හිස්බුල්ලා සංවිධානය යනු කුමක් ද? එය ඊශ්‍රායලය සමග යුද්ධයක් අරඹයි ද?

ඡායාරූප මූලාශ්‍රය, EPA
හිස්බුල්ලා යනු ඉරාන සහාය ලබන ලෙබනන ෂියා ඉස්ලාමික දේශපාලනික පක්ෂයක් සහ පැරාමිලිටරි කණ්ඩායමකි. 1992 සිට හසන් නස්රල්ලා එයට නායකත්වය සපයයි. සංවිධානයේ නමේ අරුත වන්නේ 'දෙවියන්ගේ පක්ෂය' යන්න යි.
1980 ගණන්වල ඊශ්‍රායලය ලෙබනනය අත්පත්කර ගෙන සිටි සමයේ දී ඉරානයේ මූල්‍යමය හා හමුදාමය සහාය ඇතිව පැන නැගුනු හිස්බුල්ලා ඇරඹියේ ලෙබනනයේ දකුණේ වෙසෙන සම්ප්‍රදායිකවම බලය රහිත ෂියා ප්‍රජාව ආරක්ෂා කිරීමේ බලකායක් ලෙස වුව ද, එහි මතවාදීමය මූලයන් 1960 හා 1970 ගණන්වල ලෙබනනයේ ෂියා ඉස්ලාමික නැගිටීම දක්වා ඇදෙයි.
2000 දී ඊශ්‍රායලය ලෙබනනයෙන් ඉවත්වූ පසු ආයුධ බිම තබන්නැ යි එල්ලවූ පීඩනය දරාගත් හිස්බුල්ලා, එහි 'ඉස්ලාමික ප්‍රතිරෝධය' නම් හමුදා අංශය දිගටම වැඩිදියුණු කළේ ය.
කණ්ඩායම ක්‍රමයෙන්, එහි 'ප්‍රතිරෝධය සඳහා ලැදි පක්ෂ සමූහය' පක්ෂය හරහා ලෙබනනයේ දේශපාලන පද්ධතියේ ප්‍රධාන බලයක්බවට ද පත්විය. එය කැබිනට් මණ්ඩලයේ නිෂේධ බලය ද ලබාගෙන ඇත.
වසර ගණනක් පුරාවට, මූලිකවම ඊශ්‍රායල හා එක්සත් ජනපද ඉලක්ක වෙත බෝම්බ ප්‍රහාර හා කුමන්ත්‍රණ මාලාවක් සිදුකළබවට හිස්බුල්ලා වෙත චෝදනා එල්ලවී තිබේ. බටහිර රාජ්‍යයන්, ඊශ්‍රායලය, ගල්ෆ් අරාබි රටවල් හා අරාබි ලීගය එය "ත්‍රස්තවාදී" සංවිධානයක් ලෙස නම්කර ඇත.
සිරියානු ජනපති බෂර් අල්-අසාද්ගේ දැඩි පාක්ෂිකයෙකු වන හිස්බුල්ලා, 2011 වසරේ ඇරඹුණු සිරියානු සිවිල් යුද්ධය තීව්‍ර අතට හැරෙද්දී ජනපති අසාද්ගේ පාර්ශවය වෙනුවෙන් සටන් වැදීමට සටන්කාමීන් දහස් ගණනක් යැවීය. ලෙබනනයේ කඳුකර දේශසීමාව දිගට පිහිටි, විප්ලවවාදීන් විසින් අල්ලා ගැනුණු භූමිය යළි අත්පත්කර ගැනීමෙහිලා සිරියානු රජයට ගැති බලකායන්ට මෙම සහාය තීරණාත්මක විය.
සිරියාවේ පිහිටි, ඉරාන හා හිස්බුල්ලා සටන්කාමීන් හා සම්බන්ධ ඉලක්කයන්ට ඊශ්‍රායලය නිරන්තර ප්‍රහාර එල්ල කරනමුත්, ඒවායේ වගකීම භාරගන්නේ කලාතුරකිනි.
කෙසේ නමුත්, සිරියාව තුළ හිස්බුල්ලා මැදිහත්වීම, ලෙබනනය තුළ නිකායික ආතතීන් වඩාත් තියුණුකර තිබේ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එය සිරියාවේ ෂියා අලවීට් (එනම් ආගමික සුළුතරය) ජනපතිවරයා වෙත දක්වන සහාය ද, ඉරානය හා පවත්වන දැඩි බැඳීම ද නිසා, ඉරානයේ ප්‍රධාන කලාපීය ප්‍රතිවාදියා වන සෞදි අරාබිය විසින් මෙහෙයවන ලද ගල්ෆ් අරාබි රාජ්‍යයන් එය වෙත දැක්වූ සතුරුකම වැඩි දියුණු විය.
පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් ඔක්තෝබර් හත්වැනි දා පුද්ගලයින් 1,400ක් පමණ මරණයට පත්කරමින් ඊශ්‍රායලයට එල්ල කළ හදිසි ප්‍රහාරයෙන් පසු, හිස්බුල්ලා සංවිධානය හා ඊශ්‍රායලය දේශසීමාව හරහා ප්‍රහාර හුවමාරුකර ගෙන ඇත. ඊශ්‍රායලය ඊට ප්‍රතිචාර ලෙස දහස් ගණනක් දෙනා මරණයට පත්කරමින් ගාසා වෙත ගුවන් ප්‍රහාර එල්ලකළ පසු, ඊශ්‍රායලයට එරෙහිව සටන්වැදීම සඳහා දායකවීමට එය "මුළුමනින්ම සූදානම්බව" ප්‍රකාශ කළේ ය.
හිස්බුල්ලාහි හමුදාමය, ආරක්ෂක, හා දේශපාලනික බලය ද, එය සපයන සමාජ සේවාවන් ද එය රාජ්‍ය ආයතනයන්ට සම, රාජ්‍යයක් තුළ පිහිටි රාජ්‍යයක් ලෙස ලද පිළිගැනීම ස්ථාවරකර ඇති අතර, එහි ප්‍රතිවාදීන්ගෙන් දැඩි විවේචන ලැබීමට හේතුවී ඇත. ඇතැම් ආකාරයන්ට, එහි ශක්‍යතාවන් දැන් ලෙබනන හමුදාවේ ශක්‍යතාවන් ඉක්මවා යයි. එහි සැලකිය යුතු ආයුධ බලය 2006 යුද්ධයේ දී ඊශ්‍රායලයට එරෙහිව භාවිතා කෙරිණි.
ඇතැම් ලෙබනන ජාතිකයින් හිස්බුල්ලා එරට ස්ථාවරත්වයට තර්ජනයකැ යි සැළකුවත්, එය ෂියා ප්‍රජාව තුළ චිරස්ථායී ජනප්‍රියත්වයක් දිනා තිබේ.
ඊශ්‍රායල-විරෝධී
හිස්බුල්ලාහි මූලාරම්භය නිශ්චය කිරීම දුෂ්කර ය. නමුත් එහි පූර්වගාමීන් පැන නැගුණේ, 1982 දී පලස්තීන සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය දකුණු ලෙබනනය ආක්‍රමණය කළ අවස්ථාවේ දී ය. එවිට, සටන්කාමී ප්‍රතිචාරයකට ප්‍රිය ෂියා නායකයින් අමාල් ව්‍යාපාරයෙන් බිඳී වෙන්වී ගියේ ය.
නව සංවිධානය වූ 'ඉස්ලාමික අමාල්' වෙත බෙකා නිම්නය පදනම්කර ගත් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායෙන් සැළකිය යුතු අන්දමේ හමුදාමය හා සංවිධානාත්මක සහායක් ලැබුණි. ඉස්ලාමික අමාල් ෂියා මිලිෂියා බලකායන් අතර වඩාත්ම උන්නත හා ප්‍රබල සංවිධානය ලෙස මතුවූ අතර, පසුව හිස්බුල්ලා සංවිධානය නිර්මාණය කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මෙම කණ්ඩායම් ඊශ්‍රායල හමුදාව සහ එහි පාක්ෂික දකුණු ලෙබනන හමුදාව (SLA) වෙත ද, ලෙබනනයේ විදේශ බලයන් වෙත ද ප්‍රහාර එල්ල කළේ ය. මොවුන්, 1983 වසරේ එක්සත් ජනපද තානාපති කාර්යාලයට හා මැරීන් බලකායේ බැරැක්කවලට එල්ලවූ බෝම්බ ප්‍රහාරවලට වගකිව යුතුයැ යි විශ්වාස කෙරෙයි. මෙම ප්‍රහාරයන් ද්විත්වයෙන් ඇමෙරිකානුවන් 258ක් හා ප්‍රංශ හමුදා භටයින් 58ක් මියගිය අතර, බටහිර සාමසාධක හමුදා එරටින් ඉවත්වීමට හේතුවිය.
