ඊශ්‍රායල් ගාසා යුද්ධය භූගත සටනක් වෙයි ද?

The leader of Hamas in Gaza has previously claimed that it has 500km of tunnels

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔවුනට කිලෝමීටර් 500ක් දිගට උමං මාර්ග ඇතැ යි, ගාසා තීරයේ හමාස් නායකයා මීට පෙර පවසා තිබේ

හමාස් සංවිධානය විසින් ගාසා තීරයට යටින් ගොඩනැගුණු රහසිගත උමං සංකීර්ණයක කොටස්වලට පහරදෙමින් සිටිනබව ඊශ්‍රායලය පවසයි. සෙනසුරාදා (ඔක්. 7) මේ පලස්තීන සටන්කාමී කණ්ඩායම විසින් හදිසියේ දේශසීමාව හරහා එල්ල කෙරුණු ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය දිගටම ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටියි.

"ගාසා තීරය, සිවිල් වැසියන් සඳහා ස්ථරයකිනුත්, හමාස් සංවිධානය සඳහා තවත් ස්ථරයකිනුත් හැදිලා තියෙනවා කියලා හිතන්න. අපි හදන්නේ හමාස් ගොඩනගපු ඒ දෙවැනි ස්ථරයට ළඟාවෙන්න," ඊශ්‍රායල ආරක්ෂක බලකායන්හි (IDF) මාධ්‍ය ප්‍රකාශකයා බ්‍රහස්පතින්දා (ඔක්. 12) වීඩියෝවක් හරහා පැවසීය.

"මේවා ගාසාවල සාමාන්‍ය වැසියො වෙනුවෙන් හදපු බංකර නෙවෙයි. මේවා හදලා තියෙන්නේ හමාසුයි, අනික් ත්‍රස්තවාදීනුයි වෙනුවෙන්, ඔවුන්ට දිගටම ඊශ්‍රායලයට රොකට් එවන්න, මෙහෙයුම් ප්ලෑන් කරන්න, ඊශ්‍රායලයට ත්‍රස්තවාදියො එවන්න පුළුවන් වෙන්න," ඔවුහු ප්‍රකාශ කළහ

මේ උමං ජාලයේ පරිමාණය තක්සේරු කිරීමට අපහසු ය. මෙය, කි.මී. 41ක් දිගු, කි.මී. 10ක් පළල භූමි ප්‍රදේශයක් හරහා පැතිරෙනබව විශ්වාස කෙරෙන හෙයින්,ඊශ්‍රායලය මෙය "ගාසා මෙට්‍රෝ" ලෙස නම්කර ඇත.

2021 දී ඇතිවූ අර්බුදයකින් පසු, IDF විසින් එය කි.මී. 100කට වඩා දිගු උමං ප්‍රදේශයක් ගුවන් ප්‍රහාර හරහා විනාශ කළබව පැවසීය. නමුත්, ඔවුන්ගේ උමං කි.මී. 500කට වඩා දිගුබව පවසන හමාස් සංවිධානය, ඉන් 5%ක් පමණක් විනාශවූබව ප්‍රකාශ කළේ ය.

Gaza tunnels

ගාසා තීරයේ උමං ඉදිකිරීම ආරම්භවූයේ, 2005 දී ඊශ්‍රායලය එහි හමුදා සහ ජනාවාසකරුවන් ඉවත්කර ගැනීමට ප්‍රථමයෙනි.

නමුත් ඉන් දෙවසරකට පසු හමාස් සංවිධානය ගාසා තීරුවේ බලය අත්පත්කර ගත් පසු ඒවා ඉදිකිරීම වේගවත්වූ අතර, එනිසා, ආරක්ෂක හේතූන් මත ප්‍රදේශය තුළට හා ඉවතට භාණ්ඩ සහ මිනිසුන් ගමනාගමනය සීමා කිරීමට ඊශ්‍රායලය සහ ඊජිප්තුව පියවර ගත්තේ ය.

එහි උච්චතම අවස්ථාවේ දී, උමං 2500ක් පමණම ඊජිප්තු දේශසීමාවට යටින් වැටී තිබූ අතර, ඒවා හමාස් හා අනෙක් සටන්කාමී සංවිධාන විසින් වෙළඳ භාණ්ඩ, ඉන්ධන හා ආයුධ ජාවාරම් සඳහා භාවිතා විය.

2010 පසු, ඊශ්‍රායලය එහි දේශසීමා මාරු හරහා භාණ්ඩ වැඩි ප්‍රමාණයක් ආනයනය කිරීමට අවසරදීමත් සමග, ජාවාරම් කිරීම ගාසා තීරයට එතරම් වැදගත් නොවුණි. ඊජිප්තුව පසුව උමං ජලයෙන් පිරවීම හා විනාශ කිරීම හරහා ජාවාරම් නවතා දැමීය.

