මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට බොහෝ කාන්තාවන් ඡන්දය දෙන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සෑම සාර්ථක පිරිමියෙකු පිටුපසම කාන්තාවක් සිටින බව ජනප්‍රිය කියමනකි.
එහෙත් පසුගියදා පැවති ප්‍රධාන ප්‍රාන්ත මැතිවරණවල දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) ලැබූ සාර්ථකත්වය පිටුපස මිලියන ගණනක් කාන්තාවන් සිටින බව විශ්වාස කෙරේ.
මෑත අධ්‍යයනයන් දෙකකට අනුව, පෙබරවාරි-මාර්තු මැතිවරණවල දී භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කළ ප්‍රාන්ත පහෙන් හතරකම පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි ප්‍රමාණයක් ඔවුන්ට ඡන්දය දී තිබේ. මෙයට බ්‍රසීලයට වඩා විශාල ජනගහනයක් සිටින උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය ද ඇතුළත් ය.
1962 සිට මැතිවරණ කොමිෂන් සභාව මහ මැතිවරණවල දී ස්ත්‍රී-පුරුෂභාවය අනුව ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය වෙන්කර පෙන්වීම ඇරඹීමත් සමග ජාතික මට්ටමින් වැඩි කාන්තාවන් පිරිසක් ඡන්දය දී තිබුණේ කොන්ග්‍රස් පක්ෂයට ය.
නමුත් 2019 දී ප්‍රථම වරට වැඩිම කාන්තා ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් පක්ෂය බවට BJP පත්විය.
බොහෝ ඉන්දියානු දේශපාලන පක්ෂ මෙන් භාරතීය ජනතා පක්ෂයේ ද ස්ත්‍රීවාදීන් නොමැති අතර, බොහෝ කාන්තාවන් අප්‍රිය කරන ආකාරයේ දැක්මකින් ද යුතු වේ.
පක්ෂ නායකයින් ස්ත්‍රී විරෝධී ප්‍රකාශ සිදුකරන අතර, එහි පාලනය යටතේ පවතින ඇතැම් ප්‍රාන්ත රජයයන් ස්ත්‍රී දූෂණ නඩු හසුරවන්නේ කෙතරම් දුර්වල ලෙසදැ යි කිවහොත්, එම හැසිරීම් ජාත්‍යන්තර පුවත් සිරස්තල පවා මවයි.
එසේම, ආණ්ඩුවේ ආන්දෝලනාත්මක පුරවැසි නීතියට එරෙහි දීර්ගකාලීන හා ප්‍රධාන විරෝධතාවලට නායකත්වය දී ඇත්තේ ද කාන්තාවන් විසිනි.
නමුත් එසේ තිබියදීත්, දත්තවලට අනුව දැන් වැඩි කාන්තාවන් පිරිසක් භාරතීය ජනතා පක්ෂයට ඡන්දය දෙනු ලබයි.
එසේ නම් භාරතීය ජනතා පක්ෂය ඉන්දීය කාන්තාවන්ගේ තේරීම බවට පත්වූයේ කෙසේ ද?
"ඒ, මෝදි (අගමැතිතුමා) නිසා," දිල්ලියේ බුද්ධි මණ්ඩලයක් වන සංවර්ධිත සමාජ අධ්‍යයන මධ්‍යස්ථානයේ (CSDS) සංජේ කුමාර් පවසයි.
"පක්ෂය කාන්තාවන්ගේ සිත් දිනාගත්තු එක හදිසියේ වුණ දෙයක් නොවෙයි. මෝදි එහි අනිවාර්ය සාධකයක් - ප්‍රධාන සාධකයක්," ඔහු තවදුරටත් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දේශපාලන විද්‍යාඥයෙකු සහ කතුවරයෙකු වන නලීන් මෙහ්තා, ඔහු මෑතක දී පලකළ The New BJP නම් කෘතිය සඳහා මෙම මාතෘකාව පිළිබඳව පුළුල් ලෙස පර්යේෂණ සිදුකළ අතර, එම පක්ෂය 1980 දී කාන්තා අංශයක් පිහිටුවීමෙන් පසු මෙම ප්‍රවණතාව ඇරඹුණු බව දක්වයි.
"එදා භාරතීය ජනතා පක්ෂයට වැදගත් සහ බලගතු කාන්තා නායිකාවන් කිහිප දෙනෙකු සිටියා වගේම, එය කාන්තාවන්ට විශේෂිත වූ කාරණා සම්බන්ධයෙන් වැදගත් පොරොන්දු ලබා දුන්නා. නමුත් ඉන්පසු දශක ගණනාවකට බොහෝ කාන්තාවන් භාරතීය ජනතා පක්ෂයට ඡන්දය දුන්නේ නැහැ. පක්ෂය බොහෝදුරට පුරුෂමූලික මත දරන පිරිමින්ගේ ආධිපත්‍යය යටතේ පවතින්නක් ලෙස සලකනු ලැබුවා. කාන්තාවන් එයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ."
