'සහකරුවෙකු සොයා ගැනීමේ පීඩනය අඩු කර ගැනීමට' ඩිම්බ අධිශීත කර කල් තබා ගන්නා Gen Z කාන්තාවෝ

ඡායාරූප මූලාශ්‍රය, Libby Wilson
- Author, කේට් බෝවී
- Role, ගෝලීය සෞඛ්‍ය, බීබීසී ලෝක සේවය
"ඩේට් කරද්දී මට දැනුණු පීඩනය මට තේරුණේ මගේ ඩිම්බ ෆ්‍රීස් (අධිශීතකරණයක තබා කල්තබා ගැනීම) කළාට පස්සේ ඒක මගෙන් ඉවත් වුණාට පස්සේ," වයස අවුරුදු 25දී සිය ඩිම්බ අධිශීතකරණය කිරීමෙන් කල්තබා ගැනීමක් කළ ලිබී විල්සන් පවසයි.
සබඳතා පිළිබඳ අවිනිශ්චිතතාව සහ පහත වැටෙන සරුභාවයේ පීඩනයකින් තොරව නිදහස භුක්ති විඳීමේ ආශාව මගින් මෙහෙයවනු ලබන සහ, ඔවුන්ගේ සරුභාවය ආරක්ෂා කර ගනිමින් ජීවත් වන, වයස අවුරුදු 20 ගණන්වල මුල් භාගයේ සිටින Gen Z කාන්තාවන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතින අතර, ඉහත තරුණිය ද එයින් එක් අයෙකි.
කාන්තාවන් නිශ්චිත ඩිම්බ සංඛ්‍යාවක් සහිතව උපත ලබන අතර, වයසත් සමග ඒවායේ ගුණාත්මකභාවය හා ප්‍රමාණය අඩු වේ. මේ හේතුවෙන් ගැබ් ගැනීම දුෂ්කර විය හැකි ය.
2000 දශකයේ මුල් භාගයේ සිට, වෛද්‍යමය නොවන හේතු මත ඩිම්බ අධිශීත කිරීම වඩාත් ජනප්‍රිය වී ඇත. වයස අවුරුදු 30 ගණන්වල කාන්තාවන් මේ සම්බන්ධයෙන් වැඩි ම නැඹුරුවක් ඇති කණ්ඩායම වූ නමුත්, දැන් ඊට වඩා ළාබාල තරුණ කාන්තාවෝ ද ඒ අතර වෙති.
මෙම ක්‍රියා පටිපාටිය ලොව පුරා ක්‍රියාත්මක වන නමුත් ඊට අදාළ නීති රටින් රටට වෙනස් වේ. චීනයේ, තනිකඩ කාන්තාවන්ට වෛද්‍යමය නොවන හේතූ මත ඩිම්බ අධිශීත කිරීමට අවසර නැත. හංගේරියාව සහ ඔස්ට්‍රියාව වැනි රටවල, වෛද්‍යමය හේතුවක් නොමැතිව ඩිම්බ අධිශීත කිරීම දැනට තහනම් ය.
මානව සංසේචන හා කළල විද්‍යා අධිකාරියේ (HFEA) නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව, එක්සත් රාජධානියේ අවුරුදු 18ත් 24ත් අතර පුද්ගලයින් අතර ඩිම්බ අධිශීත කිරීම වසර හතරක් තුළ 46%කින් වැඩි වී තිබේ.
2019 සහ 2023 අතර කාලය තුළ ඩිම්බ අධිශීත කිරීමට අදාළ සම්පූර්ණ ප්‍රතිකාර 196 සිට 287 දක්වා ඉහළ ගිය අතර, වයස අවුරුදු 30-34 අතර කාන්තාවන්ගේ එම ප්‍රතිකාර 505 සිට 2,012 දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත්, එහි සාර්ථකත්වය සහතික කළ නොහැක. අධිශීත කළ ඩිම්බ අතරින් කුඩා සංඛ්‍යාවකින් පමණක් දරුවෙකු බිහි වන බවට වෛද්‍යවරු අනතුරු අඟවති.

ඡායාරූප මූලාශ්‍රය, Nastya Swan
'ඩේටින් වෙළෙඳපොළ අවුල් ජාලයක්'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පසුගිය වසර අටක් තිස්සේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වූ 25 හැවිරිදි නස්ටියා ස්වෝන් පසුගිය වසරේ ඇගේ ඩිම්බ අධිශීත කළා ය.
