ගාසා තීරයේ ඊශ්‍රායල් ගොඩබිම් ප්‍රහාරයක් කෙසේ සිදුවනු ඇති ද?

ඊශ්‍රායලය ගාසා තීරය ආසන්නයේ හමුදා භටයින් සහ උපකරණ රැස්කරමින් සිටියි
ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායලය ගාසා තීරය ආසන්නයේ හමුදා භටයින් සහ උපකරණ රැස්කරමින් සිටියි
    • Author, ජොනතන් බීල්
    • Role, ආරක්ෂක වාර්තාකරු

ඊශ්‍රායලය ගොඩබිම ඔස්සේ ගාසා තීරය ආක්‍රමණය කිරීමට සූදානම් වන බව පෙනේ.

ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ වෙසෙන මිලියන 1.1ක ජනතාවට එහි දකුණු ප්‍රදේශය වෙත ඉවත්ව යන ලෙස ඊශ්‍රායල් හමුදාව කළ නියෝගය අනුව මේවන විටත් ලක්ෂ 5කට අධික පිරිසක් උතුරු ගාසා තීරයෙන් ඉවත්ව ඇත. ඒ අතරතුර, ඊශ්‍රායලය එරට දේශසීමා මායිම ආසන්නයට දස දහස් ගණනක් හමුදා භටයින්, යුද්ධ ටැංකි සහ කාලතුවක්කු රැස් කරමින් සිටිති.

එහෙත් ගාසා තීරයේ ජනාකීර්ණ නාගරික ප්‍රදේශවලට ගොඩබිම ඔස්සේ හමුදා යැවීම අන්තරාදායක මෙහෙයුමකි.

ගොඩබිම ඔස්සේ කොපමණ පරිමාණයකින් යුක්ත ප්‍රහාරයක් දියත් කෙරෙනු ඇතැයි ද යන්න පිළිබඳව මෙන් ම ආක්‍රමණය කොතෙක් දුරකට, කොපමණ කාලයක් සිදුවනු ඇතැයි ද යන්න පිළිබඳව ද මෙතෙක් පැහැදිලි චිත්‍රයක් නොමැත.

එය කවදා සිදුවිය හැකි ද?

ගොඩබිම ඔස්සේ ප්‍රහාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර මේවන විටත් ගෙන තිබේ.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ (IDF) බොහෝ පළපුරුදු ඇති නිලධාරියෙකු වන මේජර් ජෙනරල් ඒමස් ගිලියඩ් පවසන්නේ, ඊශ්‍රායලයේ පළමු කර්තව්‍යය වූයේ ඊළඟට සිදුවන දේ සඳහා මහජන සහයෝගය ලබා ගැනීම සඳහා එක්සත් රජයක් නිර්මාණය කිරීම බව ය.

එක්සත් ජනපද සහ යුරෝපීය ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ගේ මෑත කාලීන ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සංචාර ඊශ්‍රායලයට ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට ඉඩ සලසා දී ඇති නමුත් එම සහයෝගීතාව මෙම යුද්ධය පවතින කාල සීමාව දීර්ඝ වීමත් සමග සහ සිවිල් වැසියන්ගේ ජීවිතවලට සිදුවන හානි ඉහළ යාමත් සමග අභියෝගයට ලක් විය හැකි ය. ඕනෑ ම ආකාරයක මිලිටරි මෙහෙයුමකදී ඊශ්‍රායල හමුදා භටයින්ට සැලකිය යුතු හානියක් සිදු වුවහොත් ඉන් ඔවුන්ගේ අධිෂ්ඨානය පරීක්ෂාවට ලක් කෙරනු ඇත.

ගොඩබිම ඔස්සේ ප්‍රහාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර මේවන විටත් ගෙන තිබේ.

මිලිටරි සූදානම සම්බන්ධයෙන් ගත් කල, ඊශ්‍රායලය දැනටමත් ගාසා තීරයේ දේශසීමා ආසන්නයේ සිය හමුදා රැස්කර ඇත. 160,000කට වැඩි ක්‍රියාකාරී භට පිරිසක් සමගින් 300,000 පමණ සංචිත භටයන් [පූර්ණ කාලීන භටයන් නොවේ] ස්ථානගත කර තිබේ.

