ගාසා හා ඊජිප්තුව අතර පිහිටි රෆා දේශසීමාව සති කිහිපයකට පසු පළමු වරට විවෘත වේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ගාසා හා ඊජිප්තුව අතර පිහිටි රෆා දේශසීමාව සති කිහිපයකට පසු නොවැම්බර් 1 වැනිදා පළමු වරට විවෘත විය.
එසේම, ගාසාහි තුවාලකරුවන්ට ඊජිප්තුවේ දී ප්‍රතිකාර ලබාගැනීමට ඉඩ සලසනු පිණිස, ගාසා හා ඊජිප්තුව අතර පිහිටි රෆා දේශසීමා මාරුව අද (නොවැ. 1) යළි විවෘතකරනු ඇතිබවට මීට පෙර "විශ්වසනීය වාර්තා" පළවී ඇතැ යි බ්‍රිතාන්‍යය පවසා තිබුණි.
ඒ අනුව මේ වන විට අවම වශයෙන් රෝගීන් හත් දෙනෙකු මේ හරහා පැමිණ ඇත. පළමු අදියරේදී තුවාල ලැබූ පලස්තීනුවන් 88 දෙනෙකු සහ විදේශීය ජාතිකයින් 500 කට පමණ එයින් පිටතට යාමට ඉඩ දෙනු ඇතැයි විශ්වාස කෙරේ.
ගාසා තීරයේ සන්නිවේදන සේවා යළි විසන්ධි කෙරෙයි
ගාසා තීරයේ දුරකථන සහ අන්තර්ජාල සේවා "සම්පූර්ණයෙන්ම කපාහැර ඇතැ"යි ගාසාහි විශාලතම සන්නිවේදන සැපයුම් ආයතනය ප්‍රකාශකර තිබුණි. ගාසාහි බීබීසී වාර්තාකාර රුෂ්දී අබුවලූෆ් මේ බව තහවුරු කළේ ය. මේ, සතියක් තුළ ඇතිකළ දෙවැනි සන්නිවේදන අවහිරය යි.
අඟහරුවාදා (ඔක්. 31) ගාසා තීරය තුළ ගොඩබිම් සටනක දී ඊශ්‍රායල සෙබළුන් 11 දෙනෙකු මියගියබව ඊශ්‍රායලය ප්‍රකාශ කරයි. ඊශ්‍රායලය ගුවනින් ද ගාසා තීරයට පහර දෙන අතර, යුද්ධය ඇරඹි දා පටන් ඉලක්ක 11,000කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ලකර ඇතැ යි පවසයි.
ඊශ්‍රායල ආරක්ෂක බලකායන් හමාස් ඉලක්ක කරමින් අඟහරුවාදා (ඔක්. 31) උතුරුදිග ගාසාවේ ජබාලියා නගරයට පහරදුන්බව එම බලකායන් තහවුරු කළේ ය. මේ ප්‍රහාරය හේතුවෙන් දුසිම් ගණනක් මරණ වාර්තාවිය.
මේ ප්‍රහාරය නිසා දරුණු පිළිස්සුම් තුවාල ලැබූ කුඩා දරුවන් ගාසා නගරයේ අල් ෂිෆා රෝහල වෙත ගෙන ආ බව, එම රෝහලේ ස්වේච්ඡා සේවයේ යෙදෙන 'ඩොක්ටර්ස් විතවුට් බෝඩර්ස්' සංවිධානයේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය පැවසීය.
මේ අතර, ගාසා තීරයට එල්ලකරන "ආක්‍රමණශීලී සහ ප්‍රමාණානුකූල නොවන" ප්‍රහාර නිසා, ඊශ්‍රායලය සමග පැවැත්වූ රාජ්‍යතාන්ත්‍රික සබඳතා කපා හරිනබව බොලිවියාව ප්‍රකාශ කළේ ය.
බොලිවියානු නියෝජ්‍ය විදේශ ඇමති ෆ්‍රෙඩී මාමනි, මෙම තීරණය "ගාසා තීරය තුළ සිදුකෙරෙන ආක්‍රමණශීලී සහ ප්‍රමාණානුකූල නොවන ඊශ්‍රායල හමුදා ප්‍රහාරය ප්‍රතික්ෂේප කිරීමේ හා හෙළා දැකීමේ" අරමුණින් ගත්බව වාර්තාකරුවන්ට පැවසීය.
