බටහිර ජෙරුසලම ඊශ්‍රායල අගනුවර ලෙස පිළිගැනීමට ගත් තීරණය ඕස්ට්‍රේලියාව ඉවත්කර ගනියි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
බටහිර ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීම සඳහා ඕස්ට්‍රේලියාව මීට සිව්වසරකට පෙර ගත් තීරණය මේ වන විට වෙනස්කර ඇත.
2018 දී ඕස්ට්‍රේලියානු රජය ගත් මෙම තීරණය සාමයට තර්ජනයක් වූ බවත්, එය වෙනත් රටවල් සමග අනුගත නොවන ආකාරයේ තීරණයක් බවත් එරට විදේශ අමාත්‍යවරිය වන පෙනී වොං පැවසීය.
ඕස්ට්‍රේලියාව තවදුරටත් ඊශ්‍රායලයේ "ස්ථිර මිතුරෙකු" බව ඇය අවධාරණය කළා ය. ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි තවදුරටත් පවතිනු ඇත.
ජෙරුසෙලමේ තත්ත්වය සම්බන්ධ ගැටලුව, ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර විවාදයට ලක්වන විශාලතම ගැටලු වලින් එකකි.
ඊශ්‍රායල අගමැති යඊර් ලපිඩ් මේ සම්බන්ධයෙන් මෙසේ පැවසීය: "මාධ්‍යවල පළවුණු වැරදි වාර්තාවකට දැක්වූ ඉක්මන් ප්‍රතිචාරයක් විදියට ඕස්ට්‍රේලියාව ගත් මේ තීරණය නිසා අපිට බලාපොරොත්තු වෙන්න සිදුවෙන්නේ, ඕස්ට්‍රේලියානු රජය අනෙකුත් කාරණා මීට වඩා බැරෑරුම් ලෙස සහ වෘත්තීයමය ලෙස සලකනු ඇති කියන එක යි.
"ජෙරුසලම තමයි ඊශ්‍රායලයේ සදාකාලික සහ ඒකීය අගනුවර. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ."
2017 දී, දශක ගණනාවක ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරමින් පුරාණ ජෙරුසලම නගරය ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගත් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර විවේචනයට ලක්විය. එක්සත් ජනපද තානාපති කාර්යාලය 2018 මැයි මාසයේ දී ටෙල් අවිව් සිට ජෙරුසලම වෙත ගෙන යනු ලැබුණි.
ඉන් මාස කිහිපයකට පසු, ඕස්ට්‍රේලියාවේ එවකට අගමැති වූ ස්කොට් මොරිසන් තම රජය ද එය අනුගමනය කරන බව ප්‍රකාශ කළේ ය.
එම අවස්ථාවේ දී මොරිසන් පැවසුවේ ඕස්ට්‍රේලියාව බටහිර ජෙරුසලම පිළිගනු ඇති නමුත් ගැටළු සමථයකට පත් වන තුරු සිය තානාපති කාර්යාලය ටෙල් අවිව් වෙතින් ගෙන නොයන බවයි.
මේ වසරේ මැයි මාසයේ පැවති මැතිවරණයකින් මොරිසන්ගේ රජයට බලය අහිමිවිය.
පසුගිය අඟහරුවාදා ඕස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍ය පෙනී වොං, පෙර ආණ්ඩුවේ තීරණය මැතිවරණය අබිමුව යුදෙව් ඡන්දදායකයින්ගේ සිත් දිනාගැනීම සඳහා සිදුකළ "නින්දාශීලී ක්‍රියාවක්" ලෙස හැඳින්වීය.
"දේශපාලනය සෙල්ලමට අරගන්න මොරිසන් මහත්මයා ගත් තීරණය නිසා ඕස්ට්‍රේලියාවේ ස්ථාවරය වෙනස් වුණු එක ගැන මම කණගාටු වෙනවා. මේ ප්‍රශ්නය ගැන ගැඹුරින් සැලකිලිමත් වන ඕස්ට්‍රේලියානු ප්‍රජාවේ බොහෝ දෙනෙකුට ඒක [එම තීරණය] ගැටලුවක් වුණා," ඇය පැවසුවා ය.
ඕස්ට්‍රේලියාවේ "පූර්ව සහ දිගුකාලීන" ස්ථාවරය තහවුරු කරමින් ඇය පැවසුවේ, ඊශ්‍රායලය සහ පලස්තීන ජනතාව අතර සාම සාකච්ඡාවල කොටසක් ලෙස ජෙරුසලමේ ගැටලුව විසඳාගත යුතු බව යි.
එක්සත් රාජධානිය මේ වන විට සිය තානාපති කාර්යාලය ජෙරුසලම වෙත ගෙන යාමට අදහස් කරමින් සිටියි. එක්සත් ජනපදයේ තානාපති කාර්යාලය හැරුණු විට එහි පවතින්නේ හොන්ඩියුරාස්, ග්වාතමාලා, සහ කොසෝවෝ යන රටවල තානාපති කාර්යාල පමණි.
ඊශ්‍රායලය ජෙරුසලම එහි "සදාකාලික සහ නොබෙදුණු" අගනුවර ලෙස සලකන අතර, පලස්තීනුවන් කියා සිටින්නේ 1967 මැද පෙරදිග යුද්ධයේ දී ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් නැගෙනහිර ජෙරුසලම අනාගත රාජ්‍යයක අගනුවර බව යි.
ජෙරුසලමේ තත්ත්වය ඊශ්‍රායල-පලස්තීන ගැටුමේ පදනම දක්වාම පැතිර යයි.
ජෙරුසලම කෙරෙහි ඊශ්‍රායලයේ ස්වෛරීභාවය කිසි විටෙකත් ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව නොමැති අතර, 1993 ඊශ්‍රායල-පලස්තීන සාම ගිවිසුමට අනුව සාම සාකච්ඡාවල අවසාන අදියරේදී ජෙරුසලම පිළිබඳව සාකච්ඡා කිරීමට අදහස් කෙරේ.