සංගීත උත්සවයකදී පුද්ගලයින් 260කට වැඩි පිරිසක් ඝාතනයට ලක් කරමින් ප්‍රහාරයක් එල්ල වූ ප්‍රදේශයක ඊශ්‍රායල හමුදා භටයන් මුර සංචාරයක යෙදී සිටින අයුරු

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, සංගීත උත්සවයකදී පුද්ගලයින් 260කට වැඩි පිරිසක් ඝාතනයට ලක් කරමින් ප්‍රහාරයක් එල්ල වූ ප්‍රදේශයක ඊශ්‍රායල හමුදා භටයන් මුර සංචාරයක යෙදී සිටින අයුරු

දකුණු ප්‍රදේශයට මෑතකදී පැමිණි ඇතැම් සංචිත භටයන් සමග අපි කතා කළෙමු. ඔවුන්ගේ චිත්ත ධෛර්යය ඉහළ මට්ටමක පවතින බව පෙනෙන අතර ඔවුන් සිටින්නේ සටන් කිරීමට සූදානමිනි.

හමාස් ප්‍රහාරය පිළිබඳ පුවත මුල් වරට ඇසෙන විට නිසීම් සිටියේ ශ්‍රී ලංකාවේ වන නමුත් ඔහු තම සාමාජිකයන් සමග එක් වීමට, තිබුණු පළමු ගුවන් යානයෙන් ම නැවත ඊශ්‍රායලය වෙත ආවේ ය. "මේක අපේ ගෙදර. අපි ඒ වෙනුවෙන් සටන් කරන්න ඕන," ඔහු පවසයි.

ඊශ්‍රායලය පියවර ගැනීමට අවශ්‍ය ම මොහොතේ එක්සත් වී ඇති බව පෙනේ. ඔවුන් තමන්ට නියෝග ලැබෙන තුරු බලා සිටින අතරතුර කාලය ද කෙමෙන් ගෙවී යයි. භට පිරිස දිගු කාලයක් බලා සිටින තරමට, සූදානම සහ චිත්ත ධෛර්යය පවත්වා ගැනීම දුෂ්කර වනු ඇත.

ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන්ට දකුණට පළා යන ලෙස ඊශ්‍රායලය කළ අනතුරු ඇඟවීම සිය හමුදා මෙහෙයුමේ මීළඟ අදියර අත ළඟ බව සංඥා කිරීමකි.

පහරදීම සඳහා සූදානම් වීම

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඊශ්‍රායලයේ පළමු කර්තව්‍යය වූයේ තම භූමිය ආරක්ෂා කර ගැනීම සහ දේශසීමා හරහා පැමිණ 1,400කට වැඩි පිරිසක් මරා දැමූ සහ අවම වශයෙන් 150 දෙනෙකු පැහැරගත් හමාස් සටන්කාමීන් මරා දැමීම හෝ ඔවුන් ග්‍රහණයට ගෙන ප්‍රශ්න කිරීම ය.

ඊශ්‍රායලය දැනටමත් හමාස් සංවිධානයේ ඉහළ පෙළේ නායකයින් සහ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් දැඩි ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටියි. ගතවුණු දින 8 තුළ එරට ගුවන් හමුදාව ගාසා තීරයට බෝම්බ 6,000කට වැඩි ගණනක් හෙළා ඇත. සංසන්දනාත්මකව ගත් කල, 2011 ලිබියාවේ සමග පැවති යුද්ධය පුරාවට ම නේටෝ හමුදා විසින් හෙළනු ලැබ තිබුණේ බෝම්බ 7,700ක් පමණි.

මේ වන විට ගාසා තීරයට එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 2450කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ආක්‍රමණය සඳහා සැලසුම් ඉතා සියුම්ව ආරක්ෂා කළ රහසක් වන නමුත් ඊශ්‍රායලය ඒ සඳහා වසර ගණනාවක් තිස්සේ සූදානම් වෙමින් සිටියි. ඔවුහු මිනි-ගාසා ලෙස නම් කර ඇති දකුණු ප්‍රදේශයේ ස්ථාපානය කර ඇති ඩොලර් මිලියන ගණනක් වටිනා නාගරික යුද්ධ මධ්‍යස්ථානයක හමුදා පුහුණු කරමින් සිටිති.

එහිදී ඔවුන් ගොඩනැගිලි අතර ඉතා කුඩා ඉඩක් ඇති සහ උමං මාර්ගවලින් සෑදුනු පැටලිලිසගහත මං හරහා සටන් කරන ආකාරය ඉගෙන ගෙන ඇත. හමාස් සටන්කාමීන් විසින් [උමං මාර්ග] 1,000කට අධික ගණනක් ඉදිකරනු ලැබ ඇතැයි සැලකේ.

ජෙරුසලම් පෝස්ට්හි හිටපු කර්තෘ සහ ඊශ්‍රායල හමුදාව පිළිබඳ කෘති කිහිපයක කතුවරයා වන යාකොව් කැට්ස් පවසන්නේ, යුද්ධ ටැංකි සහ පාබල හමුදා සමග කටයුතු කරන සන්නද්ධ බුල්ඩෝසර් බල ගැන්වීමට යෙදවූ ඉන්ජිනේරුවන් ද ඒකාබද්ධ කරගෙන ගොඩනගන ලද මෙම විශේෂඥ බලසේනා තුළ මේ වෙනුවෙන් ම ක්‍රියාත්මක වීමට හමුදාව හැඩගස්වා ඇති බව ය.