මේ හා සමානව, කොලොම්බියාවේ සහ චිලී රාජ්‍යයේ නායකයන් ද ඊශ්‍රායල ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින්, ඊශ්‍රායලයට පත්කර ඇති එම රටවල තානාපතිවරුන් යළි කැඳවා තිබේ.
ඔක්තෝබර් හත්වන දා සිට මියගිය මුළු ඊශ්‍රායල සෙබළුන් සංඛ්‍යාව මේ වන විට 326 දක්වා ඉහළ නැග තිබේ. ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ගාසා වැසියන් සංඛ්‍යාව 8,500කට වැඩිබව, හමාස් විසින් පාලනය කෙරෙන ගාසා සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඊශ්‍රායල අගමැති හමාස් සමග සටන් විරාමයකට එළඹීම ප්‍රතික්ෂේප කරයි
සටන් විරාමයක් සඳහා කරන ලද ඉල්ලීම් වලට එකඟ වීම හමාස් වෙත යටත් වීමක් බව පවසමින් ගාසා තීරයේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් එය ප්‍රතික්ෂේප කොට තිබේ.
ටෙල් අවිව්හි දී අදහස් දක්වමින් නෙතන්යාහු බයිබලය උපුටා දක්වමින් කියා සිටියේ "මෙය යුද්ධය සඳහා කාලයක් " යනුවෙනි.
මේ අතර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමකදී එක්සත් ජාතීන්ගේ ආධාර ආයතන මානුෂීය සටන් විරාමයක් සඳහා වූ ඔවුන්ගේ ඉල්ලීම් නැවත නැවතත් ප්‍රකාශ ක ඇත.
ගාසා තීරයේ තත්වය පැයෙන් පැය නරක අතට හැරෙමින් පවතින අතර, "මෙහි සැබෑ පිරිවැය දරුවන්ගේ ජීවිත තුළින් මැනෙනු ඇති බව" යුනිසෙෆ් පවසයි.
ගාසා තීරය වැටලීම 'ඊළඟ අදියරේ සටනට සූදානමක්' බව ඊශ්‍රායලය කියයි

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) උතුරු ගාසා තීරයේ යුධ ටැංකි යොදා ගනිමින් "ඉලක්කගත වැටලීමක්" සිදු කරයි.
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ අපේක්ෂිත ගොඩබිම් ආක්‍රමණය මෙතෙක් දියත් කර නැති නමුත් මෙම වැටලීම "සටන්වල මීළඟ අදියර සඳහා සූදානමක්" බව පවසයි.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) පවසන්නේ පැය ගණනක් පැවති මෙම වැටලීම හරහා ඊශ්‍රායල තුවාලකරුවන් නොමැතිව "ත්‍රස්තවාදීන් තුරන් කළ" බවයි.
ඊශ්‍රායලය ගාසා භූමි ආක්‍රමණයට සූදානම් වන නමුත් එය කවදාදැයි ප්‍රකාශ නොකරන බව ඊශ්‍රායල අගමැති කියයි
ඊශ්‍රායලය ගාසා තීරයේ භූමි ආක්‍රමණයකට සූදානම් වන නමුත් එය කවදා සිදුවේදැයි තමන් ප්‍රකාශ නොකරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු යළි අවධාරණය කරයි.
"මෙය ආරම්භය පමණයි" යනුවෙන් ටෙල් අවිව් නුවර සිට රූපවාහිනීය ඔස්සේ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මේ අතර, ගාසා තීරයේ ඉන්ධන අවසන් වීමත් සමඟ රෝහල් හදිසි සේවා හැර අනෙකුත් සියලු සේවා නවතා දමා තිබේ. ඊශ්‍රායලය ගාසා තීරයට ඉන්ධන සැපයීම අවහිර කර ඇති අතර හමාස් සංවිධානය ඉන්ධන ගබඩා කර ඇති බවට චෝදනා කරයි.
