'ප්ලේන්වලින් බෝම්බ දානකොට අපේ බිල්ඩිම දෙදරනවා' - ගාසා තීරයේ ලාංකිකයෙකුගේ අත්දැකීම

Israeli rescue members work at a police station that was destroyed after a battle between Israeli troops and Hamas militants on October 8, 2023 in Sderot, Israe

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඊශ්‍රායලයේ ඇතිවී තිබෙන යුදමය තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට ලොවපුරා අවධානය යොමුව තිබේ. ඒ, (ඔක් 07) පලස්තීන හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කරනු ලැබූ ප්‍රහාරය හේතුවෙනි.

හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර වශයෙන් ඊශ්‍රායලය මේවන විට ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටියි.

පවතින ගැටුම් හමුවේ ගාසා තිරයේ ජීවත් වන ශ්‍රී ලාංකික කාන්තාවක් වන ෆාතිමා රිකාසා බීබීසි සිංහල වෙත පැවසුවේ තමන් සහ පවුලේ සියලු දෙනා බියෙන් සහ ඉතා අසීරුවෙන් දිවිගෙවන බව යි.

"(ඔක් 07) ඉඳලා අපිට ගෙවල්වලින් පිටට යන්න එපා කියලා තියෙන්නේ. ඒ නිසා මමත්, මගේ ස්වාමිපුරුෂයා හෝ දරුවන් සිව්දෙනා ගෙදරටම වෙලා ඉන්නවා. අපිට කෑම සහ වතුර සපයා ගන්න එක ලොකු ගැටළුවක්. ළමයි බයට බාත්රූම් එකටවත් යන්නේ නැහැ. අම්මා එන්න කියනවා බාත්රූම් එකට යන්න වුනත්. ඒ අය තවම පොඩියි.

"මගේ ලොකු බබාට වයස අවුරුදු 12යි, බාලම කෙනාට අවුරුදු 04යි," ඇය පැවසුවා ය.

'ගුවන් ප්‍රහාර එල්ල වෙද්දී බිල්ඩිම දෙදරුම් කනවා'

කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි ෆාතිමා රිකාසා මීට වසර පහකට පෙර තම දරුවන් ද සමග පලස්තීනයේ ගාසා තීරයට පැමිණි බව අප සමග පැවසුවා ය.

ඇය සඳහන් කළේ, ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර එල්ල වන විට තමන් ඇතුළු දරුවන් වෙසෙන මහල් නිවාස සංකීර්ණයට ද එහි කම්පනය දැනෙන බවයි.

"ලංකාවේ මගේ ගෙවල් තියෙන්නේ දෙමටගොඩ. මගේ පළවෙනි බබාලා තුන්දෙනා හම්බවුණේ ලංකාවේ, බාලම කෙනා හම්බවුණේ පලස්තීනයේ දී. දැනට අවුරුදු පහක් වෙනවා ලංකාවෙන් ඇවිත්.

"අපි ජීවත් වෙන්නේ මහල් නිවාස සංකීර්ණයක පිහිටි නිවෙසක යි. ඊයේ ඉඳලා ප්ලේන්වලින් ඇවිල්ලා බෝම්බ දානකොට අපි ඉන්න බිල්ඩිම දෙදරුම් කනවා. අපිට කියලා තියෙන්නේ ජනෙල් ඔක්කොම ඇරලා තියන්න කියලා. ඒ නිසා අපි ජනෙල් ඔක්කොම ඇරලා තියෙන්නේ," ඇය තමන් මුහුණ දෙන අත්දැකීම විස්තර කර සිටියා ය.

Fathima Rikaza's kids

ඡායාරූප මූලාශ්‍රය, Fathima Rikaza

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ළමයි බයට බාත්රූම් එකටවත් යන්නේ නැහැ. අම්මා එන්න කියනවා බාත්රූම් එකට යන්න වුනත්. ඒ අය තවම පොඩියි'

‘ආහාර ජලය විදුලිය මුකුත් නැහැ’

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ අතර ඊයේ දිනයේ සිට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම විශාල ගැටළුවක් වී ඇති බව ද ඇයගේ ස්වාමිපුරුෂයා වන මුහුම්මද් රිස්කි බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් සඳහන් කළේ ය.

"දරුවන් සිව්දෙනාට අවශ්‍ය ආහාර සපයා ගන්න මට ගොඩක් මහන්සි වෙන්න සිදුවෙලා තියෙනවා. ගැටුම් ආරම්භවුවාට පසුව වෙළඳසැල් වසා දමා තියෙන්නේ. ඒ වගේම ජලය සහ විදුලි සැපයුමත් විසන්ධි වෙලා තිබෙන්නේ බොහෝ වෙලාවට.

"අවශ්‍ය වතුර සොයා ගැනීම පවා අසීරු කරුණක්. මගේ බිරිඳ මට ආදරෙයි. ඇය මාත් සමග මේ සියලු දේ විඳගෙන සිටිනවා," මුහුම්මද් රිස්කි පැවසුවේ ය.