Tunnels were dug under the Egyptian border to bring in all kinds of goods and weapons

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විවිධාකාරයේ භාණ්ඩ හා ආයුධ ගාසා තීරය තුළට ගෙන ඒම සඳහා ඊජිප්තු දේශසීමාවට යටින් උමං කැණ තිබුණි

ඊශ්‍රායල බලකායන්ට පහරදීම සඳහා හමාස් සහ අනෙකුත් පිල් ද උමං කැණීමට පටන්ගත්හ.

2006 දී, ඊශ්‍රායල දේශසීමාවට යටින් වැටුණු උමඟක් භාවිතාවෙන් සටන්කාමීහු ඊශ්‍රායල සෙබළුන් දෙදෙනෙකු මරා තවෙකෙකු පැහැර ගත්තේ ය. 'ගිලාඩ් ශලිත්' නම් මේ තෙවැනි සෙබළා වසර පහක් සිරකරුවෙකු වශයෙන් තබාගැනුණි.

2013 දී, ඊශ්‍රායලයේ ජනාවාසයක වැසියන්ට අමුතු ශබ්ද ඇසීමෙන් පසු, ගාසා තීරයේ සිට එම ජනාවාසය ආසන්නයේ ඉඩමකට වැටී තිබූ කි.මී. 1.6ක් දිග, මීටර 18ක් ගැඹුරු, කොන්ක්‍රීට් බිත්ති සහ වහලය සහිත උමඟක් IDFට හමුවිය.

ඉන්පසු වසරේ දී ඊශ්‍රායලය, සටන්කාමීන් එවැනි "ත්‍රස්ත උමං" භාවිතා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ තර්ජනය මුලිනුපුටා දැමීමේ අවශ්‍යතාව සඳහන් කරමින්, ගාසාහි මහා පරිමාණ ගුවන් හා ගොඩබිම් ප්‍රහාරයක් දියත් කළේ ය.

එම යුද්ධය අතරතුරේ IDFහි බලකායන් උමං 30කට වැඩි ප්‍රමාණයක් විනාශ කළබව එය පැවසීය. නමුත්, එම උමඟක් භාවිතාවෙන් ප්‍රහාරයක් එල්ල කරන්නට සටන්කාමීන් කණ්ඩායමක් ද සමත්වූ අතර ඉන් ඊශ්‍රායල සොල්දාදුවන් සිව්දෙනෙකු මියගියේ ය.

Gaza tunnels
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"දේශසීමා හරහා හාරන උමං ප්‍රාථමික යි. ඒ කියන්නේ, ඒවාට ආරක්ෂාවක් නැති තරම්. ඒවා හාරන්නේ එක සැරයක් පාවිච්චි කරන්න බලාගෙන - ඊශ්‍රායල භූමිය ආක්‍රමණය කිරීම යි අරමුණ," ඊශ්‍රායලයේ රයික්මාන් විශ්වවිද්‍යාලයයේ උගන්වන, භූගත යුද්ධ පිළිබඳ විශේෂඥවරියක වන ආචාර්ය ඩැෆ්නි රිච්මන්ඩ්-බරාක් පවසන්නී ය.

"ගාසා ඇතුළෙ තියෙන උමං මීට වෙනස්, මොකද හමාස් එකෙන් ඒවා නිතර පාවිච්චි කරනවා. ඒවා ඇතුළෙ දිගුකලක් ඉන්න පුළුවන් තරමට වඩාත් සුවපහසු ඇති. ඒවා අනිවාර්යයෙන්ම එක දිගට දිග කාලයක් රැඳිලා ඉන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ."

"නායකයො මේවයෙ හැංගිලා ඉන්නවා, එයාලට ඒවා ඇතුළෙ අණදීමේ සහ පාලනය කිරීමේ මධ්‍යස්ථාන තියෙනවා, ඔවුන් ඒවා ප්‍රවාහනයටත්, සන්නිවේදන කටයුතුවලටත් පාවිච්චි කරනවා. ඒවට විදුලි බලය, ආලෝකය සහ රේල් පීලි තියෙනවා. ඒවයෙ එහා මෙහා යන්න පුළුවන්, හිටගෙන ඉන්න පුළුවන්."

මෝසුල්හි ඉස්ලාමික රාජ්‍ය කණ්ඩායමේ (IS) ජිහාඩ්වාදී සටන්කාමීන්ගේ හා ඇලෙප්පෝහි සිරියානු විප්ලවවාදී සටන්කාමීන්ගේ උපායමාර්ග නිරීක්ෂණය කරමින් බොහෝ දේ උගෙන ඇති හමාස් සටන්කාමීන්, පසුගිය වසරවල දී උමං තැනීමේ "කලාවේ පරිපූර්ණත්වයට පත්ව ඇතැ"යි පෙනෙනබව ඇය පවසයි.

