'පලස්තීන තරුණයින් වන අපව අසමත් කළේ දේශපාලන ක්‍රියාවලිය යි'

Palestinian youth (file photo)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, යුසෆ් එල්ඩින්
    • Role, බීබීසී ලෝක සේවය

අවුරුදු 30ට අඩු පලස්තීනුවන්ට මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු දිනක අවස්ථාවක් නොලැබුණු අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු පවසන්නේ තමන්ට පලස්තීන නායකයින් කෙරෙහි එතරම් විශ්වාසයක් නොමැති බව ය. බීබීසීය සතුව පමණක් ඇති දත්තවලින් පෙනී යන්නේ, ඊශ්‍රායල-පලස්තීන ගැටුම සඳහා ද්වි-රාජ්‍ය විසඳුමක් පිළිබඳ වන සංකල්පය ඔවුන් වැඩි වැඩියෙන් ප්‍රතික්ෂේප කරන බව ය.

"කියන්නන් වාලේ කියන මේ 'ද්වි-රාජ්‍ය විසඳුම' බටහිර රටවල් සැබෑ තත්ත්වය දෙස නොබලා ගෙනාපු දෙයක්," ඒ පිළිබඳව විමසූ විට 17 හැවිරිදි ජන්නා තමීමි එය හෑල්ලුවට ලක් කරමින් පැවසුවේ ය. "එතකොට කොහෙද දේශසීමා තියෙන්නේ?" ඔහු අසයි.

ජන්නා පවසන්නේ, තමන් ලොව පිළිගත් ළාබාලතම මාධ්‍යවේදිනියන්ගෙන් කෙනෙකු බව ය. වයස අවුරුදු හතේ දී ඇය තම මවගේ දුරකතනය ඉල්ලාගෙන භාවිතාකර ඊශ්‍රායලයේ ආක්‍රමණයට නතුවූ බටහිර ඉවුරේ පිහිටා ඇති ඇගේ උපන් ගම වන නබි සලාහි පැවති විරෝධතා ආවරණය කිරීමට පටන්ගත්තා ය.

Janna
ඡායාරූප ශීර්ෂ වැකිය, ජන්නා උපත ලැබුවේ පසුගිය පලස්තීන මැතිවරණය පැවති වසරේ දී ය

"මම [ඊශ්‍රායල් හමුදාවන්] රාත්‍රි කාලයේ දී සිදුකරන වැටලීම් සහ දිවා කාලයේ නිතර දෙවේලේ සිදුකරන වැටලීම් ගැන වාර්තා කළා. මට ඒ හැම එකක් ම රූගත කරන්න පුළුවන් කමක් නැහැ, ඒත් මම උපරිම උත්සහ කරනවා. ඉස්කෝලේ වැඩ ත් එක්ක ඒක කරන එක ටිකක් අමාරුයි. ඒත් හැම වෙලේ ම කවර් කරන්න මොකක් හරි සිද්ධියක් තියෙනවා."

ජන්නා උපන් දා සිට පලස්තීනයට අයත් භූමි ප්‍රදේශවල එකදු මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පවත්වා නැත. අවසන් වරට මැතිවරණයක් පැවතියේ 2006 වසරේ දී වන අතර, ඉන් අදහස් වන්නේ එරට වයස අවුරුදු 34ට අඩු කිසිදු පුරවැසියෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු අවස්ථාවක් මේ දක්වා හිමිවී නොමැති බව යි.

එහි ප්‍රතිඵලයක් ලෙස, පලස්තීන දේශපාලන නායකත්වය කෙරෙහි විශ්වාසය බිඳ වැටීම සහ ඊශ්‍රායලය සමග සාමකාමී ස්වාධීන පලස්තීන රාජ්‍යයක් ඇති කිරීම උදෙසා වූ ජාත්‍යන්තර සහාය හිමි සැලසුම වන ද්වි-රාජ්‍ය විසඳුම සඳහා ඇති සහයෝගය ක්‍රමයෙන් අහිමිවී ගියේ ය.

බටහිර ඉවුරේ පිහිටා ඇති පලස්තීන ප්‍රතිපත්ති සහ සමීක්ෂණ පර්යේෂණ මධ්‍යස්ථානය ජනගහණය තුළ වෙනස්වන අදහස් දශක දෙකකට වැඩි කාලයක් පුරාවට නිරීක්ෂණය කර ඇති අතර, වයස අවුරුදු 18 සිට 29 දක්වා පුද්ගලයින්ගේ දත්ත විශේෂයෙන්ම බීබීසීය වෙත ලබා දුන්නේ ය.

