42 හැවිරිදි කත්‍රිනා කයිෆ් ගැබිනියක් වීම: වයස 40න් පසු දරුවන් බිහි කිරීමට අදාළ ගැටලු කිහිපයකට පිළිතුරු

ਕੈਟਰੀਨਾ ਕੈਫ ਅਤੇ ਵਿੱਕੀ ਕੌਸ਼ਲ

ඡායාරූප මූලාශ්‍රය, Vicky Kaushal/Insta

ඡායාරූප ශීර්ෂ වැකිය, බොලිවුඩ් නිළියක වන කත්‍රිනා කයිෆ් වයස අවුරුදු 42දී ගැබ්ගෙන ඇති බව නිවේදනය කළා ය
    • Author, සුමන්දීප් කෝර්
    • Role, බීබීසී පන්ජාබ්

මෑතකදී, බොලිවුඩ් නිළි කත්‍රිනා කයිෆ් වයස අවුරුදු 42 දී ගැබ්ගෙන ඇති බව නිවේදනය කළා ය.

බොහෝවිට පෞද්ගලික හෝ වෘත්තීය ජයග්‍රහණ අත්කර ගැනීමෙන් පසු, තම පවුල් ආරම්භ කිරීමට හෝ පුළුල් කිරීමට තෝරා ගන්නා බොහෝ කාන්තාවන් සම්බන්ධයෙන් වන එක ම උදාහරණය කත්‍රිනා නොවේ.

2013 දී, ඇමරිකානු නිළි හැලී බෙරී වයස අවුරුදු 47 දී දරුවෙකු බිහි කළා ය. නමුත් අවුරුදු 40 ඉක්මවීමෙන් පසු ගර්භණීභාවයට පත්වීම ශාරීරික හා මානසික යන දෙඅංශයෙන් ම සුවිශේෂී අභියෝග සමග බැඳී පවතී.

මෙහිදී අපි දිල්ලියේ ෂාලිමාර් බාග්හි මැක්ස් සුපර් ස්පෙෂලිටි ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂ සහ ප්‍රසව, නාරිවේද සහ වඳභාවය පිළිබඳ ප්‍රධානී වෛද්‍ය එස්.එන්. බාසු සහ අම්රිත්සර්හි අමන්දීප් රෝහලේ ජ්‍යෙෂ්ඨ උපදේශක ශිවානි ගාර්ග් සමග සාකච්ඡා කළෙමු.

වයස අවුරුදු 40න් පසු කාන්තාවන් මව්වරුන් වීම සඳහා ඇති අවදානම් තත්ත්වයන්, විද්‍යාත්මක දියුණුව සහ ප්‍රධාන සලකා බැලීම් පිළිබඳ බොහෝ වැදගත් ප්‍රශ්නවලට මෙම විශේෂඥයෝ පිළිතුරු දුන්හ.

වයස අවුරුදු 40න් පසු ගර්භණීභාවයට පත්වීමෙන් බොහෝ ගැටලු මතු විය හැකි ය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අවදානම් තත්ත්වයන් සහ ඒවා අවම කිරීමේ ක්‍රම

වෛද්‍ය එස්.එන්. බාසු සහ වෛද්‍ය ශිවානි ගාර්ග් පවසන්නේ, මෙම වයසේදී මාතෘත්වය තුළ බොහෝ අවදානම් ඇති විය හැකි බව ය. මේවාට ඇතුළත් වන්නේ,

අධිරුධිර පීඩනය - වයස අවුරුදු 40න් පසු, අධි රුධිර පීඩනය ඇතිවීමේ සම්භාවිතාව වැඩි වන අතර මෙය මවට සහ දරුවාට අනතුරුදායක විය හැකිය. එබැවින්, රුධිර පීඩනය ඉහළ මට්ටමක පවතීදැයි පරීක්ෂා කිරීම ඉතා වැදගත් වේ.