ඇය පවසන්නේ, තමා තවමත් තරුණ බව දන්නා නමුත් "බොහෝ කාලයක්" තනිකඩව සිටි නිසා, ඇයට මවක් වීමට අවශ්‍ය බවත් ය.
"මගේ ජීවිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය කා සමග ද යන්න තෝරා ගැනීමේදී මම ඉතා ප්‍රවේශම් වෙනවා. ඒ වගේ ම ඩේටින් වෙළෙඳපොළ අවුල් ජාලයක්," ඇය පවසයි.
රුසියාවේ උපන් නස්ටියා පවසන්නේ මේ ගැන තම පියාට පැවසූ පසු, "ඔයා හරි ම තරුණයි, ඔයාගෙ ජීවිතේ ගත කරන්න," යැයි උමතු ලෙස සිනාසෙමින් පැවසූ බව ය.
අවසානයේදී ඇගේ පවුල ඇයට සහය දක්වා තිබේ.
කාන්තාවන්ගේ දැනුවත්භාවයේ "පරමාදර්ශී වෙනසක්" සිදුවී ඇතත්, එවැනි ප්‍රතික්‍රියා ඔවුන් දේවල් කිරීමට පෙළඹවීම තවත් කල් දැමිය හැකි බව ඉන්දියාවේ සරුභාවය ආධාරක වේදිකාවක් වන "ෆර්ටිලිටි ඩොස්ට්" නිර්මාතෘ ගීතාංජලී බැනර්ජි පවසයි.
සරුභාවය පිළිබඳ ප්‍රතිකාර තවමත් තහනම් දෙයක් ලෙස සලකනු ලබන බැවින්, විශේෂයෙන් යෝජිත විවාහවලදී, අනාගත සහකරුවෙකු සහසහකරුගේ පවුලේ අය කෙසේ ප්‍රතික්‍රියා කරයිද යන්න පිළිබඳව රෝගීන් කනස්සල්ලට පත්ව සිටින බව ඇය තවදුරටත් පවසයි.
රෝග විනිශ්චය 'ගාමක බලවේගයක්'
ඔස්ට්‍රේලියාවේ ලිබීට, පොලිසිස්ටික් ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය (PCOS) ඇති අතර එය සරුභාවය පිළිබඳ ගැටලු වලට තුඩු දිය හැකි සහ, ලොව පුරා කාන්තාවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණ බලපාන හෝමෝන ආබාධයකි.
"මගේ ඩිම්බ අධිශීත කිරීම ගැන තවදුරටත් සොයා බැලීමට ඒක අනිවාර්යයෙන් ම මට උත්තේජනයක් වුණා," ඇය පවසයි.
බොහෝ තරුණ කාන්තාවන් පිළිකා ප්‍රතිකාර වැනි වෛද්‍ය හේතු මත තම ඩිම්බ අධිශීත කරන බව ලන්ඩන් යුනිවර්සිටි කොලේජ්හි කාන්තා සෞඛ්‍ය කථිකාචාර්යවරියක සහ HFEA සාමාජිකාවක වන වෛද්‍ය සෙයිනෙප් ගුර්ටින් පවසයි.
ඇය පැහැදිලි කරන්නේ මෙම වැඩිවීමෙන් පෙන්නුම් කරන්නේ තරුණ කාන්තාවන් ප්‍රාථමික ඩිම්බකෝෂ ඌනතාවය, එනම් වයස අවුරුදු 40ට පෙර ඩිම්බ කෝෂ සාමාන්‍යයෙන් ක්‍රියා කිරීම නවත්වන එන්ඩොමෙට්‍රියෝසිස් සහ ශරීරයේ අනෙකුත් කොටස්වල ගර්භාෂ ශ්ලේෂ්මලයට සමාන පටක වර්ධනය වන තත්ත්වයන් පිළිබඳව වඩාත් දැනුවත් වෙමින් සිටින බවයි.
