ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා ඇමෙරිකාව මෙතෙක් යොදාගත් ආයුධ මොනවා ද?

An F/A-18E Super Hornet, attached to Strike Fighter Squadron 151, launches from the flight deck of the USS Abraham Lincoln (CVN 72) while conducting routine flight operations in the Arabian Sea.

ඡායාරූප මූලාශ්‍රය, U.S.Central Command

    • Author, දිනුක් හේවාවිතාරණ
    • Role, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 8

ඉරානයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව පසුගිය පෙබරවාරි මස 28 වන දා යුදමය ප්‍රහාරයක් එල්ල කිරීම ආරම්භ කළේ ය.

ප්‍රහාරය ආරම්භයේදී ඊශ්‍රායල් ගුවන් හමුදාවේ F-15, F-22 සහ F-35 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානාවලින් ඉරානයේ ඉලක්ක වෙත බෝම්බ හෙළූ අතර ඇමෙරිකා එක්සත් ජනපදය ඉරාන මෙහෙයුමට සම්බන්ධ වූයේ ටොමෝහෝක් වර්ගයේ මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කරමිනි.

ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව යුදමය ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානම් වූයේ, මෙම වසරේ ජනවාරි මාසයේ සිට ය.

ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදා ගනු ලබන ආයුධ සහ ඔවුන්ගේ යුද ශක්තිය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සිදුකරන සොයා බැලීමකි, මේ.

ලුකාස් ඩ්‍රෝන යානා

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලුකාස් නමින් හඳුන්වන ඩ්‍රෝන යානා යුද මෙහෙයුම් සඳහා යොදා ගනු ලැබුවේ පළමු වරට බව මැදපෙරදිග යුද මෙහෙයුම් කටයුතු භාර මධ්‍යම සේනා විධානය තහවුරු කර තිබේ.

ඉරානයේ ෂාහෙඩ් ඩ්‍රෝන යානාවලට සමාන අයුරින් නිර්මාණය කරන ලද මෙම අඩු වියදම් සහිත ඩ්‍රෝන යානා ඇරිසෝනා පදනම් කර ගත් ස්පෙක්ට්‍රෙවර්ක්ස් විසින් වැඩිදියුණු කරනු ලැබ ඇත.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

B-1 වර්ගයේ බෝම්බ හෙළන ගුවන් යානා

රොක්වෙල් B-1 ලාන්සර් යනුවෙන් හඳුන්වනු ලබන මෙම ගුවන් යානය ඉරානයේ භූගතව පිහිටා ඇති බැලස්ටික් මිසයිල ගබඩා සහ මිසයිල ප්‍රහාරක මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම සඳහා පසුගිය සඳුදා (මැයි මස 02) ඇමෙරිකාව විසින් යොදා ගනු ලැබීය.

රොක්වෙල් B-1 ලාන්සර් වර්ගයේ දිගු දුර බෝම්බ හෙළන යානා ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ඉරානය බලා පියාසර කරමින් ප්‍රහාර එල්ල කරනු ලැබූ අතර, ඒ සඳහා ගුවන් යානා 03ක් එක්වූ බව ඇමෙරිකානු ආරක්ෂක අංශ පැවසීය.

ඇමෙරිකා එක්සත් ජනපදය සතු රොක්වෙල් B-1 ලාන්සර් බෝම්බ හෙළන ගුවන් යානාවලට බෝම්බ කිලෝග්‍රෑම් 34,000ක් රැගෙන යාමේ හැකියාව පවතී.

B - 2 දිගු දුර බෝම්බ හෙළන යානා

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නෝත්‍රොප් ග්‍රුමන් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද B-2 Spirit ගුවන් යානය ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ වඩාත් ම දියුණු දිගු දුර බෝම්බ හෙලීමේ හැකියාව සහිත ගුවන් යානාවලින් එකකි.

2025 වසරේ ජූනි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදය මෙම ගුවන් යානා 04ක් යොදා ගනිමින් ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් වෙත ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කර තිබිණි. මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා මෙම ගුවන් යානා ඇමෙරිකාවේ වයිට්මෑන් ගුවන් හමුදා කඳවුරේ සිට පැය 37කට ආසන්න කාලයක් පියාසර කළේ ය.

ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය මාර්තු මස 01 වන දා ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා නැවත වරක් B-2 Spirit වර්ගයේ ගුවන් යානා 04ක් යොදා ගත්තේ ය.

ගුවන් යානයේ නිෂ්පාදකයාට අනුව, B-2 යානයට රාත්තල් 40,000ක (කිලෝග්‍රෑම් 18,000) බරක් රැගෙන යා හැකි ය. කෙසේ වෙතත්, ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව පවසා ඇත්තේ, GBU-57A/B බංකර් බස්ටර් දෙකක් රැගෙන යමින් B-2 යානය සාර්ථකව අත්හදා බැලූ බව ය. එහි මුළු බර රාත්තල් 60,000ක් (කිලෝග්‍රෑම් 27,200) පමණ වේ.

මෙම දිගු දුර බෝම්බ හෙළන ගුවන් යානයට ඉන්ධන පිරවීමකින් තොරව සැතපුම් 7,000ක (කිලෝමීටර් 11,000) පමණ පරාසයක් පියාසර කළ හැකි අතර, එක් ඉන්ධන පිරවීමකින් පසුව සැතපුම් 11,500ක් (කිලෝමීටර් 18,500) දක්වා පරාසයක් පියාසර කරයි. එමගින් පැය කිහිපයක් ඇතුළත ලෝකයේ ඕනෑ ම ස්ථානයකට ළඟා වීමට හැකි බව නෝත්‍රොප් ග්‍රුමන් පවසයි.

B-2හි ස්ටෙල්ත් තාක්‍ෂණයට (සැඟවී යාමට ඇති හැකියාව) රේඩාර්-අවශෝෂක ද්‍රව්‍ය සහ සතුරු ගුවන් ආරක්ෂක පද්ධති වෙත හසුවීම අවම කරන හැඩයකින් යුක්ත වේ. එය රේඩාර් තිරයේ කුඩා කුරුල්ලෙකු හා සමානව දිස්වන බවට වාර්තා වන අතර, එය සාම්ප්‍රදායික රේඩාර්වලට හසු නොවන තරම් ය.

B-52 ගුවන් යානා

B-52 ස්ට්‍රැටෝෆෝට්‍රස් යනු ඇමරිකානු ගුවන් හමුදාව සතු උපායමාර්ගික බෝම්බ හෙළන ගුවන් යානයකි.

බෝයිං සමාගම විසින් නිෂ්පාදනය කරනු ලැබ ඇති B-52 ගුවන් යානා1955 සිට එක්සත් ජනපද ගුවන් හමුදාව සිය මෙහෙයුම් සඳහා යොදා ගෙන ඇත.

මෙම දිගු දුර බෝම්බ හෙළන යානයට කිලෝග්‍රෑම් 32,000ක් දක්වා ආයුධ රැගෙන යා හැකි අතර, ගුවන් ඉන්ධන පිරවීමකින් තොරව කිලෝමීටර් 14,200ක පමණ දුරක් පියාසර කිරීමේ හැකියාව පවතී.

 B-52H Stratofortress, B-2 Spirit and B-1B Lancer

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, B - 2, B-52 සහ B -1 ගුවන් යානා ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් දිගු දුර බෝම්බ හෙළන මෙහෙයුම් සඳහා යොදා ගනු .ලබයි

පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධති

1981 වසරේ සිට ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව සිය ගුවන් ආරක්ෂක පද්ධතිය ලෙස යොදා ගනු ලැබූ පේට්‍රියට් නමින් හඳුන්වනු ලබන මෙම ගුවන් ආරක්ෂක පද්ධතිය ඇමෙරිකාව ඇතුළු ඔවුන්ගේ මිත්‍ර පාර්ශවීය රටවල් විසින් භාවිත කරනු ලබයි.

සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපයේ රටවල් විසින් භාවිත කරනු ලබන්නේ මෙම MIM - 104 වර්ගයේ පේට්‍රියට් ගුවන් යානා නාශක පද්ධතිය යි.

