සජීවී., රියාද්හි ඇමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන ප්‍රහාරයක්

ඉරානයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලබන ප්‍රහාර සහ ඉරානය මැදපෙරදිග රටවලට එල්ල කරන ප්‍රහාර සිව්වන දිනටත් සිදුවෙමින් පවතී.

සාරාංශය

  • ගැටුම ආරම්භ වූ සෙනසුරාදා (පෙබ. 28) දා සිට ඊයේ (මාර්තු 2) දක්වා අප ඔබ වෙත ගෙන ආ තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න...
  • "මහා පරිමාණ සටන් මෙහෙයුම්" අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ට්‍රම්ප් පවසයි.
  • හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සහ කරන ඕනෑ ම නෞකාවකට තම රට "ගිනි තබන" බවට ඉරාන නිලධාරියෙකුගෙන් අනතුරු ඇඟවීම්.
  • ටෙහෙරානයේ යුනෙස්කෝ ලෝක උරුම අඩවියට හානි වී ඇතැයි ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසයි.
  • රියාද්හි ඇමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි.
  • ඇමසන් දත්ත මධ්‍යස්ථාවලට ඩ්‍රෝන ප්‍රහාරවලින් බලපෑම් සිදුවෙයි.
  • ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ වනවිට පුද්ගලයින් 52 දෙනෙකු මිය ගොස් ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය නිලධාරීහු පවසති.
  • ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුදා සාමාජිකයින් 6 දෙනෙකු මිය ගොස් 18 දෙනෙක් තුවාල ලබති.

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල

  1. මැද පෙරදිග සිටින ඇමෙරිකානුවන්ට ඉවත් වන්නැයි දැනුම් දීමක්

    මැද පෙරදිග රටවල සිටින ඇමරිකානු ජනතාවට එල්ල වී ඇති "බරපතල ආරක්ෂක අවදානම්" හේතුවෙන් එම කලාපයෙන් පිටවන්නැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා.

    රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බහරේන්, ඊජිප්තුව, ඉරානය, ඉරාකය, ඊශ්‍රායලය, බටහිර ඉවුර, ගාසා, ජෝර්දානය, කුවේට්, ලෙබනනය, ඕමානය, කටාර්, සෞදි අරාබිය, සිරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය යන රටවල සිටින ඇමෙරිකානු පුරවැසියන්ට එම නිවේදනය අදාළ වන බවයි.

  2. ඉන්ධන නැව්ගත කිරීමේ පිරිවැය ඉහළම මට්ටමට: වෙළෙදපොලේ ඉන්ධන සහ ගෑස් මිල ඉහළට, ඔස්මන්ඩ් චියා ව්‍යාපාරික වාර්තාකරු

    ලන්ඩන් කොටස් හුවමාරු සමූහයේ දත්ත වලට අනුව, මැදපෙරදිග සිට චීනයට තෙල් නැව්ගත කිරීම සඳහා ඉන්ධන ප්‍රවාහන නෞකාවක් කුලියට ගැනීමේ පිරිවැය ඩොලර් 400,000 (පවුම් 298,300) ඉක්මවූ ඉහළම අගයකට ළඟා වී තිබේ. එය මෙතෙක් වාර්තා වූ ඉහළ ම මිල වනවා.

    ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට පහර දෙන බවට තර්ජනය කළ පසුගිය සතියේ පැවති මිලට වඩා මෙන් එය අද වන විට දෙගුණයක් වී තිබෙනවා.

    ගෝලීය තෙල් හා ගෑස් අවශ්‍යතා වලින් පහෙන් එකක් පමණ නැව්ගත කරනු ලබන ඉරානයේ දකුණ දෙසින් පිහිටි තීරණාත්මක ජල තීරයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව් ඉරානය ඉලක්ක කර තිබෙනවා.

    වාර්තාගත ගාස්තු වන්නේ බොරතෙල් බැරල් මිලියන දෙකක් දක්වා ප්‍රවාහනය කළ හැකි විශාලතම තෙල් රැගෙන යන නෞකා සඳහයි.

    මැදපෙරදිග ගැටුම් හේතුවන් ඉන්ධන නිෂ්පාදන සැපයුම් සීමා කිරීමට ඉඩ ඇති නිසා ජාත්‍යන්තර වෙළෙදපොලේ බලශක්ති මිල ගණන් අඛණ්ඩව ඉහළ ගොස් තිබෙනවා.

    බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 1.9% කින් පමණ ඉහළ ගොස් ඇති අතර එහි මිල දැක්වෙන්නේ ඇමෙරිකානු ඩොලර් 79.25ක් (පවුම් 59.11) ලෙසයි.

    ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සති අන්තයේ ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ දා සිට ගෝලීය වශයෙන් තෙල් සහ ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා.

    ලොව විශාලතම ගෑස් අපනයනකරුවන කටාර් LNG සමාගම සිය ගෑස් පහසුකම්වලට එල්ල වූ "හමුදා ප්‍රහාර" වලින් පසුව ගෑස් නිෂ්පාදනය නැවැත්වීමෙන් පසු සඳුදා (මාර්තු 02) වැනිදා සිට ස්වාභාවික ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා.

    LNG නෞකාවක්

    ඡායාරූප මූලාශ්‍රය, Getty

  3. රියාද්හි ඇමරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන ප්‍රහාරයක්, ඉක්මනින් ම ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ට්‍රම්ප් කියයි

    මූලික තොරතුරු වලට අනුව, රියාද්හි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයට ඩ්‍රෝන යානා දෙකකින් ප්‍රහාර එල්ල කළ බව සෞදි අරාබි ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා.

    සෞදි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ X පණිවිඩයක ඩ්‍රෝන ප්‍රහාරයෙන් "සීමිත ගින්නක් සහ ගොඩනැගිල්ලට සුළු හානියක්" සිදුව ඇති බව සඳහන්

    සෞදි අරාබියේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද මෙහෙයුම ජෙඩා, රියාද් සහ ධහාරාන්හි වෙසෙන ඇමෙරිකානු ජනතාවට ආරක්‍ෂිත ස්ථාන කරා යන ලෙස නිවේදනයක් නිකුත් කර ඇති අතර කලාපයේ පිහිටි ඕනෑම හමුදා කඳවුරු පිහිටි ස්ථාන වෙත ගමන් නොකරන ලෙසට ද උපදෙස් නිකුත් කර තිබෙනවා.

    මේ අතර, රියාද්හි ඇමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය සහ ගැටුම්වලදී සිදුවූ හමුදා සාමාජිකයින්ගේ මරණවලට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය "ඉක්මනින්" ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට කටයුතු කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නිව්ස්නේෂන් වෙත කියා සිටිනවා.

    මේ වන විට ඇමෙරිකානු හමුදා සාමාජිකයින් හය දෙනෙකු ඉරාන ගැටුම්වලදී මිය ගොස් ඇති අතර 18 දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් ජනපදය සඳුදා [මාර්තු 02] රාත්‍රියේ පැවසුවා.

  4. ආයුබෝවන්, සුබ උදෑසනක්

    පසුගිය පෙබරවාරි මස 28 වැනිදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව දියත් කළ ප්‍රහාරයකින් එරට උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනි ඇතුළු ප්‍රධාන පෙලේ හමුදා සහ පරිපාලන නායකයින් 40 දෙනකු ජිවිතක්ෂයට පත්වූ බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය.

    ඇමෙරිකා - ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයෙන් ඉරානයේ උත්තරීතර නායකයා සහ ඔහුගේ බිරිඳ ඇතුළුව පවුලේ ඥාතින් කිහිප දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පසුව වාර්තා කර තිබිණි.

    ඇමෙරිකාව සහ ඊශ්‍රායලය අද (මාර්තු 03) වන විට සිව්වන දිනයටත් ඉරානයට එරෙහිව ගුවනින් සහ මුහුදෙන් ප්‍රහාර එල්ල කරමින් සිටියි.

    සිය උත්තරීතර නායක අලි කමේනි ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ඉරානය ද සිය අසල්වැසි මැදපෙරදිග කලාපයේ පිහිටි රටවල පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු සහ තානාපති කාර්යාල ඉලක්ක කරමින් බැලස්ටික් සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටියි.

    ඉරානයට සහය පළකිරීමක් වශයෙන් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සඳුදා (මාර්තු 02) වෙනිදා අලුයම ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය බේරූට් අගනුවර ඇතුළු ලෙබනනයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.

    කලාපයේ ඇතිවී තිබෙන ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙදපොලේ ඉන්ධන සහ ගෑස් මිල ද සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඉදිරි පැය 48ක කාලය තුළ කලාපයේ වර්ධනය වන තත්ත්වයන් පිලිබඳ සුවිශේෂී තොරතුරු මෙම සජීවී වෙබ් පිටුව ඔස්සේ ගෙන ඒමට බීබීසී සිංහල සේවය සුදානම්. රැඳී සිටින්න අප සමගින්.