ඊශ්‍රායල-ගාසා ගැටුම:අඛණ්ඩ ප්‍රචණ්ඩත්වයෙන් පසු එක රැයින් සටන් විරාමයට

2022 අගෝස්තු 07 වන දින ගාසා හි රෆා වෙත එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිත අහිමි වූ පලස්තීනුවන්ගේ අවමංගල්‍ය උත්සවයට ජනතාව සහභාගී වෙමින්

ඡායාරූප මූලාශ්‍රය, Anadolu Agency via Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, 2022 අගෝස්තු 07 වන දින ගාසා හි රෆා වෙත එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිත අහිමි වූ පලස්තීනුවන්ගේ අවමංගල්‍ය උත්සවයට ජනතාව සහභාගී වෙමින්

දින තුනක අඛණ්ඩ ප්‍රචණ්ඩතාවන්ගෙන් පසු ඊශ්‍රායල සහ පලස්තීන සටන්කාමීන් අතර සටන් විරාමයක් ඇතිව තිබේ.

කෙසේ වෙතත් ඊජිප්තු මැදිහත් වීමෙන් ඇති කළ සටන් විරාමයේ ආරම්භය වූ ඉරිදා රාත්‍රී මැදියමට පෙර මෙන්ම පසුව ද වෙඩි ප්‍රහාර එල්ල වෙමින් තිබිණි.

2021 මැයි මාසයේ දින 11 ක් පැවති දැඩි ගැටුම හේතුවෙන් පුද්ගලයින් 44 දෙනෙකු පමණවත් මිය යන්නට ඇත.

සටන් විරාමය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස අමෙරිකාව සහ එක්සත් ජාතීන්ගේ නායකයෝ දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටියහ.

නිවේදනයක් නිකුත් කරමින්, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සටන් විරාමය වෙනුවෙන් ප්‍රශංසා කළ අතර, "[එය] සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙසත්, ඉන්ධන සහ මානුෂීය සැපයුම් ගාසා තීරයට ගලා ඒම සහතික වන බවත්" පැවසීය.

සිවිල් වැසියන්ගේ ජීවිත හානි පිළිබඳ වාර්තා කාලය ගතකිරිමකින් තොරව විමර්ශනය කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

ඉරිදා දින ඇති කළ සටන් විරාමය සඳහා මැදිහත්කරු වූයේ ඊජිප්තුව යි. අතීතයේදී ද ඊශ්‍රායලය සහ ගාසා තීරය අතර අතරමැදියෙකු ලෙස ඊජිප්තුව ක්‍රියා කර ඇත.

නමුත් ඉරිදා එය ක්‍රියාත්මක වන වීමට ප්‍රමාද වන විට, ඊශ්‍රායල හමුදාව තහවුරු කළේ තමන් ගාසා තීරයේ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් (PIJ) ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බවයි. ඊශ්‍රායල මාධ්‍යය ද වාර්තා කළේ, නියමිත වේලාවට පසුව පවා ගාසා තීරයෙන් රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව යි.

එහෙත් රාත්‍රිය ගෙවී යද්දී තවදුරටත් ප්‍රචණ්ඩත්වයක් වාර්තා වූයේ නැත.

මෙම සටන් ආරම්භ වූයේ ගාසා තීරයේ විවිධ ස්ථානවලට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ යි. ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ සටන්කාමී කණ්ඩායමක තර්ජනවලට ප්‍රතිචාරයක් ලෙස එසේ කළ බවයි. බටහිර ඉවුරේ දී ජ්‍යෙෂ්ඨ PIJ සාමාජිකයෙකු ඊශ්‍රායලය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ගැටුම් දින කිහිපයක් දක්වා ඇදී ගියේය.

ඉරිදා සවස් වන විට පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ සටන් නිසා වාර්තා වූ මරණ 44 න් 15 දෙනෙකු ළමුන් බවට තහවුරු වී ඇති බවයි. ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය චෝදනා කරන්නේ පලස්තීනුවන්ගේ මරණය සහ 300 කට වැඩි තුවාල වූ පිරිස් සඳහා වගකිව යුත්තේ "ඊශ්‍රායල ආක්‍රමණ" බවයි.

PIJ සටන්කාමීන් ගාසා හි ඝාතන කිහිපයක් සිදු කළ බවට ඊශ්‍රායලය චෝදනා කළේය. සෙනසුරාදා ඊශ්‍රායලය කියා සිටියේ ඔවුන් එල්ල කළ අහඹු රොකට් ප්‍රහාරයක් නිසා ජබාලියා හි ළමුන් කිහිප දෙනෙකු ඝාතනය වූ බවයි.

ගසා හී මානුෂිය තත්ත්වය සළකා බලමින් රෝහල්වල විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් ඉන්ධන ඇත්තේ තවත් දින දෙකක් සඳහා පමණක් බවට සෞඛ්‍ය නිලධාරීන් කළ අනතුරු ඇඟවීම සටන් විරාම ගිවිසුමට එකඟ වීමට හේතු විය.

"අපේ ජනතාවට එරෙහි ඊශ්‍රායල ආක්‍රමණය අවසන් කිරීමට ඊජිප්තුව දරන උත්සාහය අපි අගය කරනවා" යැයි PIJ ප්‍රකාශක තාරෙක් සෙල්මි පැවසීය.

සටන් විරාමය කඩ කළහොත් "දැඩි ලෙස ප්‍රතිචාර දැක්වීමේ අයිතිය තමන් සතු" බව ඊශ්‍රායලය ප්‍රකාශ කළේය.

සතියකට පෙර බටහිර ඉවුරේ PIJ හි ප්‍රධානියා ලෙස වාර්තා වන බැසම් සාදි ඊශ්‍රායලය විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ නවතම ගැටුම් ආරම්භ විය.

ඊශ්‍රායල අරාබි සහ පලස්තීනුවන්ගේ ප්‍රහාර රැල්ලකින් ඊශ්‍රායල ජාතිකයින් 17 දෙනෙකු සහ යුක්රේන ජාතිකයින් දෙදෙනෙකු මිය ගිය බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක විය. අනතුරුව ජෙනින් ප්‍රදේශයේ ඔහුව රඳවා තබා ඇති අතර එම ප්‍රහාරය ක්‍රියාත්මක කළ අයගෙන් දෙදෙනෙක් ද ජෙනින් දිස්ත්‍රික්කයේ අය වූහ.

රාෆා හි දකුණු ප්‍රදේශයේ සිදුවූ ප්‍රහාරවලින් මියගිය අයගේ අවමංගල්‍ය කටයුතු සඳහා ඉරිදා විශාල ජනකායක් රැස්ව සිටියහ. එසේ මිය ගිය අය අතර, ජ්‍යෙෂ්ඨ PIJ අණදෙන නිලධාරී ඛලීඩ් මන්සූර් ද විය. නබ්ලස් නගරයේ බටහිර ඉවුරේ ද ගාසා තීරයට සහාය පළ කරමින් උද්ඝෝෂණ පවත්වා ඇත.

ගාසා තීරයේ ක්‍රියාත්මක වන ප්‍රබලතම සටන්කාමී කණ්ඩායම්වලින් එකක් වන PIJ, ඉරානයේ සහාය ලබන අතර එහි මූලස්ථානය සිරියාවේ ඩැමස්කස් අගනුවර පිහිටා ඇත.

ඔවුන් ඊශ්‍රායලයට එරෙහිව රොකට් ප්‍රහාර සහ වෙඩි තැබීම් ඇතුලු විවිධ ප්‍රහාර දියත් කර ඇත.

2019 නොවැම්බරයේදී ඊශ්‍රායලය සහ PIJ අතර දින පහක ගැටුමක් ඇති වූයේ ඊශ්‍රායලය විසින් ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටි PIJ අණදෙන නිලධාරියෙකු මරා දැමීමෙන් පසුවය. එම ගැටුමෙන් පලස්තීනුවන් 34 දෙනෙකු මිය ගොස් 111 දෙනෙකු තුවාල ලැබූ අතර ඊශ්‍රායල ජාතිකයින් 63 දෙනෙකු රෝහල් ගත කෙරිණි.

ඊශ්‍රායලය ප්‍රකාශ කළේ මියගිය පලස්තීනුවන්ගෙන් 25 දෙනෙකු සටන්කාමීන් බවත්, එහි රොකට් ප්‍රහාර දියත් කිරීමට සූදානමින් සිටි සටන්කාමීන් ද සිටි බවත්ය.

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: ගුවන් ප්‍රහාරයක් ගාසා හි ගොඩනැගිල්ලකට පහර දෙන අවස්ථාවක්