1985 දී හිස්බුල්ලා සංවිධානය විසින් එක්සත් ජනපදය හා සෝවියට් සංගමය ඉස්ලාමයේ ප්‍රධාන සතුරන් ලෙස නම්කරමින් ද, මුස්ලිම් භූමිය අත්පත්කර ගෙන සිටින ඊශ්‍රායලය "කටුගා දැමීම" සඳහා බල කරමින් ද "විවෘත ලිපියක්" නිකුත් කරමින් එහි නිල ස්ථාවරය ප්‍රකාශයට පත් කළේ ය.
එසේම එය, "ඉස්ලාමික ක්‍රමය තෝරා ගැනීම බලහත්කාරයෙන් පැනවීමේ පදනම මත නොව, ජනතාව එය නිදහස්ව හා සෘජුව තෝරාගැනීමේ පදනම මත අනුගමනය කළ යුතුයැ"යි ද ප්‍රකාශ කළේ ය.
ලෙබනනයේ සිවිල් යුද්ධය අවසන් කළ 1989 තායිෆ් ගිවිසුම ද, මිලිෂියාවන් නිරායුධ කිරීම සඳහා ඉදිරිපත්වූ බලකිරීම් ද හේතුවෙන් හිස්බුල්ලා එහි හමුදා අංශය ඊශ්‍රායල අත්පත්කර ගැනීම අවසන් කිරීමට කැපවුණු බලකායක් වන "ඉස්ලාමික ප්‍රතිරෝධය" යන නමින් යළි සන්නාම ගැන්වීය. මෙහෙයින් එයට එහි ආයුධ තබා ගැනීමට ඉඩ සැලසිනි.
1990 දී සිරියානු හමුදාව ලෙබනනය තුළ සාමය පැනවීමෙන් පසු ද, හිස්බුල්ලා සංවිධානය එහි දකුණු ලෙබනන ගරිල්ලා යුද්ධය දිගටම සිදුකර ගෙන ගිය නමුදු ලෙබනනයේ දේශපාලනය තුළ ද සක්‍රීය භූමිකාවක් රඟ දැක්වීමට පටන් ගත්තේ ය. 1992 දී එය සාර්ථක ලෙස ප්‍රථම වරට ජාතික මැතිවරණයකට සහභාගීවිය.
අවසානයේ 2000 වසරේ දී ඊශ්‍රායල හමුදා ඉවත්ව ගිය විට එහි ගෞරවය හිස්බුල්ලා වෙත හිමිවිය. නිරායුධවීම සඳහා පැමිණි බලපෑම්වලට ප්‍රතිරෝධය දැක්වූ කණ්ඩායම, ෂිබා ගොවිපළවල හා මතභේදයට තුඩුදී තිබූ අනෙකුත් ප්‍රදේශවල ඊශ්‍රායල බලයේ අඛණ්ඩ පැවැත්ම සාධාරණීකරණයක් ලෙස ඉදිරිපත් කරමින්, ලෙබනනයේ දකුණෙහි හිස්බුල්ලා හමුදාවන් දිගටම පවත්වාගෙන ගියේ ය.
2006 දී හිස්බුල්ලා සටන්කාමීන් දේශසීමාව හරහා ප්‍රහාරයක් දියත් කළ අතර, ඉන් ඊශ්‍රායල සෙබළුන් අටදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු පැහැරගනු ලැබුණි. මෙය දැවැන්ත ඊශ්‍රායල ප්‍රතිප්‍රහාරයකට මුල පිරීය.
ලෙබනනයේ දකුණෙහිත්, බේරූට්හි දකුණුදිග නාගරික ප්‍රදේශවලත් පිහිටි හිස්බුල්ලා බල කඳවුරු වෙත ඊශ්‍රායල යුද ගුවන් යානා බෝම්බ හෙළූ අතර, හිස්බුල්ලා විසින් ඊශ්‍රායලය වෙත රොකට් 4,000ක් පමණ එල්ල කළේ ය. දින 34ක් පුරා පැවැති මෙම අර්බුදයෙන් ලෙබනන ජාතිකයින් 1,125කට වැඩි පිරිසක් (බහුතරය සිවිල් වැසියන්) මියගිය අතර, ඊශ්‍රායලයේ සෙබළුන් 119ක් හා සිවිල් වැසියන් 45ක් ද මරණයට පත්විය.
