කර්ණාටක උද්ඝෝෂණ: හිජාබය ඉස්ලාමයට අත්‍යවශ්‍ය ද යන්න තීරණය කළ යුත්තේ අධිකරණය ද?

A student stands during the morning prayers at a government high school and pre-university college for women in Bangalore on February 16, 2022, after schools reopened in southern India under tight security after authorities banned public gatherings following protests over Muslim girls wearing the hijab in classrooms.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉකුත් මාසවල දී 'හිජාබය' කර්ණාටක පාසල්වල කතාබහට ලක්වූ ප්‍රධාන මාතෘකාවක් විය

මාර්තු 15 අඟහරුවාදා ඉන්දීය අධිකරණ දුන් තීන්දුවකට අනුව, හිජාබය "සංස්කෘතිය සමග යම් සම්බන්ධයක් ඇති නමුත් නිසැකවම ආගමට අදාල යමක් නොවේයැ" යි සැලවිය.

දකුණු කර්ණාටක ප්‍රාන්තයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්, හිජාබ පැළඳීම ඉස්ලාමයට "අත්‍යවශ්‍ය නොවේ"ය යන පදනම මත පාසල් සහ විද්‍යාලවල දී හිජාබය පැළඳීමට රජයෙන් පනවා ඇති තහනම අනුමත කෙරුණි.

හිජාබය සම්බන්ධයෙන් දෙපිළ බෙදී ආරවුලක් ඇතිව තිබෙන සමයක ලැබුණු මෙම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්ව තිබේ. ඉහළ උසාවි තීන්දුව ලැබීමෙන් පැය කිහිපයක් ගෙවෙත්ම එම තහනමට එරෙහිව අභියාචනයක් ගොනුකරනු ලැබී ය.

නමුත් නීති විශාරදයින් සහ විද්වතුන් ඊට මැදිහත් වෙමින්, ජනයා සිය ආගම ප්‍රසිද්ධියේ පෙන්වා සිටින සංස්කෘතියක් ඇති රටක මේ නඩු තීන්දුවෙන් අදහස් වන්නේ කුමක් ද යන්න පෙන්වාදීමට උත්සහ දරමින් සිටියි.

තීන්දුව ලබාදීමේ දී භාවිතා වී ඇත්තේ "අත්‍යවශ්‍යතා පරීක්ෂණය" නම් ක්‍රමයකි. ඇදහිල්ලක පැවැත්මට යම් දෙයක් අත්‍යවශ්‍යදැ යි තීරණය කිරීමට "අත්‍යවශ්‍යතා පරීක්ෂණය" භාවිතා කරයි. එය, ඉන්දියානු උසාවි ආගම සම්බන්ධ ආරවුල් විසඳීමේ දී වැඩි වැඩියෙන් භාවිතා කරමින් සිටිනා උපක්‍රමයකි.

හිජාබය පැළඳීම ඉස්ලාමයට අත්‍යවශ්‍ය ද?

නඩු විභාගයකට තුඩුදී, පිටු 129කින් යුත් තීන්දුවකට මුල පිරුවේ මෙම පැනය යි.

පෙත්සම්කරුවන් ලෙස පෙනී සිටියේ පාසලේ දී හිජාබය පැළඳීමේ තහනමට මුහුණ දුන්, කර්ණාටක ප්‍රාන්තයේ උඩුපි දිස්ත්‍රික්කයේ රජයේ පාසලක මුස්ලිම් ගැහැණු ළමුන් පිරිසකි. ඔවුන් පාසල වෙත විරෝධය පෑ නමුත් පාසල ඊට කන් නොදුන් බැවින් කාරණය උසාවිය දක්වා ගියේ ය.

ගැහැණු ළමුන්ගේ තර්කය වූයේ හිජාබය පැළඳීම තහනම් කිරීම වෙනස්කොට සැලකීමක් පමණක් නොව, අදහස් ප්‍රකාශ කිරීම සහ ආගමික නිදහස සඳහා වන අයිතීන්ට ද බාධාවක් බව යි. තම ඇදහිල්ල අනුව හිස වසා ගැනීම අත්‍යාවශ්‍ය බව ඔවුහු පැවසූහ.

නමුත්, හිජාබය "අත්‍යවශ්‍ය" ආගමික චාරිත්‍රයක් බව ඔප්පු කිරීමේ වගකීම පැටවෙන්නේ පෙත්සම්කරුවන් මත බව පවසමින් රජය මෙය අභියෝගයට ලක්කළේ ය.

