ඊශ්‍රායල ගාසා ගැටුම: සටන් විරාම ඉල්ලීම් මැද ගාසා තීරය වෙත අලුතින් ගුවන් ප්‍රහාර එල්ල වෙයි

A Palestinian holds a teddy bear from the rubble of a destroyed houses after an Israeli air strike in Gaza City

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරවලින් විනාශයට පත් ගොඩනැගිලි සුන්බුන් අතර සිටින පලස්තීනුවෝ

ඊශ්‍රායලයේ දකුණු දිග නගර වෙත පලස්තීන සටන්කරුවන් නොනවත්වා රොකට් ප්‍රහාර එල්ල කිරීමත් සමග ඊශ්‍රායලය සඳුදා (මැයි 17) ගාසා තීරය වෙත ගුවන් ප්‍රහාර ගණනාවක් එල්ල කර තිබේ.

ගාසා හි, අලුයමට පෙර ක්‍රියාත්මක වූ ප්‍රහාරයන්, දැනට සතියකට පෙර ගැටුම් ආරම්භ වූ දින පටන් දක්නට ලැබුණු දරුණුතම සටන් අතරට එක්වේ.

හමාස් සටන් කණ්ඩායමට අයත් ගොඩනැගිලි සහ අණ දෙන පුද්ගලයන්ගේ වාසස්ථාන ගණනාවක් වෙත ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය පැවසුව ද ප්‍රධාන මාර්ග සහ විදුලි සැපයුම් මාර්ගවලට ද හානි සිදුව ඇත.

ප්‍රහාරයෙන් හානියට පත් පුද්ගලයන් පිළිබඳ මෙතෙක් වාර්තා ලැබී නොමැත.

වීඩියෝ ශීර්ෂ වැකිය, ඊශ්‍රායල් - ගාසා ගැටුම් : රොකට් ප්‍රහාර දුටු ශ්‍රී ලාංකිකයන් බීබීසීයට කතා කරයි

ගාසා තීරයේ වෙසෙන ජනයා ඔවුන්ට දැනෙන බිය පිළිබඳ විස්තර කළහ.

"මම මැරෙන්න සූදානමින් සිටියේ. මට මැරෙන්න හිත හදා ගන්න වුණා." පලස්තීන මානුෂීය ආධාර සේවිකාවක සහ දෙදෙරු මවක වන නජ්ලා ෂවා බීබීසියට පැවසීය.

"අපි දන්න කියන මිනිස්සු, අපිත් එක්ක වැඩ කරන මිනිස්සු... සාමාන්‍ය මිනිස්සු, වෘත්තිකයන්, තරුණ මහලු අය මිය ගිහින්,"

line
line

සඳුදා අලුයම උදා වීමට මදකට පෙර, යුද ප්‍රහාරක යානා පනහකට වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් ගාසා තීරය වෙත මිනිත්තු 20 ක ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදා කියා සිටියේය.

"ත්‍රස්ත ඉලක්ක" 35 ක් වෙත එම ප්‍රහාර දියත්ව ඇති අතර හමාස් කණ්ඩායමට අයත් කිලෝමීටර 15 කට වැඩි දිග උමං මාර්ග ජාලයක් විනාශ කළ බව ද ඔවුහු පවසති.

හමාස් හි අණ දෙන "ඉහළ නිලවලට" අයත් වූ 9 දෙනෙකුගේ නිවාස වෙත ද ප්‍රහාර එල්ල කළ බව හමුදා සඳහන් කළේය. ගාසා තීරයට ආසන්න දේශ සීමාවේ සිට ඊශ්‍රායල හමුදා සෙබළුන් කාලතුවක්කු ප්‍රහාර ද එල්ල කර තිබේ.

ඊශ්‍රායලයේ සිතියම

දෙපාර්ශයව අතර ගැටුම් හටගත්තේ මුස්ලිම් සහ යුදෙව් දෙපාර්ශවයේම ශුද්ධ භූමියක් වන නැගෙනහිර ජෙරුසලමේ ස්ථානයක ඊශ්‍රායල පොලිසිය හා පලස්තීන උද්ඝෝෂකයින් අතර මතුවූ ප්‍රචණ්ඩ ගැටුම්වලින් අනතුරුව සති කිහිපයක් පුරා පැවති උණුසුම් තත්ත්වයකින් අනතුරුවය.