යුද්ධයෙන් නොනැසුණු හිස්බුල්ලා වඩාත් නිර්භීත ලෙස යළි නැගී සිටියේ ය. එය එහි ආයුධ ගබඩාව පුළුල් හා වැඩිදියුණුකර, නව සටන්කාමීන් බොහොමයක් ද බඳවාගෙන ඇති නමුත්, දේශසීමා කලාපය තුළ සැළකිය යුතු අන්දමේ සටනක් සිදුවී නැත. දැන් එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සහ ලෙබනන හමුදාව විසින් එම ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
බලගතු සංවිධානය
2008 දී, ලෙබනනයේ බටහිර-ගැති ආණ්ඩුව හිස්බුල්ලාහි පුද්ගලික සන්නිවේදන ජාලය වසා දමා, එම කණ්ඩායමට සම්බන්ධතා තිබීමේ හේතුව මත බේරූට් ගුවන්තොටුපොළේ ආරක්ෂක ප්‍රධානියා තනතුරින් පහ කිරීමට ක්‍රියා කළේ ය. හිස්බුල්ලා, ලෙබනන අගනුවර විශාල ප්‍රදේශයක් අල්ලාගෙන ප්‍රතිවාදී සුන්නි කණ්ඩායම්වලට එරෙහිව සටන් කරමින් මීට ප්‍රතිචාර දැක්වීය.
පුද්ගලයන් 81 දෙනෙකුට මරු කැඳවමින්, ලෙබනනය නව සිවිල් යුද්ධයක ආසන්නයට ගෙන ආ නිකායික ගැටුම් අවසන් කිරීමට ආණ්ඩුව පසුබැස්සේ ය. බලය බෙදීමේ ගිවිසුමක් විසින් හිස්බුල්ලා සංවිධානයටත්, එහි මිත්‍රපක්ෂයටත් ඕනෑම කැබිනට් තීරණයක් නිෂේධ කිරීමේ බලය ලබාදෙනු ලැබුණි.
2009 මැතිවරණයේ දී එය පාර්ලිමේන්තු ආසන 10ක් දිනාගත් අතර දිගටම සමගි ආණ්ඩුවේ රැඳී සිටියේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
එවසරේම අගභාගයේ දී, හිස්බුල්ලාහි මහලේකම් ෂෙයික් හසන් නස්රල්ලා කණ්ඩායමේ "දේශපාලනික දැක්ම" ඉස්මතු කිරීම අරමුණුකර ගත් නව දේශපාලනික ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිකුත් කළේ ය.
1985 ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගුවූ ඉස්ලාමික ජනරජයක් පිළිබඳ සඳහන එහි ඇතුළත් නොවූ නමුදු, ඊශ්‍රායලයට සහ එක්සත් ජනපදයට එරෙහිව දිගටම දැඩි පිළිවෙතක් පවත්වාගත් අතර හිස්බුල්ලා සංවිධානයට එහි ආයුධ ළඟ තබාගැනීමට අවශ්‍යබව ද එහි සඳහන්විය.
2011 දී, හිස්බුල්ලා සහ මිත්‍රපක්ෂයන් විසින් සෞදියේ පිටුබලය ලද සුන්නි නිකායික සාද් හරීරිගේ නායකත්වයෙන් යුත් සමගි ආණ්ඩුව පෙරළා දැමීමට මුල්විය. 2005 වසරේ දී හරීරිගේ පියා වූ රෆීක් ඝාතනයට හිස්බුල්ලා සාමාජිකයින් සිව්දෙනෙකු චෝදනා ලැබීම සංවිධානය විසින් නොඉවසනබවට එය අනතුරු හැඟවීය.
2020 දෙසැම්බරයේ දී, මෙම ඝාතනයට සම්බන්ධවීමේ හේතුව මත එක්සත් ජාතීන්ගේ පිටුබලය ලද ලෙබනනය සඳහාවූ විශේෂ අධිකරණය විසින් හිස්බුල්ලා සාමාජික සලීම් අයියෂ්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේ ය. මේ නඩු විභාගය හෝ දඬුවම් පැනවීම සඳහා අයියෂ් සහභාගීව සිටියේ නැත.
හිස්බුල්ලා සහ එහි මිත්‍රපක්ෂයන් පසුකාලීනව පත්වූ ආණ්ඩුවල ද කොටස්කරුවන් වූ අතර, ඒවායෙහි දී ඔවුන් සැලකිය යුතු තරමේ බලයක් දරනු ලැබීය.
හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලය සමග යුද්ධයක් අරඹයි ද?