ගාසාහි පිහිටි උමං පොළොව මට්ටමෙන් මීටර 30ක් තරම් ගැඹුරින් පිහිටා ඇතැයි විශ්වාස කෙරෙන අතර, සටන්කාමීන් කැපී පෙනීමෙන් වැළකීම සඳහා මේ උමංවල පිවිසීම් නිවෙස්වල, මස්ජිදවල, පාසැල්වල හා අනෙකුත් පොදු ගොඩනැගිලිවල බිම් මහල්වල පිහිටා තිබේ.

උමං ජාලයක් තැනීමේ බර ගාසා වැසියන් මතට ද පැටවී ඇත. ගාසා වෙත ආධාර වශයෙන් ලැබුණු ඩොලර් මිලියන ගණනක් ද, පෙර යුද්ධවල දී විනාශවූ නිවෙස් තැනීමට ලබාදුන් සිමෙන්ති ටොන් දස දහස් ගණනක් ද හමාස් සංවිධානය උමං තැනීම සඳහා යෙදවීයැ යි IDF චෝදනා කරයි.

පසුගිය සති අන්තයේ හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයට ද දේශසීමාව හරහා වැටෙන උමං භාවිතා කළේයැ යි සිතිය හැකි ය. මේ ප්‍රහාරයේ දී අවම වශයෙන් පුද්ගලයින් 1300ක් මරණයට පත්ව (මින් බහුතරය සිවිල් වැසියන් ය), තවත් 150කට අධික පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගැනුණි. සිවිල් වැසියන් දුසිම් ගණනක් ඝාතනය කෙරුණු කෆර් අසා ජනාවාසය අසලින් උමං පිටවුමක් සොයාගත්බවට ද වාර්තා නිකුත්විය.

එම වාර්තා තහවුරු වී නම්, එම උමඟ තනන්නට ඇත්තේ, ඊශ්‍රායලය විසින් 2021 වසර අවසානයේ දී තනා නිමකරන ලද භූගත කොන්ක්‍රීට් බාධකයට යටිනි. මේ බාධකයට උමං හඳුනාගැනීමේ සංවේදක ද සවිකර තිබුණි.

එය කම්පනයක් වනු ඇති නමුත්, උමං හඳුනාගැනීමේ කිසිම පද්ධතියක් පරිපූර්ණ නැතැ යි ආචාර්ය රිච්මන්ඩ්-බරාක් පවසයි. "අනාදිමත් කාලෙක ඉඳන් යුද්ධවලට උමං භාවිතා කෙරෙන්නේ ඒක යි. මොකද, ඒවා වළක්වන්න කිසිම ක්‍රමයක් නැති නිසා."

Gaza barrier

ගොඩබිම් මෙහෙයුමක් සඳහා ලක්ෂ සංඛ්‍යාත භට පිරිසක් ගාසා අසලට රැස්ව සිටින මේ මොහොතේ, ගාසාහි පිහිටි හමාස් සංවිධානයේ මුළු උමං ජාලයම විනාශ කිරීමට IDFට හැකිවේයැ යි ඊශ්‍රායල සංස්ථාපිතය සහ සාමාන්‍ය ජනතාව තුළ පවතින විශ්වාසය යථාර්ථවාදී නැතැ යි ද ඇය අනතුරු අඟවයි.

"උමං ජාලයේ සමහර කොටස් තියෙනවා, මොනයම් හෝ හේතුවක් නිසා සිවිල් ජනතාව ඒවායින් ඉවත්වෙන එකක් නැති... භූගත ජාලයේ හඳුනා නොගත් උමං ප්‍රදේශ තියෙනවා. ඉන් සමහරක් [විනාශ කිරීමේ දී] අතිරේක හානි බොහොම ඉහළ වේවි."

උමං විනාශ කිරීම නිසා සැලකිය යුතු තරමේ ජීවිත හානියක් ද වනු ඇතැයි ඇය අනතුරු අඟවයි. ඒ අතර ඊශ්‍රායල ගොඩබිම් බලකායන්, පලස්තීන සිවිල් වැසියන් සහ ප්‍රාණ ඇපකරුවන් ද සිටිනු ඇත.

සෙනසුරාදා සිට ප්‍රතිචාර වශයෙන් එල්ල කරන ලද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මේ වන විට පලස්තීන වැසියන් 1500කට වැඩි පිරිසක් මරණයට පත්ව තිබේ. ඉන් බොහෝදෙනෙකු සිවිල් වැසියන් ය.

"හමාස් එක මිනිස් පළිහ පාවිච්ච කරන්න හරිම දක්ෂ යි. ප්‍රහාරයක් එල්ලවීම අනිවාර්ය නම් සහ ඔවුන් ඒක දන්නවා නම්, ඔවුන් අහිංසක සිවිල් වැසියන්ව ගොඩනැගිලි උඩට නග්ගාවි. මේ නිසා ඊශ්‍රායලය කීප විටක්ම ප්‍රහාර නවත්වලා තියෙනවා," ආචාර්ය රිච්මන්ඩ්-බරාක් පවසයි.

