බියකරු සිහිනයක් බවට පත්වුණු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරු අර්බුදය

ඡායාරූප මූලාශ්‍රය, Ido Dan
සිය දහස් ගණනක් ඊශ්‍රායල භටයන්, (පූර්ණකාලීනව හා සංචිත) ගාසා තීරයේ දේශසීමා වෙත රැස්ව සිටින මොහොතේ ඊශ්‍රායල රජය අතිශය අභියෝගාත්මක සහ දුෂ්කර තත්ත්වයකට මුහුණ දී සිටියි.
පසුගිය සෙනසුරාදා දකුණු ඊශ්‍රායලයේ සිට හමාස් තුවක්කුකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගන්නා ලද 150 දෙනෙකු පමණ මේ වන විට ගාසා තීරයේ රහසිගත ස්ථානවල රඳවා තිබේ. ඔවුන් අතර කාන්තාවෝ, දරුවෝ සහ වැඩිහිටියෝ ද වෙති.
ඇතැමුන් අපේක්ෂා කරන පරිදි, ගොඩබිම ඔස්සේ මහා පරිමාණයෙන් ගාසා තීරය ආක්‍රමණය කිරීමට ඊශ්‍රායලය තීරණය කරන්නේ නම්, එම ප්‍රාණ ඇපකරුවන්ට දිවි ගලවා ගැනීමට ඇති සම්භාවිතාව කුමක් ද?
සම්මුතියක එළඹීමේ අවශ්‍යතාවක් නොමැතිකම
තිරය පිටුපස, කටාර්, ඊජිප්තුව සහ ඇතැම් විට වෙනත් රටවල් එම ප්‍රාණ ඇපකරුවන්ගෙන් කොටසක් හෝ මුදා ගැනීමට සාකච්ඡා කිරීමට උත්සහ දරන බවට විශ්වාස කෙරෙයි. සාකච්ඡාවට බඳුන් වන එක් යෝජනාවක් නම්, ඊශ්‍රායල සිරකඳවුරුවල රඳවා ගෙන සිටින පලස්තීන කාන්තාවන් සහ තරුණ සිරකරුවන් 36 දෙනෙකු වෙනුවට, හුවමාරුවක් ලෙස හමාස් සංවිධානය භාරයේ සිටින කාන්තා සහ ළමා සිරකරුවන් නිදහස් කිරීම ය.
නමුත් ඊශ්‍රායලයේ රයික්මන් විශ්වවිද්‍යාලයයේ ප්‍රතිපත්ති සහ උපාය මාර්ග පිළිබඳ අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ විශ්ලේෂක මයිකල් මිල්ස්ටීන් පැවසුවේ, තත්ත්වය සාමාන්‍ය පරිදි පැවතියේ නම් ඊශ්‍රායලයේ අංක එකේ ප්‍රමුඛතාව එම ප්‍රාණ ඇපකරුවන් නිරුපද්‍රිතව ආපසු ගෙන්වා ගැනීම වුව ද, අද එය හමුදා තර්ජනයක් ලෙස හමාස් සංවිධානය මුලිනුපුටා දැමීම බවට පත්ව ඇති බව ය.
දෙපාර්ශවයේ ම අහස උසට නැග ඇති ආතතීන් සහ කෝපය හමුවේ, ඊශ්‍රායලය හෝ හමාස් සංවිධානය සම්මුතියකට එළඹීමේ හෝ සටන අතහැර දැමීමේ අවශ්‍යතාවකින් පසු නොවෙයි. තුවක්කුකරුවන්ට ඉතා පහසුවෙන් තම දකුණු දේශසීමා වැට බිඳ රට තුළට ඇතුළුවීමට හැකිවීම ගැන සහ අවම වශයෙන් පුද්ගලයන් 1,200ක් පමණ සාහසික ලෙස ඝාතනය කිරීම ගැන ඊශ්‍රායල් වැසියෝ කම්පනයෙන් හා කෝපයෙන් පසුවෙති.
සෙනසුරාදා සිට මිනිසුන් 1,000කට අධික ගණනක් මරා දමමින් ගාසා තීරයට නොනවත්වා එල්ල වූ 2,000 ඉක්මවූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ, හමාස් සාමාජිකයින් පමණක් නොව පලස්තීනුවෝ ද කම්පනයට පත්ව සිටිති. ගසා තීරයේ ඉන්ධන, විදුලිය, ජලය සහ ඖෂධ සැපයුම් බිඳ වැටී තිබේ.
අනතුරු ඇඟවීමකින් තොරව ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් ඝාතනයට ලක් වන සෑම අවස්ථාවක් පාසා ම එක් ප්‍රාණ ඇපකරුවෙකු "මරා දමන" බවට හමාස් සංවිධානය තර්ජනය කර ඇත. ඔවුන් එසේ කළ බවට තවමත් සාක්ෂි හමු වී නොමැත. එවැනි තත්ත්වයක් තිබුණ ද ඊශ්‍රායලය සංයමයකින් කටයුතු කරන බවට කිසිදු ලකුණක් හෝ නොමැත. ගාසා තීරයේ විශාල කොටස් හිතාමතා ම සුන්බුන් බවට කෙරෙමින් ඇත.