ගර්භණී දියවැඩියාව - මෙයින් අදහස් කරන්නේ ගර්භණී සමයේදී සීනි මට්ටම ඉහළ යන බවයි. මවට දියවැඩියාව තිබේ නම්, එවැනි තත්වයක් තුළ, වයස අවුරුදු 40 දී දියවැඩියාව වැළඳීමේ සම්භාවිතාව වැඩි වන අතර මවගේ සීනි මට්ටම වැඩි වුවහොත්, එය දිගු කාලීනව වෙනස් විය හැකිය. මේ හැර, එය දරුවාගේ ව්‍යුහයට ද බලපෑ හැකිය, දරුවාගේ බර බොහෝ සෙයින් වැඩි විය හැකිය, දරුවා වටා ඇති ජලය වැඩි විය හැකිය. දරු ප්‍රසූතියෙන් පසු, දරුවාට සෙංගමාලය වැළඳිය හැකිය.

මේ හැර, විශේෂඥයින් පවසන්නේ මෙම වයසේදී ගබ්සා වීමේ සම්භාවිතාව සියයට 30-40 කින් පමණ වැඩි වන බවයි.

ගර්භාෂය තුළදී දරුවාට ඇති වන බලපෑම

දරුවා තුළ සංජානනීය විකෘතිතා - මින් අදහස් කරන්නේ, දරුවාගේ ශරීර ව්‍යුහයට බලපෑම් ඇති විය හැකි බව ය. කෙසේ වෙතත්, වයස අවුරුදු 40 දී ගර්භණී සමයේදී, දරුවා නිසි ලෙස වර්ධනය වීමේ හැකියාවක් තිබේ.

දරුවාගේ වර්ධනයට අදාළ ගැටලු - මෙම වයසේදී ගර්භණී වුවහොත්, දරුවා ගර්භාෂය තුළ නිසි ලෙස වර්ධනය නොවීමට ද ඉඩ ඇති අතර දරු ප්‍රසූතිය දක්වා නිසි ලෙස බර වැඩි නොවිය හැකි ය. වැදෑමහ ආශ්‍රිත ගැටලු ද මතු විය හැකි අතර, වැදෑමහ නිසි ලෙස සකස් නොවීමෙන් එයට හොඳ රුධිර සැපයුමක් නොලැබිය හැකි ය. එහි ප්‍රතිඵලයක් ලෙස, දරුවා වටා ඇති ජලය ද අඩු වේ. ඒ අනුව දරුවාගේ වර්ධනය අඩු විය හැකි ය.

ඩවුන් සින්ඩ්‍රෝමය වැනි වර්ණ දේහ අසාමාන්‍යතා - මවගේ වයස අවුරුදු 40ට වැඩි වූ විට, ගර්භාෂයේ වැඩෙන දරුවා තුළ මානසික ආබාධ ඇති වීමේ අවදානම තුන් ගුණයකින් වැඩි වේ.

වෛද්‍ය බාසු පවසන්නේ, වයස අවුරුදු 40 දී ඩවුන් සින්ඩ්‍රෝමය සහිත දරුවෙකු ලැබීමේ අවදානම 1%ක් පවතින බව ය.

අවදානම් තත්ත්වයන් අඩු කළ හැකි ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

වයස අනුව ඇති විය හැකි අවදානම් තත්ත්වයන් ඉවත් කළ නොහැකි වුව ද, කල් ඇතිව පරීක්ෂා කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටා අනුගමනය කිරීමෙන් තවදුරටත් සංකූලතා අඩු කර ගත හැකි වනු ඇති බව වෛද්‍යවරු පවසති.

වෛද්‍ය එස්.එන්. බාසු පවසන්නේ, "මෙම අවදානම් තත්ත්වයන් කල්තබා හඳුනාගැනීමෙන් හා නිතිපතා පූර්ව ප්‍රසව සත්කාර, රුධිර පීඩනය සහ රුධිර සීනි පරීක්ෂා කිරීම, සෞඛ්‍ය සම්පන්න ශරීර ස්කන්ධය බරක් පවත්වා ගැනීම, පූර්ව ප්‍රසව විටමින් (විශේෂයෙන් ෆෝලික් අම්ලය) ගැනීම සහ දුම්පානයෙන්/මත්පැන් පානයෙන් වැළකී සිටීම මගින් පාලනය කරන්න පුළුවන්," බව ය.

