මැදපෙරදිග යුද්ධයෙන් ලංකාවට එල්ල විය හැකි බලපෑම් ගැන ජනාධිපතිවරයා කිව්වේ මොනවා ද?
මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් මෙරටට බලපෑම් එල්ල විය හැකි ආකාරය හා ඊට ගන්න වූ ක්‍රියාමාර්ග ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක අද (මාර්තු 3 වැනිදා) පාර්ලිමේන්තුව දැනුවත් කළේය.
යුදමය තත්ත්වය හේතුවෙන් මෙරටට එල්ල විය හැකි කෙටි කාලීන හා දිර්ඝ කාලීන ආර්ථික ගැටලු මෙන්ම ඉන්ධන හා ගෑස් අර්බුද ඇති වීම වළක්වා ගැනීමට ගත හැකි පියවර සම්බන්ධව ජනාධිපතිවරයා කියා සිටියේ ය.
"ලෝකයේ ආර්ථිකයටත්, ජන ජීවිතයේ පැවැත්මටත් විශාල තර්ජනයක් හා බලපෑමක් ඇති විය හැකි තත්ත්වයක්. ශ්‍රී ලංකාවට එයින් ගැලවිමේ හැකියාවක් නැහැ තනියම, හුදකලා ලෙස. අපි රටක් ලෙස මෙයට මුහුණ දීමට වැඩපිළිවෙලක් සකස් කරගන්නා අතරතුර, හැබැයි මෙම තත්ත්වය මුහුණ දිය හැකි වන්නේ ජාත්‍යන්තර පරිමාණයෙන් අප අතර සාමකාමී ලෝකයක් පිළිබඳ තිබෙන කැපවීමෙන් පමණයි කියලා අප විශ්වාස කරනවා."
ඉන්ධන, ගෑස් මෙන්ම විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඇති වන ගැටලු හා සංචාරක ක්ෂේත්‍රයට මෙන්ම නාවික සේවවාන්ට හා ගුවන් සේවා ආදී ගැටලු කිහිපයකට මතුව ඇති තත්ත්වය හමුවේ ක්ෂණිව මුහුණ දීමට සිදුවන බව ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
ඉන් ගැලවීමට කෙටි කාලීන හා දිර්ඝ කාලීන සැලසුම් සකසා ගැනීමේ අවශ්‍යතාවය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට අවධාරණය කරන ලදී.
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වයෙන් මෙරට ආර්ථිකයට, ජන ජීවිතයට හා විදෙස් ගත ශ්‍රමිකයින්ට ඇති විය හැකි බලපෑම් සම්බන්ධව අදාළ අංශ විසින් මේ වන විට වාර්තා සකස් කරමින් සිටින බවත් ජනාධිපතිවරයා පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, PMD
'අපේ කවදාවත් ආරක්ෂිත තොගයක් නැහැ'
යුදමය තත්ත්වය ආරම්භයත් සමගම මෙරට තුළ ඉන්ධන ලබා ගැනීමට දැඩි පෝලීම් ඇති වූ අතර මෙරට පවතින ඉන්ධන සංචිත, තෙල් ගබඩා කිරීමේ තත්ත්වය ගැන දිර්ඝ ලෙස ජනාධිපතිවරයා විස්තර කළේය.
දෛනික අවශ්‍යතාවයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය සංචිත ගබඩා කිරීමට හැකියාවක් පැවතිය ද මාස කිහිපයකට හදිසි අවශ්‍යතාවයකට ලබා ගැනීමට හැකි ලෙස ඉන්ධන ගබඩා කර තබා ගැනීමේ හැකියාවක් ලංකාවට නොමැති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියේය.
"අපි ඔපරේෂන් කරන්නෙත් මේ ගබඩාවලින්ම තමයි. අපිට තිබුණා නම් වෙනම සංචිත, ආරක්ෂක ගබඩා කිරීම සඳහා අපට තොගයක් තිබුණා නම්, ඒක ආරක්ෂිත තොගය අපිට ඔපරේෂන් කිරීම සඳහා වෙනම ගබඩා සංකීරණයක් අපට පවත්වාගෙන යන්න පුළුවන්. අපේ කවදාවත් ආරක්ෂිත තොගයක් නැහැ. ඒ නිසා හැමවෙලාවෙම අපි දෛනිකව ක්‍රියාකාරීත්වයේ යෙදන ගබඩාත්, අපේ අවශ්‍ය වෙන සංචිතත් එකම ගබඩාවල තියෙන්නේ. ලෝකයේ වෙනත් රටවල හදිස්සි අවශ්‍යතාවයක දී සංචිත වෙනම ගබඩාවක තියෙනවා. දෛනිකව මෙහෙයවීමට අවශ්‍ය සංචිත වෙනම තියෙනවා."
'කිසිදු අර්බුදයක් ඇති වෙන්නේ නැහැ තෙල්වල'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කෙසේ වෙතත් සංචිත ගබඩා කිරීම සහ ඉන්ධන නිකුත් කිරීම ඇතුළු අනෙකුත් දේවල් ඉතා හොඳින් කළමනාකරණය කර තිබෙන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
යුදමය තත්ත්වය ඇතිවන අවස්ථාවේදි දින 33කට අවශ්‍ය ඩීසල් සහ දින 27කට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණයක් මෙරට පැවති බවත් ඉදිරියේදි මෙරටට පැමිණීමට නියමිත ඉන්ධන නැව් සම්බන්ධව ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කළේය.