කෙසේ වෙතත්, මිල්ස්ටීන් විශ්වාස කරන්නේ, හමාස් සංවිධානය ඔවුන් භාරයේ සිටින කාන්තාවන්, දරුවන් සහ වැඩිහිටියන් රඳවා තබා ගැනීමට එතරම් උනන්දුවක් නොදක්වනු ඇති බව ය. එය ජාත්‍යන්තර වශයෙන් එම සංවිධානයේ ප්‍රතිරූපයට හානියක් සිදුවීමට තුඩු දිය හැකි අතර ප්‍රාණ ඇපකරුවන් බොහෝ දෙනෙකුට ඉහළ රැකවරණයක් ද අවශ්‍ය වනු ඇත. තව ද අඛණ්ඩව එල්ල වන ගුවන් ප්‍රහාර හමුවේ සහ හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් රඳවාගෙන සිටින ස්ථාන, ඇතැම් විට ගාසා තීරය තුළ සිටින ඊශ්‍රායල රහස් ඔත්තුකරුවන්ගෙන් රහසිගතව තබා ගැනීමට දරන උත්සහයන් හමුවේ එය පහසු කාර්යයක් නොවනු ඇත.
ඊට හාත්පසින් ම වෙනස්ව, හමාස් සංවිධානයට අවශ්‍ය වනු ඇත්තේ එයට සේවය කරන ඕනෑ ම හමුදා භටයෙකුගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ත්, සාකච්ඡා පැවැත්වුවහොත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා ඉහළ ම මිලක් ලබා ගැනීමටත් ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පහසු විකල්පයක් නැත
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙය ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධයෙන් ඊශ්‍රායල රජයට උභතෝකෝටික ප්‍රශ්නයක් ඇති කරයි. ඔවුන් අවදානම්වලින් පිරී ඇති සන්නද්ධ ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කිරීමට උත්සහ කරයි ද? එසේත් නැති නම් ගුවන් ප්‍රහාරවලින් හමාස් සංවිධානය දුර්වල වී යම් ගනුදෙනුවකට එළඹීමට කැමැත්තක් දක්වන තෙක් ඔවුන් තව දුරටත් බලා සිටිනු ඇති ද?
එම විකල්පයේ අවදානම්සහගත තැන් ද ඇත. ප්‍රාණ ඇපකරුවන් පොළව යට උමං මාර්ගවල සහ බංකරවල රඳවා සිටින්නේයැ යි සිතුව ද, ඔවුන්ට මෙම ගුවන් ප්‍රහාරවලින් ආරක්ෂාවක් නොමැත. ඔවුන් ග්‍රහණයට ගෙන සිටින පිරිස, පාලනය කර ගත නොහැකි කෝපයෙන් හෝ ඔවුන් මුදාගනු ඇතැ යි යන බියෙන් ඔවුන් මරා දැමීමේ අවදානමක් සැම විට ම පවතියි. 2012 වසරේ දී නයිජීරියාවේදී ජිහාඩ්වාදීන් විසින් රඳවා ගනු ලැබ සිටි ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු බේරා ගැනීමේ අසාර්ථක එක්සත් රාජධානි-නයිජීරියානු විශේෂ බළකා මෙහෙයුමක දී මෙය සිදු විය.
සෙනසුරාදා ගිනිඅවි පෙන්වා බිය වද්දා දේශසීමාව හරහා ගාසා තීරයට ඇද ගෙන ගිය එක් එක් ප්‍රාණ ඇපකරුවන්ගේ අනන්‍යතාවය සහ තත්ත්වය පිළිබඳව දන්නා සෑම තොරතුරක් ම රැස් කරමින් ප්‍රාණ ඇපකරුවන්ගේ තත්ත්වය ආවේක්ෂණය කිරීමට වෙන් වූ මධ්‍යස්ථානයක් පිහිටුවීමට ඊශ්‍රායලය කඩිනම් පියවර ගෙන තිබේ.