මෙම සොයාගැනීම් මඟින්, පලස්තීන අධිකාරියට (PA) මෙම පරම්පරාවේ ඇති සහාය ක්‍රමයෙන් අහිමිවී යාමේ සහ පසුගිය දශකය පුරා ද්වි-රාජ්‍ය විසඳුමක් සඳහා වූ සහයෝගයේ නොවෙනස් වූ පහත වැටීමේ නැඹුරුතාවන් පැහැදිලිව පෙන්නුම් කරයි.

"අද තරුණයන් තුළ ඇති අතෘප්තිය වැඩි වෙන්න හේතුවෙලා තියෙන්නේ, දේශපාලන ක්‍රමය තුළ ඔවුන් දකින නීත්‍යනුකූලභාවයක් නොමැතිකම. ඒ හින්දා අවුරුදු 14ක් තිස්සේ නීත්‍යනුකූල ජනවරමක් නැතිව රට පාලනය කරන ජනාධිපතිවරයෙක් අපිට ඉන්නවා," එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය ඛලීල් ෂිකාකි පැහැදිලි කරයි.

"අපගේ දේශපාලන ක්‍රමය බොහෝ දුරට අධිකාරීවාදී යි; තනි මනුස්සයෙක් තමයි ගොඩක් වෙලාවට හැමදේ ම තීරණය කරන්නේ. න්‍යායාත්මකව, අපිට ව්‍යවස්ථාවක් තියෙනවා. නමුත් යථාර්තය අතින් ගත්ත ම අපි අපේ ව්‍යවස්ථාව පිළිපදින්නේ නෑ."

ඒ අතර ම, සන්නද්ධ ගැටුම සඳහා සහාය දක්වන වැඩිම පිරිසක් සිටින්නේ වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් අතර ය. මාර්තු මාසයේ පැවති නවතම මත විමසුමට අනුව, ඒ වයස් කාණ්ඩයේ 56%කට වැඩි පිරිසක් ඊශ්‍රායලයට එරෙහිව 'ඉන්ටිෆාඩා', එනම්' නැගී සිටීමක් වෙත ආපසු යාමට සහය දක්වති.

පසුගිය වසර තුළ, පලස්තීන අධිකාරියේ ආරක්ෂක හමුදාවන්ගේ නීත්‍යනුකූලභාවයට අභියෝග කරමින් උතුරුදිග බටහිර ඉවුර ප්‍රදේශයේ නාබ්ලුස් සහ ජෙනින් නගරවල නව සටන්කාමී කණ්ඩායම් ගණනාවක් බිහිවී ඇත.

බටහිර ඉවුරේ සිටි ඊශ්‍රායල හමුදාවන්ට සහ පදිංචිකරුවන්ට එරෙහිව ප්‍රහාර එල්ල කළ ලයන්ස් ඩෙන් (Lions' Den) සහ ජෙනින් බ්‍රිගේඩ්ස් (Jenin Brigades) මින් වඩා ත් ප්‍රසිද්ධ සටන්කාමී කණ්ඩායම් ය.

Lions Den militants (file photo)

ඡායාරූප මූලාශ්‍රය, EPA-EFE

ඡායාරූප ශීර්ෂ වැකිය, වැඩෙන කලකිරීම් මධ්‍යයේ ලයන්ස් ඩෙන් (Lions' Den) වැනි නව සටන්කාමී කණ්ඩායම් බිහි වී ඇත

අප ජෙනින් බලකාය හා සම්බන්ධ වන්නේ, ජෙනින් සරණාගත කඳවුර පුරා විහිදී ඇති වීදිවල බලකායේ සාමාජිකයින් පුහුණු අභ්‍යාසවල නිරත වන එක් රාත්‍රියක පැය 2:00ට පමණ ය.

සෑම සාමාජිකයෙකු සතුව ම M16 වර්ගයේ ප්‍රහාරක රයිෆලයක් තිබුණු අතර, ඔවුන් නිහඬව තනි පෙළට ගමන් කරන්නේ හිස සිට දෙපතුල දක්වා කළු පැහැයෙන් සැරසීගෙන ය. ඔවුන් ගොඩනැගිලි අතර ඇති පටු මාවත් සහ ගොඩනැගිලි මුදුන් නිරීක්ෂණය කරමින් ඇදෙද්දී ඔවුන්ගේ ගිනිඅවි ඉදිරියට එල්ලවී තිබේ.

බහුතරය වයස අවුරුදු 20 ගණන්වල පසුවන සටන්කාමීන්, ඔවුන් ප්‍රධාන සටන්කාමී කණ්ඩායම්වලට සම්බන්ධ නොවන ස්වාධීන කණ්ඩායමකැ යි පවසන අතර පලස්තීන භූමි ප්‍රදේශවල සිටින කිසිදු දේශපාලන පක්ෂයක් සමග සම්බන්ධතා නොපවත්වන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

එක් සටන්කරුවෙකු වන 28 හැවිරිදි මුජාහිද් අපට පවසන්නේ, වත්මන් නායකත්වයෙන් ඔහුගේ පරම්පරාව නියෝජනය නොවන බව ය.

