'ඉරාන නාවික හමුදාවට අයත් යාත්‍රාවක් ගාල්ල වරායට නුදුරින් අනතුරට ලක්වීම': අප මෙතෙක් දන්නේ මොනවා ද?

IRIS Dena

ඡායාරූප මූලාශ්‍රය, Mashregh News / File Photo

ඡායාරූප ශීර්ෂ වැකිය, IRIS Dena
    • Author, දිනුක් හේවාවිතාරණ
    • Role, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

"ඉරාන නාවික හමුදාවට අයත් යාත්‍රාවක්" ගාල්ල වරායේ සිට නාවික සැතපුම් "40ක් පමණ දුරින් අනතුරට" ලක්ව තිබේ.

බීබීසී සිංහල කළ විමසීමකදී ආරක්ෂක අමාත්‍යංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මේ බව තහවුරු කළේ ය.

එහි කාර්ය මණ්ඩලය මුදා ගැනීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව ඔහු පැවසීය.

ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ඇති "සමුද්‍රීය වෙළෙඳ කලාපයේදී" මෙම යාත්‍රාව අනතුරට ලක්ව ඇති බව ය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රාවක් එහි කාර්ය මණ්ඩල මුදා ගැනීම සඳහා අදාළ මුහුදු කලාපය වෙත යොමු කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවසීය.

ඊට අමතරව මෙම සිදුවීම වාර්තා වන මුහුදු කලාපයේ නිරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බීච් ක්‍රාෆ්ට් ගුවන් යානයක් යොමු කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් නලින් වැවකුඹුර බීබීසී සිංහල වෙත සඳහන් කළේ ය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බීබීසී සිංහල ශ්‍රී ලංකාවේ ඉරාන කොන්සියුලර් ජනරාල් මොහොමඩ් දෙල්දාරිගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, "සිදුවීමක් පිළිබඳව වාර්තා වන බවත්" ඔහු මේ වන විට ගාල්ල බලා ගමන් කරමින් සිටින බවත් ය.

'නෞකාවේ 180 දෙනෙකු සිටි බවට වාර්තා වෙනවා'

මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් බදාදා (මාර්තු 4) පාර්ලිමේන්තුවේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, ඉරාන නාවික හමුදාවට අයත් "IRIS Dena" නමැති නෞකාව මෙලෙස අනතුරට ලක්ව ඇති බව ය.

"ඒ නෞකාව ගිලෙනවා කියන පණිවිඩය අද උදෑසන 5:08ට විතර අපේ නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ලැබුණා," ඔහු පැවසීය.

අමාත්‍යවරයා පැවසුවේ, උදෑසන 6:00 වන ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව මැදිහත් වූ බව ය.

"අපි උදේ 6 වෙනකොට අපි මැදිහත් වුණා. පළවෙනි නාවික යාත්‍රාව යැව්වා. උදේ 7 වෙනකොට තවත් නාවික යාත්‍රාවක් යැව්වා. ඒ වගේ ම ගුවන් හමුදාව, නාවික හමුදාව දෙක ම මැදිහත් වෙලා [ඉන්නවා]," ඔහු තවදුරටත් සඳහන් කළේ ය.

අදාළ නෞකාවේ "180 දෙනෙකු පමණ සිට ඇති බවටත් 30 දෙනෙකු පමණ දැඩි අනතුරට" ලක්ව ඇති බවටත් තොරතුරු වාර්තා වන බව අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව, ඔවුන්ගේ "ජීවිත බේරා ගැනීම සඳහා" ගාල්ල ජාතික රෝහලට රැගෙන යන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

වීඩියෝ ශීර්ෂ වැකිය, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී ඉරාන යාත්‍රාව 'අනතුරට ලක්වීම' ගැන අදහස් දක්වමින්...

'මාස් කැෂුවල්ටි එකකට අපි ලෑස්ති වෙලා ඉන්නේ'

මේ අතර, ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංග බීබීසී සිංහල වෙත පැවසුවේ, රැගෙන එන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල සූදානම් කර ඇති බව ය.

"මාස් කැෂුවල්ටි එකකට ට්‍රීට් කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ. දැනට 30 දෙනෙක් වගේ අරන් එනවා කිව්වට තව ම කවුරුවත් අරන් ඇවිල්ලා නැහැ. නමුත් අපි සූදානම් වෙලා ඉන්නවා අවශ්‍ය ප්‍රතිකාර සිදු කරන්න," ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න...