ගාසා තීරයේ පිහිටි සිය මානුෂීය ඒජන්සිය ද එවැනිම ඉන්ධන හිඟයකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරි පැය කිහිපය තුළ එය වසා දැමීමට සිදුවනු ඇතැයි ප්‍රකාශ කොට තිබේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ ඊශ්‍රායලය සහ හමාස් අතර යුද්ධය පිළිබඳව තමන් අඟහරුවාදා කළ ප්‍රකාශයට දක්වා ඇති ප්‍රතිචාරය සම්බන්ධයෙන් තමන් "කම්පනයට පත් ව" ඇති බවයි.
ගාසා තීරයේ දී ‘මානුෂීය නීතිය පැහැදිලිව ම උල්ලංඝනය කර ඇති’ බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා කියයි
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසන්නේ "ගාසා තීරයේ අප දකින ජාත්‍යන්තර මානුෂීය නීතියේ පැහැදිලි උල්ලංඝනයන් පිළිබඳව තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින" බවයි.
සිවිල් වැසියන් "මිනිස් පලිහ" ලෙස භාවිතා කිරීම සහ ඉවත් කිරීමේ නියෝගයකින් පසු දකුණු ගාසා තීරයට බෝම්බ හෙලීම හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මේ බව ප්‍රකාශ කළේය.
ඊශ්‍රායලය වෙත එලල කෙරුණු හමාස් ප්‍රහාරය “රික්තයක් හමුවේ සිදු වූවක් නොවන බව” ගුටරෙස් යෝජනා කිරීමෙන් පසුව ඊශ්‍රායල රාජ්‍ය තාන්ත්‍රිකයින් මේ සම්බන්ධයෙන් කෝපයෙන් ප්‍රතිචාර දැක්වූහ.
ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් දේශනයකදී කළ “අමුතු” ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඔහු ඉල්ලා අස්විය යුතු බවයි.
ආධාර ප්‍රමාණවත් තරම් "ඉක්මනින් නොලැබෙන බව" එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් පවසන අතර ආධාර ට්‍රක් රථ අටක් අද ගාසා තීරයට ඇතුළු වූ බව පලස්තීන රතු අඩ සඳ ව්‍යාපාරය ප්‍රකාශ කළේය.
හමාස් සංවිධානය විසින් පැහැරගත් ප්‍රාණ ඇපකරුවන් 200 කට වැඩි පිරිසක් ගාසා තීරයේ දිගටම රඳවා සිටින අතර මේ වන විට ඉන් හතර දෙනෙකු නිදහස් කොට තිබේ.
ඊශ්‍රායලය ගාසා තීරයට දැඩි බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර හමාස් පාලනයේ පවතින ප්‍රදේශයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඔක්තෝබර් 7 වනදා සිට 5,800 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බවයි.
හමාස් තුවක්කුකරුවන් විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලින් 1,400 කට වැඩි පිරිසක් මිය ගියහ.
හමාස් සටන්කාමීන් තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කරයි

හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් අතරින්, වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙකු වන නූරිට් කූපර් සහ යෝචෙෆ් ලිෆ්චෙස්ට් හමාස් සංවිධානය විසින් නිදහස් කරනු ලැබ ඇති නමුත් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් තවමත් රඳවාගෙන සිටින බව ඊශ්‍රායලය තහවුරු කර තිබේ.
සඳුදා සවස හමාස් විසින් නිදහස් කරන ලද මෙම ප්‍රාණ ඇපකරුවන් දෙදෙනා 79 හැවිරිදි සහ 85 හැවිරිදි වියේ පසුවන අතර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ටෙල් අවීව් වෙත රැගෙනවිත් තිබේ.
"මානුෂීය" සහ සෞඛ්‍ය හේතු මත කාන්තාවන් නිදහස් කළ බව හමාස් සංවිධානය පැවසීය.
ඊශ්‍රායලයෙන් ගාසා තීරයේ 'සීමිත වැටලීම්'

ඡායාරූප මූලාශ්‍රය, EPA
සිය හමුදා පසුගිය පැය 24 තුළ ගාසා තීරයේ ආරක්ෂිත වැටට බටහිර දෙසින් ඇතුළු වූ බවත්, ත්‍රස්තවාදීන්, ආයුධ සහ ප්‍රාණ ඇපකරුවන් සොයා මෙහෙයුමක් දියත් කළ බවත් ඊශ්‍රායල් හමුදාව පවසයි.