"පසුගිය තිස් වසරක දේශපාලන ක්‍රමවේද එක්ක පලස්තීනයේ තරුණයින්ගේ බලාපොරොත්තු සුන්වෙලා තියෙන්නේ," ඔහු පවසයි.

ඔහු ඊට විසඳුමක් ලෙස ප්‍රචණ්ඩත්වයට සහාය දක්වනවා ද?

"උන් දවස ගානේ ඇවිල්ල මහ දවාලේ අමු අමුවේ මිනිස්සු මරලා දානවා," ඔහු පවසන්නේ ඊශ්‍රායල හමුදා ගැන සඳහන් කරමිනි. "එයාලට තේරෙන එක ම භාෂාව තමයි අපේ බලය පාවිච්චි කරන එක."

දේශපාලනික වාතාවරණය

මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් නොමැති අවස්ථාවක දී, විශ්වවිද්‍යාලවල පැවැත්වෙන ශිෂ්‍ය මැතිවරණ පවතින දේශපාලනික වාතාවරණය පිළිබිඹු කරන සාධකයකි. බටහිර ඉවුරේ බර්සීට් විශ්වවිද්‍යාලයය සහ එහි ශිෂ්‍ය මැතිවරණයන්, මේ භූමියේ දේශපාලන මනෝභාවය පිළිබඳ පිළිබිඹුවකැ යි පුළුල්ව සැලකෙයි.

මනෝභාවයන්හි ඇති වෙනස මෙහි ද පැහැදිලිව පෙනෙයි. පලස්තීන අධිකාරියේ බලය හිමි පක්ෂයේ තරුණ අංශය වන 'ශිෂ්‍ය ෆාටා පක්ෂය' සෑම විට ම ෆාටාහි ප්‍රධාන ප්‍රතිවාදියා වන හමාස් ඇතුළු විරුද්ධවාදී ඉස්ලාමික පක්ෂවලට එරෙහිව ජයගෙන තිබේ. නමුත් පසුගිය වසරේ දී එය වෙනස් විය.

"ඒක ලොකු කම්පනයක් වුණා," 2022 ශිෂ්‍ය මැතිවරණයට ඉදිරිපත් වූ පලස්තීන විමුක්තිය සඳහා වූ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ශිෂ්‍ය නියෝජිතයෙකු වන මුස්තාෆා පැහැදිලි කරයි.

"සාමාන්‍යයෙන් ෆාටා සහ හමාස් කණ්ඩායම් අතර වෙනස ආසන එකක් හෝ දෙකක්. මේ සැරේ හමාස් සංවිධානයට [වැඩිපුර] ආසන 10ක් ලැබුණා."

මෙම ශිෂ්‍ය මැතිවරණවල දී හමාස් සංවිධානයට පෙර නොවූ විරූ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමිවීම පලස්තීන අධිකාරියට එරෙහි විරෝධයක් ලෙස පුළුල් ලෙස දකිනු ලැබේ. ඔවුහු පසුගිය මාසයේ දී ද, සුළු වශයෙන් අඩුවූ බහුතරයකින් වුව ද එවැනි ම ජයග්‍රහණයක් ලදහ.

"මහ මැතිවරණයක් තිබුණ ත්, අනිවාර්යයෙන් ම, ඒ අය බර්සීට් විශ්වවිද්‍යාලෙදි ලැබුණ වගේම ප්‍රතිඵල ලබා ගන්නවා," මුස්තාෆා තවදුරට ත් පවසයි. "මොකද දේශපාලන රඳවා ගැනීම් වේවා, බදු වේවා, මිනීමැරුම් හෝ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටපත් කිරීම වේවා, පලස්තීන අධිකාරිය දේවල් එක්ක කටයුතු කරන විදිය මිනිසුන්ට එපාවෙලා ඉන්නේ."

'පැලැස්තර විසඳුම්'

පලස්තීන භූමි ප්‍රදේශවල අනාගතය හැඩගස්වා ගැනීම සඳහා හඬක් නැගීමට නොහැකිව හැදී වැඩුණු බොහෝ දෙනෙකුට, එය තම අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්න මතු කර තිබේ.

මජ්ඩ් නස්රල්ලා, සංස්කෘතික හා අධ්‍යාපන කටයුතු සිදු කරන ස්වාධීන සංවිධානයක් වන කටාන් පදනමේ භාරකරුවෙකු ලෙස සේවය කරයි. ඔහු දිවි ගෙවන්නේ බටහිර ඉවුරේ රාමල්ලා නගරයේ වන නමුත් ඔහු උපත ලැබුවේ උතුරු ඊශ්‍රායලයේ නගරයක ය.