එම ශුද්ධ භූමි ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස ඊශ්‍රායලය වෙත අනතුරු ඇඟවීමෙන් පසු හමාස් සටන්කරුවන් රොකට් ප්‍රහාර ආරම්භ කළ අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර දියත් කළේය.

පසුගිය සතිය තුළ සිය රට වෙත 3,000 ඉක්මවා රොකට් ප්‍රහාර එල්ල කර ඇතැයි ඊශ්‍රායලය පවසයි. සඳුදා පස්වරුවේ දකුණු දිග ඊශ්‍රායලයේ නගර කිහිපයක රොකට් ප්‍රහාර එල්ල වීමේ අවදානම අඟවන නලා හඬ ඇසී තිබේ.

රාත්‍රිය පුරා එල්ල වූ ප්‍රහාර හේතුවෙන් පුළුල් වශයෙන් විදුලිය ඇණහිටීම් සිදුව ඇති බවත් නිවාස සිය ගණනකට සහ අනෙකුත් ගොඩනැගිලිවලට හානි සිදුව ඇති බවත් ගාසා හි පලස්තීන බලධාරීහු පවසති.

A streak of light is seen as Israel's Iron Dome intercepts rockets launched from the Gaza strip

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය සතිය තුළ සිය රට වෙත 3,000 ඉක්මවා රොකට් ප්‍රහාර එල්ල කර ඇතැයි ඊශ්‍රායලය පවසයි

එක් පදිංචිකරුවෙකු වන සේරා මාමුද් බීබීසිය වෙත කියා සිටියේ, "අපි තවමත් පණ පිටින්, ඒත් අපි හොඳින් නෙමෙයි. ගාසා හි වඩාත් ලස්සනම මාර්ගය යුද ප්‍රහාරක ගුවන් යානයක් විසින් විනාශ කරනු ලැබුවා," යනුවෙනි.

සමස්තයක් වශයෙන් කලාපයේ මරණ සංඛ්‍යාව 198 හි රැඳී ඇති අතර දරුවන් 58 දෙනෙකු සහ කාන්තාවන් 34 දෙනෙකු ඊට ඇතුළත් බව හමාස් යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය. ඔවුන් පවසන පරිදි තුවාල ලබා ඇති සංඛ්‍යාව 1,230 දෙනෙකි. ඊශ්‍රායලය කියා සිටියේ සටන්කරුවන් 130 කට වැඩි පිරිසක් මරණයට පත් වූවන් අතර සිටින බවය. එහෙත් එම සංඛ්‍යා ලේඛන හමාස් පිළිනොගනියි.

මේ අතර සටන් විරාමයකට පැමිණෙන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් පැමිණෙන ඉල්ලීම් වැඩි වෙමින් පවතී.

ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆාටා අල් සිසී සඳුදා කියා සිටියේ සිය රට සටන් විරාමයක් වෙත ළඟා වීම සඳහා දැඩි වෙහෙසක් ගත් බවය. එය යථාර්ථයක් වීමට තවමත් ඉඩ ඇති බවට ඔහු බලාපොරොත්තු පළ කළේය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් ඉරිදා (මැයි 16) හදිසි රැස්වීමක් කැඳවනු ලැබ තිබිණි. තවදුරටත් සටන් පැවතීම නිසා "පාලනය කර ගත නොහැකි ආරක්ෂක සහ මානුෂීය අර්බුදයක් ඇතිවීමට ඉඩ ඇති" බවට එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් අනතුරු අඟවා තිබේ.

"පූර්ණ භීතියක් සහිත" ප්‍රචණ්ඩත්වය අවසන් කරන ලෙස ඔහු ආයාචනා කළේය.

මේ ගැනත් කියවන්න: