සජීවී., ඉරානයෙන් කටාර්, ඕමාන් ඇතුළු මැදපෙරදිග රටවල් 5කට මිසයිල ප්‍රහාර

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Socialහි මිනිත්තු අටක වීඩියෝවක් පළ කර ඇති අතර ඉරානයට එල්ල වූ ප්‍රහාරයට එක්සත් ජනපදය සම්බන්ධ බව තහවුරු කර තිබේ. මේවන විට ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය මැද පෙරදිග රටවල් කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇත.

සාරාංශය

  • ඉරාන උත්තරීතර නායකයාගේ කාර්යාලයට ප්‍රහාර එල්ල වී ඇති බවට වාර්තා
  • අබුඩාබි වෙත එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් ආසියානු ජාතිකයෙකු මරුට
  • කටුනායක සිට මැදපෙරදිග බලා පියාසර කරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කළ බව IDF පවසයි
  • ඉරානය තුළ 'මහා සටන් මෙහෙයුම්' ආරම්භ කර ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කරයි
  • තම රට ඉරානයට එරෙහිව 'පූර්ව ක්‍රියාමාර්ගයක්' ලෙස ප්‍රහාරයක් දියත් කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසයි

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල

  1. ඉරානයේ බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් 40 දෙනෙකු මිය ගිය බවට වාර්තා, BBC Monitoring

    ඉරානයේ හෝර්මොස්ගන් පළාතේ දකුණු මිනාබ් ප්‍රාන්තයේ බාලිකා ප්‍රාථමික පාසලකට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් ඇතැයි, ප්‍රාදේශීය නිලධාරියෙක් රාජ්‍ය IRNA ප්‍රවෘත්ති ඒජන්සියට පවසා තිබෙනවා.

    මෙම බාලිකා පාසලට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් 48 දෙනෙකු තුවාල ලබා ඇති බවත් මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවත් ආණ්ඩුකාර මොහොමඩ් රඩ්මෙහර් ප්‍රකාශ කර ඇත.

    බීබීසීයට මෙය ස්වාධීනව සත්‍යාපනය කිරීමට නොහැකි වී තිබෙනවා.ජාත්‍යන්තර ප්‍රවෘත්ති සංවිධානවලට ඉරානයට ඇතුළු වීම සඳහා වීසා බලපත්‍ර බොහෝ විට ප්‍රතික්ෂේප කරනු ලබන අතර එමඟින් රට තුළ සිදුවන දේ පිළිබඳ තොරතුරු රැස් කිරීමේ හැකියාව දැඩි ලෙස සීමා වේ.

    ඉරානයේ "සම්පූර්ණයෙන්ම" අන්තර්ජාල විසන්ධි කිරීමක් ඇති අතර මීට පෙර සයිබර් ප්‍රහාරයක් ද එල්ල වී තිබිණි.

  2. විදේශ කටයුතු අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

    මැද පෙරදිග කලාපයේ සියලු ම ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සමග සමීප සම්බන්ධතා පවත්වන බවත් ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

    හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් ජනතාවට දූත මණ්ඩලය හා සම්බන්ධ වීමට සහ සම්බන්ධතා පවත්වා ගැනීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා දූත මණ්ඩල හදිසි දුරකතන අංක හඳුන්වා දී ඇති බව ද එම අමාත්‍යංශය පැවසුවා.

    මේ වන විට මැද පෙරදිග කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට එතරම් බලපෑමක් සිදුව නොමැති බව එම නිවේදනයේ තවදුරටත් සඳහන්.

    දූත මණ්ඩල ප්‍රධානීන් විදේශ අමාත්‍යංශය සමග සම්බන්ධතා පවත්වනු ලබන බවත් හදිසි දුරකතන අංකයක් කඩිනමින් ස්ථාපනය කරන බව ඔවුන් දැනුම් දෙනවා.

  3. කටුනායක සිට මැදපෙරදිග බලා පියාසර කරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

    කටුනායක ගුවන් තොටුපොළේ සිට මැදපෙරදිග බලා පියාසර කරන සියලු ගුවන් ගමන් අවලංගු කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් කපිතාන් දමිත් රඹුක්වැල්ල පවසනවා.

    මේ වනවිට මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය , ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ෆිට්ස් එයාර් ගුවන් සේවය සහ මැදපෙරදිග රටවල සිට ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සබදතා පවත්වන විදේශීය ගුවන් සේවාවන් වන එමිරේට්ස් , එටිහාඩ් , ෆ්ලයි ඩුබායි , සෞදියා , ඕමාන් එයාර් සහ කටාර් ගුවන් සේවා ප්‍රධානීන් සමග අද (පෙබරවාරි 28) දින ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ පැවති සාකච්ඡාවක දී මෙම තීරණවලට එළඹි බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයා බීබීසී සිංහල වෙත කියා සිටියා.

    එමෙන්ම මැදපෙරදිග බලා යෑමට සූදානම් වී සිටින ගුවන් මගීන් කෙළින්ම කටුනායක ගුවන් තොටුපොළ වෙත නොපැමිණ ඒ පිළිබද තම ගුවන් සේවා ආයතන වලින් හෝ කටුනායක ගුවන් තොටුපොළ අමතා අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ද ඔහු දැනුම් දී සිටිනවා.

    එසේම මේ වනවිටත් මැදපෙරදිග රටවල සිට විශේෂයෙන් චීනය , ඉන්දුනීසියාව , මැලේසියාව යන රටවල සිට මැදපෙරදිග බලා පිටත්ව ඇති ගුවන් යානා වලට සිය ගමනාන්ත කරා ළගා වීමට නොහැකි නිසා එම යානා ගොඩබෑම සඳහා කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ සූදානම් කර ඇති බවද සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් දමිත් රඹුක්වැල්ල සඳහන් කළා.

  4. ඉරාන උත්තරීතර නායකයාගේ කාර්යාලයට ප්‍රහාර එල්ල වී ඇති බවට වාර්තා

    ටෙහෙරානයේ සහ ඉරානය පුරා නගර ගණනාවක පිපිරීම් ගණනාවක් ඇසුණු අතර ඉරානයේ උත්තරීතර නායකයාගේ කාර්යාලය සහ ටෙහෙරානයේ ජනාධිපති කාර්යාලය ද ඉලක්ක කර ඇතැයි වාර්තා වේ.

    කර්මන්ෂා, කෝම්, ඉස්ෆහාන්, ටැබ්‍රිස්, කරාජ් යන ප්‍රදේශවල හමුදා ස්ථාන මෙන්ම රටේ දකුණේ කෙනරක් හි ඉරාන නාවික කඳවුර ද ප්‍රහාරයෙන් ඉලක්ක වී තිබෙනවා.

    හිටපු ඉරාන ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් ජීවත් වන ටෙහෙරානයේ නර්මාක් ප්‍රදේශයේ නිවසට පහර දී ඇති බව ටෙහෙරානයෙන් ලැබෙන ඡායාරූප වලින් පෙන්නුම් කෙරන අතර ඉන් හිටපු ජනාධිපතිවරයා තුවාල ලබා ඇත්ද යන්න පැහැදිලි නැහැ.

    ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ තත්ත්වය සාමකාමිව තබා ගැනීමට ආරක්ෂක හමුදා සූදානම් බවත් රට පුරා බොහෝ රෝහල් සූදානම්ව ඇති බවයි.

  5. අබුඩාබි වෙත එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් ආසියානු ජාතිකයෙකු මරුට

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම රට "ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයකට" ලක්ව ඇති බවයි.

    "එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති ඉහළ කාර්යක්ෂමතාවයකින් මිසයිල වලට එරෙහිව කටයුතු කළ අතර මිසයිල ගණනාවක් සාර්ථකව වළක්වා ගත්" බව එම නිවේදනයේ තවදුරටත් සඳහන්.

    කෙසේ වෙතත්, අමාත්‍යාංශය පවසන්නේ අබුඩාබි හි නේවාසික ප්‍රදේශයකට මිසයිල සුන්බුන් පතිත වූ අතර එමඟින් යම් හානියක් සිදු වූ අතර ආසියානු ජාතිකයෙකු මිය ගිය බවයි. මියගිය පුද්ගලයා ගේ අනන්‍යතාවය හෙළිකර නැහැ.