Majd
ඡායාරූප ශීර්ෂ වැකිය, මජ්ඩ්: "මාව පලස්තීනුවන්ගෙන් කෙනෙක් විදියට සලකන්නේ නැහැ"

ඊශ්‍රායලයේ අරාබි පුරවැසියන් සිටින්නේ ඊශ්‍රායල ජනගහණයෙන් 20%ක ප්‍රතිශතයක් වන අතර, ඔහුගේ පරම්පරාවේ බොහෝ දෙනෙකු මෙන්ම ඔහු ද "'48 ඉඳන් හිටි" පුද්ගලයෙකු ලෙස තමා හඳුන්වාගන්නට කැමැත්තක් දක්වයි. එය 1948 වසරේ දී ඊශ්‍රායලය බවට පත්වූ දේශයේ රැඳී සිටි පලස්තීනුවන් හැඳින්වීමට භාවිතා කරන යෙදුමකි. මේ නිසා ඔහු පලස්තීන සමාජයෙන් කොන් වී ඇත.

"බටහිර ඉවුරෙ ඉන්න පලස්තීනුවන්ගෙන් කෙනෙක් විධියට මාව සලකන්නේ නැහැ," මජ්ඩ් තවදුරට ත් පවසයි. "[පලස්තීන මැතිවරණවලදී] ඡන්දය පාවිච්චි කරන්න මට අයිතියක් නෑ. ඇත්තෙන් ම ඊශ්‍රායල නීතියට අනුව මට මෙහෙ [රාමල්ලාහි] ඉන්නත් බෑ."

ආරක්ෂක හේතූන් මත, බටහිර ඉවුරේ පිහිටා ඇති පලස්තීන ප්‍රදේශවලට ගමන් කිරීම ඊශ්‍රායල නීතිය එහි පුරවැසියන්ට තහනම්කර තිබේ.

පලස්තීන දේශපාලන ක්‍රියාවලිය තුළ හඬක් නොමැති මජ්ඩ්ට ද ද්වි-රාජ්‍ය විසඳුම ගැන විශ්වාසයක් නොමැත.

"ද්වි-රාජ්‍ය විසඳුම ඇත්තට ම පලස්තීනුවන් අඛණ්ඩව පීඩාවට පත් කිරීම සඳහා පැලැස්තර විසඳුමක් විදිහට පාවිච්චි කරන දේශපාලන ව්‍යාපෘතියක මළකඳක්," ඔහු පවසයි.

"ඔබ මගෙන් ඇහුවොත්, ඒක ඇවිල්ලා රාජ්‍යයක් ගැන නෙවෙයි. පස් හැවිරිදි දරුවෙකුට වුණත් සිතියම දිහා බලලා මේක සාර්ථක වෙන දෙයක් නෙවෙයි කියලා කියන්න පුළුවන්."

Demonstrators wave Israeli and Palestinian flags (file photo)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ද්වි-රාජ්‍ය සංකල්පය කෙරෙහි ඇති විශ්වාසය තරුණ පලස්තීනුවන් අතරින් ගිලිහී යමින් පවතියි

ද්වි-රාජ්‍ය විසඳුමක අනාගතය ගැන ප්‍රශ්නාර්ථයක් ඉතිරි වන්නේ, ඉන් වැඩි වශයෙන් බලපෑමට ලක්වන පරම්පරාවක් එය සාර්ථක විකල්පයක් ලෙස දැකීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙ

මජ්ඩ්ගේ බලාපොරොත්තුව කුමක්දැ යි මම ඇසුවෙමි.

"ගොඩ කලක් තිස්සේ මම 'එක් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්' කියන විසඳුම (ඊශ්‍රායලය සහ පලස්තීන භූමි ප්‍රදේශ ආවරණය වන පරිදි) වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්," ඔහු පවසයි. "අවම වශයෙන් පසුගිය දශකය පුරාවට ම, වත්මන් පාලන ක්‍රමය ගැන අපේ අතෘප්තිය ප්‍රකාශ කරන්න බොහෝ උත්සහයන් ගත්ත. හැබැයි ඒවා මුළුමනින් ම යටපත් කළා. මට හදවතින් ම කියන්න පුළුවන්, පලස්තීන අධිකාරිය අපේ පරම්පරාවේ හඬ විතරක් නෙවෙයි, සමස්ත පලස්තීනුවන්ගේ හඬ පවා නියෝජනය කරන්නේ නෑ."

පලස්තීන අධිකාරිය මෙම ලිපියෙන් මතුකර ඇති ගැටලු සඳහා පිළිතුරු ඉල්ලා කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූයේ නැත.