ඊශ්‍රායල් ආරක්ෂක බලකායට අනුව, එම මෙහෙයුම අතරතුර හමාස් සංවිධානය මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.
හමාස් සංවිධානය කියා සිටියේ තමන් දකුණු ගාසා තීරයේදී ඊශ්‍රායල් යුද ටැංකියක් විනාශ කළ බවයි; යුද ටැංකි නාශක මිසයිල ප්‍රහාරයකින් තම එක් සොල්දාදුවෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක බලකාය (IDF) පැවසීය.
හමාස් සන්නද්ධ අංශය පවසන්නේ මෙම ගැටුම දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් නගරයට නැගෙනහිරින් සිදුවූ බවත් ඊශ්‍රායල සොල්දාදුවන් "මීටර් කිහිපයක්" ඔබ්බට ආරක්ෂිත වැට තරණය කළ බවත්ය.
හමාස් සන්නද්ධ අංශය පවසන්නේ තමන් “ආක්‍රමණික හමුදාව සමඟ ගැටුණු” බවත් ඊශ්‍රායල් බුල්ඩෝසර් දෙකක් සහ ටැංකියක් විනාශ කළ බවත්ය.
හමාස් සටන්කාමීහූ (ඔක්.7 වැනිදා), ගාසා තීරය ආසන්නයේ ඊශ්‍රායල් ප්‍රජාවන්ට ප්‍රහාර එල්ල කරමින්, ඔවුන්ගේ නිවෙස්වල, වීදිවල සහ සංගීත උත්සවයක සිටි සිවිල් වැසියන්ට වෙඩි තැබීමෙන් ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,400 කට වැඩි පිරිසක් මිය ගියහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හමාස් සංවිධානය විසින් පාලනය කරන ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලය ඊට ප්‍රතිප්‍රහාර වශයෙන් භූමියට බෝම්බ හෙලීමට පටන් ගත් දා සිට පුද්ගලයින් 4,600 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවය.
ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව පවසන්නේ, ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු, බටහිර ඉවුරේදී තමන්ට අවශ්‍ය සිටි පලස්තීනුවන් 800ක් පමණ අත්අඩංගුවට ගත් බවය. හමාස් සංවිධානයට සම්බන්ධ 500කට අධික පිරිසක් ඊට ඇතුළත්ය.
හමාස් සාමාජිකයින් 37 දෙනෙකු ඊයේ රාත්‍රිය පුරාවට අත්අඩංගුවට ගත් බවද ඊශ්‍රායල් හමුදාව පැවසීය.
ගාසා තීරයට තවත් මානුෂීය ආධාර රැගත් ලොරි පිටත්ව යයි
බටහිර නායකයින් සිවිල් වැසියන් ආරක්ෂා කළ යුතු බවට අවධාරණය කරන පසුබිම තුළ ගාසා තීරය වෙත තවත් ආධාර තොගයක් යවා තිබේ.
මානුෂීය ආධාර රැගත් තවත් ට්‍රක් රථ 14ක් ගාසා තීරයට යැවූ බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ ප්‍රධානී මාර්ටින් ග්‍රිෆිත්ස් නිවේදනය කළේය.
ආධාර රැගත් ට්‍රක් රථ 14 කින් සමන්විත දෙවන මානුෂීය රථ පෙළට ගාසා තීරයට ඇතුළු වීමට අවසර ලද බව සඳහන් කරමින් මාර්ටින් ග්‍රිෆිත්ස් සඳහන් කළේ, මෙය ගාසාහි ජනතාව ලද "බලාපොරොත්තුවේ කුඩා ආලෝකයක්" බවය.
Oxfam පුණ්‍යායතනය ආධාර යැවීමට අවසර දීම ගැන සිය ප්‍රසාදය පළ කළ නමුත් "දිනකට ට්‍රක් රථ කිහිපයක් යැවීම ප්‍රමාණවත් නොවන" බව අවධාරණය කළේය.
ඊශ්‍රායලය ගාසා වෙත බෝම්බ හෙලීම වේගවත් කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම තීව්‍ර කිරීමට ප්‍රතිඥා දී ඇති අතර තවදුරටත් උතුරු ගාසාහි රැඳී සිටින පලස්තීන සිවිල් වැසියන්ට දකුණට පලා යන ලෙස අනතුරු අඟවා තිබේ.