නාගරික සටන් බිම සහ උමං මාර්ග

හිටපු IDF අණ දෙන නිලධාරියෙකු සහ ජාතික ආරක්ෂක උපදේශකයෙකු වන මේජර් ජෙනරල් යාකොව් ඇමිද්‍රෝර් හමාස් සටන්කාමීන් සමග සටන් කිරීම දුෂ්කර වනු ඇති බව පිළිගනියි. හමාස් සංවිධානය විසින් ඇතුළු වන ස්ථානවල සහ පටු වීදි දිගේ මර උගුල් සහ වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය අටවනු ලැබ ඇති බව ඔහු පවසයි.

ඊශ්‍රායලය විශ්වාස කරන්නේ, හමාස් සංවිධානයේ භටයින් 30,000ක් පමණ සිටින බව ය. ඔවුන්ගේ ආයුධ අතරට ස්වයංක්‍රීය රයිෆල්, රොකට් ලෝන්චර් සහ රුසියාවේ නිෂ්පාදිත කෝර්නෙට්ස් සහ ෆැගට්ස් වැනි යුද්ධ ටැංකි නාශක මිසයිල ඇතුළත් වේ.

ඊශ්‍රායලයට පහර දීමට භාවිත කළ රොකට් විශාල ගණනක් තවමත් හමාස් සංවිධානය සතුව ඇත. යාකොව් කැට්ස් පවසන්නේ, හමාස් සාමාජිකයින් සියදිවි නසා ගන්නා ඩ්‍රෝන ඇතුළු කුඩා ඩ්‍රෝන යානා නිෂ්පාදනය කරමින් සිටින බව යි. ඔහු පවසන්නේ, හමාස් සංවිධානය සතුව කෙටි දුර, උරහිසේ තබා ගෙන, යම් පෘෂ්ඨයක් මත සිට ගුවනට එල්ල කළ හැකි මිසයිල ඉතා සීමිත ගණනක් ද තිබිය හැකි බව ය. ඊශ්‍රායලය මෙන් නොව, සන්නද්ධ වාහන, යුද්ධ ටැංකි සහ කාලතුවක්කු ඔවුන් සතුව නොමැත.

නමුත් ඊශ්‍රායලයට අභියෝගය වනු ඇත්තේ, ජනාකීර්ණ නාගරික ප්‍රදේශවල [හමාස් සටන්කාමීන් සමග] ඉතා සමීපව සටන් කිරීම ය.

ඊශ්‍රායලයේ යාහලොම් නම් ඉන්ජිනේරු ඒකකයක් සහ සුනඛ සටන් වෙනුවෙන් විශේෂඥ දැනුම ඇති ඔකෙට්ස් ඇතුළු උමං තුළ යුද්ධ වැදීම සඳහා විශේෂඥ කණ්ඩායම් ඇත.

කැට්ස් පවසන්නේ, අවශ්‍යතාවක් ඇති නොවුණහොත්, ඊශ්‍රායල හමුදා උමං මාර්ගවලට ඇතුළු වීමෙන් වැළකී සිටිනු ඇත්තේ, හමාස් සංවිධානය ඔවුන්ට වඩා ඒවා පිළිබඳව හොඳින් දන්නා නිසා බව ය. ඒ වෙනුවට පුපුරණ ද්‍රව්‍ය හෙළා ඔවුන් උමං මාර්ග විනාශ කර දමනු ඇත.

ප්‍රාණ ඇපකරුවන්ගේ ඉරණම

2006 සිට 2011 දක්වා වසර පහක් හමාස් සංවිධානය විසින් රඳවාගනු ලැබ සිටි ඊශ්‍රායල භටයෙකු වන ගිලඩ් ෂාලිට් මුදා හැරීමට තුඩු දුන් සාකච්ඡාවලට මේජර් ජෙනරල් ගිලියඩ් සම්බන්ධ විය. අවසානයේ ඔහු පලස්තීන සිරකරුවන් 1,000කට වඩා වැඩි ගණනකට හුවමාරු විය.