    ප්‍රහාරය "භයානක උත්සන්න වීමක් සහ බියගුළු ක්‍රියාවක්" ලෙස එය හෙළා දකින අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය "ප්‍රතිචාර දැක්වීමට එහි සම්පූර්ණ අයිතිය තමන් සතුව ඇති බවට " එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

    ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාව සමඟ අබුඩාබියට දකුණින් පිහිටි අල් දෆ්රා ගුවන් කඳවුරේ සිට ක්‍රියාත්මක වේ.

  6. ඊශ්‍රායලයේ ඉලක්කය වී ඇති ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ජීවිත කතාව

    Skip YouTube post
    Google YouTube අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

    මෙම ලිපියේ Google YouTube විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Google YouTube කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

    අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ. YouTube අන්තර්ගතයේ දැන්වීම් අඩංගු විය හැකි ය.

    End of YouTube post

  7. කටාරය තුළ පිහිටි 'අල් උඩෙයිඩ් කඳවුර' ගැන ඔබ දැනගත යුතු දේ

    අල් උඩෙයිඩ් කඳවුර

    ඡායාරූප මූලාශ්‍රය, USAF

    ඡායාරූප ශීර්ෂ වැකිය, අල් උඩෙයිඩ් කඳවුර

    කටාර් හී අගනුවර වන දෝහා අසල පිහිටා ඇති අල් උඩෙයිඩ්, මැද පෙරදිග ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියාගේ ගුවන් මෙහෙයුම් සඳහා මූලස්ථානය ලෙස කටයුතු කරන අතර ඇමෙරිකානු හමුදා භටයින් 8,000 කට ආසන්න සංඛ්‍යාවක් එහි සේවය කරනවා.

    මෙය දැනට ඉරාකයේ ඇමෙරිකා එක්සත් ජනපද මෙහෙයුම් සඳහා මූලස්ථානය සහ සැපයුම් මධ්‍යස්ථානය ලෙස සේවය කරන අතර ගල්ෆ් කලාපයේ ඇති දිග ම ගුවන් ධාවන පථය ද ඊට ඇතුළත් වේ.

    බ්‍රිතාන්‍ය හමුදා ද එම කඳවුර භාවිතා කරන අතර එය ඇතැම් විට අබු නක්ලා ගුවන්තොටුපළ ලෙස ද හැඳින්වේ.

    2000 දී කටාර් රාජ්‍යය විසින් ඇමෙරිකා එක්සත් ජනපදයට අල් උඩෙයිඩ් කඳවුර භාවිතා කිරීමට අවසර දුන්නේය. 2001 දී ඇමෙරිකා එක්සත් ජනපදය එහි පාලනය භාර ගැනීමෙන් පසු, එක්සත් රාජධානිය පදනම් කරගත් බුද්ධි සමාගමක් වන ග්‍රේ ඩයිනමික්ස්ට අනුව, කටාර් රාජ්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපදය 2002 වසරේ දෙසැම්බර් මාසයේදී ඇමරිකානු හමුදාව එහි සිටීම නිල වශයෙන් පිළිගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කර ඇත.

    2024 දී, ප්‍රවෘත්ති වාර්තාවල සඳහන් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය තවත් වසර 10 ක් කටාර්හි රැඳී සිටීමට එකඟ වූ බවයි.

  8. ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි යනු කවුද? ඔහුගේ පවුල කෙතරම් බලගතු ද?

  9. දෝහාහි පිපිරීම් හඬවල් ඇසේ

    කටාර් රාජ්‍යයේ අගනුවර වන දෝහාහි පිපිරීම් සහ ගුවන් ප්‍රහාරක සයිරන් ඇසී තිබෙනවා.

    "රටේ භූමිය ඉලක්ක කර ගත් ප්‍රහාර ගණනාවක් සාර්ථකව මැඩපැවැත්වූ" බව කටාර් ආරක්ෂක අමාත්‍යංශය පැවසූ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

    කටාර් නිලධාරියෙක් AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ, එක්සත් ජනපදයේ නිෂ්පාදිත පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතියෙන් ඉරාන මිසයිලයක් බිම හෙළූ බවයි.