ඊශ්‍රායල් හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ මෙය "යුද්ධයේ මීළඟ අදියරේදී අපගේ හමුදාවන්ට ඇති අවදානම අවම කිරීමට" ඉඩ සලසන බවයි - මීළඟ අදියර ගොඩබිම් ආක්‍රමණයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මධ්‍යම ගාසාහි රෝහලකදී ගත් ඡායාරූපක දැක්වෙන්නේ අවම වශයෙන් ළමුන් 12 දෙනෙකුගේ ඇතුළු මළ සිරුරු පේළියට තබා ඇති අයුරුය. ඔවුන් මිය ගියේ කවදාද කොහේදී ද යන්න පැහැදිලි නොමැත.
රෝහලේ කාර්ය මණ්ඩලයේ එක් සාමාජිකයෙක් බීබීසීයට පැවසුවේ මියගිය අයගේ සිරුරු එතීමට රෙදිපිළි පවා නොමැති බවය.
හමාස් සංවිධානය පවසන්නේ පසුගිය පැය 24 තුළ එල්ල වූ ප්‍රහාර වලින් පලස්තීනුවන් 266 දෙනෙකු ඝාතනය කර ඇති අතර, ඊට ළමුන් 117 දෙනෙකු ද ඇතුළත් බවය. ඊශ්‍රායලය පවසන්නේ තමන් එක රැයකින් "ත්‍රස්තවාදීන් දුසිම් ගණනක්" මරා දැමූ බවයි.
හමාස් සංවිධානය ඇමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස කරයි

ඡායාරූප මූලාශ්‍රය, US Embassy Jerusalem
ඊශ්‍රායලයට පසුගිය (ඔක්.7 වැනිදා) හදිසි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු, පලස්තීන හමාස් සංවිධානය විසින් පළමුවරට ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙක් නිදහස් කර තිබේ - මෙලෙස නිදහස් කරනු ලැබුවේ ඇමෙරිකානු මවක සහ දියණියකි.
හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයෙන් පැහැරගත් 200ක් පමණවන ප්‍රාණ ඇපකරුවන් අතර ජුඩිත් සහ නටාලි රානන් ද විය. කටාර් රාජ්‍යයේ සහාය ඇතිව ඔවුන්ගේ නිදහස තහවුරු විය.
මෙම මව සහ දියණිය දැන් ගාසා තීරයෙන් පිටව ගොස් ඇති අතර මොවුන් දෙදෙනාගේ නිදහස් කිරීම සාදරයෙන් පිළිගත් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඔවුන් සමඟ දුරකථන සංවාදයක ද නිරතව තිබේ.
ඇමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනා වන නටාලි සහ ජුඩිත් රානන් - එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සමඟ දුරකථනයෙන් කතා කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් ජෙරුසලමේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් මුදා හරින ලදි.
ජුඩිත් සහ නටාලි රානන් ගාසා තීරයෙන් නිදහස් කිරීම පිළිබඳ එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය රිෂී සුනක් ද ප්‍රසාදය පළ කළ අතර කටාර් රාජ්‍යය "මෙම ගැටලුව සම්බන්ධයෙන් නායකත්වය ගැනීම ගැන" ස්තූතිය පුද කළේය.
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ උත්සාහයන් පිළිබඳව ගල්ෆ් රාජ්‍යයේ එමීර්වරයා වන ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි සමඟ තමන් සාකච්ඡා කළ බවද සුනක් පැවසීය.
පසුගිය ඔක්.7 වැනිදා හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,400 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.
අනතුරුව ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර වශයෙන් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ අතර පලස්තීන බලධාරීහු පවසන්නේ එම ප්‍රහාර වලින් ගාසා තීරයේ පුද්ගලයින් 4,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවය.
ඊජිප්තුවේ රෆා හරස් මාර්ගය ඔස්සේ ගාසා වෙත ආධාර යැවීම ඇරඹේ

ඡායාරූප මූලාශ්‍රය, EPA
මිලියන 2.2ක ජනතාවට යම් සහනයක් ගෙන දෙමින්, අත්‍යවශ්‍ය ආධාර රැගත් ට්‍රක් රථ සීමිත ප්‍රමාණයක් මේවන විට ගාසා වෙත ආධාර රැගෙන ගොස් තිබේ.
ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය ගාසා තීරය වෙත විදුලිය, බොහෝ ප්‍රදේශවල ජලය සහ ආහාර හා ඖෂධ සැපයුම් නතර කළේ ය.
ඊජිප්තුවේ රෆා පිවිසුම් මාර්ගය හරහා ඇතැම් සැපයුම්වලට ඇතුළු වීමට ඉඩ දීම සඳහා එක්සත් ජනපදය හා ඊජිප්තුව එකඟතාවකට පැමිණ තිබේ.
නමුත් එම සැපයුම් ප්‍රමාණවත් නොවන බවට මානුෂීය සංවිධාන අනතුරු අඟවයි.
"ගාසා තීරයේ වෙසෙන මිලියන සංඛ්‍යාත සිවිල් වැසියන්ට ආධාර කරන්න අවම වශයෙන් ට්‍රක් රථ 100කවත් මානුෂීය ආධාර අවශ්‍යයි කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරලා තියෙනවා", නෝර්වේජියානු සරණාගත කවුන්සිලයේ ෂයිනා ලෝ බීබීසීයට පැවසුවා ය.
ලෝක ආහාර වැඩසටහනේ අබීර් ඉටීෆා ප්‍රකාශ කළේ, මෙම භූමි ප්‍රදේශයේ [ගාසා තීරයේ] තත්ත්වය "ඉතා නරක" අතට හැරෙමින් පවතින බව ය.
"ආහාර සහ ජල සැපයුම් අවසන් වෙමින් යන්නේ. බේකරි - ඒවායින් බොහොමයක නිෂ්පාදන කටයුතු නතර වෙලා."
එක්සත් ජාතීන්ගේ සහන ආයතනය වන UNRWAහි කොමසාරිස් ජනරාල් ෆිලිප් ලස්සරීනි බීබීසීය වෙත පැවසුවේ, යුද්ධය ආරම්භ වීමට පෙර දිනකට ට්‍රක් රථ 500ක් පමණ ගාසා තීරයට ඇතුළු වූ බව ය. ප්‍රදේශයේ ජීවත් වන මිලියන 1.2ක පමණ ජනතාවක් ඔක්තෝබර් 7 වන දාට වන විටත් යැපුණේ, UNRWA වෙතින් ලැබුණු ආහාර ආධාරවලිනි.
"ගාසා තීරයේ දිළිඳුකම සෑහෙන ඉහළ මට්ටමක තියෙන්නේ. යුද්ධයට කලින් පවා තත්ත්වය ඉතා දුෂ්කර තැනක තිබුණේ - දැන් ඒක දුක්ඛිත තත්ත්වයකට හැරෙමින් තියෙන්නේ," අමාන්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශිකා ජුලියට් ටූමා පැවසුවා ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කරන්නේ, ගාසා තීරයේ පුද්ගලයෙකුගේ සාමාන්‍ය ජල පරිභෝජනය ලීටර් තුනක් පමණක් බව ය
රෆා පිවිසුම හරහා සීමිත ආධාර ප්‍රමාණයක් ලබා දීමේ එකඟතාවට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆටා අල්-සිසි විසින් බදාදා එළඹිණි.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු බදාදා තහවුරු කළේ, ඊශ්‍රායලය ඊජිප්තුවේ සිට දකුණු ගාසා තීරයේ සිවිල් ජනතාව වෙත යවන සැපයුම් "අවහිර නොකරන" බව ය.
කෙසේ වෙතත්, ඉන්ධන වැනි අත්‍යවශ්‍ය සැපයුම් සඳහා නොව ආහාර, ජලය සහ වෛද්‍ය සැපයුම් සඳහා පමණක් ඉඩ දීමට ඔහුගේ රජය එකඟ විය.
ගාසා තීරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් වූයේ, ඉන්ධන අත්‍යවශ්‍ය බව ත්, ලවණ ඉවත් කිරීමේ යන්ත්‍ර සහ ජල පොම්ප තවදුරටත් ක්‍රියා කළ නොහැකි බැවින් ඉන්ධන නොමැතිකම ජල අර්බුදයට දායක වන බව ත් ය.
