හමාස් ප්‍රහාරයට පෙර ඊජිප්තුව ඊශ්‍රායලයට අනතුරු ඇඟෙව්වා ද?

A resident shouts around destroyed buildings and debris at the Al-Karama neighborhood after an Israeli airstrike that has been going on for five days in Gaza City, Gaza on October 11, 2023

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

හමාස් සංවිධානය දේශසීමාව හරහා ගොස් ඊශ්‍රායලය තුළ මාරාන්තික ප්‍රහාරය එල්ල කිරීමට තෙදිනකට පෙර ඊජිප්තුව එවැනි ප්‍රචණ්ඩත්වයක් ඇතිවීමේ ඉඩක් ගැන ඊශ්‍රායලයට අනතුරු අඟවා තිබුණේයැ යි, එක්සත් ජනපද කොංග්‍රස මණ්ඩල කමිටුවක සභාපතිවරයා ප්‍රකාශකර තිබේ.

එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු කමිටුවේ ප්‍රධානී මයිකල් මැකෝල් මෙසේ සිදුකළබව කියන අනතුරු ඇඟවීමක් ගැන වාර්තාකරුවන්ට පවසා තිබුණි.

මේ වාර්තා "මුළුමනින්ම අසත්‍ය" බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යානු පැවසීය.

ඊශ්‍රායලයේ වසර 75ක ඉතිහාසය තුළ පලස්තීන සටන්කාමීන්ගෙන් එල්ලවූ මාරාන්තිකම ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල බුද්ධි අංශයන් විමර්ශනයට ලක්ව සිටියි.

"මෙවැනි සිද්ධියක් ඇතිවීමේ ඉඩකඩ ගැන ඊට තෙදිනකට පෙර ඊජිප්තුව ඊශ්‍රායලයට අනතුරු ඇඟවූබව අපි දන්නවා,"යි මැකෝල් බදාදා (ඔක්. 12) මැදපෙරදිග අර්බුදය පිළිබඳව නීති සම්පාදකයින් වෙනුවෙන් පැවැත්වුණු සංවෘත බුද්ධි තොරතුරු සැපයීමකින් පසු වාර්තාකරුවන්ට පැවසීයැ යි, AFP පුවත් ඒජන්සිය වාර්තා කරයි.

"රහස් තොරතුරු ඕනෑවට වඩා එළිකරන්න මට උවමනා නෑ, නමුත් අනතුරු ඇඟවීමක් කරලා තිබුණා," ටෙක්සාස් ප්‍රාන්ත රිපබ්ලිකන් පක්ෂ දේශපාලකයා වැඩිදුරටත් සඳහන්කර තිබුණි. "ප්‍රශ්නය වෙන්නේ, කුමන මට්ටමේ ද කියන එක යි."

මෙසතියේ දී ඊජිප්තුවේ බුද්ධි අංශ නිලධාරියෙකු ද, ගාසාහි සිට "කුමක් හෝ විශාල දෙයක්" සැලසුම් කෙරෙමින් තිබෙන්නේයැ යි ඊජිප්තු රජය ඊශ්‍රායලයට නැවත නැවතත් අනතුරු අඟවා තිබූබව ඇසෝෂියේටඩ් ප්‍රෙස් පුවත් ඒජන්සියට පවසා ඇත.

"අපි ඔවුන්ට අනතුරු ඇඟෙව්වා ඉතා ප්‍රචණ්ඩ තත්ත්වයක් එනවා, ඒක ඉක්මණින්ම එනවා, ඒක ලොකු සිද්ධියක් වේවි කියලා. නමුත් ඔවුන් එවැනි අනතුරු ඇඟවීම් අවතක්සේරු කරලා තියෙනවා," නිර්නාමිකව සිටීමේ කොන්දේසිය මත කතාබහ කළ නිලධාරියා පවසා තිබුණි.

ඊශ්‍රායල නිලධාරීන් ගාසාහි තර්ජනය අවතක්සේරුකර, ඒ වෙනුවට බටහිර ඉවුර (වෙස්ට් බෑන්ක්) වෙත අවධානය යොමුකර ඇතැ යි ඊජිප්තු රජයේ නිලධාරියා පැවසීය.

මේ ගැටළුව ගැන දැනුවත් නිර්නාමික නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් ෆයිනෑන්ෂල් ටයිම්ස් ඉදිරිපත් කළ වාර්තාවට අනුව, නිශ්චිත ප්‍රහාරයක් සම්බන්ධ ස්ථිර බුද්ධි තොරතුරක් ලැබී නැත.

මේ මාරාන්තික ආක්‍රමණයට පෙර යම් නිශ්චිත අනතුරු ඇඟවීමක් ඊශ්‍රායලයට ලැබී ඇතැ යි වන ඕනෑම හැඟවීමක් "මුළුමනින්ම ව්‍යාජ පුවතක්" ලෙස බදාදා (ඔක්. 11) නෙතන්යාහු විස්තර කළේ ය.

වීඩියෝ ශීර්ෂ වැකිය, දූවිල්ලෙන් හුස්ම හිරවෙමින් අඳුරේ නිවසේ සැඟවී සිටින ගාසාවේ ජීවිතය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ගාසා-ඊජිප්තු දේශසීමාව තරණය කරන්නේ කවුදැ යි යන්න පාලනය කරන ඊජිප්තුව, ඊශ්‍රායලය හා හමාස් සඳහා මැදිහත්කරුවෙකු ලෙස නිතර කටයුතු කරයි.

සෙනසුරාදා (ඔක්. 7) එල්ලවුණු ඒකී ගොඩබිම්, ගුවන්, හා මුහුදු ප්‍රහාරයක් මඟින් හමාස් සටන්කාමීන් 1500කට වැඩි පිරිසක් ගාසා ආරක්ෂක බාධකය හරහා කඩා වැදීමට සමත්විය.

ඊශ්‍රායලයේ හමාස් ප්‍රහාරවලින් මියගිය පිරිස 1300 දක්වා ඉහළගොස් තිබේ. ගාසා තීරයට එල්ල කෙරෙන ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් 1400කට වැඩි පිරිසක් මියගොස් ඇත.

ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටින අතර, ගාසාහි එකම බලාගාරයේ ඉන්ධන අවසන්වීම හේතුවෙන් විදුලිය සැපයුම නැවතී ඇතිබව එහි වැසියන් පවසයි.

මේ අතර, ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායලයට යුතුකමක් ඇතැ යි පවසමින් අඟහරුවාදා (ඔක්. 10) එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන් සිදුකළ ප්‍රකාශ හමාස් විසින් හෙළාදැක තිබේ. බයිඩන්, හමාස් ප්‍රහාරය "හුදු කුරිරුකමින් සිදුකළ ක්‍රියාවක්" ලෙස විස්තර කළේ ය.

බයිඩන්ගේ ප්‍රකාශය "කුපිත කරවනසුළු" වග පැවසූ පලස්තීන කණ්ඩායම, එය ගාසා තීරයේ ආතතීන් වර්ධනය කිරීම ඉලක්කකර ගත් ප්‍රකාශයක්බව කියා සිටියේ ය.

හමාස් ප්‍රහාරයෙන් අනතුරුව, එක්සත් ජනපදය ගුවන් යානා ප්‍රවාහක නෞකාවක්, අනෙකුත් නෞකා සහ ජෙට් යානා නැගෙනහිර මධ්‍යධරණී මුහුදට ගෙන යනබවත්, ඊශ්‍රායලයට අමතර උපකරණ සහ පතොරම් ද ලබා දෙනබවත් නිවේදනය කළේ ය.