    කටාර් රාජ්‍යයේ, කලාපයේ විශාලතම ඇමෙරිකානු හමුදා පහසුකම වන අල් උඩෙයිඩ් ගුවන් කඳවුර පිහිටා තිබෙනවා.

  10. බහරේනයේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ 5 වන බලඇණියේ සේවා මධ්‍යස්ථානයට මිසයිල ප්‍රහාර

    බහරේනයේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ 5 වන බලඇණියේ සේවා මධ්‍යස්ථානය “මිසයිල ප්‍රහාරයකට ලක්ව ඇති” බව බහරේන් ප්‍රවෘත්ති ඒජන්සිය (BNA) උපුටා දක්වමින් එරට ජාතික සන්නිවේදන මධ්‍යස්ථානය පවසනවා.

    “වැඩිදුර විස්තර ඉදිරියේදී ලබා දෙන බව,” එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

    “අදාළ නිල බලධාරීන් විසින් නිකුත් කරන ලද උපදෙස් අනුගමනය කරන ලෙසත්, නිල මූලාශ්‍රවලින් පමණක් තොරතුරු ලබා ගන්නා ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා" යැයි එහි සඳහන්ව ඇත.

    බහරේනයේ පිහිටි ඇමෙරිකා නාවික හමුදාවේ 5 වන බලඇණියේ මූලස්ථානය පිහිටා ඇති අතර ගල්ෆ්, රතු මුහුද, අරාබි මුහුද සහ ඉන්දියානු සාගරයේ කොටස් ඉන් ආවරණය කරන කලාපයට ඇතුළත් වේ.

    බහරේන අහසේ දුමාරය ඉහළට නැගෙන අයුරු
    ඡායාරූප ශීර්ෂ වැකිය, බහරේන අහසේ දුමාරය ඉහළට නැගෙන අයුරු
  11. කලාපයේ ඇමෙරිකානු තානාපති කාර්යාලවලින් නිවේදන

    ඇමෙරිකාව විසින් ඕමානය, කටාර්, බහරේන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන සිය පුරවැසියන්ට වහා ආරක්ෂිත ස්ථානවලට යන ලෙස දැනුම් දී ඇති බව අදාළ රටවල පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාල මගින් නිවේදන නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.

  12. මැද පෙරදිග පවතින තත්ත්වය ශ්‍රී ලංකන් ගුවන් ගමන්වලට බලපා ඇත්තේ කෙසේ ද?

    ශ්‍රී ලංකන් ගුවන් යානයක ඡායාරූපයකි

    ඡායාරූප මූලාශ්‍රය, SriLankan Airlines

    මැදපෙරදිග කාලපයේ තත්ත්වය හේතුවෙන්, ශ්‍රී ලංකන් ගුවන් යනා සෞදි අරාබිය හරහා පියාසර කිරීමට පියවර ගෙන ඇතැයි, ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා.

    එහි මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා සඳහන් කළේ, වෙනත් දිනවල ශ්‍රී ලංකන් ගුවන් යානා ඉරානය හරහා පියසර කළත් පවතින තත්ත්වය හමුවේ, ‘නොර් ෆ්ලියි සෝන් හින්දා අපි දැන් ඉරානය සහ ඊශ්‍රායල දෙසින් පියාසර කරන යානා සෞදි අරාබිය හරහා තමා පියාසර කරන්නේ’ ඔහු කියා සිටියේය.

    “ඒකෙන් අපිට පැය එකමාරක් විතර ගමනාන්තයට කාලය ගතවෙනවා.”

    “අපි කිසිම ෆ්ලයිට් එකක් කැන්සල් කරන්නේ නැහැ. ගුවන් තොටුපලවල් විවෘත කර ඇති පරිදි ඔපරේට් වෙනවා.”

    “අපේ ෆ්ලයිට් නියමිත වෙලාවට යනවා. කිසිම චේන්ජ් එකක් නැහැ. ලන්ඩන් ෆ්ලයිට් එක විතරක් ටිකක ප්‍රමාද කරලා තියෙනවා.” ඔහු කියා සිටියේය.

    යම් ගැටලුවක් ඇතොත්, 1979 දුරකථන අංකයට හෝ ගුවන් ප්‍රවේශපත්‍රය මිලදී ගත් ගුවන් ගමන් නියෝජිත ආයතනය අමතන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය දැනුම් දෙනවා.