"මේ තිබෙන තත්ත්වය අනුව කිසිඳු අර්බුදයක් ඇති වෙන්නේ නැහැ තෙල්වල. නමුත් යුද්ධය වර්ධනය වුණොත් අපි කවුරුත් මුහුණ දෙන්න ඕනා. තෙල් පිරිපහදු ඔක්කොටම ගැහුවා කිව්වොත් අපි කොහෙන්ද කරන්නේ. අපි ළිංවලින් තෙල් ගන්න නෙමෙයි. ඒ නිසා යථාර්ථවාදීව, මේ ප්‍රශ්න මේ විදියට තියෙන තාක් කල් මේ ප්‍රශ්නයට උත්තර තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නය මෙතනින් එහා වර්ධනය වෙනවාද නැද්ද කියලා තීරණය කරන්නේ අපි නෙමෙයි. ඒ වර්ධනය අනුව, ප්‍රශ්නය මොන විදියට වර්ධනය වෙයිද කියලා උපකල්පනය කරමින් ඒකට අවශ්‍ය වන සැලසුම් හදනවා. ඒකට තමයි ආණ්ඩුවක් ඉන්නේ."
ඉන්ධන සංචිත තබා ගැනීමට අවශ්‍ය ගබඩා සැකසීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක වන බව කී ජනාධිපතිවරයා ඒ පිළිබඳව ද විස්තර කළේය.
'උපරිම සතියකට විතරයි ගෑස් ගබඩා කරන්න පුළුවන්'
ගෑස් සම්බන්ධයෙන් ද පවතින්නේ ගබඩා ගැටලුවක් බව පැවසූ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ද පැහැදිලි කරන ලදී.
"අපේ දෛනික ගෑස් අවශ්‍යතාවය දවසකට මෙට්‍රික් ටෝන් 1000ත් 1200ත් අතර හැබැයි අපේ ගබඩා තියෙන්නේ මෙට්‍රික් ටෝන් 8000කට. ඒ කියන්නේ අපිට උපරිම සතියකට විතරයි ගෑස් ගබඩා කරන්න පුළුවන්. ඉතින් මොකද කරන්නේ දවස් දෙකක් හැර දවස් දෙකක් අටදාහ, අටදාහ දැන් වරායට ගේනවා, මේකයි තත්ත්වය."
පෞද්ගලික සමාගමේ ගෑස් සැපයුම අඩාල වූ බැවින් ගෑස් ඉල්ලුම ඉහළ ගිය බව ද ජනාධිපතිවරයා පැවසීය.
විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් ගෙන ඇති පියවර
මැදපෙරදිග කලාපයේ රජයේ ලියාපදිංචි ශ්‍රමිකයින් ලක්ෂ 10ක් පමන සිටින බවත් ඊට අමතරව ලියාපදිංචි නොවී සේවයේ නියුතු පිරිසක් ද සිටින බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඔවුන් වෙනුවෙන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති සේවාවන් සම්බන්ධයේ ද ජනාධිපතිවරයා විස්තර කළේය.
"දැනට අපි හැම තානාපති කාර්යාලයකම පැය 24 පුරා ක්‍රියාත්මක හොට් ලයින් සර්විස් එකක් ආරම්භ කරලා තියෙනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම මොහතෙක තමන්ගේ ගැටලුව තානාපති කාර්යාලයට දැනුම් දෙන්න පුළුවන් පැය 24 පුරාම. ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්ශයෙත් පැය 24 පුරාම ක්‍රියාත්මක වෙන ක්ෂණික සේවාවන් සපයන මධ්‍යස්ථානයක් අපි හදලා තියෙනවා. විදේශ කටයුතු අමාත්‍යංශයෙත් අපි එහෙම සේවාවක් හදලා තියෙනවා. අපේ රටේ ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට තමන්ගේ දෙමාව්පියෙක්, ඥාතියෙක්, සහෝදරයෙක් ඉන්නවා නම් මොකක් හරි අනතුරුක් පිළිබඳ සැකයක් තියෙනවා නම් ඒගොල්ලන්ට අමාත්‍යංශයට දැනුම් දෙන්න පුළුවන්, ෆොරින් බියුරෝ එකට දැනුම් දෙන්න පුළුවන්."
වරායට ලැබුණ ඉල්ලුම සහ දිගු කාලීන අර්බුද
මාර්තු මාසය තුළ ලක්ෂ තුනකට ආසන්න සංචාරකයන් මෙරටට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වූ බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක එම ප්‍රමාණය අඩු විය හැකි බවත් ගැටුම් නිසා මෙරටින් පිටවීමට නොහැකිව සිටින විදේශිකයන්ට සති 2ක නිදහස් වීසා බලපත්‍රයක් ලබාදුන් බව ද කියා සිටියේය.
මැදපෙරදිග කලාපයට නැව් ගමන් කිරීමට පවතින අපහසුතාවය හේතුවෙන් කොළඹ වරායේ ගබඩා පහසුකම් ඉල්ලා නැව් සමාගම්වලින් ලද ඉල්ලීම් සම්බන්ධව අධ්‍යනය කරමින් පවතින බවත් ජනාධිපතිවරයා පැවසීය.
විදේශ ගත ශ්‍රමිකයන් ගෙන් ලැබෙන ප්‍රේෂණ, සංචාරක කර්මාන්තයට ඇති විය හැකි බලපෑම සහ අපනයන වෙළඳපොළට ඇති වන බලපෑම දැනට පවතින තත්ත්වය වර්ධනය වුවහොත් මෙරට මුහුණ දිය හැකි දිගු කාලීන අර්බුද ලෙස දැනට හඳුනා ගෙන ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක තවදුරටත් කියා සිටියේය.

































