දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූවන්ට රජයෙන් මේ දක්වා වන්දි ගෙවා ඇති අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Anura Kumara Dissanayake | Facebook
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 7
ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ පෙර නොවූ විරූ තරම් විනාශයක් සිදුවූ දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමේ ප්‍රගතිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් අනාවරණය කර තිබේ.
ඒ අනුව, 2026 ජනවාරි 31 වන දිනට හානියට පත් නිවසකට ලබා දෙන රුපියල් 25,000 දීමනාව ලබා දීමේ ප්‍රගතිය 98.1%ක් වන අතර රුපියල් 50,000ක දීමනාව ලබා දීමේ ප්‍රගතිය 76.96%කි.
ජීවනෝපාය අහිමී වීමේ දීමනාව ගෙවීමේ ප්‍රගතිය 14.95%කි.
කුලී නිවාස දීමනාව ගෙවීමට අදාළ ප්‍රගතිය 17.02%ක් වන අතර පාසල් ළමුන් සඳහා රුපියල් 15,000 දීමනාව ගෙවීම් ප්‍රගතිය 72.07%ක් ලෙස දැක්වෙයි.
ලෝක බැංකු ඇස්තමේන්තුවට අනුව දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදුව ඇති හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1කි.
දැනට විදෙස් රටවලින් ද ඇතුළුව රීබිල්ඩිං ශ්‍රී ලංකා අරමුදලට ලැබී ඇති ආධාර ප්‍රමාණය රුපියල් බිලියන 10කට ආසන්න බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ ය.
විපතට පත් ජනතාවට සහන සැලසීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය රුපියල් බිලියන 500ක අමතර අයවැයක් ද සම්මත කර ගෙන තිබේ.
මරණ සඳහා වන්දි ගෙවීම්

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 676කි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිල සංඛ්‍යා දත්ත අනුව අතුරුදන්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 155ක් ලෙස දැක්වෙයි.
වැඩි ම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, මහනුවර දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 243කි.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 89ක් වාර්තා වී ඇති අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 81ක් වාර්තා වී තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 62ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 38ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 30ක් වාර්තා වී ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව ජනවාරි 30 වන දා වන විට මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් සම්පූර්ණ වන්දි මුදල ගෙවා ඇති ප්‍රතිලාභීන් සංඛ්‍යාව 296කි.
අත්තිකාරම් පමණක් ගෙවා ඇති ප්‍රතිලාභීන් සංඛ්‍යාව 230ක් වන අතර තවත් ප්‍රතිලාභීන් 344කට වන්දි ගෙවා අවසන් කිරීමට නියමිතව තිබේ.
රුපියල් මිලියන 346.6ක් මිය ගිය පුද්ගලයින්ට වන්දි වශයෙන් ගෙවා ඇති අතර එම වන්දි ගෙවීමේ ප්‍රගතිය 46.25%කි.
රුපියල් 25,000 දීමනාව

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූවන්ගේ නිවාස යථාවත් කිරීම වෙනුවෙන් එක් වරක් පමණක් ගෙවන රුපියල් 25,000 දීමනාව ලැබීම සඳහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 439,979කි.
ඒ අතරින් 431,868 දෙනෙකුට එම දීමනාව ගෙවා ඇති අතර, තවමත් එම දීමනාව ගෙවීමට ඇති සංඛ්‍යාව 8111ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
ඒ සඳහා ගෙවා ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 10796.70කි.
රුපියල් 50,000 දීමනාව

රුපියල් 50,000 දීමනාව ලැබීම සඳහා ප්‍රතිලාභීන් 167,567ක් සුදුසුකම් ලබා ඇති අතර, ඒ අතරින් 128,503 දෙනෙකුට ජනවාරි 30 වන දා වන විට මෙම දීමනාව ගෙවා අවසන් කර ඇත.
එම දීමනාව ගෙවීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 6425.15කි.
තවත් ප්‍රතිලාභීන් 39064 දෙනෙකුට රුපියල් 50,000 දීමනාව ගෙවීමට ඇත.
මෙම දීමනාව ගෙවීමේ ප්‍රගතිය 76.96%කි.
ජීවනෝපාය අහිමිවීමේ දීමනාව ගෙවීමේ ප්‍රගතිය

මෙම දීමනාව ලැබීම සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත ප්‍රතිලාභීන් සංඛ්‍යාව 1384කි.
ඒ අතරින් 207 දෙනෙකුට ප්‍රතිලාභ ගෙවා ඇති අතර, තවත් 1177 දෙනෙකුට අදාළ දීමනාව ගෙවීමට නියමිතව ඇත.
මිලියන 16.35ක් මේ සඳහා ගෙවීම් කර ඇති අතර මෙම දීමනාව ගෙවීමේ ප්‍රගතිය 14.95%කි.
නිවාස හානිවලට වන්දි ගෙවීම්

