අලුත්ම පුවතක්, 'එක් අයෙකුගේ තත්ත්වය බරපතළයි' - ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂ
රෝහල්ගත කළ එක් අයෙකුගේ "තත්ත්වය බරපතළ" ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා බීබීසී සිංහල වෙත පැවසුවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ප්‍රතිකාර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.
ඉරාන නාවික හමුදාවට අයත් යාත්‍රාවක් ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 40ක් පමණ දුරින් 'අනතුරට' ලක්ව තිබේ. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී පැවසුවේ නෞකාවේ 180 දෙනෙකු පමණ සිට ඇති බවත් 30 දෙනෙකු 'දැඩි තුවාල' ලබා ඇති බවත් ය.
බීබීසී සිංහල
රෝහල්ගත කළ එක් අයෙකුගේ "තත්ත්වය බරපතළ" ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා බීබීසී සිංහල වෙත පැවසුවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ප්‍රතිකාර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.
නෞකාවේ සිටි තුවාල ලැබූ 32 දෙනෙකු ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා බීබීසීයට පැවසුවා.
බීබීසී සිංහල වෙත ඔවුන්ගෙන් කිහිප දෙනෙකු රෝහල තුළ ප්‍රතිකාර ලබන ආකාරය දැක්වෙන ඡායාරූප දැන් ලැබී තිබෙනවා.




ඡායාරූප මූලාශ්‍රය, Mashregh News / File Photo
IRIS Dena නෞකාව ඉරාන නාවික හමුදාවේ 86 වන බලඇණියට අයත් වේ. එය 2022–2023 වසරේදී ඉරාන නාවික හමුදාවේ ශක්තිය පෙන්නුම් කිරීම සඳහා ලොව පුරා කිලෝමීටර් 65,000ක නාවික මෙහෙයුමක නිරත වූ බොහෝ කතාබහට ලක්වූ නෞකාවක් වුණා. IRIS Dena නෞකාව නෞකාව සම්පූර්ණයෙන් ම ඉරානයේ නිෂ්පාදිත නෞකාවකි.
එය ඉරානයේ බන්ඩාර් අබ්බාස්හි පිහිටි ෂාහිඩ් ඩර්විෂි නැව් අංගනයේදී ඉදිකර තිබේ. මෙම නෞකාව ටොන් 1,500ක බරකින් යුක්ත මීටර් 95ක් පමණ දිගකින් යුක්ත වනවා. IRIS Dena නෞකාවේ නෞකා ප්‍රතිවිරෝධී මිසයිල නූර් හෝ කාදර්, 76 mm ෆජ්ර්-27 නාවික තුවක්කුවක්, 30mm අවි පද්ධතියක්, ටෝර්පිඩෝ සහ මතුපිට සිට ගුවනට ප්‍රහාර එල්ල කළ හැකි මිසයිලවලින් සමන්විත වෙනවා.
මෙම නෞකාව ගෝලීය වෙළෙඳ කටයුතු ආරක්ෂා කිරීම, මුහුදු කොල්ලකෑම්වලට එරෙහිව ක්‍රියා කිරීම සහ දිගුකාලීන මුහුදේ මෙහෙයුම් සඳහා යෙදවීම වෙනුවෙන් ඉරානයේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති බව ඉරාන නාවික හමුදාව පවසනවා.
අනතුරට ලක්ව ඇති බවට වාර්තා වන ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාව පසුගිය පෙබරවාරි මස 17 වන දා ඉන්දියාවේ විශාඛාපට්නම් වෙත පැමිණ තිබෙනවා.
ඉන්දීය නාවික හමුදා නැගෙනහිර විධානය සිය X ගිණුමේ පළ කර ඇති සටහනකට අනුව, මෙම නෞකාව 'IFR & MILAN 2026' නාවික අභ්‍යාසයකට සහභාගි වීම සඳහා ඒ වෙත පැමිණ තිබෙනවා.
ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංග බීබීසී සිංහල වෙත පැවසුවේ, රැගෙන එන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල සූදානම් කර ඇති බව යි.
"මාස් කැෂුවල්ටි එකකට ට්‍රීට් කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ. දැනට 30 දෙනෙක් වගේ අරන් එනවා කිව්වට තව ම කවුරුවත් අරන් ඇවිල්ලා නැහැ. නමුත් අපි සූදානම් වෙලා ඉන්නවා අවශ්‍ය ප්‍රතිකාර සිදු කරන්න," ඔහු වැඩිදුරටත් පැවසුවා.
මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් බදාදා (මාර්තු 4) පාර්ලිමේන්තුවේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, ඉරාන නාවික හමුදාවට අයත් "IRIS Dena" නමැති නෞකාව මෙලෙස අනතුරට ලක්ව ඇති බව ය.
"ඒ නෞකාව ගිලෙනවා කියන පණිවිඩය අද උදෑසන 5:08ට විතර අපේ නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ලැබුණා," ඔහු පැවසුවා.
අමාත්‍යවරයා පැවසුවේ, උදෑසන 6:00 වන ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව මැදිහත් වූ බව යි. "අපි උදේ 6 වෙනකොට අපි මැදිහත් වුණා. පළවෙනි නාවික යාත්‍රාව යැව්වා. උදේ 7 වෙනකොට තවත් නාවික යාත්‍රාවක් යැව්වා. ඒ වගේ ම ගුවන් හමුදාව, නාවික හමුදාව දෙක ම මැදිහත් වෙලා [ඉන්නවා]," ඔහු තවදුරටත් සඳහන් කළා.
අදාළ නෞකාවේ "180 දෙනෙකු පමණ සිට ඇති බවටත් 30 දෙනෙකු පමණ දැඩි අනතුරට" ලක්ව ඇති බවටත් තොරතුරු වාර්තා වන බව අමාත්‍යවරයා පැවසුවා.
ඒ අනුව, ඔවුන්ගේ "ජීවිත බේරා ගැනීම සඳහා" ගාල්ල ජාතික රෝහලට රැගෙන යන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
"ඉරාන නාවික හමුදාවට අයත් යාත්‍රාවක්" ගාල්ල වරායේ සිට නාවික සැතපුම් "40ක් පමණ දුරින් අනතුරට" ලක්ව ඇති බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා බීබීසීය වෙත තහවුරු කළා.
එහි කාර්ය මණ්ඩලය මුදා ගැනීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව අද උදෑසන ක්‍රියාත්මක කර තිබුණා.
ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ඇති "සමුද්‍රීය වෙළෙඳ කලාපයේදී" මෙම යාත්‍රාව අනතුරට ලක්ව ඇති බව ය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රාවක් එහි කාර්ය මණ්ඩල මුදා ගැනීම සඳහා අදාළ මුහුදු කලාපය වෙත යොමු කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවසුවා.
ඊට අමතරව මෙම සිදුවීම වාර්තා වන මුහුදු කලාපයේ නිරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බීච් ක්‍රාෆ්ට් ගුවන් යානයක් යොමු කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් නලින් වැවකුඹුර බීබීසී සිංහල වෙත සඳහන් කළා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් බීබීසී සිංහල ශ්‍රී ලංකාවේ ඉරාන කොන්සියුලර් ජනරාල් මොහොමඩ් දෙල්දාරිගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, "සිදුවීමක් පිළිබඳව වාර්තා වන බවත්" ඔහු මේ වන විට ගාල්ල බලා ගමන් කරමින් සිටින බවත් ය.
ඉරාන නාවික හමුදාවට අයත් යාත්‍රාවක් ගාල්ල වරායේ සිට නාවික සැතපුම් "40ක් පමණ දුරින් අනතුරට" ලක්වීම සම්බන්ධ සජීව තොරතුරු මෙම සජීව පිටුව ඔස්සේ අප ඔබ වෙත ගෙන එනවා.