හමාස් සංවිධානය විනාශ කිරීම ඊශ්‍රායලයේ ප්‍රකාශිත ඉලක්කය යි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හමාස් සංවිධානය විනාශ කිරීම ඊශ්‍රායලයේ ප්‍රකාශිත ඉලක්කය යි

මේජර් ජෙනරල් ගිලියඩ් පවසන්නේ, හමුදාව ඔවුන්ගේ ඉරණම සැලකිල්ලට ගත යුතු අතර, "අපි නිශ්චිත යමක් නොකළහොත්, අපට වඩා ත් අභියෝගාත්මක ගැටලුවලට මුහුණ දීමට සිදුවනු ඇත," යනුවෙනි.

නමුත් මේජර් ජෙනරල් අමිද්‍රෝර් පවසන්නේ, ප්‍රාණ ඇපකරුවන් හේතුවෙන් ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකි නොසිටින බවය. "අපි හමාස් සංවිධානය සමග අවසානය දක්වා සටන් කරනවා. මෙහෙයුම අතරතුර අපට ඒ ප්‍රාණ ඇපකරුවන් සොයා ගන්න සිද්ධ වෙනවා."

ඊශ්‍රායලයේ අරමුණ කුමක් ද?

හමාස් සංවිධානය විනාශ කිරීම ඊශ්‍රායලයේ ප්‍රකාශිත ඉලක්කය යි.

වසර 30ක් IDFහි සේවය කළ මේජර් ජෙනරල් ගිලියඩ් පවසන්නේ, එය ගාසා තීරයේ පෙර දියත් කරන ලද "ප්‍රධාන වශයෙන් පාලනය කිරීම" අරමුණු කර ගත් ඊශ්‍රායල මෙහෙයුම්වලින් ඔබ්බට යන බව ය.

ඔහු පවසන්නේ මෙවර, "අපි මීට වඩා ප්‍රබල දෙයක් කළ යුතු යි" යනුවෙනි. තීරණාත්මක මිලිටරි ක්‍රියාමාර්ගය ඊශ්‍රායලයේ අනෙකුත් සතුරන් වන හිස්බුල්ලා සහ ඉරානය ද වළක්වනු ඇතැයි ඔහු විශ්වාස කරයි.

කැට්ස් විශ්වාස කරන්නේ, ඊශ්‍රායලයේ ඉලක්ක වඩා ත් ප්‍රායෝගික වනු ඇති බව ය. එනම්, හමාස් සංවිධානයට නැවත කිසි දා ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමේ හමුදා හැකියාවක් නොමැති බවට තහවුරු කර ගැනීම ය. ඔහු පවසන්නේ, ඊශ්‍රායලයට “ගාසා තීරය නැවත අත්පත් කර ගැනීමට සහ ඔවුන්ට විරුද්ධ මිලියන දෙකක ජනතාවක් රැක බලා ගැනීමට අවශ්‍ය නැති" බව ය.

කෙසේ වෙතත්, මෑත කාලීන ඉතිහාසය අනුව ගත් කල, ආක්‍රමණ සැලැස්මට අනුව සිදුවන්නේ ඉතා කලාතුරකිනි.

ඉරාකයේදී හා ඇෆ්ගනිස්ථානයේදී එක්සත් ජනපදයට සහ මෑතකදී යුක්රේනයේදී රුසියාවට සිදු වූ දේ සලකා බැලීමේදී ලෝකයේ වඩාත් ම දියුණු හමුදාවන් පවා ඉක්මනින් වෙහෙසට පත්විය හැකි ය.

සැතපුම් 25ක් (කිලෝමීටර් 40ක්) පමණක් දිග ගාසා තීරය තුළ හමුදා මෙහෙයුමක් මහා පරිමාණ එකක් නොවන නමුත් එහි අවසානය කුමක් වනු ඇති දැයි බොහෝ දුරට අපැහැදිලි බව උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ ලුතිනන් ජෙනරල් ශ්‍රීමත් ටොම් බෙකට් පවසයි.

"ඇත්ත වශයෙන් ම, ඊශ්‍රායලයේ ආක්‍රමණශීලි ගොඩබිම් ප්‍රහාරයකට වෙනත් හොඳ විකල්ප නැහැ. මිලිටරි සංවිධානයක් ලෙස හමාස් පරාජය කිරීමේ මෙහෙයුම කෙතරම් සාර්ථක වුවත්, හමාස් සංවිධානයේ දේශපාලන අවශ්‍යතාව සහ ප්‍රතිරෝධය සඳහා ජනතාවගේ සහයෝගය දිගට ම ලැබේවි."

"ඊශ්‍රායලය එක්කෝ ගාසා තීරය නැවත අත්පත් කර ගනීවි පාලනය කරන්න. එහෙම නැතිනම්, ප්‍රහාරයෙන් පස්සේ ඉවත් වෙලා, [ඔවුන්ට] ප්‍රතිරෝධය දක්වන මිනිස්සුන්ට ම භූමිය භාර දේවි."