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
දිට්වා සුළි කුණාටුවෙන් දිවයින පුරා නිවාස 6,018කට පූර්ණ හානි සිදුව ඇත. අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 108,879කි.
පූර්ණ නිවාස හානියක් සඳහා ලබා දෙන වන්දි මුදල රුපියල් ලක්ෂ 50කි. එම මුදල අදියර වශයෙන් ලබා දීමට නියමිත ය.
පවුල් 8998ක් කුලී නිවාස දීමනා ලැබීමට සුදුසුකම් ලබා තිබේ. පවුල් 1515කට නිවාස කුලී ගෙවා ඇති අතර තවත් පවුල් 7383කට කුලී ගෙවීමට නියමිතව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කළේය.
එහි ප්‍රගතිය 17.02%කි.
මේ අතර, පවුල් 18000ක් වෙනුවෙන් ඉඩම් කැබලි 18000ක් අවශ්‍යව ඇතැයි ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ.ජී.යූ ධර්මතිලක සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, මහනුවර, බදුල්ල ආදී ප්‍රදේශවල ඉඩම් අත්පත් කර ගැනීම්වලින් 80%ක් පමණ අවසන් කර ඇති බව ය.
නිවාස ඉදිකිරීමේදී පළමුව රුපියල් ලක්ෂ 20ක අත්තිකරමක් ලබා දෙනු ඇත.
මේ වන විට මොනරාගල, අනුරාධපුර, මහනුවර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පූර්ණ නිවාස හානි වෙනුවෙන් ප්‍රතිලාභීන් 136 දෙනෙකුට ගෙවීම්කර තිබේ.
ඔවුන්ට ලබා දී ඇති වන්දි මුදල රුපියල් මිලියන 196.38කි.
නිවාස අර්ධ හානිවෙනුවෙන් ප්‍රතිලාභීන් 1580 දෙනෙකුට රුපියල් මිලියන 97.80ක වන්දි ගෙවා තිබේ.
පාසල් ළමුන් සඳහා රුපියල් 15,000 දීමනාව ගෙවීමේ ප්‍රගතිය

මෙම දීමනාව සඳහා සුදුසුකම් ලබා ඇති පාසල් දරුවන් සංඛ්‍යාව 200,762කි. ජනවාරි 30 වන දා වන විට පාසල් දරුවන් 144,688 දෙනෙකුට මෙම දීමනාව ගෙවා තිබේ.
පාසල් දරුවන් 56,074 දෙනෙකුට මෙම දීමනාව ගෙවීමට නියමිතව ඇත.
ඒ සඳහා ගෙවා ඇති සමස්ත මුදල මිලියන 2170.32කි. මෙම දීමනාව ගෙවීමේ ප්‍රගතිය 72.07%කි.
පුද්ගලයින් 4175 දෙනෙක් තවමත් සුරක්ෂිත මාධ්‍යස්ථානවල
පවුල් 1373කට අයත් පුද්ගලයින් 4175 දෙනෙක් තවමත් සුරක්ෂිත මාධ්‍යස්ථානවල රැකවරණය ලබමින් සිටිති.
ඒ, බදුල්ල, නුවරඑළිය, කෑගල්ල යන දිස්ත්‍රික්කවල පිහිටි මධ්‍යස්ථාන 50ක ය.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ජීවනෝපාය දීමනාව හා මරණ සඳහා වන්දි ලබා දීම වෙනුවෙන් රුපියල් බිලියන 4.5ක් වෙන්කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
නිවාස පූර්ණ හා අර්ධ හානි යථාවත් කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 41.6ක් වෙන්කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ.ජී.යූ. ධර්මතිලක පැවසීය.
නැවත පදිංචි කිරීම් වෙනුවෙන් රුපියල් බිලියන 2.1ක් වෙන්කර තිබේ.
විශේෂ දුරකතන අංකයට පැමිණිලි 4833ක්
දිට්වා සුළි කුණාටුවෙන් හානි සිදූවූ පුද්ගලයින්ට සිය දීමනා ගැටලු ඉදිරිපත් කිරීමට විශේෂ දුරකතන අංකයක් රජය මගින් හඳුන්වා දී තිබේ. ඒ අනුව 1904 දුරකතන අංකයට එම පැමිණිලි ඉදිරිපත් කළ හැකි ය.
එම දුරකතන අංකයට දැනටමත් පැමිණිලි 4833ක් ලැබී තිබේ.
ඒවා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ආරක්ෂක අමාත්‍යංශය ඇතුළු අදාළ අංශ වෙත යොමුකර ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ ය.
වන්දි ලබාදීමේදී හා හානි තක්සේරු කිරීමේදී යම් ගැටලුවකට මුහුණ දී ඇතොත් ඒ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශය අයත් දිස්ත්‍රික් ලේකම්වරයා වෙත අභියචනා ඉදිරිපත් කළ හැකි ය.
එමගින් ද සහනයක් නොලැබුණහොත් ආපදා කළමනාකරණ ජාතික සභාවට එම අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව තිබේ.
'දෙනවා දෙනවා කිව්වාට තව ම නම් ලැබුණේ නැහැ'