මෙම මිසයිල ආරක්ෂක පද්ධතියේ මෙහෙයුම් පරාසය කිලෝමීටර 160ක් වන අතර උපරිම වේගය පැයට කිලෝමීටර් 5,630ක් ලෙස දැක්වේ.

THAAD ගුවන් ආරක්ෂක පද්ධති

Terminal High Altitude Area Defense (THAAD) යනුවෙන් හඳුන්වන මෙම ගුවන් ආරක්ෂක පද්ධතිය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් භාවිත කරනු ලබන කෙටි, මධ්‍යම සහ අතරමැදි පරාසයක් සහිත බැලස්ටික් මිසයිල විනාශ කිරීම සඳහා නිෂ්පාදනය කර ඇත.

2008 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව විසින් මෙම ගුවන් ආරක්ෂක පද්ධතිය සිය සේවය සඳහා එක් කර ගනු ලැබූ අතර, ලොක්හීඩ් මාර්ටින් මිසයිල සමාගම එය නිෂ්පාදනය කර ඇත.

මෙම ගුවන් ආරක්ෂක පද්ධතියක මිල ඇමෙරිකානු ඩොලර් බිලියන 1.25ක් පමණ වන අතර ඊට භාවිත කරන මිසයිලයක මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 12.7ක් පමණ වේ.

2022 වසරේදී යේමනයේ හූති කැරලිකරුවන් විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල කරන ලද බැලස්ටික් මිසයිල ප්‍රහාරය, 2025 වසරේදී ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති වූ දින 12ක යුද්ධයේදී මෙන්ම මේ වන විට මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුද ගැටුම් සඳහා THAAD ගුවන් ආරක්ෂක පද්ධතිය සක්‍රීයව යොදා ගනු ලැබේ.

 "THAAD'' anti-missile defense rocket, seen this file photo, due to a commercial power failure, the Defense Department said.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, Terminal High Altitude Area Defense (THAAD) යනුවෙන් හඳුන්වන මෙම ගුවන් ආරක්ෂක පද්ධතිය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් භාවිත කරනු ලබන කෙටි, මධ්‍යම සහ අතරමැදි පරාසයක් සහිත බැලස්ටික් මිසයිල විනාශ කිරීම සඳහා නිෂ්පාදනය කර ඇත.

ප්‍රහාරක ජෙට් යානා සහ ගුවන් නිරීක්ෂණ යානා

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරාන මෙහෙයුම් සඳහා සක්‍රීයව යොදා ගනු ලබන ප්‍රහාරක ජෙට් යානා වන්නේ, F-15, F-16, F-18, F-35 සහ A-10 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා වේ.

මෙම ගුවන් යානා ප්‍රධාන වශයෙන් මැදපෙරදිග පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු සහ අරාබි මුහුදේ ස්ථානගත කර ඇති ප්‍රහාරක ගුවන් යානා රැගත් නෞකා මගිනි.

මීට අමතරව සතුරු පාර්ශවයන්ගේ ඉලෙක්ට්‍රොනික පණිවුඩ හුවමාරු සහ රේඩාර් පද්ධති අක්‍රිය කිරීමේ හැකියාව සහිත ජෑමර් පද්ධති ඇතුළත් EA-18 Growler වර්ගයේ ගුවන් යානා ද ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා යොදාගෙන ඇති බව ඇමෙරිකාවේ මධ්‍යම සේනා විධානය පවසයි.

මේ අතර, පූර්ව අනතුරු ඇඟවීමේ සහ පාලන මෙහෙයුම් ගුවන් යානා (Airborne early warning & control aircraft) , P -8 මැරිටයිම් නිරීක්ෂණ යානා සහ ගුවන් සන්නිවේදන උපාංග සහිත ගුවන් යානා (Airborne Communication Relay) ද ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරාන මෙහෙයුම සඳහා යොදා ගනු ලැබ ඇත.

KC-46A, KC - 135R, KC-135T වර්ගයේ ඉන්ධන හුවමාරු කිරීමේ පහසුකම් සහිත ගුවන් යානා රැසක් ඇමෙරිකාව සිය ගුවන් මෙහෙයුම් සඳහා දායකත්වය ලබා ගැනීමට මැදපෙරදිග කලාපයේ මෙන් ම ජර්මනියේ සහ එක්සත් රාජධානියේ ද ස්ථානගත කර ඇත.