"මේ ශිල්පයේ නිපුණත්වයට පත්වෙලා ඉන්න හමාස් එකට පුළුවන් මේක උමං විෂයෙහිත් පහසුවෙන් පාවිච්චි කරලා ඊශ්‍රායල, ඇමෙරිකානු ප්‍රාණ ඇපකරුවො ඒවා ඇතුළට දාන්න."

2021 අර්බුදය අතරතුරේ දී, ගාසා නගරය වෙත එල්ල කරන ලද විනාශකාරී ගුවන් ප්‍රහාර මාලාවකින් සිවිල් වැසියන්ගේ නිවෙස් සහිත ගොඩනැගිලි තුනක් පොළවට සමතලා කෙරුණු අතර පුද්ගලයින් 42 දෙනෙකු මියගියේ ය. ඔවුන් ඉලක්ක කළේ භූගත උමංබවත්, ඒවා කඩා වැටුණු විට අදාළ ගොඩනැගිලිවල පාදම් ද කඩා වැටුණුබවත් IDF පැවසීය.

Three Buildings collapsed in Gaza City in 2021 after tunnels nearby were hit in an Israeli air strike

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, අසල උමං මාර්ගවලට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් 2021 දී ගාසා නගරයේ ගොඩනැගිලි තුනක් කඩාවැටුණි

ආචාර්ය රිච්මන්ඩ්-බරාක් පවසන පරිදි, උමං ජාලය විසින් IDF වෙත තාක්‍ෂණය සහ බුද්ධි සේවා වෙතින් සැපයෙන වාසිය නිශේධනයකර දමන අතර, නාගරික යුද්ධයක ඇති දුෂ්කරතා විශාලනය කරමින්, ඊශ්‍රායල හමුදාවන්ට මාරාන්තික තර්ජනයක් එල්ල කරයි.

"පළමුවෙන්ම, මුළු උමං ජාලයම මර උගුලක්බවට පත් කරන්න හමාස් එකට ඕනෑ තරම් වෙලාව තිබුණා," ඇය පවසයි. "භටයින්ට උමං ජාලයට ඇතුළුවෙන්න දීලා, ඊට පස්සේ මුළු ජාලයම පුපුරවන්න ඔවුන්ට පුළුවන්."

"[හදිසි ප්‍රහාරයක් මඟින් භටයින්ව] පැහැරගන්න ඔවුන්ට පුළුවන්. ඊළඟට තියෙනවා මේ අනිත් අවදානම් කාරණා - ඒ කියන්නේ, උමංවල ඔක්සිජන් ඉවරවෙන්න පුළුවන්, සතුරා එක්ක මුහුණට මුහුණ සටන් කරන්න සිද්ධවෙන්න පුළුවන්, ඒ වගේම තුවාල වෙච්ච සෙබළු ඉවත් කිරීම කරන්නම බැරි වැඩක් වෙන්න පුළුවන්."

ඇය මෙසේ ද පවසයි: "උමං ඇතුළට නොගියත්, උමං තියෙනවා කියලා සැක කරන ප්‍රදේශයක් ආරක්‍ෂිත කරන එක සාමාන්‍ය ප්‍රදේශයක් ආරක්‍ෂිත කරනවාට වඩා සම්පූර්ණෙන්ම වෙනස්. මෙතන දී ආරක්‍ෂිත කරන්න වෙන්නේ නොපෙනෙන දෙයක්."

කෙසේ වෙතත්, අවදානම අවම කිරීමේ ක්‍රම කීපයක් ඊශ්‍රායල හමුදාවන් සතු ය.

ආරක්ෂක උපදේශන ආයතනයක් වන සූෆාන් සමූහයේ පර්යේෂණ පිළිබඳ අධ්‍යක්ෂක කොලින් ක්ලාක් පවසන පරිදි, උමං තුළට සෙබළුන් යැවීමට පෙර ඩ්‍රෝන යානා සහ මිනිසුන් රහිත වාහන යවා උමං සිතියම්ගත කිරීමට හා මර උගුල් හඳුනාගැනීමට හැකි ය.

එසේම, යුද ගුවන් යානා මඟින් "බංකර පිපිරවීමේ" බෝම්බ හෙළීමට ද ඔවුනට හැකි ය. මේ බෝම්බ පිපිරීමට පෙර පොළොවේ ගැඹුරට කාවදියි. කෙසේ වෙතත්, ජනාකීර්ණ නාගරික භූමියක මේවා මඟින් අතිරේක හානි සිදුකිරීමේ අවදානමක් ද වෙයි.