මේ අතර තමන් සමග ගාසා තිරයේ වෙසෙන ලද කෑගල්ල දිස්ත්‍රික්කයේ පදිංචි එක් කාන්තාවක් ජීවත් වූ ප්‍රදේශයට ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයක් එල්ලවී ඇති බවට ප්‍රවෘත්තිවලින් දුටු බවත්, ඇයව සම්බන්ධ කර ගැනීමට තමන් අවස්ථා රැසක දී උත්සාහ කළ ද එය සාර්ථක නොවූ බවත් ෆාතිමා රිකාසා පවසා සිටියා ය.

"මම දැන් ඇවිල්ලා අවුරුදු පහක් වෙනවා. මාත් එක්කම ළමයෙක් හිටියා එයා කෑගල්ලේ. එයාගේ නම සුලේයා කියලා. එයා හිටිය තැනට ගහලා කියලා මම නිව්ස් එක බලද්දී දැන ගන්න ලැබුණා. මට ඊයෙත් එම්බසි එකෙන් කිව්වා එයා ගැන බලන්න කියලා. මම කෝල් කළා, එයාගෙන් ආන්සර් නැහැ. එයා හරියටම දැන් කොහේද ඉන්නේ කියලා දැන ගන්න විදිහක් නැහැ," ෆාතිමා පැවසුවා ය.

ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයින්ගේ තත්ත්වය

මේ අතර ඊශ්‍රායලයේ මෙන්ම පලස්තීනයේ ද ශ්‍රී ලාංකිකයින් රැකියාවන් කරන අතර ඔවුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය කරුණු සොයා බැලීමට කටයුතු කළේ ය.

ඊශ්‍රායාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පවසා සිටියේ, මේ වන විට ඇතිවූ ගැටුම්වලින් එක් ශ්‍රී ලාංකිකයෙකු සුළු තුවාල ලබා රෝහල්ගතකොට ඇති බව හා ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව යි.

"ලංකාවේ එක් අයෙකුට (ඔක් 07) තුවාල වෙලා කියලා අපිට රිපෝට් වුණා. අපි එයාව හොස්පිටල් එකට ඇඩ්මිට් කළා. එලෙස තුවාල ලබා තිබෙන්නේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි ලාංකිකයෙක්. අපි ඔහුගේ අවශ්‍යතා සොයා බලන්න කටයුතු කරනවා," තානාපතිවරයා පවසා සිටියේ ය.

ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයින් සංඛ්‍යාව කොපමණද?

මේ වන විට ඊශ්‍රායලයේ ලාංකිකයින් අටදහසක් පමණ ජීවත් වන බවත්, ඉන් බහුතරයක් සාත්තු සේවකයින් ලෙස සේවය කරනු ලබන පුද්ගලයින් බවත් තානාපතිවරයා සඳහන් කළේය.

"ලංකාවේ අය අටදහසක් පමණ ඉන්නවා දැනට ඊශ්‍රායලයේ. පසුගිය මාස නවයක කාලය තුළ දී දෙරට අතර ඇතිකර ගත්ත ගිවිසුමක් අනුව ලාංකිකයින් 600ක් පමණ නිල වශයෙන් මේ රටට ඇවිත් තියෙනවා. මේ අයගෙන් 90%ක් පමණ සේවය කරන්නේ සාත්තු සේවකයින් විදිහට. ඉතුරු අය කෘෂිකර්ම සේවයට ආපු අය. එහෙම ආපු අය නැවත ගිහින් නැහැ. ඒ වගේම සංචාරක වීසා වලින් ඊශ්‍රායලයට ඇවිත් නැවත ගියේ නැති පිරිසක් ඉන්නවා මේ පිරිස අතරේ.

"බහුතරයක් ලංකාවේ අය ජීවත් වෙන්නේ අගනුවර වන ජෙරුසලම, ටෙල් අවීව් සහ හයිෆා කියන නගර ආශ්‍රිතව යි. සාත්තු සේවකයින් විදිහට සේවයට ඇවිත් ඉන්න අය නිවෙස් තුළ ඉඳගෙන සේවය කරන්නේ. හෝටල් වල වැඩකරන කිහිප දෙනෙකු ඉන්නවා.

"ඒ වගේම ලංකාවේ අය ඊශ්‍රායෙල් ජාතිකයින් සමග විවාහ වෙලා ඉන්නවා. ඒ වගේ පවුල් 30-35ක් පමණ තියෙනවා. ඊට අමතරව මේ රටේ බෞද්ධ විහාරයක් තියෙනවා, අපේ ස්වාමින්වහන්සේ නමක් එහි වැඩසිටිනවා," ඔහු පැවසීය.

එක් ලාංකිකයෙකු ගැන තොරතුරු නැහැ

Skip Facebook post
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post

ඊශ්‍රායලයේ වෙසෙන එක් ලාංකිකයෙකු සම්බන්ධයෙන් වන තොරතුරු දැන ගන්නට නොමැති බව ද තානාපතිවරයා පවසා සිටියේ ය.