2019 දී ජාතික මට්ටමින් සිදුවූ විශාල වෙනස ඇරඹුණේ, 2007 දී බටහිර ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස මෝදි නැවත තේරී පත්වීමත් සමග බව ඔහු පවසයි.
මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වල දී ඔහු නිතරම කතා කළේ ඔහුගේ අඟල් 56ක් පළල පපුව ගැන ය - එය හින්දි භාෂාව කතා කරන ප්‍රාන්තවල ප්‍රබලයින් විසින් භාවිතා කරන පිරිමි පුරසාරමකි. ඔහුගේ "හැඩිදැඩි ජාතිකවාදී" දේශපාලන ඉතිහාසය නිසා මෝදිට එම යෙදුම පහසුවෙන් භාවිතා කළ හැකිවිය.
"ඔහු එය සඳහන් කරන සෑම අවස්ථාවකම කාන්තා ඡන්දදායකයින් වාඩි වී සිටින කොටසේ විමතිය දනවන ශබ්ද නිකුත්වෙනවා. බොහෝ වෙලාවට ඔහුගේ ජන රැලිවල පිරිමින්ට වඩා කාන්තාවන් සංඛ්‍යාව වැඩි යි. ඔහු ඔවුන්ට ආයාචනා කරණවා, 'මම ඔබේ සහෝදරයා, මම ඔබේ පුතා, මට ඡන්දය දෙන්න, මම ඔබේ අවශ්‍යතා බලාගන්නම්' කියලා," මෙහ්තා පවසයි.
නමුත් පුරුෂත්වයට එහි සීමාවන් ඇති බැවින් ඔහු කාන්තාවන්ගේ සිත් දිනාගැනීමේ දී "සියල්ල හොඳ අතට හරවන ඇල්ෆා පිරිමියෙකුගේ" ප්‍රතිරූපය යොදා ගත්තේ ය. එමඟින් ඉතා යහපත් ප්‍රතිඵල ළඟාවූ අතර, 2007 සහ 2012 දී ගුජරාටය පහසුවෙන් දිනා ගැනීමට ඔහුට හැකිවිය.
2014 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන අවස්ථාව වන විට, මෙම උපාය මාර්ගය පරිපූර්ණත්වයට පත්කර ගන්නට ඔහු සමත්ව සිටියේ ය.
ඔහු එම වසරේ අගෝස්තු මාසයේ දී අගමැතිවරයා ලෙස ජාතිය අමතමින් සිදුකළ පළමු කතාවේ දී ගැහැණු කළල ගබ්සා කිරීම්වලට එරෙහිව කතා කළේ ය; ස්ත්‍රී දූෂණ හෙළා දුටුවේ ය; වඩාත් හොඳ පුතුන් ඇති දැඩි කරන ලෙස දෙමාපියන්ට උපදෙස් දුන්නේ ය.
මෙහ්තා පවසන පරිදි අගමැති මෝදි ප්‍රසිද්ධ රැස්වීම් සහ මැතිවරණ රැස්වීම්වල දී කාන්තා ප්‍රශ්න ගැන නිතිපතා කතා කරන "වෙනසෙහි උත්ප්‍රේරකය" බවට පත්ව සිටියේ ය. 2014 සිට 2019 දක්වා ඔහුගේ දේශනවල දී ඔහු අවධානය යොමුකළ ප්‍රධාන මාතෘකා පහ තුළ කාන්තාවන් සම්බන්ධ කරුණු වැඩි වශයෙන් අඩංගු විය.
නමුත් ඔහුගේ පෞද්ගලික ආකර්ෂණයට අමතරව, භාරතීය ජනතා පක්ෂය දේශපාලනය තුළ ද කාන්තාවන්ට වැඩි නියෝජනයක් ලබා දී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2019 දී එය වෙනත් පක්ෂවලට වඩා කාන්තා අපේක්ෂකයින් සංඛ්‍යාවක් ඡන්දවලට ඉදිරිපත් කළ අතර, පසුගිය රජයන්ට වඩා වැඩි ඇමතිණියන් ගණනක් පත් කළේ ය. පක්ෂ සංවිධානය ප්‍රතිව්‍යුහගත කර, කාන්තාවන්ට කෝටාවන් හඳුන්වා දෙමින්, ග්‍රාමීය හා දුප්පත් පසුබිම්වලින් පැමිණි කාන්තාවන්ට ගැලපෙන පරිදි එහි සමාජ පදනම පුළුල් කරනු ලැබුණි.