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීමෙන් ප්‍රජනක පද්ධතිය සෞඛ්‍ය සම්පන්නව තබා ගත හැකි බව වෛද්‍ය බාසු පවසයි.

එබැවින්, ප්‍රෝටීන්, සම්පූර්ණ ධාන්‍ය වර්ග, පලතුරු, එළවළු සහ ඔමේගා-3 ඇතුළත් සමබර ආහාර වේලක් ප්‍රයෝජනවත් විය හැකි බව ඔහු යෝජනා කරයි. ඊට අමතරව, පාස්චරීකරණය නොකළ චීස්, අමු මුහුදු ආහාර, අතිරික්ත කැෆේන් සහ සැකසූ ආහාර වළක්වා ගත යුතු ය.

මේ අතර, වෛද්‍ය බාසු ව්‍යායාම පිළිබඳව අවධාරණය කරයි. සැහැල්ලු ක්‍රියාකාරකම්වල සිට මධ්‍යස්ථ ක්‍රියාකාරකම් (ඇවිදීම, පිහිනීම, පූර්ව ප්‍රසව යෝග) දක්වා ව්‍යායාමවල නිරත විය හැකි බව ඔහු පවසයි. නමුත් ඔහු අධිඅවදානම් ක්‍රීඩාවලට එරෙහිව ද උපදෙස් දෙයි.

වෛද්‍ය බාසුට අනුව, ආතතිය මේ සියල්ලෙහි ම ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කරන අතර එය වළක්වා ගැනීම සඳහා භාවනාව, සිහිය, ප්‍රමාණවත් නින්ද සහ සහයකයින්ගේ උපකාර ද ලබා ගැනීම සුදුසු බවට ඔහු උපදෙස් දෙයි.

කෙසේ වෙතත්, අතිරේක පෝෂක වශයෙන් ෆෝලික් අම්ලය, යකඩ, විටමින් D සහ DHA (වෛද්‍යවරයෙකු විසින් නිර්දේශ කරන ලද පරිදි) නිර්දේශ කරයි.

ਔਰਤ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔබට වයස අවුරුදු 40 දී මවක වීමට අවශ්‍ය නම්, ඔබේ සියලු ම වෛද්‍ය පරීක්ෂණ සිදු කර ගත යුතු බව වෛද්‍ය ශිවානි යෝජනා කරයි

ස්වාභාවික පිළිසිඳ ගැනීමේ අවස්ථා

"වයස අවුරුදු 40න් පසු සරුභාවය ඉක්මනින් පහත වැටෙනවා. සාමාන්‍යයෙන්, වයස අවුරුදු 40 දී ඔසප් චක්‍රයක් ස්වාභාවිකව සිදුවන අනුපාතය 5%ක් වන අතර අවුරුදු 40 ඉක්වීමෙන් පසුව එය තවත් අඩු වෙනවා," වෛද්‍ය බාසු පවසයි.

වෛද්‍ය ශිවානි ද මේ සමග එකඟ වන අතර, "සීරම් (Anti-Müllerian Hormone) පරීක්ෂණය ලෙස ද හැඳින්වෙන ඩිම්බ සංචිතයේ, මෙම පරීක්ෂණය අවුරුදු 40කට පසු සිදු කරන සෑම විට ම එය එහි සාමාන්‍ය පරාසයට වඩා සැලකිය යුතු ලෙස අඩු බවත් ශරීරය ආර්තවහරණය කරා ගමන් කරන බවත් දැක තිබේ. මෙම පරීක්ෂණය කාන්තාවකගේ ඩිම්බවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා සිදු කෙරේ."