2023 ඔක්තෝබර් 8 වන දින කලින් පැවති ගැටුම් උත්සන්න විය - ගාසාහි සිට හමාස් තුවක්කුකරුවන් විසින් ඊශ්‍රායලයට හිටිහැටියේ එල්ල කළ ප්‍රහාරයෙන් පසු දින - පලස්තීනුවන්ට සහයෝගීතාවයෙන් හිස්බුල්ලා ඊශ්‍රායලයේ ස්ථාන වෙත වෙඩි තැබී ය.
එතැන් සිට, හිස්බුල්ලා කණ්ඩායම උතුරු ඊශ්‍රායලයේ සහ ගෝලන් කඳුකරයේ ඊශ්‍රායලයේ ස්ථාන වෙත රොකට් ප්‍රහාර 8,000කට වැඩි සංඛ්‍යාවක් දියත් කර ඇති අතර, සන්නද්ධ වාහන වෙත යුද්ධ ටැංකි නාශක මිසයිල ප්‍රහාර එල්ල කර, ඩ්‍රෝන මගින් හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර ඇත.
ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව (IDF) ලෙබනනයේ හිස්බුල්ලා ස්ථාන වෙත ගුවන් ප්‍රහාර සහ යුද්ධ ටැංකි සහ කාලතුවක්කු ප්‍රහාර යොදා ගනිමින් ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ.
ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, 2023 ඔක්තෝබර් මාසයේ සිට අවම වශයෙන් පුද්ගලයින් 589 දෙනෙකු මියගොස් ඇති බව ය. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු හිස්බුල්ලා සටන්කාමීන් වූ නමුත් අවම වශයෙන් 137 දෙනෙකු සිවිල් වැසියන් බව අමාත්‍යාංශය පවසයි.
ඊශ්‍රායල් බලධාරීන් පවසන්නේ, ප්‍රහාරවල සෘජු ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් සිවිල් වැසියන් 25 දෙනෙකු සහ සොල්දාදුවන් 21 දෙනෙකු මිය ගොස් ඇති බව ය.
දේශ සීමාවේ දෙපැත්තෙහි ම පුද්ගලයින් 200,000කට ආසන්න පිරිසක් අවතැන් වී තිබේ.
සටන් පැවතිය ද, මේ දක්වා දෙපාර්ශ්වයේ ම ඉලක්කය වී ඇත්තේ පූර්ණ යුද්ධයකට සීමා නොවී සතුරුකම් පාලනය කිරීමට බව නිරීක්ෂකයෝ පවසති. එහෙත් තත්ත්වය පාලනයෙන් මිදී යා හැකි බවට බියක් පවතී.
2024 ජූලි 27 වන දින ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටි ගෝලාන් කඳුකරයේ රොකට් ප්‍රහාරයකින් ළමුන් 12 දෙනෙකු මරා දැමීමෙන් පසුව එම බිය ඉහළ ගියේ ය. හිස්බුල්ලා ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කළ නමුත් හිස්බුල්ලා කණ්ඩායම එය ප්‍රතික්ෂේප කළේ ය.
ජුලි 30 වන දා, ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව නිවේදනය කළේ, බීරූට්හි දකුණු ප්‍රදේශයේ ගුවන් ප්‍රහාරයකින් ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා හමුදාපති ෆුවාඩ් ෂුක්ර් මරා දැමූ බව ය.
පසුදින ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය විය. ඊශ්‍රායලය කිසිදු සම්බන්ධයක් තහවුරු කර හෝ ප්‍රතික්ෂේප කළේ නැත.
එතැන් පටන් මැද පෙරදිග කලාපය හිස්බුල්ලා සහ ඉරානයේ ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටි අතර ඔවුන් දෙදෙනා ම ඊශ්‍රායලයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට සපථ කළහ.
ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමේ ගනුදෙනුවකට මැදිහත් වීමෙන් ආතතීන් උත්සන්න කිරීමට ඇමෙරිකාව බලාපොරොත්තු වන අතර ඊශ්‍රායලයට සහ හමාස් වෙත පීඩනයක් එල්ල කරයි. හිස්බුල්ලා සංවිධානය පවසා ඇත්තේ, ගාසා තීරයේ සටන් අවසන් වූ පසුව පමණක් සතුරුකම් නතර කරන බව ය.
හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ, ඊශ්‍රායලය තම පේජර් සම්බන්ධ ප්‍රහාර සඳහා “සම්පූර්ණයෙන් ම වගකිව යුතු” බවත්, “මෙම පාපකාරී ආක්‍රමණයට එය අපේක්ෂා කළත් නැතත් එහි සාධාරණ දඬුවම නිසැකව ම ලැබෙනු ඇති” බවත් ය.