භාරතීය ජනතා පක්ෂයේ කාන්තා ආධාරකරුවන්ගෙන් සැලකිය යුතු කොටසක් ග්‍රාමීය ප්‍රදේශවලින් පැමිණෙන, දරිද්‍රතා රේඛාවෙන් පහළ මට්ටමේ පසුවන අය බැවින්, පක්ෂයේ සුබසාධන යෝජනා ක්‍රම ප්‍රධාන වශයෙන් ඔවුන් ඉලක්කකර ගෙන ඇති බව මෙහ්තා පවසයි.
පුරුෂාධිපත්‍යය ගැඹුරින් මුල්බැසගත් රටක, කාන්තාවන්ට ඇති දේපළ අයිතිය ද අඩු ය. එනමුත් 2014 සහ 2019 අතර දුප්පතුන් සඳහා අනුමත වූ මිලියන 1.7කට අධික නිවාසවලින් 68%ක් පමණ කාන්තාවන්ගේ නමින් තනිව හෝ පිරිමින් සමග එක්ව ලියාපදිංචිකර තිබේ.
රජය ගෘහස්ථ වැසිකිළි මිලියන ගණනක් ඉදිකරන ලද අතර, මිලියන ගණනක් කාන්තාවන්ට බැංකු ගිණුම් විවෘත කිරීමට උදව් කළේ ය. එමඟින් ඔවුන්ට විශ්‍රාම වැටුප්, සහනාධාර සහ වෙනත් ප්‍රතිලාභ සෘජුවම ලබාගත හැකි විය.
"උපතේ සිට මරණය දක්වාම කාන්තාවන් රැකබලා ගන්නා සුභසාධන ජාලයක් ගොඩනඟන බව මෝදි පවසනවා. ඒ යෝජනා ක්‍රම පරිපූර්ණ නැති නමුත් ඒවා අනිවාර්යයෙන්ම වෙනසක් කරාවි," මෙහ්තා පවසයි.
"එහි ප්‍රතිඵලයක් විදිහට, බොහෝ කාන්තා ඡන්දදායකයින් ඒ පක්ෂය අනෙක් අයට වඩා හොඳ බවට දකිනවා."
නමුත් පක්ෂයක් සඳහා යමෙකුගේ පෞරුෂය මත පදනම්ව ලැබෙන ස්ත්‍රී-පුරුෂභාවය මත පදනම් වූ සහයෝගය කෙටි ආයුකාලයක් සහිත යමක් බව, අශෝක විශ්වවිද්‍යාලයයේ මාධ්‍ය අධ්‍යයන අංශ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී මායා මිර්චාන්දනී පවසයි.
"මෝදි ඉතා ආකර්ෂණීය යි. ඔහුගේ ආධාරකරුවන් ඔහු සරල ජීවිතයක් ගත කරන සරල මිනිසකු ලෙස දකිනවා. ඔවුන්ට ඔහු ආකර්ශනීය වන්නේ ඔහුගේ දේහය ශක්තිමත් නිසා යි. ඔහුට පිටස්තර අලංකාරවලට වැඩි තැනක් දෙන්නේ නැති නමුත්, සමාජයට පැමිණීමේ දී ඔහුට නිර්මලබවක් තිබෙනවා. නමුත් ඔහුට දැනටමත් අවු. 71ක් [වයස] නිසා, ඒ සමහර දේවල් වයසත් එක්ක මැකී යාවි."
ඔහුගේ මෙම ප්‍රතිරූපය ඉන්දියාව මේ මොහොතේ මුහුණ දී සිටින දුෂ්කරතා සමග වැඩිකල් පවතියිදැ යි සලකා බැලිය යුතු බව ඇය පවසයි.
"විරැකියාව ඉහළ යන, උද්ධමනය ඉහළ යන, ඉන්ධන මිල නිරන්තරයෙන් ඉහළ යන මොහොතක, ඔහුගේ ශක්තිය ආගමික දේශපාලනය යි. නමුත් වාර්ගික ප්‍රචණ්ඩත්වය වැඩි වී ආර්ථිකය පහතට වැටුණොත් ඔහුට විරුද්ධ වනු ඇත්තේ නිවස සහ උදුන පාලනය කරන කාන්තාවන්," ඇය පවසයි.
"තවම ඒ තීරණාත්මක මොහොත ඇවිත් නැහැ, ඒත් එන්න පුළුවන්."