දින 11ක උණුසුම් වචන හුවමාරුකිරීම් සහ කල්තැබීම්වලින් පසුව, පෙත්සම්කරුවන් අදාල ප්‍රකාශය ඔප්පු කිරීමට "කණගාටුදායක ලෙස අසමත්වී ඇති" බව අධිකරණය නිගමනය කළේ ය.

කුරානයේ ඡේද උපුටා දක්වමින් අධිකරණය තීන්දු කළේ: "හිජාබය පැළඳීමේ සිරිත අනුගමනය නොකිරීම හේතුවෙන්, හිජාබය පැළඳ නොසිටින අය පව්කාරයන් බවට පත්වීම හෝ, ඉස්ලාමයේ කීර්තිය අහිමිවී, එය තවදුරටත් ආගමක් නොවන තත්ත්වයට පත්වීම සිදුවන්නේ නැත."

Students of various colleges protest against the Hijab ban by Karnataka government at Park Circus, on February 12, 2022 in Kolkata, India.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හිජාබ තහනම විරෝධතා රැසකට තුඩු දී තිබේ

එබැවින්, හිජාබය රහිත නිල ඇඳුමක් නියම කිරීමට රජයට අයිතියක් ඇති බවට අධිකරණය තීන්දු කළේ ය. අධිකරණය සිසුන්ගේ විරෝධතා ප්‍රතික්ෂේප කළේ මෙම රීතිය ඔවුන්ගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් "යුක්තිසහගත ලෙස සීමා කිරීමක්යැ" යි ප්‍රකාශ කරමිනි.

"ආගමික වශයෙන් අනිවාර්යකර නැති දේ මහජන උද්ඝෝෂණ මඟින් හෝ උසාවිවල දී ඉදිරිපත් කෙරෙන උද්වේගකර තර්ක මඟින් ආගමක වැදගත් අංගයක් බවට පත්කළ නොහැකි ය," යනුවෙන් නියෝගයේ සඳහන් වේ.

නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් සහ නීති විශාරදයින් පවසන්නේ මෙය අධිකරණය විසින් විසඳිය යුතු ප්‍රශ්නයක් නොවන බව යි. "මේක නීතිඥයින්ට සහ විනිසුරුවන්ට එතරම් දැනුමක් නැති දේවධර්මය පිළිබඳ මාතෘකාවක්," ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ රෙබෙකා ජෝන් පවසයි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

'අත්‍යවශ්‍යතා පරීක්ෂණය' - එදා සහ අද

"ඇදහිල්ල සම්බන්ධයෙන් ගත්තම, ආගමික පිළිවෙත් ඒකාකාර නැහැ. අපි මොන ආගම දිහා බැලුවත්, ඒ ආගම අදහන සියලුදෙනා ඒක අදහන්නේ තමන්ගේම විධියකට," ජෝන් පවසයි.

"හිජාබය පවා විවිධ පුද්ගලයින්ට, විවිධ දේවල් සංකේතවත් කරනවා. ඒක හෙළාදකින්න පහසුම ක්‍රමය තමයි ඒක පීඩාකාරී දෙයක් කියලා කියන එක - ඒත් ලෝකෙ තවත් තැන්වල ඒක ප්‍රතිරෝධයේ සංකේතයක් ලෙස භාවිතා කරනවා. ඉතින් අපට 'අත්‍යවශ්‍ය' මොකක්ද කියන එක පොදුවේ නිර්වචනය කරන්න බැහැ. මිනිස්සු විවිධ හේතු නිසා ඒවා භාවිතා කරනවා."

එසේ කිරීමෙන්, නිදහසේ තීරණ ගැනීමට කාන්තාවන්ට ඇති අයිතිය උසාවිය ඔවුන්ගෙන් උදුරාගන්නා බවත්, සංකීර්ණ සහ පුද්ගලික තෝරාගැනීම් හුදෙක් ද්විමය බෙදීම්වලට ලඝුකොට දක්වන බවත් ඇය වැඩිදුරටත් පවසයි.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මහජන සාමය, සෞඛ්‍යය, සහ සදාචාරය යන කාරණා මත ආගමික නිදහසට ඇති අයිතිය සීමාකිරීමට ප්‍රාන්ත රජයන්ට ඉඩ සලසයි. නමුත් ආගම් පිළිබඳ 'අත්‍යවශ්‍යතා පරීක්ෂණය' - එනම්, ආගමික නිදහසට ඇති අයිතිය මඟින් ආරක්ෂා කෙරෙන පිළිවෙත් මොනවාදැ යි තීරණය කිරීමට භාවිතා කෙරෙන ක්‍රමය - බිහිවූයේ අධිකරණයේ දී ය.