කාන්තාවන්ට ඩිම්බ කෝෂවල ඉතිරිව ඇති ඩිම්බ ගණන ඇස්තමේන්තු කරන සහ බෙහෙත් වට්ටෝරුවකින් තොරව මාර්ගගතව ලබා ගත හැකි AMH රුධිර පරීක්ෂණ ඇතුළුව සරුභාවය පරීක්ෂා කිරීමේ තාක්ෂණයට ප්‍රවේශය වැඩි වෙමින් පවතී.
නමුත් රෝගීන් සමහර විට ඒවා ප්‍රහේලිකාවේ කුඩා කැබැල්ලක් ලෙස නොව "සරුභාවය පිළිබඳ වාර්තා කාඩ්පතක්" ලෙස සිතිය හැකි බව සරුභාවය පිළිබඳ ඩොස්ට් (Fertility Dost) නිර්මාතෘ බැනර්ජි පවසයි.
මෙම පරීක්ෂණයෙන් ඩිම්බවල ගුණාත්මකභාවය මනින්නේ හෝ ස්වභාවිකව ගැබ් ගැනීම කොතරම් පහසුදැයි පුරෝකථනය කරන්නේ නොමැත. සමහර පරීක්ෂණ මගින් සාවද්‍ය ප්‍රතිඵල ලබා දෙන බව අධ්‍යයනවලින් ද සොයාගෙන ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Mora Mónaco
විශ්‍රාම ඉතිරිකිරීම් නැවත ලබා ගැනීම
පිරිවැය ද බාධකයක් විය හැකි ය. මිල ගණන් වෙනස් වන නමුත් ඩිම්බ අධිශීතනය කිරීමේ ක්‍රියාවලියට දහස් ගණනක් වැය විය හැකි අතර, අමතර ඉහළ ගබඩා ගාස්තු ද ඇත.
මෙම ක්‍රියා පටිපාටිය සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් 11,000ක් (£5,467) වැය වූ අතර, මාසික ගබඩා ගාස්තුව ඕස්ට්‍රේලියානු ඩොලර් 50 (£25) පමණ විය. ලිබී පවසන්නේ එම පිරිවැය "විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුට තරමක් බර වැඩි" බව යි.
ඇය ඔස්ට්‍රේලියාවේ සුපර්ඇනුවේෂන් ලෙස හඳුන්වන ඇගේ විශ්‍රාම ඉතුරුම්වලින් මුදල් ලබා ගත් අතර, ඇය මෙම තීරණය ගැන සතුටු වන බව පවසයි. "මට දරුවන් ලැබීම හෝ නොලැබීම අතර වෙනස ඒක වෙන්න පුළුවන්," ඇය පවසයි.
අනෙක් කාන්තාවන්ට මෙම ක්‍රියා පටිපාටිය ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා සරල නොවී ය. මිතුරියකගේ නිර්දේශයකින් පසු ආර්ජන්ටිනාවේ මෝරා මොනාකෝ වයස අවුරුදු 26දී ඇගේ ඩිම්බ අධිශීත කිරීමට තීරණය කළා ය.
"මගේ වෛද්‍යවරයා කිව්වා, 'ඔයා මාර දෙයක් කරන්න යන්නේ; ඔයාට වයස 26 යි, ඔයා මේක කරන්න හොඳ ම වයසේ ඉන්නේ,' කියලා," ඇය කියනවා. "නමුත් ඇත්තට ම මගේ සිද්ධියේදී එහෙම වුණේ නැහැ."
මෝරාට අඩු ඩිම්බකෝෂ සංචිතයක් තිබූ අතර ඒවායින් ඩිම්බයක් ලබා ගැනීමට අපහසු වූ අතර එය ඇයට "විනාශකාරී" බවක් දැනුණි.
යමෙකුට දරුවෙකු ලැබීමට අවශ්‍ය වූ විට, ශීත කළ ඩිම්බ, IVF වැනි සරුභාවය පිළිබඳ ප්‍රතිකාර සඳහා භාවිතා කළ හැකි ය. කෙසේ වෙතත්, ක්‍රියාවලියේ කිසිදු අදියරක සාර්ථක බව සහතික කළ නොහැකි බවට HFEA හි වෛද්‍ය ගුර්ටින් අනතුරු අඟවයි.
සාර්ථකත්වයට බොහෝ දේ බලපෑ හැකි ය. මේවාට වයස, සෞඛ්‍යය, ඩිම්බ කීයක් අධිශීත කර තිබේ ද සහ ශුක්‍රාණුවල ගුණාත්මකභාවය ඇතුළත් වේ.
