහිටි අයෝධ්‍යාව දක්වා කිලෝමීටර 10,000ක ගමනක යෙදෙන්නට ඔහු සැලසුම් කළේ ය.
මෙහි අරමුණවූයේ අයෝධ්‍යාවේ බාබ්රි මස්ජිදය පිහිටි ස්ථානයේ හින්දු දේවස්ථානයක් තැනීම සඳහා වන ව්‍යාපාරයකට ජනතා සහාය ලබාගැනීම ය (බාබ්රි මස්ජිදය කඩා බිඳදැමීමෙන් ඉන්දියාව මෙතෙක් දුටු දරුණුතම ආගමික ප්‍රචණ්ඩත්වයේ සිදුවීමක් ඇවිලිණි).
ආද්වානිගේ පාගමන ඇරඹී මසක් ගතවන්නටත් ප්‍රථම එය නවතා දමන්නට සිදුවිය. නැගෙනහිරට වන්නට පිහිටි බිහාර් ප්‍රාන්තය පාලනය කළාවූ ද, ආද්වානිගේ දේශපාලන සතුරෙකුවූ ද ලාලු ප්‍රසාද් යාදව් විසින් ආද්වානි අත්අඩංගුවට ගන්නට යෙදිනි. තමා මෙසේ සිදුකළේ "මනුෂ්‍යත්වය රැකගන්නටබව" යාදව් ප්‍රකාශ කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ආද්වානිගේ ගමන, BJPයේ න්‍යාය පත්‍රය වන සංස්කෘතික ජාතිකවාදය සිය පක්ෂ වැඩසටහනේ මූලික අංගයක්බවට පත්කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සංධිස්ථානයක්බවට පත්වීමට නියමිතව තිබුණේ ය.
කෙසේ නමුත්, ඉන්දියාවේ වඩාත්ම ඓතිහාසික පාගමන ලෙස අදටත් සැලකෙන්නේ, බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධවීම සඳහා 1930 දී මහත්මා ගාන්ධි ගුජරාටයේ පිහිටි බටහිර වෙරළ දක්වා යෙදුනු කිලෝමීටර 380ක පාගමන යි.
එවකට 61-හැවිරිදිව සිටි මහත්මා ගාන්ධිට ආහාරපාන හා නවාතැන් පහසුකම් ඇතුළු සත්කාරකත්වය ලබාදුන්නේ ගම්වාසීන් ය. හදිසියේ හෝ විඩාවට පත්වුවහොත් ගමනට උපකාරවීම සඳහා ඔහු පෝනියෙකු ද තමා හා රැගෙන ගියේ ය. නමුත් දිගටම පාගමනේ යෙදීමට මෙම නායකයා සමත්වූ අතර, මෙම පාගමන "වීරභාවයෙන් යුත්, පුරාකථාගත" අවස්ථාවක් ලෙස ජනමාධ්‍ය විසින් හඳුන්වන්නට යෙදිනි.
දිගු පාගමන් සංකේතවාදයෙන් පොහොසත්විය යුතු ය. උදාහරණයක් ලෙස, නූතන චීනයේ ආරම්භය පිළිබඳව මිත්‍යා මතය වූයේ 1934 දී රතු හමුදා භටයින් 86,000ක් සමග මාවෝ සිදුකළ කිලෝමීටර 13,000ක පාගමන යි. නව චීනයක් බිහිකිරීම සඳහා, මාවෝ මෙම පාගමන දරාගැනීමේ හැකියාවේ සංකේතයක් ලෙසින් හැඳින්වූයේ ය.
නමුත් BJPහි පාන්ඩා පවසන්නේ "ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය හා අනෙකුත් අන්දමේ එක්රැස්වීම් හරහා පණිවුඩ බෙදාහැරීමේ නව උපක්‍රමයන් බිහිව ඇති බැවින්," ඉතා දිගු පාගමන් සාර්ථක වනු ඇත්තේ එහි නායකයා "ජනතාව හා බැඳි, විශ්වසනීය අයෙකු" නම් පමණක්බව යි.
රාහුල් ගාන්ධිගේ දිගු පාගමන ඔහුගේ පක්ෂය පණගැන්වීමට සමත්වනු ඇත්ද, එසේත් නැති නම් දේශපාලන වෙනසක පූර්වනිමිත්තක් වනු ඇත්ද යන්න අනුමාන කිරීම තවමත් අපහසු ය. තරූර් පවසන්නේ, "ඉන්දියාවේ ආත්මය සඳහා වන අරගලය පාගමන අවසන්වීමෙන් පසු නැවතී නොයනු" ඇතිබවකි .
අශෝක විශ්වවිද්‍යාලයයේ ඉතිහාසය සහ පරිසර අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරයෙකු වන මහේෂ් රංගරාජන් වැනි අනෙකුන් විශ්වාස කරන්නේ, බොහෝ දේ රඳා පවතින්නේ ගාන්ධි ලබාදෙන පණිවුඩය මතබව යි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"ඔබ ඔවුන් පෙළගස්වන්නේ කුමක් සඳහා ද? කුමකට විරුද්ධව ද? මේ පාගමන ඔබව දේශපාලනයේ කේන්ද්‍රයබවට පත්කරන්නේ කොහොමද?" ඔහු ප්‍රශ්න කළේ ය.
අප පෙර සඳහන් කළ මත විමසුමේ වටහාගත නොහැකි සොයාගැනීම්වලින් එකක් නම්, මෝදිගේ පාලනය යටතේ දී සිය ආර්ථික තත්ත්වය පිරිහී ඇතැ යි විමසුමට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 35%ක් පවසා සිටිය ද මෝදිගේ ශ්‍රේණිගතකිරීම් ඉහළ මට්ටමක පැවතීම යි.
"මේ ඕන මිනුම් දණ්ඩක් දිහා බලන්න; මෝදි මහත්මයාට තියෙන විශ්වාස කරන්න බැරි මට්ටමේ ජනප්‍රියත්වය යි, ඡන්දදායකයෝ ඔහු කෙරෙහි තබලා තියෙන විශ්වාසය යි සමහර වෙලාවට සියලු අන්දමේ තර්කයන් ඉක්මවා යනවා," මත විමසුම සිදුකළ යෂ්වාන්ත් දේශ්මුඛ් ප්‍රකාශ කළේ ය.
මෙය ගාන්ධිගේ කාර්යය තවත් අපහසු කරතැ යි විශ්වාස කරන්නන් බොහෝ ය.
"මිනිස්සු අමාරු කාලයක් ගතකරනවා වෙන්න පුළුවන්. නමුත් ආණ්ඩුවයි මේකට වගකියන්න ඕනේ කියලා මිනිස්සු විශ්වාස කරනවද? වෙනත් පක්ෂෙකට චාන්ස් එකක් දෙන්න තරම් ඒගොල්ලෝ ආණ්ඩු පක්ෂය ගැන කලකිරිලාද ඉන්නේ?" මහාචාර්ය රංගරාජන් විමසා සිටියි.
ගාන්ධිගේ දිගු ගමන අවසන්වනු ඇත්තේ සාර්ථකත්වයෙන් හෝ නිෂ්ඵලත්වයෙන්දැ යි පවසනු ඇත්තේ කාලයම පමණි.