ඉන්ධන ලබා දීමට නොහැකි වුවහොත් ජලය රැගෙන යාමට තවත් ට්‍රක් රථ විශාල ගණනක් අවශ්‍ය වනු ඇති බව ලස්සරීනි පැවසුවාය.

ආධාර ලබා දීම සඳහා එළඹි ගිවිසුම, ගාසා තීරයේ සිටින මිලියන ගණනකට බලාපොරොත්තුවක සංඥාවක් ලබා දෙයි. මෙම සාකච්ඡාවලට පෙර, ඕනෑ ම ආකාරයක ආධාරයක් සිවිල් වැසියන් වෙත ළඟා වන්නේ කෙසේ ද යන්න අපැහැදිලි විය.
කෙසේ වෙතත්, හමාස් සංවිධානය විසින් රඳවා ගනු ලැබ සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු කිසිදු ආධාරයකට තම භූමිය හරහා යාමට ඉඩ නොදෙන බව ඊශ්‍රායලය පවසා ඇති අතර, ආධාර තවමත් රෆා පිවිසුම හරහා ගාසා තීරයට පැමිණ නැත.
බීබීසී පුවත් සේවයට අදහස් දක්වමින් ඊජිප්තු විදේශ අමාත්‍ය සමේ ෂුක්රි පැවසුවේ, ඒ, එම හරස් මාර්ගය ගුවන් බෝම්බ ප්‍රහාර හතරකට ලක්ව තිබුණු නිසා බව ත්, ලොරි සහ ට්‍රක් රථවලට ගාසා තීරයට ආරක්ෂිතව ගමන් කිරීමට අවසරයක් නොතිබුණු නිසා බව ත් ය.
"පිවිසුම් මාර්ගයට දිගින් දිගට ම බෝම්බ හෙලන්නේ ඇයි ද යන්න සහ කවුරුන් විසින් බෝම්බ හෙලනු ලබනවා ද යන්න ගැන විමර්ශනයක් සිද්ධ වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා," ඔහු පවසයි.
ආධාර අවශ්‍ය පිරිස් වෙත ඒවා ලැබෙන්නේ කවදා ද යන්න පිළිබඳ නිශ්චිත කාලරාමුව අපැහැදිලි ය. මොනයම් හෝ ට්‍රක් රථයකට ඇතුළු වීමට පෙර රෆා පිවිසුමේ මාර්ගය අලුත්වැඩියා කිරීම අවශ්‍ය වේ.
බදාදා, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ, පළමු ට්‍රක් රථ පෙළට සිකුරාදා ගාසා තීරයට පැමිණීම ආරම්භ කළ හැකි බව ය.
නමුත් ඊජිප්තු ආහාර බැංකුවේ මෝසන් සර්හාන් අනතුරු ඇඟවූයේ, කාලය මෙන් ම සැපයුම් අවසන් වෙමින් පවතින බව ය. ආධාර ගෙන යාම සඳහා ලොරි රථ 120ක් සූදානම් බව ත් ආරක්ෂිත මාර්ගයක ගමන් කිරීම සඳහා ඒවා දේශසීමාවේ නවතා ඇති බව ත් ඔහු පැවසීය.
"අපිට හොඳට ම කේන්ති ගිහින් තියෙන්නේ. මොක ද එහෙ ඉන්න මිනිස්සුන්ට වතුර නැහැ කියලා අපි දන්නවා. ඒ අයගේ මෘත දේහ බහාලන මලු පවා ඉවර වෙලා. එයාලගේ හැමදේ ම ඉවර වෙලා."
ඊශ්‍රායල-ගාසා යුද්ධය පිළිබඳ වැඩි විස්තර
- අවසන් යාවත්කාලින කිරීම (ඔක්තෝම්බර් 19): මෙතෙක් සිදුවුයේ කුමක්ද ?
- ඊශ්‍රායල සහ පලස්තීනය: ඊශ්‍රායලයේ හා ගාසා තීරයේ සිදුවන්නේ කුමක් ද? එය මේ මොහොතේ සිදුවන්නේ ඇයි?