අද වන විට බොහෝ කාන්තාවන් තම ශීත කළ ඩිම්බ භාවිතා කර නොමැති බැවින් සාර්ථකත්ව අනුපාත ගණනය කිරීම දුෂ්කර ය. නමුත් 2016 සිට HFEA දත්තවලට අනුව, එම වසරේ ඩිම්බ ශීත කිරීමේ චක්‍රවලින් 18%ක් පමණක් දරුවෙකු ලැබීමට හේතු විය.
ඩිම්බ කල්තබා ගැනීමට අධිශීත කිරීමේ වයස, ප්‍රතිකාරයේ වයස සමග නිවැරදිව ගැලපිය නොහැකි බැවින්, HFEA සාර්ථකත්ව අනුපාත දත්ත රැස් කිරීම නවතා දමා ඇති අතර, එමගින් අධිතක්සේරු කළ ප්‍රතිඵලවලට හේතු විය හැක.
එහි සඳහන් වන්නේ IVFවලට වඩා අවස්ථා තරමක් අඩු බව ය. IVFවලදී, කාන්තාවකගේ ඩිම්බ කෝෂ වලින් නැවුම් ඩිම්බ ලබාගෙන, ශුක්‍රාණු සමඟ සංසේචනය කර, පසුව කාන්තාව තුළට නැවත දමනු ලැබේ. IVF සාර්ථකත්ව අනුපාත වයස අනුව චක්‍රයකට 5% සිට 35% දක්වා පරාසයක පවතී.
ඩිම්බ අධිශීතනය කිරීම ගැන සලකා බලන කාන්තාවන් සාර්ථකත්ව අනුපාත, අවදානම් සහ අතුරු ආබාධ පිළිබඳව සම්පූර්ණයෙන් දැනුවත් විය යුතු අතර, එය දරුවෙකු ලැබීම සහතික නොකරන බව තේරුම් ගත යුතු බව වෛද්‍ය ගුර්ටින් පවසයි.
විය හැකි අතුරු ආබාධ අතරට මනෝභාවය වෙනස් වීම, බඩ පිපීම සහ හෝමෝන එන්නත් හේතුවෙන් ඇතිවන හිසරදය ඇතුළත් වේ. ඩිම්බ ලබා ගැනීමෙන් පසු සමහර කාන්තාවන්ට කැක්කුම් ද ඇති වේ. ඩිම්බකෝෂ අධි උත්තේජක සින්ඩ්‍රෝමය දුර්ලභ නමුත් බරපතල අවදානමක් ද ඇත. එය දරුණු වේදනාවක්, වේගවත් බර වැඩිවීමක් සහ රුධිර කැටි ගැසීම් ඇති කළ හැකි ය.
තුන් වතාවක් නැවත ලබා ගැනීමෙන් පසු මෝරා ඩිම්බ නවයක් ශීතනය කළා ය. "මගේ ඩිම්බ කල් තබා ගැනීමට අවම වශයෙන් මට කළ හැකි උපරිමය මම කළ බව මං දන්නවා," ඇය පවසයි.
බීබීසීයට කතා කළ කාන්තාවන් තිදෙනා ම ටික්ටොක්හි ඔවුන්ගේ කථා අන් අය සමග බෙදාගෙන ඇති අතර, මිලියන ගණනක් නැරඹුම් ලබාගෙන තිබේ.
"කතාව බෙදාගත්තට මට ස්තූති කරලා පණිවිඩ දහස් ගණනක් ආවා... මම මේ ගැන මගේ වෛද්‍යවරයාගෙන් අහන්න යනවා," මෝරා පවසයි.
කෙසේ වෙතත්, ඉතා තරුණ කාන්තාවන් කරදර විය යුතු නැති බව වෛද්‍ය ගුර්ටින් පවසයි. "වයස අවුරුදු 24ට අඩු කාන්තාවන් සාමාන්‍යයෙන් තම ඩිම්බ අධිශීතනය කර කල් තබා ගැනීම ගැන සිතීමට අවශ්‍ය නෑ. තවමත් ඕනෑ තරම් කාලය තියෙනවා," ඇය පවසයි.