වෛද්‍ය ශිවානි ද පවසන්නේ, ඒ සියල්ල ඔබගේ ජීවන රටාව මත රඳා පවතින බව ය. සීරම් AHM ඔබේ වයස අවුරුදු 30 දී පවා තරමක් අඩු විය හැකි අතර ඔබේ 40 ගණන්වලදී තරමක් ඉහළ විය හැකි ය.

උපකාර පැතීම සම්බන්ධයෙන්, වෛද්‍ය බාසු යෝජනා කරන්නේ, "ඔබ වයස අවුරුදු 40 හෝ ඊට වැඩි නම් සහ මාස 6ක උත්සාහයකින් පසු ගැබ්ගෙන නොමැති නම්, සරුභාවය පිළිබඳ විශේෂඥයෙකුගෙන් විමසිය යුතු," බව ය.

ਗਰਭਵਤੀ ਔਰਤ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අවුරුදු 40ට වැඩි ගර්භණී මව්වරුන් ව්‍යායාම කිරීම අතිශය වැදගත් බව වෛද්‍ය බාසු පවසයි

ඔබට වයස අවුරුදු 40 දී මවක වීමට අවශ්‍ය නම්, පූර්ණ රුධිර පරීක්ෂාව, KFT, LFT, රුධිර සීනි, තයිරොයිඩ්, සීරම් AHM සහ ගර්භාෂයේ සහ ඩිම්බ කෝෂවල අල්ට්රා සවුන්ඩ් ඇතුළු ඔබේ සියලු ම වෛද්‍ය පරීක්ෂණ සිදු කළ යුතු බව වෛද්‍ය ශිවානි යෝජනා කරයි.

වෛද්‍ය ශිවානි මෙසේ ද පැවසීය: "පිරිමින් ඔවුන්ගේ සියලු ම පරීක්ෂණ සිදු කළ යුතු ය. ඔවුන් ද අවුරුදු 40ට වැඩි නම්, ඔවුන්ගේ ශුක්‍රාණුවල ගුණාත්මකභාවය පරීක්ෂා කළ යුතු ය."

ඊට අමතරව, විද්‍යාත්මක දියුණුව මගින් බොහෝ දේ කළ හැකි බවත්, විවිධ තාක්ෂණ උපකරණවල උපකාරයෙන් විභව ගැටලු හඳුනාගත හැකි බවත් විශේෂඥයෝ පවසති.

පූර්ව ප්‍රසව පරීක්ෂාවන්:

වර්ණදේහ ගැටලු සඳහා ආක්‍රමණශීලී නොවන පූර්ව ප්‍රසව පරීක්ෂණ (NIPT)

පළමු ත්‍රෛමාසික පරීක්ෂාව (රුධිර පරීක්ෂණ + ස්කෑන්)

අවශ්‍ය නම් ඇම්නියොසෙන්ටිස් හෝ CVS පරීක්ෂාව

ਗਰਭਵਤੀ ਔਰਤ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු ය

ඇති විය හැකි සංකූලතාවල ලක්ෂණ සහ වෛද්‍ය ප්‍රතිකාර

පහත රෝග ලක්ෂණ ඇත් නම් වහා ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස වෛද්‍ය බාසු පවසයි:

  • දැඩි ලෙස උදරයේ වේදනාව හෝ කැක්කුම
  • අධික රුධිර වහනය හෝ තරල කාන්දු වීම
  • දරුණු හිසරදය, පෙනීමේ වෙනස්කම් හෝ හදිසි ඉදිමීම
  • කළලරූපී චලනය අඩු වීම හෝ නොපැවතීම (සති 20 කට පසු)
  • නොකඩවා පවතින අධික උණ හෝ ආසාදන ලක්ෂණ
ਗਰਭ ਵਿਵਸਥਾ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගැබ් ගැනීම සඳහා සුදුසු ම වයස එක් එක් පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය අනුව වෙනස් වේ

මවක වීමට 'නිවැරදි' ජීව විද්‍යාත්මක වයසක් තිබේ ද?