    බීබීසී සිංහල කළ විමසිකමදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසුවේ ඉරාන - ඊශ්‍රායල් ගුවන් කලාපය වසා දමා තිබීම නිසා අද සවස ලන්ඩන් සහ පැරිසිය බලා පියාසර කරන ශ්‍රී ලන්කන් ගුවන් සේවාවේ යානාවල ගුවන් මාර්ගයන් වෙනස් කිරීමට පියවර ගන්නා බවය.

  13. ඉරානය ඊශ්‍රායලයට 'දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර' එල්ල කිරීම ආරම්භ කරයි

    ඉරානයේ විවිධ ප්‍රදේශවලට අද එල්ල වූ ප්‍රහාරවලින් පසුව, ඊශ්‍රායලයට එරෙහිව "දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර" එල්ල කිරීම ආරම්භ කර ඇති බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

  14. ප්‍රහාරවලින් පසු ටෙහෙරානයේ තත්ත්වය

    ටෙහෙරානය

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    ටෙහෙරානය

    ඡායාරූප මූලාශ්‍රය, Reuters

    ටෙහෙරානය

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

  15. නෙතන්යාහු: ඉරාන පාලනය 'න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ නොවිය යුතුයි'

    බෙන්ජමින් නෙතන්යාහු

    ඡායාරූප මූලාශ්‍රය, EPA/Shutterstock

    ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මීට සුළු මොහොතකට පෙර නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    "මගේ සහෝදර සහෝදරියනි, ඊශ්‍රායල පුරවැසියනි, මීට සුළු මොහොතකට පෙර, ඊශ්‍රායලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ පැවැත්මට ඉරානයේ ත්‍රස්තවාදී පාලනයෙන් එල්ල වන තර්ජනය ඉවත් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කළා.

    "අපගේ ශ්‍රේෂ්ඨ මිතුරා වන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඓතිහාසික නායකත්වය වෙනුවෙන් මම ඔහුට ස්තූතිවන්ත වෙනවා. වසර 47ක් තිස්සේ අයතුල්ලා පාලනය 'ඊශ්‍රායලයට මරණය,' 'ඇමෙරිකාවට මරණය' යනුවෙන් කෑ ගසමින් සිටියා.

    "ඔවුන් අපේ ලේ වැගිරුවා, බොහෝ ඇමෙරිකානුවන් ඝාතනය කළා, ඒ වගේ ම තමන්ගේ ම ජනතාව සමූලඝාතනය කළා. මේ මිනීමරු ත්‍රස්තවාදී පාලනය මුළු මිනිස් සංහතියට ම තර්ජනයක් වීමට ඉඩ සලසන න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ නොවිය යුතුයි. අපේ ඒකාබද්ධ ක්‍රියාමාර්ගය මගින් ධෛර්ය සම්පන්න ඉරාන ජනතාවට ඔවුන්ගේ ඉරණම තමන්ගේ අතට ගැනීමට අවශ්‍ය තත්ත්වයක් නිර්මාණය කරාවි.

    "පර්සියානුවන්, කුර්දි ජාතිකයන්, අසර්බයිජානියානුවන්, බැලොචිවරුන් සහ අහ්වාසිවරුන් ඇතුළු ඉරාන ජනතාවගේ සියලු ම කොටස්වලට කෲරත්වයේ වියගහ ඉවත දමා නිදහස් හා සාමකාමී ඉරානයක් ඇති කිරීමට කාලය පැමිණ තිබෙනවා.

    "ඊශ්‍රායල පුරවැසියන් වන ඔබෙන් මම ඉල්ලා සිටින්නේ, නාගරික ආරක්ෂක බළකායේ උපදෙස්වලට සවන් දෙන ලෙසයි. ඉදිරි දිනවලදී, 'The Roar of the Lion' මෙහෙයුමේදී, අප සැමට විඳ දරා ගැනීම සහ ධෛර්යය අවශ්‍ය වේවි.

    "අපි එක්ව නැගී සිටිමු, එක්ව සටන් කරන්නෙමු, එමෙන් ම එක්ව ඊශ්‍රායෙලයේ සදාකාලිකත්වය සහතික කරමු."