ඇමෙරිකාවේ F-35 ප්‍රහාරක ජෙට් යානයක් අසල සිටින සිටින පිරිසක්

ඡායාරූප මූලාශ්‍රය, U.S.Central Command

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරාන මෙහෙයුම් සඳහා සක්‍රීයව යොදා ගනු ලබන ප්‍රහාරක ජෙට් යානා වන්නේ F-15, F-16, F-18, F-35 සහ A-10 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා වේ.

MQ - 9 ඩ්‍රෝන යානා

MQ - 9 රීපර් වර්ගයේ ඔත්තු බැලීමේ සහ ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව සහිත ඩ්‍රෝන යානා ඇමෙරිකාව ඉරානයට එරෙහි මෙහෙයුමට දායක කරගෙන ඇත.

ටර්බෝප්‍රොප් බලයෙන් ක්‍රියාත්මක වන බහු-මෙහෙයුම් හැකියාව සහිත MQ-9 රීපර් වර්ගයේ දූරස්ථව පාලනය කිරීමේ හැකියාව සහිත නියමුවන් රහිත මෙම ගුවන් යානය ඇමෙරිකාව විසින් 2020 වසරේදී ඉරාකයේදී ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරී කසෙම් සොලෙයිමානි ඝාතනය කිරීම සඳහා ද යොදා ගන්නා ලදී.

MQ-9A පැය 27කට වඩා පියාසර කිරීමේ හැකියාවක් සහිත මෙම MQ - 9 රීපර් වර්ගයේ ඩ්‍රෝන යානයට අඩි 50,000ක් දක්වා ඉහළ අහසේ ක්‍රියා කිරීමට හැකියාව ඇති මෙම ඩ්‍රෝන යානයට කිලෝග්‍රෑම් 1746ක ප්‍රහාරක මිසයිල රැගෙන යාමේ හැකියාව පවතී.

ගොඩබිම ඇති MQ -9 වර්ගයේ රීපර් ඩ්‍රෝන යානයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, MQ - 9 රීපර් වර්ගයේ ඔත්තු බැලීමේ සහ ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව සහිත ඩ්‍රෝන යානා ඇමෙරිකාව ඉරානයට එරෙහි මෙහෙයුමට දායක කරගෙන ඇත.

M-142 කාලතුවක්කු රොකට් පද්ධති

M-142 වර්ගයේ අධිබලැති කාලතුවක්කු රොකට් පද්ධතිය 2005 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව සඳහා නිෂ්පාදනය කරන ලද බහු කාර්ය රොකට් ප්‍රහාර එල්ල කිරීමේ පද්ධතියකි.

ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව M- 142 වර්ගයේ කාලතුවක්කු රොකට් පද්ධතිය ඇෆ්ඝනිස්ථාන යුද්ධයට, සිරියාවේ සිවිල් යුද්ධයේදී මෙන් ම රුසියානු ආක්‍රමණයේදී යුක්රේනයේ භාවිතයට මෙන් ම ඉරානයට එරෙහිව ආරම්භ කර ඇති යුද්ධය සඳහා ද භාවිතයට ගෙන ඇත.

ඇමෙරිකානු ඩොලර් මිලියන 20කට වටිනාකමින් යුත් මෙම රොකට් ප්‍රහාරක අවිය ප්‍රවාහනය කිරීමට හැකියාව ඇත්තේ, C -17 වර්ගයේ ග්ලෝබ්මාස්ටර් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා, C-5 ගැලැක්සි සහ C - 130 හර්කියුලිස් වර්ගයේ ගුවන් යානා මගින් පමණකි.

ගුවන් යානා ප්‍රවාහන නෞකා සහ මිසයිල රැගත් නෞකා

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබීමට සති 05කට පෙර USS ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව මැදපෙරදිග කලාපයට යොමු කරනු ලැබී ය.