ඌව පරණගම, මස්පන්න ප්‍රදේශයේ පදිංචි කේ.එම්. ආරියදාස බීබීසී සිංහල වෙත කියා සිටියේ, නොවැම්බර් 26 වන දා සිදුවූ නායයාමකින් තම නිවස සම්පූර්ණයෙන් විනාශ වීමෙන් දරුවන් දෙදෙනා ද මිය ගිය බව ය.
ඔහු පැවසුවේ, භූමිදාන කටයුතු සඳහා රුපියල් 100,000ක් රජයෙන් හිමි වූ බව ය.
අනතුරුව ලබා දුන් රුපියල් 25,000 දීමනාව සහ රුපියල් 50,000 දීමනාව ඔහු වෙත ලැබී තිබේ.
ඉන් අනතුරුව කිසිදු දීමනාවක් හෝ වන්දියක් මෙතෙක් රජයෙන් ලැබී නොමැති බව ඔහු කියා සිටියේ ය. මරණ සඳහා වන්දියක් හෝ නිවාස කුලිය හෝ ලැබී නොමැති බව ද ඔහු සඳහන් කළේ ය. දැනට කුලී නිවාසයක සිටින බවත් එම කුලිය ගෙවා ගැනීමට නොහැකිව තමන් සහ බිරිඳ අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටින බව ඔහු සඳහන් කළේ ය.
"මට ළමයි දෙදෙනා වෙනුවෙන් දානයක් දීගන්නවත් වත්කමක් නැතිව ඉන්නේ."
"රජයෙන් ලැබෙනවා කියන මුදල ලැබෙන්නේ කවදා ද? තමත් ලැබිලා නැහැ. ලැබෙනවා ද? නැද්ද? කියලා දැන ගන්න මං කැමති යි."
"දෙනවා දෙනවා කිව්වාට තව ම නම් ලැබුණේ නැහැ."
උඩපුස්සැල්ලාව, හෙලාලගම ප්‍රදේශයේ පදිංචිව සිටින ඩී.ජී. සිරිමතී බීබීසී සිංහල වෙත කියා සිටියේ නායයාමකින් තම නිවසට පූර්ණ වශයෙන් හානි සිදුවු බව ය.
ඇයට ද රුපියල් 25,000 සහ රුපියල් 50,000 දීමනාව ලැබී තිබේ.
'ගෙදර හදාගන්න ආධාර මුදල් කිසිවක් ලැබිලා නැහැ.'
'මහත්තය යි මම යි කුලී නිවසක තමා ඉන්නේ. කුලී ගෙව ගෙව. මට දැන් ජීවත් වෙන්නත් අමාරු යි. මහත්තයා කුලී වැඩ කරලා තමා දැන් ජීවත් වන්නේ," ඇයි කියා සිටියා ය.

නිවාස හානි පරීක්ෂා කිරීමට ඉල්ලීම් 32,000ක්
දිට්වා සුළි කුණාටුවෙන් පසු නිවාස පරීක්ෂාව සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වෙත මුල් අවස්ථාවේ ඉල්ලීම් 15,829ක් ලැබී ඇති අතර ඉන් නිවාස 2561ක් පූර්ණ හානි වූ නිවාස ලෙස හඳුනාගෙන තිබේ.
නායයාම් අධිඅවදානම් ස්ථානවල නිවාස 3157ක් හා ඉදිරියේදී නැවන නායයම් අවදානම සහිත ස්ථානවල පිහිටි නිවාස 6453ක් හඳුනා ගෙන ඇත.
මේ වන විට නිවාස පරීක්ෂා කිරීම් සඳහා ඉල්ලීම් 32000ක් පමණ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වෙත ඉදිරිපත්ව තිබේ.
ඉන් නිවාස 18641ක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් පරීක්ෂා කළ යුතුව ඇති අතර මාසයක් හෝ දෙකක් ඇතුළත සියලු ස්ථාන පරීක්ෂා කරනු ඇතැයි අපේක්ෂා කරන බව ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ.ජී.යූ. ධර්මතිලක සඳහන් කළේ ය.