ශ්‍රේෂ්ඨාධිකරණය 1954 දී "ආගමක අත්‍යවශ්‍ය කොටස" යන යෙදුම ප්‍රථම වරට භාවිතා කළ අතර, යම් සිරිතක් ඉවත් කිරීම මඟින් "ආගමේ මූලධාර්මික වෙනසක්" ඇතිවන්නේ නම් එය එම ආගමේ අත්‍යවශ්‍ය සිරිතක් බව පෙන්වා දුනි.

"මේකෙන් ආගමික ප්‍රජාවන් සවිබල ගැන්වුණා," නීති විශාරදයෙකු වන මහාචාර්ය දීපා දාස් අසවේදෝ පවසයි. "රාජ්‍යයේ නියාමන බලයෙන් ඔබ්බෙහි තිබුණු ඒ දෙය තීරණය කිරීමේ බලය, එතැන් සිට ආගමික ප්‍රජාවන් අතට පත්වුණා."

Muslim girls study inside a makeshift school in a tent in the village of Charunda, 8 November, 2005

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හිජාබය පැළඳ පාසල් යන මිලියන සංඛ්‍යාත මුස්ලිම් දැරියන්ට මෙම තීන්දුව බලපානු ඇත

නමුත් ඇය වැඩිදුරටත් පවසන්නේ, කාලයාගේ ඇවෑමෙන්, ඉන්දියානු උසාවිය මෙම මතය ඊට "ප්‍රතිවිරුද්ධ" දෙය - එනම්, තමන් විසින්ම නියාමනය සඳහා භාවිතා කිරීම ඇරඹු බව යි.

"ඉතින් මේක 'අත්‍යවශ්‍ය ආගමික' සිරිත්වල සිට 'ආගමට අත්‍යවශ්‍ය' සිරිත් විදියට ක්‍රමයෙන් වෙනස් වුණා," ඇය පවසයි.

එක්සත් ජනපදය වැනි අනෙකුත් රටවල නම්, පැමිණිලිකරුවෙකු යම් සිරිතක් ආගමිකයැ යි පෙන්වා දුන් විටෙක දී වැඩිදුර ප්‍රශ්න කිරීමකින් තොරව එය පිළිගනියි.

නමුත් ඉන්දියාවේ උසාවි තරමක් අභිමතානුකූල ලෙස, තමා විසින්ම එය තීරණය කරන බව විශේෂඥයෝ පවසති.

තෝරාගැනීම පිළිබඳ ගැටලුවක්

2017 දී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉස්ලාමයේ ක්ෂණික දික්කසාදය තහනම් කළේ එය ඇදහිල්ලේ අත්‍යවශ්‍ය අංගයක් නොවනබවත්, එනිසා ඊට කිසිදු ආරක්ෂාවක් නොලැබෙන බවත් පවසමිනි. 1994 දී, එරට ශ්‍රේෂ්ඨාධිකරණය හින්දු සහ මුස්ලිම් ආගමිකයින් දෙකොටසක් අතර ඇතිව තිබූ මතභේදාත්මක ඉඩම් ආරවුලක් සමථයකට පත් කිරීමේ දී, ඕනෑම තැනක සිට 'නමාස්' හෙවත් යාඥාවන් සිදුකළ හැකි නිසා ඉස්ලාම් දහම පිළිපැදීමට මුස්ලිම් පල්ලියක් "අත්‍යවශ්‍ය නොවන" බව ප්‍රකාශ කළේ ය. එබැවින් මුස්ලිම් පල්ලිය අවට ඉඩම හින්දු භක්තිකයන්ට පවරාදිය හැකි බව අධිකරණය විසින් තීන්දු විය.

2018 දී, සබරිමල කෝවිලට ඇතුළුවීම සඳහා ඇතැම් වයස්වල කාන්තාවන්ට පනවා තිබූ සීමා ඉවත්කිරීමට අධිකරණය නැවතත් මෙම පරීක්ෂණය භාවිතා කළේ ය. ඒ, එම සීමාව "අත්‍යවශ්‍ය ආගමික චාරිත්‍රයක්" නොවන බව ප්‍රකාශ කරමිනි.

