ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ අලුත් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට: එහි ඇතුළත් වන්නේ මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, ISHARA DANASEKARA
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 5
ක්ෂුද්‍ර මූල්‍ය ණය යනු ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව, විශේෂයෙන් ම කාන්තාවන් මුහුණ දෙන බරපතළ ප්‍රශ්නයකි.
අධික පොළී අනුපාත යටතේ සති පතා හෝ මාස් පතා ගෙවීමේ පදනම මත ලබා දෙන මෙම ණය මුදල් ගෙවීමට නොහැකිව ඇතැම් පුද්ගලයින් සියදිවි නසාගත් අවස්ථා පවා වාර්තා වී තිබේ.
ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධයෙන් නීතියක් සැකසීම සම්බන්ධයෙන් වසර ගණනක සිට සාකච්ඡාවක් පවතින අතර එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේදී පනත් කෙටුම්පතක් රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබී ය.
කැබිනට් අනුමැතිය ලැබීම
2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත ඉවත් කර ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත හඳුන්වා දීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් 2023 ඔක්තෝබර් 09 වන දින අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබී ඇත.
එහෙත්, පාර්ශව කිහිපයක් විසින් මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ද ලක් කරන ලදී.
එමෙන් ම, පාර්ලිමේන්තුවේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත මෙම පනත් කෙටුම්පත යොමු කිරීමට ද කටයුතු කර තිබිණි.
එහි අන්තර්ගතය සම්බන්ධයෙන් විවිධ පාර්ශව ඉදිරිපත් කර ඇති අදහස් හා විකල්ප යෝජනා පිළිබඳව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස එකී කාරක සභාව ඉන්පසුව ප්‍රකාශ කළ බව අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.
ඒ අනුව, පත් කරන ලද ප්‍රතිපත්ති/මෙහෙයුම් කමිටුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පරිදි වන සංශෝධන සහ විවිධ පාර්ශ්වයන්ගෙන් ලබා ගත් යෝජනා ඇතුළත් කරමින් සිය අවසන් වාර්තාව සකස් කරනු ලැබ ඇති බව ද එහි සඳහන් ය.
ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත හඳුන්වා දීම සම්බන්ධයෙන් වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමටත්, ඉහත සඳහන් වාර්තාව පදනම් කර ගනිමින් අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය අගෝස්තු මාසයේදී අනුමත කරන ලදී.
ක්ෂුද්‍ර මූල්‍ය සඳහා නියාමන යාන්ත්‍රණයක අවශ්‍යතාව
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නියාමනයකට ලක් නොවූ ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රියාකාරකම් මගින් නීති විරෝධී තැන්පතු භාරගැනීම්, අධික පොළී අනුපාත හරහා ගනුදෙනුකරුවන් සූරාකෑම සහ ආචාරශීලී නොවන නැවත අයකිරීමේ ක්‍රම වැනි කටයුතුවලට මග පෑදන බව ශ්‍රී ලංකා මහා බැංකුව පෙන්වා දෙයි.
එමෙන් ම, භාර ගත් තැන්පතුවල ආරක්ෂාව තහවුරු නොවන බැවින්, තැන්පතු භාර ගන්නා ආයතන යම් නියාමනයකට යටත් නොවීම තුළ මූල්‍ය පද්ධති ස්ථායීතාව මත දැඩි තර්ජනයක් ඇති කරන බව ද මහ බැංකුව පවසයි.
"නියාමනයකට ලක් නොවූ මෙවැනි ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල අනිසි ක්‍රියාකාරකම් ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම්ලාභීන් මත අහිතකර බලපෑමක් ඇති කර, අඩු ආදායම්ලාභීන් සහ දිළිඳු පුද්ගලයින් දරිද්‍රතා චක්‍රය තුළ ම රැඳී සිටීමට මග පාදමින් රටෙහි ආර්ථික දියුණුව කෙරෙහි අහිතකර ලෙස බලපායි," යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.
මේ අනුව, පාරිභෝගික විශ්වාසය බිඳවැටීම තුළින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් නීති පනතේ (422 වන අධිකාරය) දක්වා ඇති අරමුණක් වන මූල්‍ය පද්ධති ස්ථායිතාව පවත්වාගැනීම කෙරෙහි අහිතකර අයුරින් බලපාන බැවින් ශ්‍රී ලංකාව තුළ ඉහත කී නියාමනයට ලක් නොවූ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරවල නිරත වන ආයතන නියාමනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ දැඩි අවශ්‍යතාවක් මතුව තිබෙන බව මහ බැංකුව පවසයි.
2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත
ශ්‍රී ලංකාව තුළ දශකයකට අධික කාලයකට පෙර සිට ම නියාමනයට ලක් නොවූ ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ ආයතන නියාමනය සඳහා නීති පැනවීමට විවිධ උත්සහයන් ගෙන තිබේ.
2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත (ක්ෂුද්‍ර මූල්‍ය පනත) පාර්ලිමේන්තුව මගින් පනවන ලද අතර, 2016 ජූලි මස 15 දින සිට එය බලාත්මක ය.
මෙම පනත මගින් ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරවල නිරත වන සමාගම් (බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්) සඳහා බලපත්‍ර නිකුත් කිරීමට, ඒවා නියාමනය කිරීමට සහ අධීක්ෂණය කිරීමට අදාළ විධිවිධාන පනවා තිබේ.
බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය හරහා ඍජුව ම නියාමනය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියේ දැක්වේ. එසේ ම, 1989 අංක 30 දරන සමාජ සේවා සංවිධාන පනත යටතේ ලියාපදිංචි වූ ක්ෂුද්‍ර මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන, ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන රෙජිස්ට්‍රාර්වරයා යටතේ නියාමනය කිරීමට ක්ෂුද්‍ර මූල්‍ය පනත මගින් විධිවිධාන සපයා ඇති බව ද එහි සඳහන් ය.
බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය ආයතන
බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ලැයිස්තුවක් ශ්‍රී ලංකා මහා බැංකුවේ නිල වෙබ් අඩවියේ පල කර තිබේ.
2025 මැයි 28 වැනි දිනට බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 4ක නම් එහි සඳහන් වේ.
ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රියාකාරීන් පවසන්නේ කුමක් ද?
බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකාවක වන ආචාර්ය අමාලි වෙදගෙදරගෙන් බීබීසී සිංහල විසින් මේ සම්බන්ධයෙන් විමසීමක් කරන ලදී.
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් සම්බන්ධයෙන් ක්‍රියාකාරීව මැදිහත් වූ අයෙකු වශයෙන් ඇය පැවසුවේ, 2016 වසරේ ගෙන ආ පනතේ පවතින දුර්වලතා සහ වැඩිදුර ආවරණය විය යුතු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කළ කරුණු සහ, ඔවුන්ගේ යෝජනා නව ක්ෂුද්‍ර මූල්‍ය පනතට ඇතුළත්ව නොමැති බව ය.
"ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරියක් මේ නව පනත යටතේ පිහිටුවන්න යනව නේ. විශේෂයෙන් ම ප්‍රජා මූල සංවිධානත් ඒකට ඇතුළු කරලා තියෙන නිසා අධිකාරිය කියන ව්‍යූහය මේකට ගැලපෙන්නේ නෑ කියලා අපි පෙන්වා දෙන්න උත්සහ කළා," ආචාර්යවරිය පැවසුවා ය.
"සෑහෙන්න ලොකු උදාහරණ ගෙනැල්ලා, ක්ෂුද්‍ර මූල්‍ය නියාමනය වෙන රටවල්වල සිදුවෙන්නේ කොහොම ද, ඉන්දියාවේ ප්‍රාන්ත එක්ක තමයි නියාමනය වෙන්නේ. අපි මේ වගේ උදාහරණ ගෙනැල්ලා මේ නව පනත සකස් කරන්න කලින් පැවති කමිටුවේදී මහ බැංකු නිලධාරීන්, මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට මේ ගැන කිව්වා. ඒ 2024දී," ඇය පවසයි.
"ඊට පස්සේ 2025 ජනවාරි තමයි අපේ වාර්තාව අපි මුදල් අමාත්‍යංශයට දෙන්නේ. ඊට පස්සේ ඒ වාර්තාව භාර ගත්ත නිලධාරියා කිව්වා ඒගොල්ලෝ මේ පනතට මේ යෝජනා එකතු කරලා, පනත කැබිනට් එකට යන්න කලින් අපිත් එක්ක බෙදා ගන්නවා කියලා. අපිත් හිතුවා එහෙම කරයි කියලා. නමුත් එහෙම දෙයක් වුණේ නෑ."
"2025 අගෝස්තු මේ පනතට කැබිනට් අනුමැතිය ලැබෙනවා. ඊට පස්සේ අපි ඇහුවා අපි තාම පනත දැක්කේ නෑ එහෙම කියලා. නමුත් අපට කිසි උත්තරයක් අවේ නෑ," ආචාර්ය අමාලි පවසයි.
"ඉන්පසුව, ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නේ ගැන හොයන්න පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහගේ සභාපතිත්වයෙන් කමිටුවක් දාලා තියෙනවා, ඒ කාලේ ඉඳල ම අපි එයාගෙනුත් මීටිං ඉල්ලුවා මේ ගැන කතා කරන්න. නමුත් එයාත් අපට කිසි ම උත්තරයක් දුන්නේ නෑ."
දැනට ගැසට් පත්‍රයේ පළවී ඇති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද ආචාර්ය අමාලි පැහැදිලි කළා ය.
"මේ පිහිටුවන්න හදන අධිකාරියේ සාමාජිකත්වය පුළුල් වෙන්න ඕනේ කියලා අපි යෝජනා කළා. විශේෂයෙන් ම ප්‍රජා මූල සංවිධාන මේ පනතට ඇතුළු කරනවා නම් ඒවා පිළිබඳව දැනුමක් ඇති අය මේ අධිකාරියට එන්න ඕනේ කියලා අපි යෝජනා කළා. ඒවා මොකුත් ම මේ නව පනත් කෙටුම්පතේ නෑ," ඇය පැවසීය.
"ඊට පස්සේ මේකේ තියෙන තව ලොකු ප්‍රශ්නයක් තමයි, 2023 ගෙන එන්න ගිය පනතට වඩා 2025 පනතේ ණය තොරතුරු කාර්යාංශය පුළුල් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ පනත යටතේ බලපත්‍ර ගන්න හැම සංවිධානයක් ම ක්‍රිබ් එකට යනවා."
මේ නිසා නරක ණය ගැතියන් වශයෙන් අඩු ආදායම්ලාභීන් ණය තොරතුරු කාර්යාංශයේ අසාදුගත වීමට අවදානමක් ඇති බව ඇය පෙන්වා දෙයි.
"එවැනි අවස්ථාවක ආණ්ඩුවෙන් ලබා දෙන සහන ණයක්වත් ගන්න ඔවුන්ට බැරි තත්ත්වයක් ඇති වෙන්නේ," ආචාර්ය අමාලි වෙදගෙදර පැවසුවා ය.
