ඒ වන විට ඊශ්‍රායල භූමියේ රඳවා ගෙන සිටි පිරිස් ඊශ්‍රායල හමුදාව සහ පොලිස් විශේෂ බලකා නිලධාරීන් විසින් ගලවා ගන්නා ලද්දේ ඔවුන් රඳවා ගෙන සිටි සියලු හමාස් සාමාජිකයින් මරා දමමිනි. නමුත් ඊශ්‍රායල හමුදා බුද්ධි අංශයේ වසර 20ක් සේවය කළ මයිකල් මිල්ස්ටීන් අනතුරු අඟවන්නේ, "ගාසාවේ හැම නිවසක් ගැන ම හැම වීදියක් ගැන ම දත්ත අප ළඟ නැහැ,"යි පවසමිනි. එය හමාස් සංවිධානයට වඩා ත් හුරුපුරුදු භූමි ප්‍රදේශයක් වීම හේතුවෙන් ඔවුන්ට භූගත කුටි සහ උමං ජාලයේ සැඟවීමට හා ප්‍රාණ ඇපකරුවන් සඟවා තබා ගැනීමට හැකියාව ලැබෙයි.
ඊශ්‍රායලයට ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීම පිළිබඳ මනාව ඔප්පු කළ විශේෂඥ දැනුමක් ඇත. ඒ සඳහා ඔවුහු දැඩි පුහුණුවීම්වල ද නිරත වෙති. 1957 වසරේ දී පිහිටුවන ලද, එරට රහසිගත සංවිධානයක් වන 'සයෙරෙට් මට්කල්' (Sayeret Matkal) ඒකකය බ්‍රිතාන්‍යයේ එස්ඒඑස් හෝ ඇමෙරිකාවේ ඩෙල්ටා බළකායට බෙහෙවින් සමාන වේ. එය එහි කමාන්ඩෝ භටයින් විසින් 1976 වසරේ දී උගන්ඩාවේ ගුවන් තොටුපළක දී පැහැරගත් ගුවන් යානයක සිටි ප්‍රාණ ඇපකරුවන් ගලවා ගන්නා ලද 'රේඩ් ඔන් එන්ටෙබේ (Raid on Entebbe)' මෙහෙයුමත් සමග ප්‍රසිද්ධියට පත් විය.
එම ඒකකයේ අණදෙන නිලධාරියා වූ යොනතන් නෙතන්යාහු, ඊශ්‍රායල කමාන්ඩෝ භටයින් අතර සිට මරණයට පත් වූ එක ම නිලධාරියා විය. අද ඔහුගේ සොහොයුරා බෙන්ජමින් ඊශ්‍රායලයේ අගමැතිධූරය හොබවන අතර, ප්‍රාණ ඇපකරුවන් සාකච්ඡා මාර්ගයෙන් මුදා හරිනු ඇතැ යි බලාපොරොත්තුවෙන් ඔවුන් [ඊශ්‍රායලය] බලා සිටිනවා ද, නැතිනම් බලහත්කාරයෙන් ඔවුන් මුදා ගැනීමට දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරනවා ද යන්න තීරණය කිරීම ඇත්තේ ඔහු අතේ ය.
'මෙතෙක් මුහුණදුන් දුෂ්කර ම ප්‍රාණ ඇපකරු ගැටලුව'
එක්සත් ජනපදය බුද්ධි තොරතුරු ලබා ගැනීම සඳහා සහාය ලබා දෙන බවට ත්, ඇතැම් විට එහි විශේෂ බලකායේ සහය ලබා දෙනබවට ත් වාර්තා පළවෙමින් තිබේ. එක්සත් ජනපද නාවික හමුදාව රැගත් විශාල නෞකා කණ්ඩායමක් නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ ස්ථානගත වෙමින් සිටියි.
නමුත් තාක්‍ෂණයෙන් සහ අවිආයුධ අතින් ඊශ්‍රායලයට ඇති දැවැන්ත වාසිය නොතකා බලය අනුව අසමානතා සහිත යුද්ධයකට හැකියාව ඇතැ යි හමාස් සංවිධානය පෙන්නුම් කර ඇත.
සන්නිවේදන කටයුතුවල දී ඩිජිටල් සාක්ෂියක් හෝ නොතැබීමට වග බලා ගනිමින් සහ සන්නිවේදන කටයුතු අවම මට්ටමක පවත්වා ගනිමින් ඔක්තෝබර් 7 වන දා ඊශ්‍රායලය පුදුමයට පත් කිරීමට ඔවුන්ට හැකි විය. දැනට 150කට වැඩි ප්‍රාණ ඇපකරුවන් ගණනක් රඳවා ගෙන සිටින ඔවුන්ගේ තුවක්කුකරුවන් හැකිතාක් දුරට ඕෆ්ලයින් සිටිමින් සහ ගුවන් තරංග භාවිතයෙන් ද බැහැරව සිටින අතර ප්‍රාණ ඇපකරුවන් සතුව තිබූ සෑම ඩිජිටල් උපාංගයක් ම පාහේ ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ.
මයිකල් මිල්ස්ටීන් පවසන්නේ, "මෙය අවිවාදයෙන් ම, ඊශ්‍රායලය ඉතිහාසයේ මෙතෙක් මුහුණදුන් දුෂ්කර ම ප්‍රාණ ඇපකරු ගැටලුව" බව ය.