2016 දී, කේරළ මහාධිකරණය කුරානය පරීක්ෂාකර බලා, හිස ආවරණය කිරීමට ආගමික නියමයක්යැ යි එහි පාඨයන්හි සඳහන් වූ බැවින් එය ඉස්ලාමයට අත්‍යවශ්‍යයැ යි පැවසීය. ඒ, හිජාබය පැළඳීමෙන් විභාග වංචා සිදුකළ හැකි නිසා හිජාබය පැළඳ වෛද්‍ය විභාගයකට සහභාගීවීමේ තහනමට ලක්වූ සිසුන් පිරිසක් විසින් ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගනිමිනි.

කර්නාටක ප්‍රාන්තයේ පෙත්සම්කරුවන් මෙම තීන්දුව ගෙනහැර දැක්වූ නමුත්, අධිකරණය ඔවුන්ගේ තර්කය ප්‍රතික්ෂේප කළේ ය.

"අධිකරණය විසින් මෙම පරීක්ෂණය අසංගත ආකාරයෙන් භාවිතා කර තිබෙනවා. අත්‍යාවශ්‍යභාවය තීරණය කිරීමේ ක්‍රමය නැවත නැවතත් වෙනස් කර තිබෙනවා වගේම, ආගමික නිදහස බරපතල ලෙස හෑල්ලු කරලා තිබෙනවා," නීති විශාරද ෆයිසාන් මුස්තාෆා 2017 දී ලියූ ඉන්දියාවේ ආගමික නිදහස පිළිබඳ අධ්‍යයනයේ සඳහන් කර ඇත.

ඔහු තර්ක කරන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතිකකර ඇති ආගමික නිදහසේ පථය මේ වන විට පරීක්ෂණය මඟින් සීමා කරන බව යි.

Karnataka High Court

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හිජාබ් තහනම තහවුරු කරමින් කර්ණාටක මහාධිකරණය ලබාදුන් තීන්දුව දැඩි කතාබහට ලක්ව තිබේ

කෙසේ නමුත්, ඒ වෙනුවට අනුගමනය කළ යුතු හොඳ විකල්පයක් වනු ඇත්තේ කුමක්දැ යි නිශ්චිතව කීමට විශේෂඥයින් අපොහොසත් ය.

"අනේ මට ඒකට ලේසි උත්තරයක් තිබුණා නම්!" මහාචාර්ය අසවේදෝ පවසයි. "ඇත්තටම එහෙම පරිපූර්ණ ඩොක්ට්‍රින් එකක් නැහැ. අප සකස් කරන නීති භාවිතා කරද්දී, ඒවා අර්ථකථනය කරන පුද්ගලයින් හැකිතාක් සාධාරණ සහ නම්‍යශීලී ලෙස එසේ කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක හැමවිටම එහෙම වෙන්නේ නැහැ. නමුත් පරිපූර්ණ ඩොක්ට්‍රින් එකක් හොයාගැනීමෙන් අපේ හැම ගැටලුවක්ම විසඳන්න පුළුවන් කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ."

නීතිඥ ජෝන් ප්‍රකාශ කරන්නේ, අවධානය යොමුවිය යුත්තේ "තෝරාගැනීම" යන්න වෙත බව යි.

"කාන්තාවක් හිජාබය අඳින්න තෝරාගත්තම, ඒක සිතාබලා ගත්ත තීරණයක් නෙවෙයි කියන්න අපි කවුද?" ජෝන් විමසයි. "අධිකරණය අත්‍යාවශ්‍යතා පරීක්ෂණයට පමණක් අවධානය යොමු කරන්නේ නැතිව, නිදහසේ තීරණ ගැනීමට කාන්තාවන්ට ඇති අයිතිය සම්බන්ධ තර්කය ගැන සලකා බලන්න යි තිබුණේ."

"නිල ඇඳුමක් පැනවීම අත්‍යාවශ්‍යම නම්, එය සියලු දෙනාටම පොදු වෙන්න ඕන. කෙනෙකුට මොට්ටු තබන්නත්, තවත් කෙනෙකුට මැණික් කටුව වටේ පූජනීය නූල් ගැට ගහන්නත් ඉඩ දෙන්න බැහැ. ඔබ මේ නීති එක් පුද්ගල පිරිසකට විතරක් පනවනවා නම්, ඒක වෙනස්කොට සැලකීමක්."