USS ඒබ්‍රහම් ලින්කන් යනු ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ පස් වන නිමිට්ස් පන්තියේ ගුවන් යානා ප්‍රවාහන නෞකාව යි. එය හිටපු ඇමෙරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ නමින් නම් කරන ලද තුන් වන නාවික හමුදා නෞකාව වේ.

න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන මෙම නෞකාව සේවකයින් 5,600ක් සහ ගුවන් යානා 90කින් සමන්විත ය.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ විශාලතම ගුවන් යානා ප්‍රවාහක නෞකාව වන USS ජෙරාල්ඩ් ආර්. ෆෝඩ් නෞකාව කැරිබියන් මුහුදේ සිට මැදපෙරදිග කලාපය වෙත යොමු කරන ලදී.

ඇමෙරිකා එක්සත් ජනපදයේ 38 වන ජනාධිපතිවරයා ගේ නමින් මෙම ගුවන් යානා ප්‍රවාහක නෞකාව නම් කර ඇත. මෙම ප්‍රවාහන නෞකාවට ප්‍රහාරක ජෙට් යානා 74ක් සහ කාර්ය මණ්ඩලය 4,600කට ආසන්න සංඛ්‍යාවක් ඇතුලත් වේ.

මීට අමතරව ටොම්හෝක් වර්ගයේ මාර්ගෝපදේශ මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ හැකියා සහිත ප්‍රහාරක නෞකා කිහිපයක් ද ඇමෙරිකාව මැදපෙරදිග මුහුදු කලාපයේ මේ වන විට ස්ථානගත කර තිබේ.

නෞකා සඳහා අවශ්‍ය සැපයුම් ලබාදීම සඳහා වන ඉන්ධන රැගත් නෞකා ද ඇමෙරිකාව මේ වන විට මැදපෙරදිග මුහුදු කලාපය වෙත යොමු කර තිබේ.

න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන USS ඒබ්‍රහම් ලින්කන් නෞකාවේ සේවකයින් 5,600ක් සහ ගුවන් යානා 90කින් සමන්විත වේ.

ඡායාරූප මූලාශ්‍රය, U.S.Central Command

ඡායාරූප ශීර්ෂ වැකිය, USS ඒබ්‍රහම් ලින්කන් යනු ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ පස්වන නිමිට්ස් පන්තියේ ගුවන් යානා ප්‍රවාහන නෞකාව යි.

භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා

C -17 වර්ගයේ ග්ලෝබ්මාස්ටර් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සහ C -130 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා ද ඇමෙරිකාව විසින් සිය හමුදා භටයින් ප්‍රවාහනයට මෙන් ම ආයුධ ප්‍රවාහනය සඳහා සක්‍රීය ලෙස යොදා ගැනු ලැබ ඇති බව ඇමෙරිකානු මධ්‍යම සේනා විධානය නිවේදනය කරයි.

භාණ්ඩ ප්‍රවාහන ඇමෙරිකානු ගුවන් හමුදා යානයකින් ට්‍රක් රථයක් පිටතට රැගෙන එන අයුරු

ඡායාරූප මූලාශ්‍රය, U.S.Central Command

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමෙරිකානු ගුවන් හමුදාව සතු C -17 වර්ගයේ ග්ලෝබ්මාස්ටර් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්

හමුදා සාමාජිකයින් 50,000ක්

ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා ඇමෙරිකානු හමුදා සාමාජිකයින් 50,000කට අධික පිරිසක් එක්ව සිටින බව ඇමෙරිකානු මධ්‍යම සේනා විධානයේ අණදෙන නිලධාරී බ්‍රැඩ් කූපර් පැවසුවේ ය.

එමෙන් ම, ප්‍රහාරක ගුවන් යානා 200ක් එක්ව ඇති බවත් ඉදිරියේදී තවත් හමුදා වත්කම් මෙහෙයුම් සඳහා එක් වන බවත් ඔහු පැවසීය.

ඉරානයේ ඉලක්ක 2,000කට අධික සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල කර ඇති බවත්, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එම ප්‍රහාර සඳහා බෝම්බ සහ පතොරම් 2,000 කට අධික ප්‍රමාණයක් යොදා ගෙන බව ද ඔහු පවසා තිබේ.