ඔහු පැවසුවේ දුරකථන මාර්ගවල පවතින ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් එම ශ්‍රී ලාංකිකයා සම්බන්ධ කර ගැනීමට නොහැකිව ඇති බවට විශ්වාස කරන බවයි.

"අපට දැන් ආරංචියක් ආවා ශ්‍රී ලංකාවෙන් ආපු කෙනෙක් ගේ දුරකථනය අක්‍රිය වීම නිසා ඔහු ගැන තොරතුරු වාර්තා වෙන්නේ නැහැ කියලා. ඒකට ප්‍රධාන වශයෙන් හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මේ වෙද්දී ඊශ්‍රායලයේ ඇතැම් ප්‍රදේශවල දුරකථන ජාල සම්බන්ධතා අත්හිටුවලා තිබීම සහ පවතින විදුලි සබඳතා විසන්ධි කිරීම නිසා ඇතැම් විට ඔවුන්ගේ දුරකථනය චාර්ජ් කිරීමට නොහැකිවී සිටිනවා වෙන්න පුළුවන්. දුරකතනයෙන් සම්බන්ධ කර ගන්න බැරි වුණාම කට්ටිය බය වෙනවා.

"අපේ තානාපති කාර්යාලයේ මාත් එක්ක තවත් නිලධාරීන් තිදෙනෙක් මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලනවා. අපි ටෙලිෆෝන් ලයින්ස් දාලා තියෙනවා ලංකාවේ ඕනෑම කෙනෙක්ට කතා කරන්න කියලා," තානාපතිවරයා සඳහන් කළේ ය.

මේ අතර පවතින යුදමය තත්ත්වය ගැන තොරතුරු සඳහන් කරමින් තානාපතිවරයා කියා සිටියේ පෙරේදා රාත්‍රියේ ද රොකට් ප්‍රහාර එල්ලවූ බව යි.

"ඒ වගේම පෙරේදා රෑත් රොකට් ප්‍රහාර එල්ල වුණා අපි ඉන්න ප්‍රදේශයට. ඒ එල්ල වන රොකට් ප්‍රහාරවලට ඊශ්‍රායලයේ තිබෙන අයන් ඩෝම් කියන ප්‍රති මිසයිල නාශක පද්ධතිය ඉහළ අහසේ දීම ප්‍රහාර එල්ල කරලා විනාශ කරනවා," ඔහු පැවසීය.

ගාසා තීරයේ වෙසෙන ලාංකිකයින් ගැන තොරතුරු

මේ අතර ගාසා තීරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සිටින බවත් ඉන් මේ වන විට සම්බන්ධ කර ගැනීමට හැකිව ඇත්තේ එක් අයෙකු පමණක් බව පලස්තීනයේ රමල්ලා හි වෙසෙන ශ්‍රී ලංකා නියෝජිත නාවලගේ බෙනට් කුරේ බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් සඳහන් කළේ ය.

"ගාසා තීරයේ ශ්‍රී ලාංකිකයින් ඉන්නේ තුන්දෙනයි. ඒ තුන්දෙනාම කාන්තාවන්. ඔවුන් පලස්තීන ජාතිකයින් සමග විවාහ වෙලා දරුවන් සමග දීර්ඝ කාලයක් ජීවත් වෙනවා. අපිට ඒ අයගෙන් එක් කාන්තාවක් සම්බන්ධකර ගන්න හැකිවුණා දුරකථනය ඔස්සේ.

"ඔවුන්ට ශාරීරිකව කිසිම හිරිහැරයක් වෙලා නැහැ කියලා අපට දැනුම් දුන්නා. නිවසින් බැහැරව නොයන්න කියලා දැනුම් දී තිබෙන නිසා ඔවුන්ට ආහාර පාන සපයා ගැනීමේ දුෂ්කර බව අපට දැනුම් දුන්නා.

"දැනට පලස්තීනයේ ලාංකිකයින් හය දෙනෙකු පමණක් වෙසෙන බවයි අපට තිබෙන තොරතුරු අනුව වාර්තා වෙන්නේ," බෙනට් කුරේ පැවසුවේ ය.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මොකද කියන්නේ?

ඊශ්‍රායලයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ටෙල් අවීව් සහ රමල්ලාහි වෙසෙන ශ්‍රී ලංකා දූත මණ්ඩලයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර විපතට පත් ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමග සම්බන්ධතා පවත්වමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ ප්‍රහාර සහ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම මෙන්ම එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන ජීවිත හානි පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ප්‍රචණ්ඩත්වය වහා නතර කරන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා සිටින අතර තවදුරටත් සිවිල් වැසියන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙස ද සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ද එහි දක්වා ඇත.

ඇතිවූ ගැටුම් හේතුවෙන් විපතට පත්වුවන්ට සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් සිය ශෝකය පළකරන බවද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.