  16. ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි IDF පවසයි

    මීට "සුළු වේලාවකට පෙර, ඉරානයේ සිට ඊශ්‍රායල භූමිය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි, හඳුනාගෙන ඇති "බව පවසමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

  17. ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ආයතනවලට සයිබර් ප්‍රහාර එල්ල වී ඇති බවට වාර්තා

    ඉරානයට එල්ල වූ ඇමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් පසුව, ඉරාන රාජ්‍යයට සම්බන්ධ ප්‍රවෘත්ති ආයතන සහ අන්තර්ජාල වේදිකා කිහිපයක් සයිබර් ප්‍රහාරවලට ලක්ව ඇති බව එරට දැඩි මතධාරී දිනපතා පුවත්පතක් වන හම්ෂහ්රි සිය ටෙලිග්‍රෑම් නාලිකාවේ වාර්තා කර තිබෙනවා.

    මිලිටරි ගැටුම් උත්සන්න වීමත් සමග ම "පුළුල් ලෙස" සයිබර් ප්‍රහාර එල්ල කිරීම ද ආරම්භ වී ඇති බවත්, ප්‍රධාන දේශීය මාධ්‍ය වේදිකා ගණනාවක් බාධා කිරීම් හෝ මෙහෙයුම් දුෂ්කරතා අත්විඳිමින් සිටින බවත් වාර්තාවේ සඳහන් වුණා.

  18. යුරෝපයට තර්ජනයක් විය හැකි මිසයිල ඉරානය සංවර්ධනය කරමින් සිටින බව ට්‍රම්ප් පවසයි

    වීඩියෝ ශීර්ෂ වැකිය, ඉරානයේ 'මහා සටන් මෙහෙයුම්' ආරම්භ කළ බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය

    Truth Social හි, ට්‍රම්ප්ගේ ප්‍රකාශය ගැන වැඩි විස්තර: ඉරානය "ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන නැවත ගොඩනැංවීමට සහ යුරෝපයේ අපගේ ඉතා හොඳ මිතුරන්ට සහ මිත්‍ර පාක්ෂිකයින්ට, විදේශයන්හි ස්ථානගත කර ඇති අපගේ හමුදාවලට සහ ඉක්මනින් ඇමෙරිකානු භූමියට ළඟා විය හැකි දිගු දුර මිසයිල සංවර්ධනය කිරීම දිගටම කරගෙන යාමට උත්සාහ කළා" යැයි ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළා.

    "මෙම ඉතා දුෂ්ට රැඩිකල් ආඥාදායකත්වය ඇමෙරිකාවට තර්ජනය කිරීම වැළැක්වීම සඳහා" ඇමෙරිකා එක්සත් ජනපදය "දැවැන්ත" මෙහෙයුමක් දියත් කරමින් සිටින බව ඔහු කියා සිටියා.

  19. ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමෙන් පසු ටෙහෙරාන් අහසේ දුමාරය නිකුත් වූ අයුරු

    වීඩියෝ ශීර්ෂ වැකිය, ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඉරානයේ ටෙහෙරාන් නුවර දුමාරයක් හටගත් අයුරු
  20. ඉරානයට එරෙහි ප්‍රහාරයට එක්සත් ජනපදය සම්බන්ධ වූ බව ට්‍රම්ප් තහවුරු කරයි

    ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Social හි මිනිත්තු අටක වීඩියෝවක් පළ කර ඇති අතර ඉරානයට එල්ල වූ ප්‍රහාරයට එක්සත් ජනපදය සම්බන්ධ බව තහවුරු කරනවා.

    "අපි ගිවිසුමක් ඇති කර ගැනීමට නැවත නැවතත් උත්සාහ කළා. අපි ඔවුන්ගේ මිසයිල විනාශ කර ඔවුන්ගේ මිසයිල කර්මාන්තය සම්පුර්ණයෙන්ම විනාශ කර දමනවා" ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි

    අපි තවමත් වීඩියෝවට සහ ට්‍රම්ප්ගේ සම්පූර්ණ ප්‍රකාශවලට සවන් දෙමින් සිටින අතර ඉක්මනින් ඔබව යාවත්කාලීන කිරීමට සූදානම්.