වයස යනු සරුභාවයට බලපාන ප්‍රධානතම සාධකයක් වන අතර කාන්තාවන්ගේ ප්‍රජනක වයස අවුරුදු 20ත් 35ත් අතර බවට සලකන අතර සරුභාවය අවුරුදු 35 සිට පහත වැටීම ආරම්භ වෙයි.

වෛද්‍ය බාසු පවසන්නේ, ඉන්දියානු කාන්තාවන්ගේ ආර්තවහරණයේ වයස බටහිර කාන්තාවන්ට වඩා අඩු බව ය. ඉන්දියානු කාන්තාවන්ගේ ආර්තවහරණයේ වයස අවුරුදු 45ත් 49ත් අතර වන අතර, ලෝකයේ සෙසු ප්‍රදේශවල එය අවුරුදු 51කි.

වෛද්‍ය බාසුට අනුව, "ජීව විද්‍යාත්මකව, සරුභාවය වයස අවුරුදු 20ත් 30ත් අතර ඉහළ ම අගයක පවතින අතර, වයස අවුරුදු 35න් පසු අවදානම ක්‍රමයෙන් වැඩි වෙනවා. කොහොම වුණත්, වයස අවුරුදු 40න් පසු, මෙම අවදානම් තත්ත්වයන් ඊටත් වඩා වේගයෙන් වැඩි වීමට පටන් ගන්නවා."

වෛද්‍ය බාසු සහ ශිවානි ගාර්ග් පැහැදිලි කරන්නේ, ගර්භණීභාවයට පත්වීම සඳහා විශ්වීය වශයෙන් අදාළ වන "නිවැරදි" වයසක් නොමැති බව ය.

"එය පුද්ගල සෞඛ්‍යය, සූදානම, ආධාරක පද්ධති සහ පෞද්ගලික තත්ත්වයන් මත රඳා පවතිනවා. නිසි සැලකිල්ලක් දක්වන බොහෝ කාන්තාවන්ට වයස අවුරුදු 40න් පසුවත් සෞඛ්‍ය සම්පන්න ගැබ් ගැනීම් සිද්ධ වෙනවා."

අවසාන වශයෙන්, ගැබ් ගැනීම සඳහා සුදුසු ම වයස එක් එක් කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් මත පදනම්ව වෙනස් වේ.

මේ ගැන කතා කරමින් වෛද්‍ය බාසු පවසන්නේ, "වයස අවුරුදු 20 ක කාන්තාවන් සශ්‍රීකත්වය සඳහා ඔවුන්ගේ ජීව විද්‍යාත්මක උච්චතම ස්ථානයේ සිටිනවා."

"වයස අවුරුදු 30 බොහෝවිට සූදානම සහ ප්‍රජනක සෞඛ්‍යය අතර සමතුලිතතාවක් ඇති කරනවා, මොනවා වුණත්, වයස අවුරුදු 35න් පස්සෙ සරුභාවය තවත් පහත වැටීමට පටන් ගන්නා බව සැලකිල්ලට ගත යුතු යි."

වයස අවුරුදු 40දී ගැබ් ගැනීම වඩාත් සුලභ වෙමින් පවතින අතර වෛද්‍ය බාසු පවසන්නේ, එයට සාමාන්‍යයෙන් වෛද්‍ය අධීක්ෂණය සහ සමහර අවස්ථාවල සශ්‍රීකත්වය සඳහා සාධක අවශ්‍ය බව ය.

අවසාන වශයෙන්, දරුවෙකු ලැබීමට සුදුසු කාලය යනු ගැඹුරු පෞද්ගලික තීරණයක් වන අතර එය සෞඛ්‍යය, මානසික තත්ත්වය සහ ජීවන රටා යන සාධක පිළිබඳව අවධානය යොමු කිරීමෙන් වඩාත් යහපත් ප්‍රතිඵල අත් කර ගත හැකි වනු ඇත.